ඔබට මතකද ඔබ සමහර වෙලාවට කියන්න ඇති "මං දන්නෑ, මට එහෙම වුනා. මං හිතල කළේ නෑ" වගේ අදහසක්.
එහෙම නැත්තං "මං හිතල කළේ නෑ අනේ" කියල කියන ඔබේ ළඟම හිතවතාගේ කතාවකුත් මතකයට ඒවි. හැබැයි දැන් මේ The basic emotion chain කියන හිතුවිලි වැඩකරන දම්වැල ගැන දැනගත්තට පස්සේ "මං හිතල කළේ නෑ" කියන්න ඉස්සර වෙලා සෑහෙන්න හිතන්න වේවි. මොකද, දේහයේ සිදුවන ප්‍රතීකක්‍රියා (reflex), ඒ කිව්වේ, රත්වෙච්ච තාච්චිය අල්ලපු ගමන්, අත ඉවතට විසිවෙන , අර ඇස් පරික්ෂවට ගියාම, ඇහේ ප්‍රෙෂර් එක බලන්න හුළං පාරක් විඳිත්දි ක්ෂණිකව ඇහ වැහෙන එක වගේ අවස්ථා මෙන්ම, ඇඟ තුල සිදුවන "අනිච්ඡානුග ක්‍රියා" ඒ කියන්නේ, ආහාර ජීරණය වගේ අවස්ථා හැර, සාමාන්‍ය ක්‍රියාකාරකම් සියල්ලටම මේ චිත්තවේග දම්වැල අදාල වෙනවා.
මෙන්න දම්වැල, කෙටියෙන් මතක තියා ගන්න පුළුවන් PIE ABC කියල.
Prompting Event → Interpretation → Emotion → Action Urge → Behavior → Consequences
Prompting Event එක කියන්නේ , යම් සිදුවීමක්. මේ චේන් එක පටන් ගන්නට හේතුවන මේ සිදුවීම හෝ අවස්ථාව නිකංම නිකං සිදුවීමක් විතරයි, ඒක හොඳ නරකක්, ලේබලයක් නැති නිකංම නිකං "සිදුවීම" තමයි මේ. උදාහරණයක්, ඔබ ඊයේ ඔබේ මිතුයෙකුට මැසේජ් එකක් යැව්වා, හැබැයි තවම රිප්ලයි එකක් ආවේ නෑ. මේක තමයි "සිදුවීම"
දැන් යං ඊළඟ පියවර Interpretation වෙතට. මේ කියන්නේ, අර පෙර "සිදුවීමට" ඔබ ලබා දෙන අර්ථකථනය. එහෙම නැත්නම් "සිදුවීම" ගැන ඔබ , ඔබේ හිතට කියන දේ, හිතට දෙන හිතුවිල්ල. මේ දම්වැලේ වඩාත්ම ප්‍රභල තැන මෙතැනයි කියල කියන්න පුළුවන් . හේතුව, මේ Interpretation අවස්ථාවෙදි, අපේ හිත තේරුම් ගන්න විදිය මත, අපේ ඉදිරි පියවර සියල්ල රඳා පවතින නිසා, ඒ වගේම මේ "තේරුම් ගැනීම" සඳහා බලපෑ හැකි හේතු ගණනාවකුත් තිබෙන නිසා.
ඒ හේතු විදියට,
අතීතයේ ලබපු අත්දැකීම්,
මේ වෙලාවේ ඔබේ මූඩ් එක,
ඔබේ පිළිගැනීම්, අපේක්ෂාවන් ඔය වගේ හේතු ගණනාවක් මෙතැනදි "සිදුවීම" ගැන ඔබේ හිතට හදුන්වා දෙන විදියට බලපෑම් කරන්න පුළුවන්.
අනෙක් හරි අපූරු අවස්ථාව තමයි මේ සිදුවීම, හදුනාගන්න විදිය, එහෙම නැත්නම් අර්ථකථනය කිරීම සමහර අවස්ථාවකදි ස්වයංක්‍රීයව , ක්ෂණයකින් සිදුවෙන්න පුළුවන්. උදාහරණයක්, ඔබ සම්මුඛ පරික්ෂණයකට මුහුණදීලා, දින කිහිපයකට පස්සේ අදාල ආයතනයේ දුරකථන අංකයෙන් ඇමතුමක් එනවා. දැන් ඇමතුම තමයි "සිදුවීම", මේ ඇමතුම දැක්ක ගමන් "වැඩේ හරි" කියල ක්ෂණීකව හිතෙන එක හරි "මං ඉන්ටවීව් එක ෆේල් වෙන්නැති" කියල හිතෙන එක ක්ෂණයකින් වෙන්න පුළුවන්. එතැනදි, අපේ සීතිමේ රටාවන් සෘජුවම බලපානවා.
අපි හැමතිස්සේම හිතන්නේ නෙගටිව්, වැරදීම්, මම දුර්වලයි වගේ නම්, මේ අවස්ථාවේ ක්ෂණයකින්ම එන Interpretation එක තමයි "මං ෆේල් ඇති" , හැබැයි ඔබ වැඩියෙන්ම කරන්නේ බොහොම ධනාත්මක විදියට අභියෝග බාර ගන්න කෙනෙක් නම්, "වැඩේ හරි ඇති" කියල හිතුවිල්ල ගන්නට පුළුවන්. ඔය අතරේම තවත් අයෙක් , මේ ඇමතුම දැක්ක ගමන් "ක්ෂණික හිතුවිල්ලකට" එන්නේ නැතිව ටිකක් කල්පනාකාරීව හිතල, ඇමතුමට පිළිතුරු දේවි. ඒ අවස්ථාව Intentional Interpretations ලෙසයි DBT තුලදී හදුන්වා දෙන්නේ. මෙය වඩාත් සාර්ථක ක්‍රමය වුවත්, අපේ හිත වැඩි කැමැත්ත කරන්නේ, අපට වඩාත් හුරු අත්දැකීම් වලදි පෙර කී "ක්ෂණික හිතුවිලි" ලබා දීමටයි. ඒ නිසාමයි, "සිත් සුවය" වෙනුවෙන්, අපේ හිත , අපේ හිතුවිලි , චිත්තවේග ක්‍රියාත්මක වන විදියට ගැන අවබෝධයක් , සහ සංවේදී බවක් තබා ගැනීම වැදගත්ම වෙන්නේ.
මෙතැනදි කියූ automatic interpretations මෙන්න මේ වගේ ඒව වෙන්න පුළුවන්. කළු-සුදු පිළිගැනීම, ඒ කියන්නේ, යාළුවෙක්ගේ පොඩි අඩුපාඩුවක් දැක්ක ගමන් "එයා හරිම නරකයි" කියල ලේබලේ ගහන්න තියෙන හදිස්සිය වගේ අවස්ථා. මේකට DBT වලදි කියන්නේ, All-or-nothing thinking කියලා. 1 හෝ 0 විතරයි.
අනෙක් අවස්ථාව තමයි Catastrophizing , ඒ කියන්නේ යම් සිදුවුනු ගමන් , විශේෂයෙන්ම වැරැද්දක්, පාඩුවක්, අතපසුවීමක් , මේ කෙනා හිතන්නේ මහා විනාශයක් වුනා වගේ. උදාහරණයක්, කාර්යාලයේදී අද දවසේ කරන්න තිබුණූ වැඩක් අමතක වෙලා ආ බව, ගෙදරදි මතක් වුනාම "මගේ රස්සාව ඉවරයි, හෙටින් පස්සේ ගෙදර තමා, ඊට පස්සේ මං කොහොමද කසාද බඳින්නේ, ගෙයක් හදන්නේ , ඔක්කොම ඉවරයි" කියල හිතන කෙනෙක්, මේක හරියට අර මොකක්ද වැටුන වෙලාවේ "ලෝකෙ පෙරළෙනව" කියල බය වෙලා දිව්ව හාවගේ කතාව වගේ (හරියට මතක නෑ කතාව)
මේ විදියට මේ Interpretation ලේයර් එකේදි සිදුවීම ගැන අපේ හිතට එන හිතුවිලි වලට සෑහෙන බලපෑම් තියෙනවා. ඒ වගේම, එලෙස එන හිතුවිලි කල්පනාකාරීව , සමබර කරගන්නට හැකියාවත් අපට තියෙනවා.
ඊළඟ පුරුක තමයි Emotion. දැන් පෙර කී "හිතුවිල්ල" එහෙම නැත්නම් අර්ථකථනය අනුව අපේ හිත දුක, බිය, සතුට, තරහ , ඉච්ඡාභංගත්වය වගේ චිත්තවේග ඇති වෙනවා. පෙර උදාහරණේ විදියට අද දවසේ කරන්න තිබුණ වැඩක් අමතක වුනු බව ගෙදරදි මතක් වුනාම , ඒ ඔස්සේ "මගේ රස්සාව ඉවරයි" කියල අර්ථකථනයක් හිතෙන් දුන්නොත්, ඒ ඔස්සේ ඊළඟට එන්නේ දුක, අවිනිශ්චිතබව, කාංසාව වගේ චිත්තවේග ගොන්නක්.
දැන් මේ ඉමෝෂන් එක Action Urge එකක්, එනම් යමක් කිරීමට හිතෙනවා.
මෙතැනදි වැදගත්ම දේ, "යමක් කිරීමට හිතෙන එක" ස්වභාවිකයි, ස්වංක්‍රීයයි. හැබැයි ඒක කරන එක අපේ තෝරා ගැනීමක්. උදාහරණයක්, පොඩි එකා උදේ පාන්දර පොතක් උස්සගෙන ඇවිත් ඊයේ දීපු ගෙදර වැඩක් කරන්න අමතක වුනා කියත්දි, උදේ කෑම හද හද ඉන්න ඔබට ඒ "සිදුවීම", ඔස්සේ හිතට එන ක්ෂණික Interpretation එක "මහ කරදරකාරයෙක්" වෙන්න පුළුවන් (තවත් ඇක්ෂන් අර්ජ් කිහිපයක් එකවර එන්න ඉඩ තියෙනවා). ඒ ඔස්සේ හිතට එන චිත්තවේගය "තරහක්" වුනොත් ඊළඟට Action Urge එක විදියට එන්න පුළුවන් "දැන්ද ඕක මතක් වුනේ" කියල පොඩි එකාගේ කණෙන් අල්ලන්න. එහෙම අර්ජ් එකක් එන එක සාමාන්‍යයි, හැබැයි ඇත්තට පොඩි එකාගේ කණෙන් අල්ලල රිද්දනවද නැත්ද කියල තීරණය "සම්පුර්ණයෙන්ම ඔබේ කැමැත්තක්". (Urges are automatic; behavior is a choice)
ඊළඟ පුරුක වෙන්නේ, මේ Action Urge ඔස්සේ ඔබ කරන ක්‍රියාත්මක වීම. අපි හිතමු, පොඩි එකාගේ කතාවෙදි ඔබට ආපු අර්ජ් එක පොඩි එකාගේ කණෙන් අල්ල තරවටු කරන එක නම්, ඔබ ඒ විදියටම ක්‍රියාක්මක කළා නම් ඒ තමයි Behavior කියන පුරුක. මේක කෙළින්ම රඳා පවතින්නේ චිත්තවේගය සහ ඒ ඔස්සේ එන Action Urge එක මත.
දැන්, අපි හිතමු, උදේ පාන්දර මහත්තයටයි ළමයින්ටයි දවල්ට කෑම ගෙනියන්න සූදානම් කරකර , ඔබටත් රැකියාවට යන්න ලේස්ති වෙන අතරේ පොඩි එකා ඇවිත් මේවගේ දෙයක් කිව්වම ඔබට තරහ ආව, අර්ජ් එකක් ආව, පොඩි එකාගේ කණෙන් අල්ලන්න, දැන් කණෙන් අල්ලල කෑගහනවා. මේ බිහේවියවර් එකත් එක්ක ඊළඟට වෙන්නේ මොකක්ද? පොඩි එකා මූණ ඇඹූල් කරගෙන අඬන්න පටන් ගන්නවා. දැන් එක යුද්දයයි දවල් කෑම ලේස්ති කරන වැඩෙත් පරක්කු වෙනවා, පොඩි එකා ඉස්‍කෝලේ ගෙනියන වෑන් එක එන්නත් ළඟයි මේ තත්ත්වය තමයි ඔබ කළ දේ අනුව ලැබෙන Consequences.
මෙන්න මේ විදියට තමයි The basic emotion chain ක්‍රියාත්මක වෙන්නේ. මේක පැහැදිලිව අවබෝධ කරගැනීමේ වැදගත්කම වෙන්නේ, මේ පියවර එහෙම නැත්නම් පුරුක් තුල ඔබට පාළනය කරගත හැකි, ක්ෂණීක හිතුවිලි වලට වඩා, කල්පනාකාරීව ගත හැකි හිතුවිලි එකතු කරගත හැකි, කළ යුතුද නැත්ද, කළොත් කුමක් වේද වගේ හිතල ඔබට වෙනස් කරගන්න පුළුවන් පුරුක් ගණනාවක් තිබෙනවා.
ඒ ඔබට වඩාත් සාධාරණ, ඔබට ඒ සිදුවීම තුල ඔබත් සමඟ සම්බන්ධවන්නාට වඩාත් යහපත් ප්‍රතිපල ලබා දිය හැකි , සුවදායී The basic emotion chain එකක් හදා ගන්න අපට පුළුවන්, ඒ සඳහා අවශ්‍ය දැනුවත්වීම, උත්සාහ කිරීම සහ ඒ ඔස්සේ එය පුරුද්දක් කරගැනීමයි. ඒ තුල ඔබේ හිතට "සුවයක්" ලබා ගන්නට පුළුවන් වේවි.