| නාන එක හරිම simple නේ .... |
“ආ නිශාන්ත අයිය , අද කළින්ම ඇවිත් ...තාම වැඩ ටික ඉවර නැහැ අනේ ..අර පැටිය නාවන්න ඕනනේ , පොඩි යුද්දයක් වගේ තමයි ....“
දොරෙන් ඔළුව විතරක් එළියට දාපු මගේ සොයුරියක් කියා ගෙන ගියා , “ආ අර I.M. abscess තියෙන කොළු පොඩ්ඩද ....කොහොමත් එයා නාන්න කිව්වොත් බෑම නේ , නේද ?“ අපේ ඒකකයෙ ඉන්න රෝගීන්ට හුඟ දවසකට විශේෂිත ඖෂධ මිශ්‍රිත නැහැවුමක් ලැබෙනවා . ඒක ප්‍රතිකාරයේ කොටසක් , එත් පොඩ්ඩන්ව උදේට නාවන එක නම් හරිම අමාරුයි , ඇත්තනේ සීතලත් එක්ක නාන්න පුළුවන්ද ?
..මටත් දැන්ම වැඩ බාර ගන්න බැහැනේ , තව ටිකක් වෙලා යාවි වැඩ කටයුතු ඉවර කරල report එහෙම ලියල ඉවර වෙනකොට ..මාත් පුටුවකට බර දීලා B.H.T ටික කියවන්න පටන් ගත්ත ,
![]() |
| මෙන්න රිපෝට් එක .මෙහි R කියන්නේ Resistant |
හෙද සටහන් වලත් ලොකු වෙනසක් නැහැ ..ටිකෙන් ටික මගේ ඇහැ යොමු වුනේ පරීක්ෂණ වාර්තා කොටසට ...අළුත් A.B.S.T රිපෝට් එකක් !, ඊයේ රෑ නිකුත් කළ එකක් Wound swab culture and A.B.S.T , අපේ ඒකකයේ හැටියට හුඟක් වටින වාර්තාවක් (මේ පරීක්ෂණ වාර්තාව මගින් පෙන්වන්නේ රෝගියෙක්ගෙන් ලබා ගත් ලේ හරි සැරව හරි සාම්පලයක ඉන්න බැක්ටීරියාවන් විද්‍යාගාරයේ වර්ධනය කරල , ඒ බැක්ටිරියාව කවුද කියන එකයි , ඒ බැක්ටීරියාවට පහර දෙන්න පුළුවන් හොඳම Antibiotic මොනවද කියන එකයි AntiBiotic Sensitivity Test .) .
.“හපොයි ...“ මට මේ සටහන දැක්ක ගමන් මගේ ඇස් උඩ ගියා ...මට හිතා ගන්න බැරි උනා ..මෙන්න රිපෝට් එකේ , ඔක්කෝම High antibiotic වලට Resistant , ඒ කියන්නේ මේ රෝගියාගේ තුවාලේ සැරව වල ඉන්න බැක්ටිරියාවන් සම්බන්ධයෙන් කළ මෙම පරීක්ෂණයෙන් හදුනාගෙන තියෙන්නේ දැනට තිබෙන සියළුම ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ වලට මෙම බැක්ටීරියාවන් ප්‍රතිරෝධී බව , ඒ කියන්නේ දැනට අපේ රටේ තිබෙන ඉහළම Antibiotics වලට වත් මේ බැක්ටීරියාවන් මරන්නට බැහැ. ඒකේ අනතුර හිතාගන්න පුළුවන්ද ? දැන් ඉතින් අපේ ‘පුබුදු“ ට මොනවා කරන්නද ? මීට වඩා ප්‍රබල Antibiotics වර්ග අපේ රටේ ඇත්තෙත් නැහැ , විදේශියව තිබුණත් ඉතා සුළු වර්ග කිහිපයක් පමණයි , තිබුණත් එය අපේ රටට දරන්න බැරි තරම් පිරිවැයක් දරන්නට වේවි.
| මෙන්න A.B.S.T එකක් වන හැටි |
“ඒක නෙවි නිශාන්ත අයියේ , පුබුදු Cefoperozone වලටත් Resistant වෙලානේ .! “ පුබුදුගේ රිපෝට් එක ගැන කල්පනා කරමින් හිටි මාව තිගැස්සුනා ..“ හ්ම් ඒක තමයි මාත් මේ බැළුවේ , අද අපි කතා කරල බලමු Doctor එක්ක , කොහොම වුනත් අපි මෙයාගේ වැඩ කරත්දි වෙනදට වැඩිය ටිකක් පරිස්සමෙන් වැඩ කළොත් හොඳයි වගේ Gloves ,Apron අනිවාර්යයි , මොකද අපිට මේ බැක්ටීරියා එක ආවොත් ඉතින් , ඉවරයි වගේ ...“
“ඒක නෙවි , අයියා ...අද උදේ ඉන්නවනේ , මම Short leave එකක් ගත්තට කමක් නැද්ද ? කොන්ද කකියනවා හරිම අමාරුයි ...කමක් නෑනේ .....“ රාත්‍රී සේවය නිමා කළ අපේ සොයුරු හෙදියක් විමසුව ..
| කෙටි සහනය .. |
“මොන M.M. ? , “
“Multiple myeloma ද දන්නැහැ නේ ....“
“අනේ යන්න අයිය..මොකෝ අපි එච්චර නාකිද ...? “ පොඩි තරහක් පෙන්න ගෙන ඇය ඔවුන්ගේ විවේක කාමරයට ගියා ...අපි දවසේ වැඩ පටන් ගත්ත ...
උදේ නමය විතර වෙත්දි අපේ වෛද්‍ය නිලධාරිවරිය ඒකකයට ආව ..ලොකු සාකච්ඡාවක් ඇතිවුනා පුබුදුගේ තත්ත්වේ ගැන , අපේ ක්ෂූද්‍රජීවි විශේෂඥ වෛද්‍යනිලධාරිතුමියත් දුරකතනයෙන් එක්වුනා කතාවට...අවසානයේ දැනට භාවිත කෙරෙන අති ප්‍රබල ප්‍රතිජීවක වර්ගය තව දුරටත් Continue කරමු කියන තීරණයට ආවා ..........අපි බලමු මොකක් වේවිද කියල ? මොකද දැන් හරියටම කියන්න අමාරුයි මේ බෙහෙත් මගින් ලෙඩේ හොඳ වේවි කියල , නමුත් .....ටිකක් අනියමාර්තයක් සහිත තීරණයක් එක්ක වැඩ කටයුතු කර ගෙන ගියා,
හවස ගෙදර ඇවිත් ලියන්න යමක් කල්පනා කරත්දි , අද හොඳ මාතෘකා දෙකක් ලැබුණත් Multi Drug Resistance කියන තත්ත්වය ගැන මීට පෙර ලියල තිබෙන නිසා ආයෙත් ඒ ගැන නොලියන්නට හිතුව (මේ අනතුර ගැන ලියූ ලිපි දෙක මෙතැනින් කියවන්න - පළමු ලිපිය , දෙවැන්න ) , ඒ නිසා අනෙක් මාතෘකාව වන M.M. ගැන ලියන එක හොඳයි කියල හිතෙනව , මොකද පිළිකා අතරේ මෙයත් ඉහළ මට්ටමක ඉන්න එක් කෙනෙක් නිසා .අනෙක අද මේ M.M. වැඩි වන තත්ත්වයක් හඳුනාගෙන තිබෙන නිසාත් .
| පරිස්සම් වෙන්නම ඕන වයස |
හරි දැන් අපි අපේ කතාවට එමු , කොහොම උනත් මේ ලෙඩේ ගැන කතා කරත්දි එයාගේ උපන්ගේ ඉදළම විස්තර හොයන්න වෙනවා , M.M.ගේ උපන් ගේ තමයි අපේ අස්ථි , නැත්නම් ඇට Bones , අපිට මේ අස්ථි වල වැදගත් කම නිකම්ම හැඩේ තියාගන්න විතරක් නෙවි , මේ අස්ථි මගින් තමයි අපිට අවශ්‍ය ලේ , ඇත්තම කිව්වොත් ලේ වල තියෙන රුධීර සෛල (Blood cells) බොහොමයක් හදල දෙන්නේ , අනෙක අපේ ඇඟට අතවශ්‍ය කැල්සියම් කියල මූල ද්‍රව්‍යය ගබඩා කරල , ඕන වෙලාවට ගන්න පුළුවන් විදියට පරිස්සම් කරල තියාගන්නෙත් මේ ඇට ඇතුළේ .
ඔය අස්ථික වටේට තද කොටසක් තිබුණත් ඇතුලට වෙන්න බොහොම මෘදු ප්‍රෙද්ශයක් තියෙන්නේ , අපි ඒකට කියන්නේ ඇට මිදුළු කියලා Bone marrow , ඔන්න ඔය ඇට මිදුළු වල තමයි අපි මුලින් කී Blood cells හැදෙන්නේ .ඔබ දන්නව රතු රුධිරාණූ Red Blood cells , සුදු රුධිරාණූ White blood cells සහ පට්ටිකා Platelet නමින් ප්‍රධාන කොටස් තුනක් අපේ රුධිරයේ හදුනගන්න පුළුවන් , ඒ වායෙන් වෙන වැඩ කිව්වොත් “රතු“ තමයි අපේ ඇඟ ඇතුලේ ඔක්සිජන් ගෙනියන්න උදව් වෙන්නේ , අපේ ඇඟ හොඳට ප්‍රණවත්ව තියා ගන්න මෙයා හුඟක් වැදගත්
, “සුදූ“ ගැන දන්නවනේ , එයා හරි සැරයි , එයාගේ මූලිකව කටයුත්ත තමයි අපේ ඇඟට ඇතුළු වන විෂබීම හරි නරක දේවල් හරි මරල විනාශ කරල අපිව ආරක්ෂා කර ගන්න එක , “චුටි පට්ටිකා“ නිසා තමයි අපේ ඇඟේ ලේ හෙල්ලුනාම , ටික වෙලාවකින් ලේ ගලන එක නරත වෙන්නේ ,
| මෙන්න myeloma සෛල |
Multiple Myeloma හැදුනම මොකද වෙන්නේ , දැන් වෙන්නේ අර අපිට උදව් කළ Plasma cells වෙනස් වෙලා (පිස්සු හැදෙනවා වගේ තමයි ) ඒවා පිළිකාමය Myeloma cells බවට පත් වෙනවා. දැන් වෙන දේ හිතා ගන්න පුළුවන්ද ?
මුලින්ම වෙන්නේ අපිට උදව් කළහොඳ Plasma cells දැන් නැති නිසා අපේ ආරක්ෂාව අඩු වෙන එක , ප්‍රතිපලය අපිට වෙන වෙන ලෙඩ රෝග , උණ වගේ තත්ත්ව ඇති වෙන්න පටන් ගන්න එක , අනෙක අර පිස්සු පිළිකාමය Myeloma cells දැන් ඉතිං පිස්සු නටන්න පටන් ගන්නවා , ඒ කියන්නේ එයාල කිසිම පිළිවෙලක් , රටාවක් නැතිව වේගෙන් පැටවු දාන්න පටන් ගන්නවා , දාන පැටවුනුත් Myeloma cells (ඉතිං පිස්සු වැඩි වෙනවානේ ) , අනෙක මේ විකෘති වෙච්ච පිළිකාමය Myeloma cells කිසි වැඩකට නැති Antigen උණ්ඩ සීඝ්‍රව හදන්න පටන් ගන්නවා , හැබැයි මේවායින් අපේ ඇඟට කිසිම පලයක් නැහැ.
දැන් ඉතිං මේ ඔක්කොම පිස්සු නටන්නේ කොහේ ඉඳගෙනද ? ....මතකද මේ ඕකකොම ඉන්නේ Bone marrow කියන අස්ථිය ඇතුලේ පොඩි ඉඩක . මේ වගේ තැනක Myeloma සෛල පිළිකාමය පිස්සුව නටන්නට පටන් ගත්තාම වෙන්නේ , එතන හිටපු හොඳ සෛල වලට කන්න බොන්න තියෙන දේවල් පවා මේ විකෘති සෛල විසින් උදුර ගන්න එක ,අනෙක මෙයාල කිසිම පිළීවෙලක් නැතිව පැටවු දාන නිසා , පිළිකා සෛල වැඩි වෙමින් පිරෙන්න පටන් ගන්නව අර අස්ථි කුහරය ඇතුළෙ , ප්‍රථිපලේ අපිට උදව් කරන Red Blood cells ,පට්ටිකා වගේ අයට කන්න බොන්න , ඉන්න හිටින්න නැතිව යනවා . ඔන්න ලෙඩාගේ හොඳ රතු රුධිරාණු , පට්ටිකා ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා ,
| තරු (මරු) පේන කැක්කුම |
මොනවද මේ පිළිකාව ඇති වෙන්න පුළුවන් හේතු ? කියල මගෙන් ඇහුව්වත් , මේ ලෙඩේ ගැන පර්යේෂණ කරන විද්‍යාඥයින්ගෙන් ඇහුව්වත් උත්තරේ “හරියටම දන්නේ නැහැ “ කියන එක , ඒත් වියපත් වීමත් එක්ක මේ රෝගය ඇති වීමේ අවදානම වැඩියි , දැනට හදුනාගනෙ තිබෙන විදියට රෝගීන්ගෙන් වැඩිම ප්‍රමාණයක් අවරුදු 45ත් 70ත් අතරේ , එයිනුත් වැඩිම පිරිස පිරිමි අය .ඒ වගේම ජානමය වශයෙන් ගමන් කිරීමේ අවදානමකුත් නැතුවා නොවේ , කොහොම වුනත් මෙන්න මේ ක්ෂේත්‍ර වල , නැත්නම් පරිසර වල ඉන්න ඔබ ටිකක් සැළකිලිමත් වුනොත් හොඳයි , ඒ තමයි කෘෂි රසායන හෝ තීන්ත කර්මාන්ත වැනි නිතර රසායනික ද්‍රව්‍ය සමඟ ගැටෙන්න වෙන අය තමන්ගේ ආරක්ෂාව ගැන වෙනදට වඩා හිතන එක හොඳවේවි , අදාල ආරක්ෂක උපක්‍රම ගැනීම හරිම වැදගත් , ඒ එක්කම පෙට්ට්‍රෝලියම් ආශ්‍රිත රැකියා කරන්නනුත් නිසි ආරක්ෂක උපක්‍රම භාවිත නොකළොත් අවදානමේ . ඒ වගේම Asbestos කෙදිති නිසාත් මේ රෝගය ඇති වෙන්න පුළුවන් බව කියවෙනවා.
| Blood tests කරාවි |
අන්තිමට අනතුරේ ස්වභාවය කියන්නම් , නිසි කළට හඳුනගෙන ප්‍රතිකාර නොගත්තොත් , අපි මුලින් කී තත්තවයන් උග්‍ර අතට හැරේවි , අස්ථි බිඳිමි වගේම අංශභාගය , වකුගඩු අප්‍රාණික වීම් වගේ තත්ත්වත් ඇති වේවි. කෙටියෙන්ම කිව්වොත් අවාසනාවන්න නිමාවක කතාවක් වෙන්නත් පුළුවන් එය .
මේ කතා බහ අකුරු කරත්දි මගේ හිත මීට වසර හයකට විතර ඉස්සර කාළෙකට දිව යනවා . මගේ වෘත්තීය ජීවිතේ වඩාත්ම සතුටින් සේවය කළ පිළිකා ඒකකයේදි මෙවන් M.M. රෝගීන් කීදෙනෙක් හමු වුනාද , මිතුරු වුනාද ? ඒත් අද ඔවුන් .........................................????????????????
*** මෙම සොඳුරු සුව අසපුව මගින් මා බලාපොරොත්තු වන්නේ අපි වටා පවතින සෞඛ්‍යමය අනතුරු හෝ රෝග තත්ත්ව ගැන යම් දැනුමක් ඔබ වෙත ලබා දීමයි. එමෙන්ම මෙබදු මාතෘකාවන් වෛද්‍ය විද්‍යාත්මක දැනුම හිඟ සාමාන්‍ය ප්‍රජාව තුලට ගෙන යාමේදි විවිධ ප්‍රායෝගික ගැටළු , විශේෂයෙන් භාෂාත්මක , ව්‍යවහාරික පද හිඟකම වැනි ගැටළු මතුවේ , ඒ ගැටළු මග හරිමින් යම් තරමක හෝ දැනුමක් දෙන්නට තනන මගේ උත්සාහය කෙතරම් සාර්ථක දැයි හඳුනාගත හැක්කේ ඔබේ ප්‍රතිචාරයන්ගෙනි . ඒ බැවින් මෙම ලිපි පිළිබඳව ඔබේ අදහස් දැන ගන්නට කැමැත්තෙමි , විශේෂයෙන් තව දුරටත් නිවැරදි , වෙනස් විය යුතු රටාවන් හෝ ශෛලීන්වේ යැයි ඔබ හදුනාගන්නේ නම් ඒ පිළිබඳව මා දැනුවත් කරනු ඇතැයි අපේක්ෂා කරමි .

