2011/09/03

53) කළු සුදු ඇති අළු “මිනිස්සු“ හෙවත් Mr.Unknown

අද උදේ සේවා මුරය, වෙනද වගේම රාත්‍රී මුරයෙන් වැඩටික බාර අරගෙන (taking over) ටිකක් වාට්ටුව ඇතුලට ගියා , වෙනද වගේම කාමරයෙන් කාමරේට ගිහින් පොඩ්ඩක් කතා බහ කරල ,එක දාගෙන ගියා , අන්තිම කාමරේ වයසක පහේ “සියා“ කෙනෙක් , මට මතක් වුනා “අර ඊයේ transfer කරා කීව  Mr.unknown තමයි මේ “.


නම වගේම පෙනුමත් ටිකක් වෙනස් , ඇඳේ මුල්ලකට වෙලා , වාඩි වෙලා , කකුල් දෙක අස්සේ මුහුණ ඔබාගෙන ඉන්න මේ කවුද ?.

“කොහොමද ...මොකද මේ තාම නිදිද ?....“ ඒ පුද්ගලයගේ අවධානය ගන්න ඕන නිසා අහන සාම්ප්‍රදායික ප්‍රශ්නයම අදත් ඇහැව්ව . කිසි උත්තරයක් නැහැ . ඒත් ටිකක් තද විදියට මගේ දිහා බැලුව. “තේ ටිකක් එහෙම බිවද ? ..නැත්නං වෙන මොනව හරි ගෙනත් ඕනද කෑමට.? “
“එපා ..යනව යන්න ....“ කෙටි උත්තරයක් හම්බ උනා මට , මට මතක් වුනා මේ රෝගියා ගැන මගේ ඒකකයේ හෙද නිලධාරිනියක් කීදේ , මේ රෝගියා යම් මානසික රෝග තත්ත්වයකින් පෙළෙන බවට සැක කරන බවත් , නම ගම කිසිවක් නොදන්නා නිසා Mr.Unknown ලෙසින් ලියාපදිංචි කර ඇති බවත් කියවුනා. “හා ..එහෙමනං මම යන්නං , කන්න පාන් ටිකකුයි , පරිප්පුයි හොඳයිනේ , මං එවන්නං,“ ,
“පරිප්පු එපා , මට මිරිස් මාළු ටිකක් ලැබුනොත් ඇති “ ...මෙච්චර වෙලා හිස හංගගෙන හිටි , වයස අවුරුදු හැත්තැපහක් විතර වෙන “තාත්තා“ කෙනෙක් ,
“හරි මං එවන්නං කෑම ටික , ඇයි ඉතින් මහෙම ඉන්නේ , ? දැන් ටිකක් මූණ හෝද ගෙන එහෙම ආවානං හොඳයිනේ ..“
“මේ ඔයා ඕන දෙයක් කියන්න ...මට නාන්න නං කියන්නෙපා හොඳද ? “ ටිකක් තරවටු ස්වරූපයකින් කීවා...
“හරී නාන්නම ඕන නැහැ , ගිහින් ටිකක් ඇඟ හෝදගෙන එන්න , මං ඇඳත් අස්කරල දෙන්නං , දන්නවනේ පැපොල හැදිල තියෙන්නේ , ඕක දෙයියන්ගේ ලෙඩක්නේ ...ඉතිං හොඳ වෙන්නනං හොඳට නාලා පිරිසිදු වෙලා ඉන්නම ඕන ....‘“

ඇඳෙන් බැස්ස ..මා දිහා ටිකක් වෙලා බලා ගෙන හිටිය .දැන් නං තිබුණු තරහ අඩුවෙලා වගේ ..“මහත්තය මං මූණ හෝද ගෙන එන්නං , ඊයේ රෑ හිටි කංකානිය මට කැගැහැවුවනේ නාන්න ඕන කියල , “ මට දැන් හිතාගත හැකි මෙච්චර වෙලා තරහ වෙලා හිටියේ ඇයි කියල , ඊයේ රාත්‍රී සේවා මුරයේ කටයුතු කළ අපේ සුළු සේවක මහත්තය උදේ පාන්දරම කියන්න ඇති ගිහින් නාගන්න කියල  ,මොකද මේ ඒකකයේ හැම රෝගියෙක්ටම දිනපතා නෑමට උපදෙස් දෙනවා , ඒ උපදෙස මේ “තාත්තා“ ටිකක් වෙනස් විදියට බාර අරගෙන වගේ , මම ඇඳ අස් පරස් කරල දීල , කාමරෙන් එළියට ආවා ,කණිෂ්ඨ සේවිකා මහත්මියට අවශ්‍ය උපදෙස් දීලා මම අපේ observation point එකට ගියා...

“කැන්ටිමෙන් ගෙන්න ගත්ත පාන් බාගෙකුයි ,මාළු හොදි පැකට් එකකුයි අරගෙන අපේ සේවිකාවක් කාමරේ ඇතුලට යනව දැක්කේ , නිරීක්ෂණ ඒකකයේ observation point ඉන්න අතරේ . අනෙක් රෝගීන්ගේ ඇඳ ඉහපත් වල විස්තර ටික කියවලා , මාත් ගියා Mr.Unknown ගේ කාමරේට ,
“නිශාන්ත මහත්තය කොහොම හරි යාළු කරගත්තනේ අපේ සීයා ...අන්න හොඳට නාල ඇවිත් , මං අපි ගාව තිබුණු සරමකුයි ෂර්ට් එකකුයි දුන්න , ...“ අපේ සේවිකාව එළියට එන ගමං කියනවා.
“ආ ...කොහොමද , කෑම ටික හොඳයිද , මාළු එකනං සැර මදිද මන්ද ...“
“නෑ මහත්තය , රසයි , මං හරි බඩගින්නේ හිටියේ , “ හොදි එකේ පොඟව පොඟවා පාන් කෑලි ගිල දාන හැටි බලාගෙන හිටියම හිතට දුකක් එනවා , මටත් මගේ තාත්ත හිටියනම් මේ වයසේ  විතර...(මීට වසර අවුරුදු දහ අටකට ඉස්සර වෙලා මගේ තාත්තා ගනිත් මේ ලෝකෙන් සමු අරගෙන හිතිං මගේ ඇඟ ඇතුලට ඇතුළු වුනා . අදත් මම හැම වෙලාවකම උත්සාහ කරන්නේ ,“මගේ තාත්ත තරම්ම“ හොඳ වෙන්න , හොඳ තාත්ත කෙනෙක් වෙන්න . මගේ තාත්ත තරම්ම සමාජයට හිතවන්න මිනිහෙක්  වෙන්න ..) ,ඔක්කොම ටික කාළ ඉවර වුනාට පස්සේ මම අරගෙන ආ acyclo පෙති හතර අතට දුන්නු ගමන් කටේ දාගත්තු Mr.Unknown “මහත්තය ඇත්තටම මං දැන් මේ කොහෙද ඉන්නේ ? කොළ ටික  අරගෙන බැංකුවට යන්න ආව මතකයි , ඊට පස්සේ මොක උනාද දන්නෑ නේ “
“ ඒ ටික කියන්න ඉස්සර වෙලා නම මොකක්ද කියල හිටියනං “
“මගේ නම විල්සොන් , වැඩ කළේ ........හොටලේ ...ඔය පොඩි පොඩි වැඩ කළා , මට ඉතිං හොඳට කන්න එහෙම දෙනවා ඒ මහත්තය , එදා මහත්තයගේ කොළ වගයක් බැංකුවට ගිහින් දෙන්න කීව , මං ඒ ටිකත් අරගෙන බයිසිකිලෙන් ආවා ...“ විල්සන් ටිකක් නොසන්සුන් ,
“ඔව් විල්සන් , ඊට  ප්සසේ ...හන්දියෙදි බයිසිකලේ වෑන් එකක හැප්පිලා , විල්සන් ඉස්පිරිතාලෙට ගේන කොට සිහිය තිබිල නෑ .දැනට සති දෙකක් වෙනවා , පහේ වාට්ටුවෙ  හිටියේ , එහෙදි පැපොල හැදිල තමයි ඊයේ අපේ වාට්ටුවට මාරු කරල තියෙන්නේ.“ මගේ කතාව පුදුමයෙන් වගේ අහගෙන ඉන්නවා .
“මං ඔය කිසි දෙයක් දන්නැනේ , හැබැයි එක දොස්තර මහත්තයෙක් ඕක ගැන කිව වගේ මතකයි , ..ඒත් හරියට මතක නැහැ.., මට ඉතිං මහත්තයා මෙහේ නොදන්න තැනක් නෙවිනේ ...කොහොමත් සති දෙක තුනකට සැරයක් බෙහෙත් ගන්වා පොඩි ඔළුවේ අමාරුවකට ....නිදි මරණවනේ මහත්තයෝ අපි ..“
---------------------------------------------------------------------------------------------------------------

මේ කතා බහ මට “සොඳුරු සුව අසපුවට“ තවත් සටහනක දෙන්නට හොඳ පෙළඹුමක් දුන්නා. Mr. Unknown , ටිකක් තරහ යන ගතිය , ඉක්මණින් තීරණේ වෙනස් කරන බව , තමන් ගැන හැඟිමක් නැතිකම .ඔය තත්ත්ව එක්ක මේ “රෝගියා “ ඉන්නේ ඔහු සිටින මානසික රෝගී තත්ත්වය නිසා .ඒත් මානසික රෝගියෙක් ලෙස නම් නොවුනත් මෙවන්  මානසික අසාමාන්‍යතාවයක්  සහිත පුද්ගලයින් , මිනිසුන් අපි අතරේ බොහොමයි , නිසි අයුරින් ප්‍රතිකාර හෝ උපදේශනය මඟින් නියම මිනිසුන් ලෙස සමාජගත හැකි වුනත් මේ ගැටළුව නොහඳුනා ගැනීම නිසා , නැත්නම් පුද්ගලයාගේ තත්ත්වය , තනතුර වැනි සාධක නිසා මේ වෙනස නොහදුනාගැනිම නිසා , සමාජයට යම් බරක් වන විය හැකි මේ තත්ත්වය අපි වෛද්‍ය විද්‍යාවෙදි නම් කරන්නේ Borderline Personalty Disorder කියල . වටෙක කළබලකාරී , ආවේගශීළි , සමහර වෙලාවට හැමෝමත් එක්ක තරහ වෙලා ඉන්න “මහ ගුප්ත චරිතයක් “ ඇති මේ අය . ඒ වගේම තමන්ට යම් “මානසික රෝගයක් ඇතිවීමේ අවදානම ගැන signal එකක් දානව මොවුන් , ඒ නිසා මේ තත්ත්වය ගැන කතා කරන එක , ඔවුන් හඳුනගන්න එක වගේම ඔවුන්ට ඉන් ඉවත්වෙලා සාමාන්‍ය මිනිසුන් විදියට සමාජයට එන්නට ආදරය කරන එකත් හරිම වැදගත් . මේ තත්ත්වය අද සමාජයේ බහුලව දකින්න පුළුවන් ,  ඒත් නිවැරදිව හදුනා නොගන්න , මානසික අනතුරක් , මට නම් හිතෙනවා මේ අනතුර “අදට වඩා හෙට වැඩි වේවිද ? “ කියලත් මොකද මේ අනතුර සඳහා අවශ්‍ය සමාජයීය සහ පාරිසරික සාධක අද බොහොමයි ,

මේ තත්ත්වය සඳහා බලපාන සාධක මොනවද කියල ඇහැව්වොත් උත්තරේ නම් හරිම ලේසියි ,Biopsychosocial factors තමයි ඒ සාධක , මොනවද මේ , මේ රෝගය සඳහා ජීව විද්‍යාත්මක පරිසර , ඒ කිව්වේ ඇඟේ සෛල , පටක , රසායනික වල ඇති වන වෙනස් කම් , මානසික තත්ත්වයේ අඩුපාඩු වගේම සමාජයිය හේතුත් බලපානවා,

කාටවත් එපා....කවුරුවත් එපා...
එය සමාජයිය හේතු ගැන කීවොත් , ඒ පුද්ගලයා දිගින් දිගටම සමාජයෙක් කොන් වීමක් , පිළිනොගන්නා අයෙක් බවට පත්වීමම මෙයට එක් හේතුවක් . සමාජයේ නිසි අනවධානයට ලක්වෙන සමාජය “වැරදිකාරයෙක්“  යැයි හංවඩු ගැසුවෙක් ඉදිරිකාළයේදි මේ තත්ත්වයට පත් වෙන්නට වැඩි අවදානමක් තිබෙනවා.ඒ වගේම ළමා කාළයේදි දෙමාපිය රැකවරණය නොලැබීම වගේම  අවධීයෙදි දුෂණයට ලක්වීම හෝ තද බලපෑම් වලට ලක්වීම මගිනුත් මේ තත්ත්වය ඇති වීමට උල්පන්දම් දෙනවා.ඒ වගේම පාසලේදී “මෝඩයන්“ කියන නමින් හංවඩු ගැහෙන ඉගෙනීමට ටිකක් දුර්වල දරුවන් ඉදිරියෙදි වැඩිහිටියන් වුනාම මේ තත්තවය ගොදුරු වෙන්නට පුළුවන් වැඩිහිටි ඔබ මත් වතුරේ ගිලෙන අයෙක් නම් , හොඳට මතක තියා ගන්න , ඔබ දැනටමත් අනතුරේ .ඇත්තටම කීවොත් මේ හේතු වගේම ලෙඩෙත් ප්‍රහෙලිකාවක් වගේ , ඉදිරියෙදි ඔබට ඒ ගැන වැටහේවි , නැත්නං මේ වගේ ලක්ෂණ තියෙන යාළුවෙක් මතක් කරගන්නකෝ.ඔක්කොටම ඉස්සර  වෙලා තමන් ගැනම හිතා ගන්නකො.

මටමයි කරදර කරන්නේ 
මොවුන් නිතරම හිතන  දෙයක් තමයි අනෙත් කෙනා නැත්නං සමාජය “තමන්ට “ නිතරම කරදර බාධක ඇති කරනවා කියන එක .සිදු වන සුළු දෙයක් මහ ලොකුවට හිතට ගනිමින් “එයා තමන්ට මහ ලොකු කරදරයක් කළ“ බව හිතනවා , ඇත්තටම හිතෙනවා . “මට හැමෝම කරදර කරනවා , වද දෙනවා “ කියල හිතෙන , එහෙම කියන මේ අය ඒ නිසාම නිතර ඉන්නේ හිතේ බය එක්කම කාංසාවකින් Anxiety and fear .

“එහෙම කරදර වෙන බව “ හිතෙන නිසා සමාජයත් එක්ක හොඳින් ගැටෙන්න බයක් ඇති වෙනවා , “කව්රුවත් ආස්සරේ කරන්න හොඳ නැහැ , මොකද එයාල මට කරදර කරනවා “ , ඔය විදියට හිතෙන නිසා මේ අය සමාජයෙන් කොන් වෙලා ඉන්න බලනවා ,තවත් අයෙක් එක්ක හොඳින් සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න අමාරුයි මේ අයට (unstable relationship) ,

I love you බට් I hate you 
ඒ වගේම යාළුවෙක් ඇතිවුනොත් එයා “හරිම හොඳ කෙනා “ යන විශ්වාසයෙන් ඇසුරු කරගෙන යත්දි හිටපු ගමන් “ලෝකෙ ඉන්න නරකම කෙනා එයා“ කියල හිතෙනව මේ අයට , ඉතිං මොකද වෙන්නේ හිතවත්කම් නැති වෙන එක.(ඒකයි අපි කියන්නේ මේ අය අලුපාට මිනිස්සු දකින්නේ නැහැ , දකින්නේ සුදු හෝ කළු මිනිස්සු විතරයි .) ඒ එක්කම අධික තරහක් ඇති වෙන එක , තමන්ට පාලනය කරන්නට බැරි තරමේ අවේගශීලී ගතියක් තමන්ට ආරෝපනය වෙනව වගේ දැනෙන්නේ.මේ අයගේ ඒ අති අවේගකාරීබව , කෑමක් කන්න ගියත් , වාහනයක් පැදෙව්වත් ඒ තියා ලිංගික  එක්විමකදිත් දතින්න පුළුවන්.  තමන්ගේ “පෙම්වතා“ නැත්නම් “පෙම්වතී“ එනව කීව වෙලවට එන්න බැරි උනාම “හේතුවක් අහන් නැතිව  , අගක් මුලක් හොයන්නැතිව කළබල වෙලා , පාලනය කර ගන්න බැරි තරමට තරහ එන අය එහෙම මෙතන ඉන්නවද ..?

මේ අය කතා කරන්න ගියොත් වැඩි පුර කතා කරන්නේ “මට, මම , මගේ , “ ඔන්න ඔය වගේ ආරම්භයන් එක්ක , හැම තිස්සෙම හිතන්නේ තමන්ගේ කැමැත්ත , තමන් අකමැතිදේ ....තමන් ගැන විතරමයි , අනෙක් කෙනා ඒ තත්ත්වය පිළීනොගත්තොත් , ......යුද්දයක් තමයි .හුඟක් වෙලාවට තරහ තමයි යොදාගන්නේ , නැත්නම් “තමන් වැරදි කාරය “ කියමින් විඳවන්නත් උත්සාහ කරවා . මේ අය අනෙක් කෙනා තේරුම් ගන්න උත්සාහ නොකරන තරම් ,

මම කවුද ? 
කොච්චර තමන් ගැන විතරක් හිතනව කියල කිව්වත් ඇත්තමට මේ අය තමන් ගැනවත් අවබෝධයක් නැහැ .සමහර වෙලාවට තමන් අකමැතියි කියනදේ තව වෙලාවකදි කැමතිදේ ලෙසින් හඳුනගන්නවා , හොඳම උදාහරනේ පිරිසක් ඉස්සරහදි කැපුවත් මේපාට ලේ කියල කියමින් දේශපාලනේ ගැන කතා කරන මේ අය ඊට පස්සේදා මට මොන දේශපාලනයක්ද කියමින් කතාවට එක්වේවි , තමන්ගේ කැමති අකමැති කම් , තමන්ගේ හැකියාවන් , නොහැකියාවන් ගැන කෙටියෙන්ම කිව්වොත් තමන්ගැන හරි හැටි අවබෝධයක් මේ අයට නැහැ , සමහර විට ඔබට තෙරේවි මේ අයට “එක වචනයක් නැහැ“ , “කොන්ද කෙළින්නැහැ“ , එහෙම නැත්නම් “කිසිම target එකක් නැති මිනිහෙක් “  කියල , එය මේ තත්ත්වයේ හැටි . ඔබ උදව් කරන්න ,

මේ අයගේ moods හරි ඉක්මණට වෙනස් වනවා , හරිම සතුටින් විනෝදෙන් ඉන්න කෙනා , තව මොහොතකින් ඉතා සුළු දෙයකින් යකෙක් වගේ තරහ අරගන්න පුළුවන් , අපිට සුළු දෙයක් වගේ දැනුනට මේ අය නිතරම stress එකේ ඉන්න නිසා “අපිට සුළු දේ මේ අයට හුඟක් තදින් “ දැනෙනවා.ඒ එක්කම ඔය සුළු දෙයින් සියළුම බලාපොරොත්තු නැති කරගන්න තරම් හිතුවක්කාර ගතියක් දක්වනවා .සමහර විට  සියදිවි නසා ගන්න , නැත්නම් ඒ ගැන තර්ජනය කරන්නට පවා පෙළභෙන මේ අය ,

තමන් ගේ ජීවිතේ “හිස් එකක් “ කියන එක තමයි බොහො වෙලාවට කියන්නේ .ඒ එක්කම හුඟක් වෙලාවට  මේ අයට අමතක වෙනවා වැඩියි .

දැන් නිකං ප්‍රහෙලිකාවක හිර වෙලා වගේ නේද දැනේනේ  ? මේ කියපු සමහර ලක්ෂණ ඔබටත් ඇති , බය වෙන්න එපා , එකක් දෙකක් තිබුණු පමණින්ම ඔබ ප්‍රතිකාර ගන්න යන්න අවශ්‍ය වෙන එකක් නැහැ.ඒත් මේ කියපු ලක්ෂණ පහ හයකට වඩා තිබුණොත් , තිබෙනවා වගේ දැනෙනවනම් උපදෙසක් ගත්තාට කමක් නැහැ. දැන් මහ ලොකු වට කළබල වෙන්න එපා , මේක මහා මානසික රෝගයක් නොවෙයි , නමුත් නිසි හදුනාගැනීමකට ලක් නොවුනොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන් තත්ත්වයක්

ඔබේ උදව්ව ජීවිතයට...
ඒ නිසා ඔබ , ඔබේ මිතුරා මෙවන් තත්ත්වයක නම් උදව් කරන්න ඉන් මිදෙන්නට .මේ ඔබ නම් උත්සාහ කරන්න තමන්ගේ හැඟීම් , ආවේග හඳුනාගන්නට , වඩාත් හොඳයි නිසි උපදේශන සේවාවක උදව් ලබා ගන්න පුළුවන් නම්. ඒ සඳහා ලංකාවේ විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන පිහිටුවා තිබෙනවා. මේ ගැන දැන ගන්න ඔබේ ළඟම රෝහලේ මනෝ වෛද්‍ය සායනයෙන් තොරතුරු දැන ගන්න පුළුවන් වේවි , ඔය පත්තර වල ඉන්න “පත්තරේට සුදුසුකම් ඇති මනෝ උපදේශකයෝ බොහොමයි“ , ඒ අනතුරු වලට අහුවෙන්න එපා , මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් Psychiatrist  , මනෝ විද්‍යාඥයෙක් Psychologist හෝ රජය පිළිගන්න සුදුසුකම් ගත් මනෝ උපදේශකයෙක් Psycho Counselor කෙනෙක් හමුවෙලා ඔබට දැනෙන , හැඟෙන දේ පවසන්න , ඔහු / ඇය ඔබට නිවැරදි මාවතඑ එන්නට උදව්කරාවි . එය අසාර්ථක නම් ඔබට ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නට පුළුවන් ඔබේ රෝහලේ මනෝ වෛද්‍ය සායනයේදී , එය ලැජ්ජාවට කාරණයක් නෙවෙයි , ලැජ්ජාවට පත්වෙන්නේ මේ ගැටළු විසඳා නොගත් විටයි. හොඳින් මතක තබා ගන්න මේ මානසික අසාමාන්‍යතාවය නිසි ප්‍රතිකාර ගත්තොත් “සම්පුරුණයෙන් සුව කළ හැකි“ තත්ත්වයක් බව.

“දැන් ඉතිං සීයා වාට්ටුව දාල යන එකක් නැහැ , හොඳ සැලකිලිනේ ....“ මගේ හෙද මිතුරියක් අපේ කණ්ෂ්ඨ සේවිකාවට විහිළුවක් කරනවා ඇහුන , “ඇත්තමයි මෙන්න විල්සන් මහත්තයට කිරි තේ එකකුයි කෑම මල්ලකුයි අරගෙන ඇය කාමරේට යනව ..මගේ හිතට ලොකු නිදහසක් දැනුන වගේ දැනෙනවා ...“දැන් හැමෝම අපේ unknown විල්සන් මහත්තයට ගොඩාක් ආදරෙයි ...“