අද උදේ සේවා මුරය නිමා කරල ගෙදර එනකොට දෙකත් පහුවෙලා , ගෙදර ඇවිත් ටිකක් අන්තර්ජාලේ සැරිසැරුවා , අද හවස් වෙලා බටගන්විල බෝධිය පැත්තෙ යන්නත් ඕන , දවස් දෙකකින් විතර යන්න බැරි උනානේ.
![]() |
| බටගන්විල බෝධීන් වහන්සේ .... |
| සිතට දැනෙන “සැහැල්ලුවේ සතුට“........ |
කතාව ටිකක් දුර ගියා , ඒත් වරදක් වුනේ නැහැ කියල හිතෙනවා , මම මේ වගේම කතාවක් මගේ දහවැනි ලිපියෙදිත් කිව්ව වගේ මතකයි . ඔන්න ඉතින් අපේ අය බෝධිය ළඟ ඇමදලා , පිරිසිදු කරලා , බුදුන් වඳින්න පටන් ගත්තා , මාත් බුදුන් වැඳළ ඉවර වෙලා වෙනද වගේම ටිකක් විවේකයෙන් ඉඳළ එන්න හදන කොට හරිම ලස්සන සිදුවීමක් දැක්ක , තරුණ යුවලක් බොහොම ශ්‍රද්ධාවෙන් බුදුන් වඳිනවා , වයස විසි පහක විතර ඇති , මට හිතෙන්නේ අළුත විවාපත් වූ යුවලක් වගේ , දෙගොල්න්ගෙම දෙමාපියන් එක්ක ඇවිත් , බොහොම පිළිවෙලට මල් පහන් පූජා කරනවා , ඇත්තටම හරිම සුන්දර , ඒ වගේම හිත හැදෙන දසුනක් , කොහොම වුනත් දැන් දැන් අපේ තරුණ දරුවන් මේ ආගමික පරිසරයට යොමු වෙන ප්‍රමාණය ටිකක් වැඩියි වගේ දැනෙනවා , මොකද මම දැකළ තිබෙනවා උසස් පෙළ වයසේ පිරිමි දරුවන් පිරිස් මෙතැනට ඇවිත් මල් පහන් පූජා කරල ,බුදුන් වැඳල යනවා. ඒ වගේ දසුන් හරිම සුන්දරයි මට හිතෙන විදියට.
බුදුන් වැඳල ගෙදර එන ගමන් අපි කතා කළා ඒගැන , මේ ගැන බ්ලොග් එකට ලියමු මගේ යෝජනාවට මනෝජත් එකඟ වුනා , “මහේෂ් අපි මේ එක්කම Preconception health care planning ගැන ලියමුද ? ඒකත් එක්ක ගොඩක් දේ එකතු කඑන්න පුළුවන් නේද ? “ ඇගේ යෝජනාව මට තවත් රුකුලක් දුන්නා ,
| අපි දෙන්නා......යාළුයි |
හරි එහෙම නම් අපි අද පටන් ගන්නවා දිගම මාතෘකාවක් , ඒ විවාපත් වූ යුවලක් දරුවකු පිළිසිඳ ගැනීම දක්වා පවත්වා ගත යුතු සෞඛ්‍යානුකූල සිරිත් විරිත් , ඊට පස්සේ ගර්භනී සමයේදී කළ - නොකළ යුතු දෑ , ඊට පස්සේ දරුඋපත සහ මුල් දින කිහිපය තුල දරුවා වෙනුවෙන් ඉටු විය යුතු දේ , ...බය වෙන්න එපා මේ ඔක්කොම එක post එකක දාන්නේ නැහැ , පියවර තුනකින් විතර අපි මේ ගැන කතා කරමු , සමහර විට මේ ලිපි ටිකෙන් මම “අර්ධ ශතකයට“ ලං කරාවි.
අපි පටන් ගනිමු Preconception health care planning වලින්ම , සමහරුන්ට මේක අළුත් පදයක් වෙන්න පුළුවන් , අනේ මම “පද හදනවා එහෙම නොවෙයි“ , මේක ජාත්‍යන්තරවම පිළිගන්නා සොඛ්‍යානුබද්ධ මාතෘකාවක් , අපිට මේක හොඳ සිංහලෙන් කිව්වොත් , මෙන්න මෙහෙම කියන්න පුළුවන් ,“ගර්භණිත්වය ලබා ගැනීම පිළිබඳ තීරණය කළ මොහොතේ සිට දරු පිළිසිඳ ගැනීමක් දක්වා පවත්වා ගත යුතු ජෛවවිද්‍යාත්මක , සෞඛ්‍යානුකූල සැලසුම“ , ටිකක් බර වැඩියි වගේ නේද ? අපි මෙහෙම කියමු , අපිට ගැලපෙන විදියට , විවාපත් යුවලක් (ලංකාවේ විදියට) දරු පිළිසිඳ ගැනීමක් දක්වා කළ යුතු නොකළ යුතු දේ ගැනයි අපි කතා කරන්න හදන්නේ , මෙහි වටිනාකම ප්‍රධානවම ලැබෙන්නේ “බිහි වන දරුවාට“ , එසේනම් නිරෝගී දරුවෙක් වෙනුවෙන් අපි කළ යුතු දේ ගැනත් නොකළ යුතු දේ ගැනත් කතා කරමු.මේ මාතෘකාවෙදි Husband and wife දෙදෙනාටම සම වගකීමක් ලැබෙතත් , අපේ වැඩි අවධානය යොමු වන්නේ කාන්තාව වෙතට , මොකද “දරුවා බිහිවන තුරු රැක බලා , පෝෂණය කරන ප්‍රධානතම ජීවිය ඇය වන නිසා .
හරි , අපි දැන් “හරි පාරට“ එමුකෝ , විවාහ වූ යුවලකගේ ඊළඟ පිම්ම “දරුවෙක් “ , දරු පවුලක් කියන්නේ ඒකනේ , ඉතින් කවදටද දරුවෙක් ගැන හිතන්න ඕන , බැන්ද දවසෙදිමද ? ඊට පසුවද ? ...ඔබ විවිධ මත පළකරාවි , එත් විද්‍යානුකූලව මේ පිළිබඳව හිතන්නට ඕන විවාහයටත් පෙර සිටම , ඒ කිව්වේ ‘බබා ගැන“ හිතන්න ඕන “ලොකු බබා හම්බ වෙන්නත් “ ඉස්සරම හොඳද !
ඔබේ විවාහයට , එහෙම නැත්නම් දරු පිළිසිඳ ගැනීමට අඩුම තරමේ මාස තුනකට වත් පෙර මේ ගැන හිතන්නට , සැලසුම් කර ගැනීම ආරම්භ කරන්නට ඕන , විශේෂයෙන්ම තවත් මාස තුනකින් දරු පිළිසිඳ ගැනීමක් දරා ගන්නට සුදුසු ශාරීරික සහ සොඛ්‍යානුකූල පරිසරයක් හදා ගන්න , එහි පළමු වගකීම කාන්තා ඔබ සතුයි , ඒ වගේම දරු පිළිසිඳ ගැන්වීමක් කරන්නට සුදුසු ශාරීරික තත්ත්වය පිරිමි ඔබ හදා ගන්න ඕන , ටිකක් නුහුරු වුනත් මේ අවස්ථාවේ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වී මේ ගැන සාකච්ඡා කිරීම හරිම වැදගත් , (ලංකාවේ මේ පිළිබඳ එතරම් උනන්දුවක් නැතත් බොහෝ බටහිර රටවල preconception counselling sessions තිබෙනවා ,) මේ හමුවේදි ඔබේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කරාවි , එතැනදි ඔබේ පවතින සෞඛ්‍ය ගැටළු හදුනා ගැනීමත් , ඊට නිසි ප්‍රතිකාර ලබා දීමත් , විය හැකි සෞඛ්‍යමය අනතුරු වලක්වා ගැනීමටත් යොමු වේවි, මෙහිදි විශේෂයෙන්ම ඔබ සැලකිළිමත් විය යුතු කරුණූ කිහිපයක් ගැන අපි කතා කරමු ,
| ඔන්න වෙන වැඩේ .... |
මෙහිදි හරිම වැදගත් , ලාබ බෙහෙතක් ගැන කතා කරන්නම වෙනවා , ඒ තමයි Folic acid කියන විටමීනය , දරුවාගේ ස්නායු පද්ධතියේ නිවැරදි වර්ධනයට අත්‍යවශ්‍ය විටමිනයක් වන Folic acid ගැනීම , දරු පිළිසිඳ ගැනීමට මාස තුනකටවත් පෙර ආරම්භ කිරීම සුදුසු බවයි වෛද්‍යමතයි , මොකද පිළිසිඳ ගැනීමකින් මුල් සති අටක විතර කාළෙදි තමයි “දරුවගේ“ ස්නායු පද්ධතිය සැකසීමේ පළමු පියවර , අඩිතාලම වැටෙන්නේ ,
| අම්ම ෆෝලික් බිව්වනම් ....... |
මේ විදියට ඔබ විවාහයට , එහෙම නැත්නම් දරු පිළිසිඳ ගැනීමට පෙර ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවුනොත් නිසැකවම මෙම විටමීනයේ වැදගත් කම කියල දේවි , ගත යුතු මාත්‍රාව සහ ගත යුතු කාළය පිළිබඳ කරාවි , එසේ නොවුනොත් ඔබ ඒ ගැන විමසන්න , ඔබේ දරුවා වෙනුවෙන් .
| රුබෙල්ලා වැක්සින් ගත්තද දන්නෑ...... |
මේ එන්නත මගින් සිදුකරන්නේ ජර්මන් සරම්ප නම් රෝගය ඇති වීම වලක්වන එක , අපි මේ තරම් මේ රැබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප ගැන කතා කරන්නේ , ඔබ ගර්භණී අවස්ථාවේ ඔබට රැබෙල්ලා හැදුනොත් එම රෝගයට පුළුවන් ඔබේ කුසේ ඉන්න පැටියාව හපා කන්න , සමහර විට මරල දාන්න වුනත් , (ඊටත් වඩා අනතුර අර විදියට හපා කාළ , අවයව අඩුවෙන් , දේහ ක්‍රියාකාරීත්වය අඩුවෙන් ඒ කිව්වේ අන්ධ , බිහිරි දරුවෙක් බිහිවුනොත් ) , ඒ නිසා අනිවාර්යයෙන්ම මෙම රැබෙල්ලා ඒන්නත ලබා ගන්න , බය වෙන්න එපා , පහුගිය කාළේ විවිධ මත පැතුරුනත් , සිදුවීම් වුනත් ලිංගික වශයෙන් සක්‍රිය වයසේ ඉන්න හැම කාන්තාවක්ම මෙම එන්නත ලබා ගැනීම හරිම වැදගත් ,
| පවුලේ සතුට ... |
ඊළඟ දේ තමයි ඔබේ පවත්නා රෝග තත්ත්ව පාළනය කර ගැනීම , මේකත් පටන් ගන්න ඕන පිලිසිඳ ගැනීමකට අඩුම තරමේ මාස තුනකටවත් ඉස්සර ඉඳළ , මෙතැනදි දියවැඩියාව සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධිත තත්ත්ව ගැන (Hypothyroidism ) ,අපස්මාරය Epilepsy සහ ඇදුම Asthma වැනි තත්ත්ව ගැන විශේෂ අවධානයක් යොමු කෙරෙනවා .මොකද මේ හැම රෝග තත්ත්වයක්ම නිසි ලෙස පාලනය කර නොතිබීම මගින් පිළිසිඳ ගැනීමක් සිදුවීම ප්‍රමාද වෙන්න , නැත්නම් infertile වෙන්න , ඒ විතරක් නොවෙයි සමහර අවස්ථා වලදි දරුවාට යම් විකෘතිතා හෝ රෝග තත්ත්ව ඇති වෙන්නත් හේතු වෙන්න පුළුවන් .විශේෂයෙන්ම හයිපොතයිරොයිඩිසම් වගේ තත්ත්වයතින් පෙළෙන මවකට උපදින දරුවෙක්ගේ මානසික වර්ධනය අඩු බව හදුනාගෙන තිබෙනවා. ඒ වගේම අපස්මාරය වගේ රෝග තත්ත්වයකට ප්‍රතිකාර ගත්තත් මේ අවස්ථාවේ එම ඖෂධ වෙනත් වර්ග වලට මාරු කිරීමක් කරන්නත් ඉඩ තිබෙනවා .මීට අමතරව මානසික රෝග, වකුගඩු සහ රුධිරය ආශ්‍රිත රෝග , ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග තත්ත්ව තිබේ නම් අනිවාර්යයෙන්ම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්නම ඕන .
ඒ වගේම ඔබ යම් ඖෂධයක් දිගු කාළිනව භාවිත කරන්නෙක් නම් ඒ බව අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍යවරයාට පවසන්න , මොකද සමහර ඖෂධ මගින් කළලයට යම් හානිවීමටත් ඉඩ තිබෙනවා , උදාහරණයක් විදියට ඔබ දිගු කාළීනව ලේ කැටි ගැසීම පාලනය කරන , ප්‍රතිකැටිකාරක ඖෂධ භාවිත කරනවා නම් ඔබේ වෛද්‍යවරයා ඒ පිළිබඳ දැනුවත් කරන්න , එවිට ඊට අදාල වෙනස් කිරීම් ඔහු විසින් නියම කරාවි .
| බබා (ට) හම්බ වේද ...දන්නෑ .... |
| තාත්තගේ සතුට ...පැටියගේ දුක ...... |
දැන් අම්මයි තාත්තයි ...ඒ කිව්වේ බලාපොරොත්තුවන පැටියගේ අම්මයි තාත්තයි දෙන්නම පරිස්සම් වෙන්න ඕන දේවල කිහිපයක් තිබෙනවා , ඒ තමයි පරිසරයේ තියෙන අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් ( ඔය කෘතිම රසායනික අඩංගු ආහාර පාන පවා සීමා කරගෙන) , අනතුරුදායක උපකරණ හෝ විකිරණ ආදියෙන් පරිස්සම් වෙන්න , මතකනේ ඔබේ මොබයිල් ෆෝන් එක් පාවිච්චි කරන විදිය පවා නිවැරදි කර ගන්න වෙනවා , ඔබ ලැප්ටොප් එක භාවිත කරන විදිය ලැබෙන්න ඉන්න පැටියට සෘජුවම බලපාන්නට පුළුවන් , ඒ නිසාම පරිස්සම් වෙන්න . (මේ ගැන කියවන්න මෙතැනින් යන්න ) විශේෂයෙන්ම මේ කාළේ ඔබේ පරිගණකය Lap-Top
| මෙව්ව හොඳ නෑ ...ඇඟට (පැටියට) ගුණ නෑ .. |
අනෙක් වැදගත්දේ , ඔබ දෙදෙනාගෙන් කවරෙක්ගේ හෝ පරම්පරාවෙන් එන රෝග තත්ත්වයක් තිබෙනව නම් පැටියෙක් හදන්නට ඉස්සර වෙලා ඒ ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න , ඒ රෝගය පිළිබඳ ඉතිහාස කතාව , පවුල් බැඳීම ගැන , එවිට ඒ උපදෙස් මත ඉදිරි සැලසුම හදා ගන්න එක , ඔබට සහ දරුවාටත් යහපතක් වේවි.
| රසට කන්න .. |
ඔබ විවාහකව සිටිනවා නම් , මේ වන විටත් උපතක් පමා කිරීම සඳහා යම් උපත් පාලන ක්‍රමයක් අනුගමනය කරනවා නම් , දැන් එයින් මිදෙන්න කාළේ හොඳයි , හැබැයි ඒ භාවිත කරන ක්‍රමය අනුව ඉන් ඉවත් වෙන්න ඕන කාළය වෙනස් වෙන නිසා ඒ පිළිබඳවත් නිසි සෞඛ්‍ය උපදෙස් ගන්න.
දැන් ඉතින ඔක්කොම හරි කියල ගෙදරට වෙලා කකා බිබී නිකං ඉන්න එපා , ඔබේ සාමාන්‍ය වැඩකටයුතු , රාජකාරි කරන්න , හැබැයි ඔබේ හිතේ අර සැලසුම වැඩ කරන්න ඕන , මොකක්ද සැලසුම “තව ටික දවසකින් අපි පැටියෙක් හදා ගන්නවා “ කියන එක .එතකොට ඔය කරදර වගේ දැනෙන දේවල් කරදර නොවේවි. ඒ අතරේ දෙන්නා අතරේ තියෙන ආදර බැඳීම් වැඩි කරගන්න , අනාගත දරු පැටිය ගැන කතා කරන්න , “සුන්දර හීන දකින්න, “ , සිත සතුටින් , සැහැල්ලුවෙන් ඉන්න , ඒ හැම දෙයක්ම අපි නොසිතුවට හරිම වැදගත් භාවිතයන් .
| මේං අම්මේ මල්ලි සිංදු කියනවා .... |
| රෝස පාට සරු කාලේ |
දැන් අපේ සැලසුමේ අවසන් හරියට ඇවිත් , මේ ටික ජීව විද්‍යාව පාඩමක් වගේ , ඔබේ දරු පැටිය පිළිසිඳ ගන්න හැටි , ඒ සඳහා ඔබේ කාර්යය , මේ වගේ දේවල් ගැන ටිකක් කියවල , දැන ගන්න හොඳම කාළෙ මේ. සමහර විට මේ වෙන විටත් ඔබේ පවුලේ වෛද්‍යවරයා යම් කරුණු ටිකක් කියල දීලා ඇති . විශේෂයෙන්ම කාන්තාව තමන්ගේ ආර්තව චක්‍රයේ ස්වභාවය , දින පරතරය වගේ කරුණු පිළිබඳ අවබෝධ කරගෙන , සටහනක් තියා ගන්න පූළුවන් නම් තවත් හොඳයි , මොකද එයින් අපිට පුළුවන් දරු පිළිසිඳ ගැනීමකට “හොඳම කාළෙ “ ගැන අවබෝධයක් ලබා ගන්න .කෙටියෙන් කිව්වොත් ඔබේ ආර්තවය ක්‍රමානුකුලව වෙනවා නම් ආර්තවය පටන් ගන්න දවස 1 කියල හිතුවොත් එයින් 11වන දිනයේ සිට 156වන දිනය විතර
දක්වා ලොකු අවස්ථාවක් තියෙනවා පිලිසිඳ ගැනීමක් සිදු වෙන්න , මොකද එය දවස් වල තමයි ඩිම්බ සෛලය (ස්ත්‍රී ජන්මාණු සෛලය) , ගර්භාෂය ඇතුලට සැපත් වෙන්නේ , එදාට ඇගේ රස්නේ ටිකක් වැඩි වෙන්න පුළුවන් , එ වගේම බඩේ පුංචි වේදනාවක් වගේම පියයුරු වල පොඩි කැක්කුමකුත් එන්න පුළුවන් , ඔන්න ඔය දවස හොයා ගත්තොත් හරිම ලෙහෙසියි පිළිසිද ගැනීමක් වෙන්න , එදා තමයි “සරුම දවස“ ,ඉතින් ඒගැන දැන ගෙන ඉන්න එපායැ නේද ? කොහොම වුනත් ඔන්න එක මාසෙකදි ඔය වැඩේ හරි ගියෙ නැහැ කියල කළබල වෙන්න එපා , දිගටම උත්සාහ කරන්න , පළමු මාසෙම පිළිසිද ගැනීමක් විමේ හැකියාව 30%ක් විතර , හැබැයි 60%ක් විතර මුල් මාස එය ඇතුලත ගර්භනීත්වයට පත් වෙන්න පුළුවන් , ඒත් අනිවාර්යයෙන්ම 85%ක්ම පළමු අවුරුද්ද ඇතුලත අම්මල වෙනවා. හැබැයි මේ ඉලක්කම් හරි යන්නේ උපත් පාලන ක්‍රම භාවිත නොකර අවම වශයෙන් සතියකට වාර දෙකක් වත් ලිංගිකව එක් වෙනවා නම් විතරයි.
| ආදරෙන් බැඳෙන්න (හැබැයි බැදෙන්න එපා) |
මෙහි දෙවැනි ලිපියෙදි “ගර්භණීත්ව , එය හඳුනාගැනීම සහ උපත දක්වා කළ යුතු දෑ “ ගැන කතා කරන්නට හිතා ගෙන ඉන්නවා , අපි බලමු ඉක්මණින් එයත් එළිදක්වන්නට , කාළය තමයි ටිකක් බාධකය වෙන්න හදන්නේ , මේ ලිපිය සැලසුම් කරන්න පටන් ගත්තේ ඊයේ publish කරන්නේ අද ..කොහොමද කාළය යන ඉක්මණ , ඔන්න එහෙනම් අපි සුබ පැතුවා , ගිහින් එන්නං , සතුටින් ඉන්න.
