2011/08/31

52) පණ දෙන ගැහිල්ලක් ...



අද රාමසාන් දවස , රජයේ නිවාඩු වුනත් අපිට ඉතිං නිවාඩු නැහැනේ , අද night shift , ටිකක් විවේක පාඩුවේ ඉන්න පුළුවන් , ගේ දොර එහෙම අස්පරස් කරල, අපේ පොත් ගුල  පිළිවෙළක් කරන අතරේ මගේ බිරිඳ උදෙන්ම කුස්සියේ වැඩ පටන් අරන් , ...“උදෙන්ම උයල අස් කර ගත්තම නිදහසේ ඉන්න පුළුවන් “ එයා හැමදාම කියන බණ අදත් කීව.  අපි තුන්දෙනාගේ ගේ අස්කරන වැඩේ නං ඉක්මණටම ඉවරයි , “අම්මගේ වැඩ නං ඉවර නැහැනේ , අපි නං ඉවරයි ...“ පොඩ්ඩිගේ තරඟ ප්‍රතිපලය නිකුත් කළා. ඒ අතරේ ලොකූ එළියේ පුටුවක් හෙම තියාගෙන “ජයසේන ජයකොඩි මහත්තයගේ උපේකා “ රස විඳින්න පටන් අරගෙන .



“ ට්‍රීං ට්‍රීං....“ 
“හලෝ ....“
“මේ දිනිතිලගේ තාත්තනේද ? අද අපේ ගෙදර එන්න දවල් කෑමට ...සෆ්රාන්  බලාගෙන ඉන්නව ඔයාල එනකං ...., එනවනේ ....?,“ ....හිතන්නවත් වෙලාවක් නැහැ ...අපේ පැටවුන්ගේ තවත් හොඳ යාළුවෙක්ගේ ගෙදරින් ...


“හරි අපි දවල් වෙලා එන්නම්කෝ ., පොඩ්ඩො ඉන්නවනේ ගෙදර ..?.......“.....මං උත්තර දුන්නා ....
ඇත්තනේ අද එයාලගේ අවුරුදු ...“ තාත්තේ සෆ්රාන් ගේ තාත්තනේද කතා කළේ ....“ ලොකූට හොඳ ඉවක් තියෙනව වගේ ...


අපි දවල් එකට විතර සෆරාන්ලගෙ ගෙදර ගියා ..පෙර පාසල් කාළෙ අපේ ලොකූගේ පන්තියෙම හිටපු දඟ කොළු පැටියෙකුයි , අපේ චූටි නංගි එක්ක එකම පෙර පාසලේ හිටපු හුරතල් කෙළි පොඩිත්තියෙකුයි එක්ක , ඒ අම්මයි තාත්තයි අපි එනකම් මග බලාන හිටිය ..


සතුට ආදරය ...
මමත් මගේ මිතුරත් කතා බහක ඉන්න අතරේ අපේ කට්ටියම හොඳට නටනවා , දුවනවා , ගස් නගිනවා , එයාලටනං හොදටම සතුටුයි ...ටික වෙලාවක සතුටු සාමීචියට පස්සේ දවල් කෑමට අපිට ආරාධනා කළා. ආරාධනා කරන්න තරම් දෙයක් නැහැ , අපේ කට්ටිය අදනං හරි කැමැත්තෙන් කෑම මේසේ ...මොකද යාළුවෝ ටික ඔක්කොම එකතු වෙලානේ . අනික අපේ දෙන්නට නම් මේ ගෙදර හුරුයි , මොකද අපි හැම නිවාඩු කාළෙකටම වගේ එනවා , අනික එයාලගේ fasting කාළෙට හවස් වෙලා මේ පැත්තේ එනවා අර රස කැඳ එක බොන්න ...ඒ නිසාද මන්ද වෙනද කෑම බෙදල කවන්නත් වෙන අය අද තනියම කෑම බෙදාගෙන කන්නත් පටන් අරගෙන ...කනවට වැඩිය හිනාව ..ආ..කට්ටිය අතරේ තරඟයක් ....
“ලොකූ !....කෑම කකා දඟලන්නේ නෑ , හිර වෙන්න පුළුවන් , කාළ ඉවර වෙලා කට්ටියම එළියට ගිහින් ඕන තරං දඟලන්න “ ටිකක් තරවටු ආකාරයෙන් කියන්නට වුනේ වැඩේ ටිකක් දුර දිග යන තරමටම දැඟලිල්ල වැඩි වුන නිසා ... ඒගැන කියත්දිම මට මතක් වුනේ මීට වසර හයකට විතර ඉස්සර වෙලා වෙන්නට ගිය ලොකු අනතුරක් ..
------------------------------------------------------------------------------------------------
සෙල්ලම ....
එදා සතියේ සෙනසුරාදාවක්  , ඒ වෙනකොට ලොකූ  පෙර පාසල් යන වයස , නංගිට මාස නමයක් විතර ...බිරිඳ වැඩට ගිය වෙලාවට පැටවු බලා ගන්නේ මම ...(අපේ දරුවන් දෙන්නම කාටවත් කරදර නොකර අපි දෙන්නම තමයි බලා ගත්තතේ , ඒක මටනං හරිම සතුටක් , පුංචිම පුංචි හා පැටියෙක් වගේ අල්ලන්නත් බය හිතෙන තරම් පුංචි කාළෙ ඉඳළ අද වෙනකං අතපත ගාල ..මේ වෙනකං මේ පැටවු දෙන්න ලොකු කරගත්  හැටි , වෙච්ච කරදර , මතක් වෙන කොට අදනං හිතට දැනෙන්නේ හරිම සුවයක් ....) , ඔය දවසේ ගේ අස්කරල , සාළෙ පැදුරක් දාල දෙන්නම එතන තියාගෙන සෙල්ලම් කර කර හිටියේ ...පොඩීට මාස නමයයිනේ , ටිකක් දඟ කරනවා ...අක්ක තමයි ලොක්ක...එයා clay වලින් මොනවදෝ හදනවා ...ටික සෙල්ලං කළාට පස්සේ මම ගියා කුස්සියට කෙසෙල් ගෙඩියක් ගේන්න , මොකද මේ වගේ වෙලාවට කවා ගන්න හරිම ලේසියි ...තත්ත්පර තිහක් විතර යන්න ඇති ..
“තාත්තී ..නංගී ......“ ලොකූ මර ලතෝනියක් දුන්නා ...කෙසෙල් ගැනිල්ල පැත්තක දාල දිව්ව සාලෙට ...යනකොට මම ජීවිතේ නරකම දර්ශනය දකිනව ..මගේ පැටියට පැදුරෙ දඟලනව හුස්ම ගන්න බැරිව , ඇඟ අඳුරු වෙලා ...මං ආස නෑ ඒ දර්ශනය ආයෙ මතක් කරන්න.


තීරණයක් ගන්න ඕන ..“මොකක්ද ලොකූ උනේ ?“ ..
“දන්නෑ මං ක්ලේ කැඩුව එයා මොකක් හරි කටේ දාගත්ත වගේ ...“ ලොකූ අඩනවා...
තවත් හිතන්න දෙයක් නැහැ , යම් දෙයක් හිර වෙලා ...කරන්න තියෙන්නේ මොකක්ද කියල හිතා ගන්නත් බැහැ වගේ , පැටියගේ ඇඟ තවත් අඳුරු වෙලා ...හුස්ම ගන්නම බැහැ වගේ ...නැහැ ...කිසිම දෙයක් නැහැ ....ඔක්කොම ඉවරයි ...මගේ ජිවිතේ.........
මම ක්‍රියාත්මක උනා ...කළ යුතු දේ ...ඉගෙන ගන්න දවසේ විහිළුවක් විදියට කළ abdominal thrush ඇත්තටම කළා ...පාඩමේ විදියටම කළාද කියල මට මතක නැහැ ...හැබැයි මම එය කළා ..වාර පහ, හයක් පැටියගේ උදරය තෙරපත්දි පොඩ්ඩිගේ කටින් යමක් එළියට ආවා ..ලේ ටිකකුත් එක්ක. ඒත් ....තමත් යමක් කරන්නට වෙනව .මට මගේ ජීවිතේ ගත්ත ලොකුම හුස්ම , මගේ පැටියට ඇතුළු කළා...වාර දෙකක් තුනක් විතර ...කැස්ස ...මෙන්න මගේ පැටික්කි අඬනව ...මට දැනුන සතුට මේ යුතුරු පුවරුවෙන් අකුරු කරන්නට බැහැ .,..


දැන් හරි ..ලොකූ නගින්න බයික් එකට ..පොඩ්ඩිත් තියාගෙන මම රෝහලට ආවේ කොහොමද කියල මට හරියට මතක නැහැ . ඒ වෙලාවේ බිරිඳ සේවයේ ...හදිසි ප්‍රතිකාර ඒකකයට පැටිය දානගමන්ම මම බිරිඳට පණිවිඩේ දුන්නා...ඇය අඬාගෙන එතනට එනකොට ලොක්කි නංගිව අල්ලගෙන අඬනව ...වෛද්‍යවරයෙක්ට පෙන්නල , ටික වෙලාවක් ඔක්සිජන් දීලා ..නිරීක්ෂණය යටත් තියාගෙන ඉඳළ ගෙදර ආව අපි ඔක්කොම ...පැටියට කිසිම කරදරයක් නැහැ..


ගෙදර ඇවිත් බලන කොට , ක්ලේ පැකට් එක ඇතුළේ තිබුණු හැඩතල හදන පොඩි ප්ලාස්ටික් තහඩුවක් තමයි පොඩ්ඩි ගිලලා තියෙන්නේ . ‘තාත්ති මං දැක්ක ඒ කෑල්ල ඊයේ ඒක නැති වෙලානේ තිබුනේ , , ලොක්කි විස්තර කරනවා , වෙලා තියෙන්නේ ඊයේ දවසේ නැතිවුනා කිව්ව ඒ ප්ලාස්ටික් කෑල්ල පැදුරේ ඇමිනිලා තිබිලා , මොකද පැදුරත් රතු පාටයි , කාගෙවත් ඇහැට ඒක නො අහු වුනාට , පොඩ්ඩිට ඒක අහුවුනා , දාගත්ත කටේ ..හිරවුනා ..එතනින් එහාට වූ දේ තමයි ඔය .


අද ටිකක් මගේ කතාව දිග වැඩි වුනා ඒත් මේ කතාව කියවන ඔබ ඒ සිදුවීමෙන් යම් දෙයක් ගනීවි කියල හිතෙන නිසා එය නාස්තියක් නොවේවි කියල මට හිතුන . කොහොම වුනත් අද මගේ මාතෘකාව abdominal thrush කියන ජීවිතය බේරා ගැනීමට දායක වන ක්‍රියාව ගැන ..


මෙන්න බැළුම් මාමා...
අපි දැන් පොඩ්ඩක් අපේ ශ්වසන පස්ධතිය ගැන කතා කරමු , එය හැදිල තියෙන්නේ නාසයෙන් පටන් ගන්නා බටයකින් Trachea , එය ටිකක් පහලට ගියාම බට දෙකක් bronchus  බවට බෙදිලා අවසානේ ඒ බට කෙළවරේ බැළුමක් lung හයි කරල තියෙනවා ' ඔය බට පාර දිගේ එන වාතය බැළුමේ පිරුනට පස්සේ තමයි අපේ ලේවලට අවශ්‍ය ඔක්සිජන් ඉල්ලගෙන , ලේ එක්ක එන වැඩකට නැති කාබන් ඩයොක්සයිඩ් වගේ වායූන් ටික බැළුමට දෙන හුවමාරුව වෙන්නේ , ජීවිතය හොඳින් පවත්ව ගන්න ,අපේ ඇඟේ සෛල හොඳින් වැඩ කරන්න නම් මේ සුහද හුවමාරුව නිවැරදිව වෙන්න ඕන . 


යම් හේතුවක් නිසා බටේ ඇතුලට වාතය එන එක නැවතුනොත් මොකද වෙන්නේ , දැන් බැළුමට හොඳ වාතය ඇවිත් ඇතුළු වෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිපලේ අර මුලින් කී සුහද වායු හුවමාරුව අඩාල වෙනවා.දැන් අපේ ලේ ඇතුලේ අර “දැං වැඩකට නැති කාබන් ඩයොක්සයිඩ් වගේ  “ නරක වායු වර්ග එකතු වෙනවා . හොඳ වාතය එන්නෙත් නැහැ , නරක ඒව එකතු වෙනවා , ඔහොම වුනාම අපේ ඇඟේ සෛල ක්‍රියාත්මක විම අඩාල වෙනවා ,අවසානය මොකක්ද ජීවිතයම අවසාන වෙන එක...


දැන් බලමු බටේ ඇතුලට වාතය එන එක නවත්වන හේතු මොනවද කියලා , සරළම දේ ශ්වසන මාර්ගයේ යමක් හිර වීම choking (අපි විද්‍යාත්මකව හඳුවන්නේ airway obstruction කියලා) , කෙසෙල් ගෙඩියක් , කාසියක් , සෙල්ලං බඩුවක් කෑල්ලක් විතරක් නොවෙයි පහුගිය කාලෙ අපේ රෝහලට ආවා වද මල් පෙත්තක් ශ්වසන මාර්ගයේ හිර වුන දරුවෙක් ...ඒත් ඒ බොහොම දරුවන් රෝහලට ගේනකොට කරන්නට දෙයක් නැහැ .මට මතක විදියට අර මල් පෙත්ත හිර වුනු දරුවනම් දින කිහිපයක් කෘතිම ශවසන යන්ත්‍රයකට සවිකරල තිබුණා ,  ඒත් ඒ වෙනකොට දරුවගේ මොළය මියගිහින් , දින කිහිපයකට පස්සේ ඒ පැටියත් අපෙන් සමුගත්ත.ඔන්න ඔය විදියට ශ්වසන මාර්ගයේ යමක් හිර වුනොත් ජීවිතේ බේර ගන්න , ජිවිතේ බේරන්න කළ යුතු දෙයක් තියෙනවා එය තමයි abdominal thrush කියල නම් කරන්නේ .


දැන් අපි කතා කරමු මේ කාර්යය කරන්නේ කොහොමද කියලා , මේක කියවලා විතරක් මදි , කියවල , මේ රූප බලල , ඊට පස්සේ කොට්ටයක් හරි භාවිත කරමින් ක්‍රියාත්මක කර පොඩි හුරුවක් ගන්න ඕන , මොකද අර වගේ හදිසි අවස්ථාවක හිත හිත ඉන්න බැහැ , මතක් වෙන්නෙත් නැහැ වගේ
, ඇඟේ තියෙන තරමට හුරුවුනු දේ තමයි ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ .හරියට අර බල්ලෙක් එලවගෙන එනකොට  ආවම දුවනව වගේම, වෙන වෙන පාඩම් මේ වෙලාවට මතක් වෙනවද ?  ඒනිසා පුළුවන් තරම් හුරුවක් skill එකක් ලබා ගන්න බලන්න.




මෙන්න මෙහෙමයි කරන්නේ , අර කිව් විදියට ශ්වාස නාලය අවහිර වුනේ ඔබ ළඟ ඉන්න වැඩිහිටියෙක්ට නම් (ගර්භණියක් නොවේ නම් ) ඔබ කළ යුත්තේ ඔහුගේ / ඇයගේ පිටු පසින් ගොස් ඉල වටා අත යොදමින් ඇගේ හෝ ඔහුගේ උදරයේ ඉහලට ඉහළට යන ආකාරයේ දැඩි තෙරපුමක් තමන්ට හුරු අත මිටි කරමින් යෙදීම , ගහනවා නොවෙයි , වේගයෙන් ඉහළට තෙරපීමක් කරන්න . 


ටිකක් තද ගැඹුරු සහ ඉහළට ගැස්සමක් ඇති වන ආකාරයට තෙරපීම් වාර කිහිපයක් මේ විදියට වාර දහයක් විතර   කරත්දි උගුරේ සිර වූදේ ඉවතට ඒවි ,  


අසිහියෙන් නම්.....
හැබැයි ඔහු සිහි නැතිවෙලා බිම වැටිලනම් ඉන්නේ මෙන්න මේ විදියට උදරය තෙරපන්න වේවි .








(මෙයට ඉස්සර වෙලා පුළුවන් නම් ඔබේ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අංකයක් පවතීනම් එයට අමතන්නට අයෙක් යොමු කරන්න , 110 මෙම ප්‍රෙද්ශයේ නම් ක්‍රියාත්මකයි . )  එහෙම ආවොත් එය ඉවත් කර මුඛය පිරිසිදු කරළ , සිහි තත්ත්වය නැත්නම් ඉක්මණින් කෘතිම ශ්වසනය ලබා දෙන්න. ජිවිතේ බේර ගන්නට ලොකු අවස්ථාවක් තිබෙනවා.මේකට Heimlich maneuver නමිනුත් හදුන්වනවා , නම මොකක් වුනත් වැඩේ දැන ගන්නකෝ 




දැන් අපි බලමු පොඩ්ඩෙකුට මේ වැඩේ කරන්නේ කොහොමද කියල , මොකද හුඟක් ලොකු පිඩනයක් දෙන්නත් බැහැ ,ඒත් අර හිරවෙච්ච දේ එළියට එනතරම් පීඩනයක් දෙන්නත් ඕන . පැටියා අවුරුද්දට අඩු නම් මෙහෙමයි , ඔබ වාඩි වෙන්න පුටුවක , කකුළ ටිකක් ඇලට තියල පැටිය මුනින් අතට හරවල අත උදව් කරගෙන කකුළ උඩ පැටිය රඳවගන්න .ඊට පස්සේ හුරු අතේ heel එකෙන් පිටේ පහල ඉඳළ උරහිස් දිසාවට යන විදියට අතුල් පහර කීපයක් දෙන්න ,  එවිටම ඔබේ පාදය මතුපිට සහ අත උදව්වෙන් උදරටය පොඩි තෙරපීමක් ලැබෙන්නට සලස්වන්න ,




හදිසියෙ හරි මේ විදියට ඉවත් වුනේ නැත්නම් දරුව ඉක්මණට අනිත් පැත්තට හරවල ඇඟිළි දෙකකින් පපුවේ ඉළඇට සීමාවෙන් පහල හරියට තද තෙරපිම් වාර කිහිපයක් දෙන්න . ඔය ක්‍රියා දෙකම වාර පහක් විතර සිදු වෙත්දි සිර වූ දේ ඉවත් වේවි. ඉන් පසු අවශ්‍ය නම් කාතිම ශ්වසනය ලබා දීල හෘදය තෙරපීම් වාර කිහිපයක් කරන්නට වේවි . (හැබැයි මේ ගැන දන්නේ නැත්නම් කියන්න ඊළඟ ලිපියකදි කියන්නම් )


ලොකු පොඩ්ඩෙක් නං මෙහෙම අල්ල ගන්න ...
අවුරුදු 5ක විතර ලොකු පොඩ්ඩෙක් නම් අපි මුලින් කතා කළ දේම මේ පහළ රූපයේ පේන විදියට රඳවගෙන තරමක තෙරපුම් වාර පහක් හයක් දෙන්න , මේ අවස්ථාව නම් පහසුවෙන් හිරවූ දේ ඉවත් වනවා , පාසල් යන වයසේ ටිකක් ලොකු දරුවකුට වුනත් මේ ක්‍රමය යොදා ගන්නට පුළුවන් .
පාසල් යන වයසේ දරුවෙක්ට 











ගර්භණි අයෙක්ට නම් තෙරපීම් දෙන්න වෙන්නේ පපුවේ ඉහළ ප්‍රෙද්ශයට , කොහොම වුනත් මේ කටයුත්ත රූප සටහන් ගොඩකින්ම කරන්න අමාරුයි , ලෙඩා විදියට කොට්ටයක් හරි තියාගෙන කරල පුරුදු වෙන්න , මොකද මේක ජීවිතයක් බේරගන්න පුළුවන් ගැහිල්ලක් ...

දැන් තමන්ටම යමක් උගුරෙ හිර වෙලා ඉවත් නොවෙන අවස්ථාවක මොකද කරන්න ඕන , හැබැයි මේක කරල බලන්න යන්න එපා , මේකයි පොතේ හැටියටම කරන්න ඕන , ඉක්මනට පුටු ඇන්දකට හරි මේසය මතුපිටට හරි උදරය තදින් තෙරපෙන්න වාර කිහිපයක් වේගයෙන්  ඉදිරියට නැමෙන්න , තදින් ඒ මතුපිටට තෙරපෙන්න .

එහෙම නම් ඔන්න කෑම මේසෙන් මට මතක් වෙච්ච දේ , මගේ එක්තරා සංවේදී සිදුවිමක් එක්ක එකතු වුනු ඔබ සැමටම ගොඩාක් ස්තුතියි , දැන් මගේ පැටවු කොහොමද කියල බලන්න එයාලගේ පුංචි හිතට දැනෙන දේ බ්ලොග් අඩවියට ගොඩ වැදිල යන්න.


මෙන්න ඒ ගැන වීඩියෝවකුත් 
ගර්භණියකගේ ජීවිත දෙකම වෙනුවෙන්