 |
| ලස්සන වැස්ස ... |
අද පෝය දවසනේ , ඉතිං අපි දෙන්නම නිවාඩුවක් ගත්ත , නිවාඩු ගත්තට මොකො අද දවසම වහින්න වගේ , කළුවර කරල , වරින් වරේ තද හුළඟකුත් තියෙනවා ,
“අපෝ තාත්තේ අද ගේ ඇතුලටම වෙලා ඉන්න වේවිද දන්නෑ ...අර බලන්න අහස ...“ ලොක්කිගේ කළුපාට වැහි වළාකුළක් වගේ
, “අද වහිනවා , හොඳට වහිනවා බලන්නකෝ ...අර බලන්න වැහි ලිහිණිත් පාතින්ම යන්නේ ...වහින්න වහින්න ....“ පොඩ්ඩිත් පැටලෙන්න වගේ හදන්නේ ,
 |
| කුඹුරු මැදින් හෙමින් හෙමින් |
“හ්ම් කමක් නැහැ ..වැස්සොත් නාන්නත් බලාගෙන අපි යමුද සීයලගේ ගෙදර ...වක්වැල්ල පැත්තෙන් ..යමුද? “ යෝජනාව මගෙන් ...මොකද ඒ පැත්තෙන් වැස්ස දවසට යනකොට හරිම ලස්සනයි , කුඹුරු , කුරුල්ලෝ ...සීතල හුළඟ .....
“වැඩේ නම් හොඳයි , එහෙනම් ඉක්මණට අම්මට කියන්න ඕන , නැත්නම් එයාලත් කොහේ හරි යාද දන්නැනේ ..වක්වැල්ල පැත්තෙන් ගියොත් දුරයිනේ ? ...අනෙක වැස්සට අහුවුනොත් අමාරුවේ වැටේවි ...අපි ගාලු පාරෙන් යමුද ? “ ....බිරිඳ විස්තරාත්මකව යෝජනාව සම්මත කළා...
එහෙම නම් අපි අවසන් තීරණේට ආව ඉක්මණින්ම හික්කඩුව බලා කෙටි මාර්ගයකින් යන්නට...
..ලොක්කිගෙයි , පොඩ්ඩිගෙයි අඩුම කුඩුම , බඩු මුට්ටු , ඔක්කොම පොදි බැඳගෙන කට්ටියම නැග ගත්ත මගේ රෝද දෙකේ වාහනේට .හීතල පොද වැස්ස මැදින් දැන් අපි යනවා , බූස්ස , ගිංතොට පහුකරගෙන හික්කඩුව නගරය බලා .අද දවසේ අපේ නවාතැන “හික්කඩු සීයලගේ ගෙදර“ , හරි විදියට කිව්වොත් මගේ මාමණ්ඩිළගේ ගෙදර .

වැස්සේ බයික් එක ride කරන එක හරි සුන්දරයි , ඒත් අනතුරුදායකයි , පාරත් ලිස්සනවා , අනික වැහිපොද මුහුණට වදින්නේ හරියට වැලි ගහනවා වගේ සැරට ...
“ මහේෂ් අන්න කුමාරි නංගි හිටිය බස් හෝල්ට් එකේ ....ඩිංගක් කතා කරල යන්න තිබුනනම් හොඳයි , ඒත් මේ වැස්සේ .....“
“කොහොම නතර කරන්නද ? , මේ වැස්සේ ...අනික දැන් ඉතිං ආයෙත් කිලෝමීටරයක් විතර යන්න එපායැ...ඔන්න ඔහෙ අපි යමු ...“
හිතට පොඩි දුකක් ආවත් මේ වෙලාවේ කරන්න දෙයක් නැහැ , හිතට දුකක් ආවේ අපේ කතාවට ලක්වුණු මේ “කුමාරි කෙල්ල ගැන “ ....ඉගෙන ගන්න කාළෙ ඉඳළ හුඟක් දුක් විඳපු ...එදා ඉඳළම තමන්ගේ දෙමාපියන්ට , සහෝදරයන්ට සෑහෙන්න උදව් කළ මේ කෙල්ල , පවුලේ සේරම බර දරල ඉවර වෙලා මේ ළඟදි තමයි විවාපත් වුනේ ...ඒත් ඒ විවාහය අවුරුද්දක් වගේ ඇතුලත දෙදරල ගිහින් දැන් දෙන්න දෙපැත්තක ...මේ ගැන එක එක කතා ආව ...දන්නවනේ බැන්දට පස්සේ දරුවෙක් නැත්ද නැත්ද කියල කලබල වෙන්නේ ගෙදර අයට වැඩිය ගෙවල් වටපිටාවේ අයනේ ...කොහොම වුනත් මේ ගැටළුව ගැන දන්න මගේ හිතවත් මිත්‍රයෙක් කී විදියට මේ වෙන්වීමට හේතුව වෙලා තියෙන්නේ “ලිංගික ගැටළුවක්“ . තව විදියකින් කිව්වොත් මේ දෙන්නගේ Sexual life එක අසාර්ථක වීම කියලයි සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලැදි මගේ මිත්‍රය කීවේ ...
ඔන්න ඉතිං අපි වැස්සෙම ගෙරද ආව කියමුකෝ ...“ආ....ආයේ ලිඳෙන් නාන්න දෙයක් නෑ ...කට්ටියම හොඳට නාලා තියෙන්නේ ...ටිකක් වේලාසන කිව්වනං මම එනවානේ ..එක්කර ගෙන එන්න ...“ මගේ ආදරණිය මාමණ්ඩියගේ සුන්දර ගෝරණාඩුව හැමදාමත් අපිට පුරුදුයිනේ ...
“නෑ සීයේ දැන් වැස්සෙන් නෑවා ....තව ටිකක් ඉඳළ ලිඳෙන් නානවා .....උස්නෙටත් හොඳයිනේ නේද අත්තම්මේ “ ලොක්කි උත්තර බඳිනවා...
“අනේ පණ්ඩිතය...හා හා ...ඔළුව පිහිද ගෙන වෙන ඇඳුමක් දාගන්න කට්ටියම ..මං තේ ටිකක් හදන්නම් ...“ අත්තම්ම රැදෙන්න වඩාත් කැමති කුස්සියේ ඉඳගෙනම කියනවා ..
තේ බීලා පොඩ්ඩෝ දෙන්න බැට් එකකුයි බෝලෙකුයි අරගෙන එළියට ගියා ...මනෝජා කුස්සියට වැදුනා ...මම පොඩ්ඩක් ටීවී එක බලන්න හිතාගෙන හරි බරි ගැහුනා ..මිට අවුරුදු දහයකට ඉස්සර වුනු 9/11 සිද්ධිය ගැන වැඩසටහනක් යනවා CNN එකේ .....
“පුතා , එහෙනම් ටීවී එක බලන්න ..මම පොඩ්ඩක් හන්දියට ගිහින් එන්නං ..හොඳ පොළොස් ගෙඩියක් තියෙනවා ..ඒක කඩවගන්න සරත්ව හොයාගෙන .වැස්ස නැත්නම් මට කඩන්න තිබුණා ..අද නං ඒවැඩේ කරන්න පුළුවන් සරත්ටම විතරයි .....“ ..
මම දැන් නිදහසේ අර වැඩසටහන බලනවා ...ඒ අතරේ මට හිතුනේ අපිට මගදි මුණ ගැහුණු කුමාරිගේ ප්‍රශ්නය ගැන සටනක් ලියන්න ඕන කියලා ..මොකද මේක අද සමාජයේ තිබෙන හැංගුනු ,ඒත් විසඳගන්න පුළුවන් , නමුත් ලැජ්ජාව නිසා එළියට නොහඟවා ඉඳළ පවුල් ජීවිතේ අනතුරට පත් කරගන්නා තත්ත්වයක් , මේ වගේ ගැටළු කිහිපයක් තිබුණත් මෙයින් වඩාත් වැඩි කාන්තාවන් සංඛ්‍යාවක් පීඩා විඳින Dyspareunia හෙවත් දුර්මෛථුනය (හොඳ සිංහල වචනයක් හොයාගත්තා) කියන තත්ත්වය ගැන....
------------------------------------------------------------------------------------------------------------
මොකක්ද මේ Dyspareunia කියන්නේ ..කෙටියෙන්ම කිව්වොත් ලිංගික එක්විමකදි , එම ක්‍රියාවත් එක්ක ඇයට ඇති වන තද වේදනාව ..මෙහෙම සරළව කිව්වට මේක හුඟක් ගැටළු ඇති වන තත්ත්වයක් . කායිකව මෙන්ම මානසිකවත් දැඩිව පීඩාකාරී ස්වභාවයක් ඇති කරවන මේ “වේදනාව“ , කාන්තාවන්ගෙන් 75%ක් තම ජීවිතයේ යම් අවස්ථාවකදි අත්විදිනවා. ‘යම් අවස්ථාවක“ කියල කිව්වේ මේ තත්ත්වය සමහර විට තාවකාළික වෙන්න පුළුවන් , ඒත් සමහර අවස්ථාවලදි එය නිසි ප්‍රතිකාරයක් ගන්නා තුරු දිගු කාළීනව පවතින්නට පුළුවන් , මෙයින් දෙවන අවස්ථාව අතිශ්‍යයින්ම පීඩාකාරීයි . මේ තත්ත්වය විවාහ දිවිය බොහොම අප්‍රසන්න එකක් බවට පත් කරන්න හේතු වෙනවා . ඒ විතරක් නොවෙයි මේ තත්වය නිසාම පවුල් ආරවුල් , එයින් එහාට ගිහින් පවුල් බිඳෙන තත්ත්වය දක්වාම දිග් ගැස්සෙන අවස්ථා අපට දකින්නට ලැබෙනවා.
 |
| මේකට යකා නටන්න පටන් ගන්න එපා |
මේ වගේ තත්ත්ව වලට බටහිර රටවල නම් නිසි ප්‍රතිකාර කරා යොමු වුනත් අපේ රටේ පවතින “අසාමාන්‍ය ලැජ්ජාව “ සහ තම සෞඛ්‍ය පිළිබඳව නොදැනුවත් කම නිසා මේ වගේ තත්ත්වයකට ප්‍රතිකාර ගන්නට පෙළඹෙන අවස්ථා අඩුයි . මේ කාරණේම උපක්‍රමයක් විදියට අරගෙන අපේ රටේ විවිධ හොර වෙදුන් , හොර චිකිත්සකයින් දවස ගානේ බිහි වෙනවා ,පත්තරයක් අරගෙන බලන්න , “ලිංගික රෝග“, “පවුල් ගැටළු“ විසඳන “වෛද්‍යවරු“ , “උපදේශකයෝ “ කියා ගන්න අයත් “යක්ෂ , භූත “ බල වේග මගින් මේ අවස්ථාවන්ට ප්‍රතිකාර දෙන “යක් දෙස්සන්“ කොයි තරම්ද? නමුත් මේ සෞඛ්‍ය ගැටළුවෙන් මිදෙන්න නම් ගැටළුව සහිත කාන්තාවගේ ජෛව විද්‍යාත්මක තත්ත්ව , වෙනත් රෝග තත්ත්ව , ඖෂධ මෙන්ම ඇගේ මානසික තත්ත්වය පිළිබඳවත් දිගු විමර්ශණයක් කරන්නට වෙනවා .බොහෝ අවස්ථාවල පවුල් උපදේශනය Family counselling ලබා දෙන්නටත් වෙනවා , හැකියාවත් තිබේ නම් සුදුසුකම් ලත් Sex educator වරයෙක් මගින් නිසි දැනුවත් වීමක් ලබන්නටත් අවශ්‍යයි. වැදගත් දේ මේ වගේ රෝගයින් නිසි සාර්ථක ප්‍රතිපල ලබන්නට ඇය මෙන්ම ඔහුත් මෙම ප්‍රතිකාර , උපදේශන සියල්ල නිසි පරිදි ලබා ගන්නට කැමති වෙන්නට ඕනැ. අපේ රටේ ලොකුම බාධකය මතුවන්නේ මෙතැනදි.
දැන් අපි ටිකක් බලමු මොකක්ද මේ වේදනාත්මක තත්ත්වයට හේතුව කියල . ඇත්තටම මේක හරිම සංකීර්ණ කතාවක් අපි බලමු පුළුවන් තරම් සරළව මේ ගැන සොයා බලන්න. ඒ අනුව මේ වේදනාව ඇති වන ස්ථානය , සැක කළ හැකි කායික ගැටළු , නැත්නම් හේතුව මානසික බලපෑමක්ද ? ඔය වගේ දේ ගැන අදහසක් ගන්නට පුළුවන්.

එහෙම නම් අපි දැන් පටන් ගන්න හදන්නේ Human Anatomy පාඩමක් ඒ කිව්වේ මානව ජීව විද්‍යාත්මක කරුනු ගැන කතාවක් . මෙහිදි අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්නට වෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන , මේ පද්ධතියේ බාහරින් පටන් ගත්තොත් අපිට එහි ප්‍රධාන විවර දෙකක් හඳුන ගන්නට පුළුවන් , ඒ Urethra නමින් මුත්‍රා විවරයත් Vaginal Opening නමින් යෝනි මාර්ගයේ විවරයත් , මේ අතරින් ලිංගික එක්වීමකට මෙන්ම පැටියෙක් බිහි කිරීමටත් වඩාත් වැදගත් වන්නේ Vaginal opening.ඒ වගේම අපි මේ කතා කරන Despareunia තත්ත්වයට ප්‍රධාන හේතු පවතින්නෙත් මෙම Vaginal opening සහ ඊට ආශ්‍රිතවයි. මෙම විවරය Vestibule නමිනුත් හඳුන්වනවා . මෙම විවර දෙක වට කරමින් පවතින Labia minora සහ labia majora නම් සමේ නැමුම් දෙක ඉහළට ගමන් කර හමුවන සිමාවේ Clitoris නමින් හදුන්වන ස්නායු බහුල පටක කොටස පවතිනවා , ඇයට ලිංගික තෘප්තිය ඇති කිරීමේ දී වැදගත් කාර්යයක් මෙම ව්‍යුහයෙන් සිදු කරනවා.මෙම ලිංගික අවයව එක්වු ප්‍රෙද්ශය පොදුවේ Vulva නමින් හදුන්වන අතර එය සහ ගුද විවරය Anus අතර ප්‍රදේශය නම් කරන්නේ Perineum නමින් .

දැන් අපි Vaginal opening එකෙන් ඇතුලත ව්‍යුහ ගැන කතා කළොත් එයින් ඇතුලත Vagina හෙවත් යෝනි මාර්ගයත් (අපි මීට පෙර ලිපියක කතා කළ
සුන්දරම පිහිනුම් කරඟය පවත්වන ස්ථානය) ඉන් ඇතුලට වන්නට Cervix නම් ගැබ් ගෙල දොරෙන් ඇතුලට වන්නට “
පැටියා වෙනුවෙන් සැදුනු සුමුදු සුවබර මෙට්ට දැමූ ඇඳ “...ගර්භාෂයත් (Uterus ) එහි ඉහළට වන්නට දෙපසට විහිදී ගිය අතුරුපාර වල් දෙකක් Fallopian tube නමිනුත් වනවා , මේ සියල්ල එකිනෙක් සෘජුව සම්බන්ධ වෙලා තිබුණත් අවසානයේ පවතින “ගැහැණුකම“ පවත්වා ගන්න ලොකු මෙහෙයක් කරන Ovaries හෙවත් ඩිම්බකෝෂ වෙනත් පැත්තකින් ගර්භාෂය සමඟ සම්බන්ධ වෙමින් පවතිනවා.
එහෙම නම් අපේ Anatomy පන්තිය ඉවරයි , අපි ආයෙත් අපේ කතාවට එමු .දැන් අපි මේ කතා කරන “වේදනාව“ ඇති වන්නට මේ කියූ යම් ස්ථානයක වෙනසක් , රෝග තත්ත්වයක් හෝ මානසික් හේතුවක් බලපාන්නටත් පුළුවන්. ඒ නිසා අපි දැන් ටිකක් විස්තරාත්මකව මේ වේදනාවට හේතු මොනවාද කියල බලමු.
මේ රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයින් විස්තර කිරීමේ පහසුව සඳහා “වේදනාව සඳහා සාධක“ කිහිපයක් හදුනාගෙන තිබෙනවා . ඒවා මොනවද කිව්වොත් පළමු වැන්න “ලිංගික කාර්යය ආශ්‍රිත ගැටළු - Sexual response problem “ , අනෙක එම පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්ව (නාරි රෝග තත්ත්ව Gynecological problems) ,
දැන් මේ ටික කියවලාම ඇති වෙලාද......එහෙනම් මතක් කරගන්නකෝ හොඳ පොළොස් වෑංජනයකට තුන පහ බැඳෙන සුවඳ ...මේ වෙලාවේ කුස්සිය පැත්තෙන් හොඳ හොඳ සුවඳවල් එනවා ...කිසි කෙනෙක් සාළෙ පේන්නත් නැති නිසා මාත් නිදහසේ මේ අකුරු ටික සටහන් කරනවා , ...එහෙම නම් අපි කතාවේ ඉතිරි ටිකත් කතා කරමුද ?......

මොනවද මේ ලිංගික කාර්යය ආශ්‍රිත ගැටළු කියන්නේ .? ..ඇත්තටම අපිත් සාමාන්‍ය පෙළ පන්ති වලදි science ටීචර් මේ “ලිංගික කාර්යය Intercourse “ කිවු ගමන් සද්ද බද්ද ගොඩයි . මොකද අපි හිත්ගෙන ඉන්නේ බොහොම සරළ , නිකම්ම නිකං Pleasure එකක් ලැබෙන සිදු වීමක් කියලා ...නැහැ වෛද්‍ය විද්‍යාත්මකව ගත්තම සාර්ථක ලිංගික කාර්යයක් Intercourse එකක් ඇති වන්නට නම් දෙදෙනාගේ කායික මෙන්ම මානසික පෙර සූදානමක් ඕන , මේ සඳහා ඒකවිම යුතු ජීව පද්ධති ගණනාවක් තියෙනවා , රුධිර සංසරණය , ස්නායු ආවේග , විවිධ ස්‍රාවීන් නිපදවන ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය මේ හැදේම පාළනය කරන මොළයේ නිසි ක්‍රියාකාරීත්වය , ඔන්න ඔය වගේ සාධක ගණනාවක සරු එක් විමකින් තමයි නිවැරදි සහ සාර්ථක Intercourse එකක් ඇති වන්නේ. ලේසි නැහැනේ ...?
 |
| එන්න එපා....!!!!!! |
මේ කරුණු සියල්ල එක්ව ගත්තම අපි කියනවා Desire and Arousal කියලා , ඒකියන්නේ ලිංගික එක්විමකට ඇති බලවත් කැමැත්ත සහ ඒ වෙනුවෙන් ඇතිවන කායික පිබිදීම . මේ තත්ත්වය එක්වන දෙදෙනාටම යහපත් මට්ටමකින් ඇතිවීම අතශ්‍යවශයි , එසේ නොවීමේ එක් ප්‍රතිපලයක් තමයි Dypareunia තත්ත්වය ඇති විම . තවත් විදියකින් කිව්වොත් කාන්තාව එම ලිංගික එකිවීම සඳහා ප්‍රමාණවත් කැමැත්තක් උපදවා ගන්නට පෙර හෝ අවශ්‍ය ලිංගික පිබිදීම වන්නට පෙර ,නැත්නම් මේ අවස්ථා දෙකම යහපත් මට්ටමකට ඇති වන්නට පෙර එක්වීමක වුනොත් එය අතිශ්‍යය වේදනාකාරී එකක් වෙනවා , හේතුව කාන්තාවගේ ශරීරය මේ වෙනුවෙන් සූදානම් වෙලා , නැතිවිම . විශෞෂයෙන්ම මේ සූදානම් වීමේදි යෝනි මාර්ගය ලිස්සන සුළු , ප්‍රෝටීනමය තරළයකින් තෙත් වීම හරිම වැදගත් , ඒ මගින් පුර්ෂ ලිංගික අවයවය නිසි පරිදි යෝනි මාර්ගය තුල ගමන් කරන්නට හොඳ පරිසරයක් ඇති කරනවා ,මේ ස්වභාවික lubricant එක සාර්ථක එක්විමකට හරිම වැදගත් දෙයක් , විශේෂයෙන් කිවයුත්තක් තිබෙනවා , ඒ මේ සූදානම් වීමේදි , කායික පිබිදිම ඇති වීමේදි කාන්තාව ටිකක් ප්‍රමාදවන සුළුයි , ඒකිව්වේ ඇයගේ මානසික , සහ කායික සූදානම ඇති වීමක , එමගින් Desire and Arousal ඇතිවිමක පිරිමියෙක්ට සාපේක්ෂව වැඩි වෙලාවක් ගත වෙනවා , ඒ වගේම එහිදි Emotional status හෙවත් චිත්තවේගීය සාධක ඉහළ තැනක් ගන්නවා. ඇය
stress සහිත තත්ත්වයක නම්
මානසික අවපිඩනයක depression තත්ත්වයක නම් මේ Desire and Arousal ඇතිවිමට බාධාවක් . ඒ වගේම දෙදෙනාගේ desire සහ arousal යම් තරමක වත් සම මට්ටමක නැත්නම් එයත් අසාර්ථක , බොහෝවිට වේදනාකාරී අවසානයක් දෙන එක්විමක් වේවි.
 |
| හැමදාම මෙහෙමද ? |
මීට අමතරව ඇය ලබා ගන්නා සමහර ඖෂධ වල බලපෑමෙන් “ලිංගික ආශාව“ Sexual desire අඩුවෙනවා , විශේෂයෙන්ම Depression කියන මානසික අවපිඩන තත්ත්වයට දෙන ඖෂධ , අධි රුධිර පිඩනයට දෙන සමහර ඖෂධ වගේම ඉරුවාරදය වගේ තත්ත්ව වලට දෙන ඖෂධ නිසාත් මේ විදියට “කිසිම ආසාවක් “ නැතිවෙන්න පුළුවන් . (මේ කිව්වේ ආගමික පදනමකින් නෙවි . ) ඒ වගේම ගර්භාෂයේ රෝග තත්ත්ව සඳහා දෙන ප්‍රතිකාර සහ උපත්පාලන ඖෂධ මගිනුත් සමහර පිළිකා නාශක ඖෂධ මගිනුත් මේ sexual desire එක අඩු වෙන්න පුළුවන් , යුග දිවියේ දෙදෙනාම මේ තත්ත්වයන් හරි හැටි අවබෝධ කර ගැනීම හරිම වැදගත් .
ඒ විතරක් නොවෙයි දියවැඩියාව , පිළිකා තත්තව , තයිරෝයිඩ් ග්‍රන්ථියේ රෝග Hypothyroidism හෝ හ සන්ධි ආශ්‍රිත රෝග තත්ත්ව Arthritis ඇයට පවතී නම් ලිංගික කාර්යයන් සඳහා ඇයගේ කැමැත්ත වගේම , ඒ සඳහා විය යුතු පිබිදීමත් අඩු වෙන්න පුළුවන් , එවන් අවස්ථාවකදිත් මේ “වේදනාවට“ ලක් වෙන්නට වේවි දෙදෙනා තුල නිසි සහයෝගය නොවුනොත් .
 |
| මට බයයි අනේ.... |
නැවතත් කියන්නට ඕන , මේ වේදනාවෙන් තොර එක්විමකට දෙදෙනා තුලට නිසි කායික සහ මානසික සූදානමක් අතශ්‍යවශ්‍ය බව , මෙහිදි ඔහු යම් ලිංගික දුබලතාවයකින් පෙළෙනවා නම් (Erectile dysfunction ප්‍රමානවත්ම ප්‍රාණවත් නොවීම හෝ Premature ejaculation ) එයත් මේ වේදනාවත්මක ඒක්විමට හේතුවක් වෙනවා.
මෙච්චර වෙලා අපි කතා කළේ මේ “වේදනාව“ ඇති කිරීමට හේතු වන මූලික සාදක දෙකින් එකක් විතරයිනේ , අනෙක් සාධකය ටිකක් සංකීර්නයි , ඒ තමයි Gynecological problems , ඒ කියන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග . මේ අතරේ බොහොම සරළ ප්‍රධාන තත්ත්වයක් තමයි මේ Vulva ප්‍රෙද්ශයේ ඇති වන සමේ ආසාදන Dermatitis ඇය භාවිත කරන සබන් වර්ග , හෝ වෙනත් ආලේපන වර්ගයක් සඳහා එම ප්‍රෙද්ශයේ සම අසාත්මික ලක්ෂණ allergy මතුවීම නිසා , එම ලිංගික ප්‍රෙද්ශයේ සම රතු වීම , කසන සුළු තත්ත්වයක් ඇතිවීම , බිබිළිමය ස්වභවායක් ඇති විම මේ Contact dermatitis තතත්වයේ පොදු ලක්ෂණ , තත්ත්වය එය නම් ඖෂධ වගේම එම අසාත්මික සබන් හෝ ආලේපනයෙන් ඉවත් වීමත් වැදගත් , ඒ වගේම මේ ආශ්‍රිත සමේ ඇති වන තුවාල , හෝ වෙනත් ආසාදනා නිසාත් “එක්වීමේ වේදනාව “ ඇතිවෙන්න පුළුවන් , නමුත් ඉතාමත් සරළ ඖෂධ ප්‍රතිකාරයකින් මෙය සුව කර ගන්නට පුළුවන්.
 |
| බඩේ අමාරුවක් ද ? |
ඒ වගේම තද යට ඇඳුම් ඇඳීම නිසාත් , දහදිය නිසි ලෙස උරා නොගන්නා ඇඳුම් නිසාත් , ඒ වගේම දවසේ වැඩිවෙලාවක් සිටගෙන සිටීමට සිදුවීම නිසාත් මේ අවයව ආශ්‍රිතව වේදනාව ඇති වන්නට පුළුවන් , එයම ලිංගික එක්වීම සඳහා කැමැත්තක් නැතිවීමට හේතුවක් වෙන්න පුළුවන්.
ඒ වගේම අපි Vagina ලෙසින් හදුන්වා දුන් යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වන වේදනාවත් මේ තත්ත්වයන් අතරේ ප්‍රමුඛයි , මේ සඳහා ප්‍රධානතම සාධකය යෝනි මාර්ගයේ තෙතමනය අඩුවීම , ඒ සඳහා හොමෝනමය බලපැමක් (විශේෂයෙන්ම Menopause හෙවත් ආර්තවහරණයට පසුව) වගේම මානසික බලපෑමත් තිබෙනවා . නමුත් මේ තත්ත්වයත් වෛද්‍ය උපදෙස් මත ඊස්ට්‍රජන් හෝමෝනමය ක්‍රීම් වර්ගයක් භාවිත කිරීමෙන් වලක්වා ගන්නට පුළුවන් තත්ත්වයක් , එමෙන්ම ලිංගික එකවීමට පෙර කරන සිප වැළඳගැනීම් , ස්පර්ශ කිරීම් වගේ පෙර ක්‍රියාකාරකම් foreplay කරන කාළ සීමාව දීර්ඝ කරගැනීමෙනුත් මේ වියළියාමේ ගැටළුවෙන් මිදෙන්නට පුළුවන්.
 |
| මෙන්න ආසා දනේ .. |
ඒ වගේම යීස්ට් වගේ සුළඟේ පාවෙන ක්ෂූද්‍ර ජීවින් මගින් පහසුවෙන් ආසාදනය වෙන්න පුළුවන් තැනක් තමයි යෝනි මාර්ගය , ඒ වගේ ක්ෂුද්‍ර ජීවින්ගෙන් ආසාදනය වී ඇති වන Vaginitis කියන තත්ත්වයේදිත් හරිම වේදනාකාරී අත්දැකීමක් ලැබෙන්නේ , මොකද ඒ ප්‍රදේශයේ පටක Candida මගින් හෝ වෙනත් බැක්ටීරියා මගින් ආසාදනය වෙලා , තුවාල වෙලා තිබෙන නිසා. ඉතින් මොකද කරන්නේ , හරිම සරළයි ඔබේ පවුලේ වෛද්‍යවරයා මගින් ලබා ගන්නට පුළුවන් සරළ දිලීර නාශක Anti fungal cream එකකින් හරි ප්‍රතිජීවක ඖෂධ දින කිහිපයක් භාවිත කිරීමෙන් හෝ මේ ආසාදනය සුව කරගන්නට පුළුවන් , ඒත් මේ ප්‍රතිකාරයේදි බොහෝවිට දෙදෙනාටම ප්‍රතිකාර කරන්නට වෙන අවස්ථාත් තිබෙනවා , නැත්නම් මේ ආසාදනයන් දෙදෙනාට මාරුවෙන් මාරුවට ඇති වන තත්ත්වයක් තිබෙනව.

අනෙක් පොදු අවස්ථාව තමයි Vaginism කියන්නේ , මේ අවස්ථාවෙදි වෙන්නේ , මනසිකව ඇති වන කැළඹීඹත් එක්ක Vaginal opening එකේ සිදුර වටා පවතින පේශී තද වෙන එක. එවිට පුරුෂ ලිංගිය අවයවය Penis , යෝනි මාර්ගය තුලට ඇතුළු කිරීමට අපහසුයි , මේ අපහසුවත් එක්ක “බලෙන්“ එය කරන්ට ගියොත් සිදු වන්නේ ඇයට ඉවසිය නොහැකි වේදනාවක් විඳින්නට සිදුවීම , සමහර විට ඉන් එහාට ගිය දරුණු තුවාල , පටක ඉරීම් වගේ තත්ත්වත් ඇති වෙන්න පුළුවන්. මේ නිසා ඊළඟ අවස්ථාවේ දිත් පැරණි සිදු වීම මතක් වීමෙන් “බය නිසා“ නැවතත් Vaginism ඇති වෙනවා. මේ තතත්වයේදී බෙහෙත් දෙනවාට වඩා මානසික වශයෙන් ඇයට උදව් කරන්නට වෙනවා , “මේ එක්වීම “ ගැන ඇති බිය නැති කරන්නට ඔහු සතු වගකීම ඉහළයි , ආදරයෙන් ඒ තත්ත්වය ඇය හදුනාගත් විටක Vaginism තත්ත්වය ඇති නොවේවි , නැතහොත් මානසික වශයෙන් ලිංගික උපදේශනය ලබා දීම , Relaxation therapy වැනි ක්‍රම මෙන්ම , විශේෂීත ශල්‍ය උපක්‍රම මගින් Vaginal opening එක තරමක් විශාල කිරීමක් (එය ශල්‍යකර්මයක් නොවන අතර Viginal dilators නම් උපකරණ භාවිත කරමින් එය සිදු කරයි ) කරන්නටත් සිදු වේවි.
 |
| මල් නටුද ? ...Vaginal dilators |
ඒ වගේම මීට ප්‍රථම සාමාන්‍ය දරු උපතක් සිදු වන අවස්ථාවේ ලබා දුන් Episiotomy කැපුමේ කැළල පවතී නම් එය තෙරපීමෙදිත් මේ වේදනාවන් ඇත වන්නට පුළුවන් .එ වගේම ගර්භාෂය සහ අභ්‍යන්තර අවයව ආශ්‍රිතව ආසාදන , පිළීකාමය හෝ පිළිකාමය නොවන ගෙඩි මෙන්ම බඩවැල් වල ඇති වන ගැටළු නිසාත් මේ Dyspareunia තත්ත්වය ඇති වන්නට පුළුවන්.
එහෙම නම් දැන් පේනව නේද මේ “එක්වීමේ වේදනාවට“ හේතු ගනනාවක් තිබෙන බව , ඒ වගේම ඒ බොහොමයක් සාධක වලට ප්‍රතිකාරත් තිබෙන බව . ඉතින් අපි කළ යුතුතේ කුමක්ද ?
 |
| පෙර සෙල්ලම Foreplay හරි වැදගත් |
මේ වේදනාත්මක අත්දැකීමකට එක්වරක් පත් වුනානම් ඒ ගැන කළබල වෙන්න එපා , නමුත් දිගින් දිගටම මෙවන් තත්ත්ව ඇති වේනම් , පවුලේ බිරිඳත් ස්වාමි පුරුෂයාත් යන දෙදෙනාම මේ තත්ත්වය ගැන කතා කරන්න , දෙදෙනා වෙනුවෙන් කළ යුතු කැප කිරීම් මොනවා දැයි හදුනාගන්න . විශේෂයෙන්ම “එක්වීමේ සතුට විදීමේදි , එය දෙදෙනාටම ලැබිය යුත්තක් , බව සිත් තබා ගන්න . ඒ වෙනුවෙන් ආදර බැඳිම වෙනුවෙන් නිසි ලෙස සූදානම් වන්න , කායිකව මෙන්ම මානසිකවත් අවශ්‍ය උත්තේජනයන් ලබා ගන්න , ලබා දෙන්න , විශේෂයෙන්ම මේ අවස්ථාවේ දෙදෙනාගේ අවශ්‍යතා රිසි නොරිසි ක්‍රියාකාරකම් ගැන සැළකිළිමත් වීම යහපත් Foreplay එකක් සඳහා වැදගත් වනු ඇත.
 |
| එකිනෙකාට වැරදි පවරන්න එපා .. |
මේ උපක්‍රම සියල්ල අසාර්ථක නම් , දිගින් දිගටම මේ “එක්වීමේ වේදනාව “ ඇතිවේනම් ඔබ දෙදෙනාම යන්න පවුලේ දෛව්‍යවරයා මුණ ගැසෙන්නට , තත්ත්වය විස්තර කරන්න , වේදනාව ඇති වන අවස්ථාව , වේදනාවේ ස්වභාවය , පවතින කාළ සීමාව වගේ තොරතුරු නොසඟවා කියන්න , එය ඔහුට වෛද්‍ය නිර්ණයක් ගැනිමට වැදගත් වේවි , දැන් ඔහු සාමාන්‍ය පරීක්ෂයක් කරල , සමහර විට Scanning වගේ විශේෂිත පරීක්ෂණ සඳහාත් යොමු කරන්නට ඉඩ තිබෙනවා. ඒ විතරක් නොවෙයි ඔබ දෙපල මානසිකව සූදානම් කළ යුතු බව හැඟුනොත් ඒ සඳහා යොමු කරාවි , බය වෙන්න එපා මේක “පිස්සුවක්“ නොවෙයි , ඔබට මානසික සූදානමක් කළ යුතු නිසයි මේ Family counselling කටයුත්ත කෙරෙන්නේ , පහසුකම් තිබේනම් සුදුසුකම්ලත් Sex educator වරයෙක් හෝ වරියක් වෙත යොමු කරන්නටත් හැකියි . එමගින් ඔබේ ක්‍රියාකාරකම් වල වැරදි නිවැරදි තැන් හදුනාගන්නට පුළුවන් , නමුත් අපේ රටේ මේ පහසුකම නම් ඉතා සීමිතයි දැනට , ඉදිරියේදි ඒ අවස්ථාවත් රජයේ රෝහල් වලින් පහසුවෙන් ලබා ගන්නට පුළුවන් වේවි කියල හිතෙනවා.

කෙසේ වෙතත් අවසානයේ කියන්නට තිබෙන්නේ මේ වගේ තත්ත්ව නිසා පවුල් බිඳ වැටෙන තරමට අවාසනාවන්ත අවසානයන් කරා යනකම් ඉන්න එපා , දෙදෙනා-දෙදෙනා වෙත ඇත්තටම ආදරය කරමින් සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ උපදේශනයකට ලක් වීම මගින් සාර්ථක යුග දිවියක් වගේම ලස්සන පැටවුන් සපිරි සොඳුරු පවුලක් ගොඩනගා ගන්නට හැකිවෙනවාමයි.
“පුතා දැන්ම කනවාද ?....අපේ වැඩ නම් ඉවරයි ...“ ....හරියටම ලිපිය type කරලා ඉවර වෙත්දිම නැන්දණියගේ හඬ .....
“නෑ අම්ම , අපි නාලම ඇවිත් කන්නම් ...., ලොකූ , පොඩී යමු ලිඳට , අද හොඳට නාගන්න පුළුවන් .....“
වැස්සෙම ලිදෙන් ඇදගෙන හොඳට නෑවා ...සී.තලයි ...අපේ දෙන්නත් හොදට නට නට නෑවා ....
නාගෙන ගෙට ගොඩ වුනා විතරයි , මෙන්න පොළොස් වැංජනයක් , පලාමැල්ලුම් , මාළු මිරිසට හදල බත් පිඟානක් අත ගාවටම ආව ...හ්ම් දැන් ඉතින් මේක අහවර කරන්නත් එපායැ ....
-මේක ලියන්න පටන් ගත්තේ ඊයේ , ඒත publish කළේ අද ....කාළෙ යන හැටි නේද ...මේ කතාව ඇත්ත වුනත් “කුමාරි“ යනු අන්වර්ථ නාමයකි , ?