 |
| කාළය නවත්වන ඇස ...... |
මේ දවස් ටික හරියට ගන්ධබ්බ කාළයක් වගේ , හිත ටිකක් නොසන්සුන් , තව ටික දිනකින් මේ බිම , පරිසරය , මේ ආදරණිය සිනහවන්ගෙන් , හිතවතුන්ගෙන් වෙන් වෙලා යන්න සිදු වේවි කියන හැඟීම හිතට එනකොට පොඩි දුකක් නැතිවාම නොවෙයි , ටිකෙන් ටික වෙන් විමේ හැඟීම වැඩි වෙනව ,
දින කිහිපයකට පස්සේ ඊයේ සේවය ගියා විතරයි , මෙන්න ෆොටෝ ගැනිල්ලක් , හැමෝම දැන් මටත් වඩා උනන්දුයි වගේ මගේ නික්මිම ගැන , “දැන් ඉතිං නිශාන්තයිය අල්ල ගන්න ලේසි නැහැනේ , ඒක නිසා අදම ෆොටෝ ටික අරගමු කියල ලොකු මිස් කියලමයි ගියේ “ සහෝදර සොයුරියක් මට නීතියක් දැම්ම වගේ . එක එක විදියට වාට්ටුවේ තැතින් තැන , අපේ කාර්ය මණ්ඩලයන් එක්ක ඡායාරූප වලට හිටිය , බැලුවම ඒකත් ලේසි නැහැ , මට මතක් වුනේ wedding එක දවසේ ෆොටෝ ගන්න ගිහින් කළ යුද්දේ , ඒ වගේම තමා ඊයෙ දවසත් .
 |
| තේ කෝප්පෙ කතාව |
ෆොටෝ ගන්න ඇවිත් හිටියෙත් අපේම රෝහලේ මිතුරෙක් “කුමාර මල්ලී“, අපි ආදරේට කියන්නේ “කැමරා කුමාර “ කියල , ඒත් හුඟ කළකින් හමු නොවුනු ඒ මිත්‍රයා ෆොටෝ ගැහිල්ලෙන් පස්සේ ටිකක් කතා බහට එක් වුනා . හැමදාමත් සේවා කාළයේදි කැන්ටිමේ තේ රස විතරක් බලපු මට අද වාට්ටුවේ හදපු තේ එකම බොන්න වෙනව වගේ . අද නං ගැලවිල්ලක් නැහැ. ඉතින් අපි දෙන්නා තේ කොප්පයක් තොල ගගා පහු ගිය කාළෙට ගියා , පුහුණුව ලබන කාළෙ , ඒ කාළේ තිබුණු පුංචි පුංචි පෙම් පලහිලව් , රස කතා කෝටියයි , වාට්ටුව පුරා සිනාව දෝරෙ ගලනව..ඒ අතරෙම වාට්ටුවේ ප්‍රතිකාර ගන්න අපේ මිතුරෙක් අංග චලනයෙන් අපිත් එක්ක මුහු වෙන්න හදනවා.
“මහේෂ් අයියට මතකද ? කාක්කි ......අර.......“
“මොකද මට අමතක ...අර quarters වලට අල්ලපු ගෙදර හිටපු කෙල්ල නේ ...“
 |
| සුන්දරත්වය |
“අන්න කෙල්ල ...මේ ළඟදි අපේ O.P.D. එකට ආවනේ ..මාව නිකං කරකවල දැම්ම වගේ ..එයාල කතරගම යනකොට ගිය කාර් එක ඇක්සිඩන්ට් වෙලා ,ඒ වෙලාවේ ඩ්‍රයිවර්ගේ condition එකනං bad එයාගෙනං කකුළ ටිකක් හීරිලා ..මාත් ඉතින් පොඩ්ඩක් ඇහැ දාලා බැලුව ...එච්චරයි හොඳේ ..., ඒ වුනාට තාම ඉස්සර වගේමයි “
මට මතක් වුනා මීට වසර දහකට විතර ඉස්සර , මම රාගම රෝහලේ සේවය කරන කාළේ සේවා මුරය අවසන් වෙලා , විවේකයට [විවේකයටම නෙවි , මගේ පෙම්වතී(අද මගේ බිරිඳ) හමුවෙන්න කළුබෝවිල රෝහල ආ වෙලාවට],මම අපේ මිතුරගේ නේවාසිකාගාරයට එනවමයි , ඒ කාළේ කුමාර මලය ඔය “කාක්කියෙක්“ අල්ලගෙන දඟලපු දැඟලිල්ලක් මට මතක් වුනා.
‘මතකද ඒ දවස් වල කිව්වා කාකු පැටවු දහක් විතර හදනවා කියල , දැන් කීයක් ඉන්නවද ?“
“දැක්කෙනං අයියේ දෙන්නයි .තව ඉන්නවද දන්නේ නෑ ..................මොනව කරන්නද නේද? ...“ දිග සුසුමක් හෙලුව ඔහු ...මෙච්චර වෙලා හිනාව පිරිණු මුහුනේ දුකක සේයාවක් ...
“ඇයි මල්ලි ...පරණ සෙල්ලං මතක් වුනාද ....? නැත්නං ...“
“නෑ මහේෂ් අයියේ , මගේ එක පුතෙක්ට ඔටිසම් ....!.. diagnose කළේ හුඟක් පහුවෙලා , දැන් special treatment ගන්නවා ..ඒත් ...“ ..........හැමදාමත් හිනාවෙන , හැමදාමත් අපිව සිනාගන්වන මගේ මිතුරගේ ඇස් වල වැටෙන්න දඟලන කදුළු බිදු දෙකක් ,
ඔව් මම දන්නවා , ඒත් .......මෙතනින් එහාට ඒ කතාව මේ වගේ තැනක ලියන්නට ඕන නැහැ කියල හිතෙනවා ,


මේ ගැන ලිපියක් ලියන එක ගැන හිතත්දි මගේ හිතට තව උල්පන්දමක් දුන්නු film එකක් තිබුණ...ඒ fly away කියන සංවේදී , ලස්සන චිත්‍රපටිය , ඔටිසම් සහිත දරුවෙක් වෙනුවෙන් කැප වන මවක් හා , ඒ දිරිය මත ඉදිරියට යන දරුවෙක් වටා ගෙතුණු සුන්දර චිත්‍රපටයක් . මේවන තෙක් ඔබ මේ චිත්‍රපටය බැලුවෙ නැත්නම් බලන්න , හොඳ දැනුමක් ගන්නත් පුළුවන් . මේ film එක නොබැලුවත් මම දන්නව ඔබ my name is khan “ බලන්න ඇති . එහිදි Rizwan Khan ලෙසින් සාර්ථක සහ වෙනස් රංගනයක් යෙදෙන ශාරුක් ඛාන් රඟ දක්වන්නේ මේ ඔටිසම් රෝගි තරුණයෙක්ගේ චරිතයක්. මතකද ඔබට මේ දෙබස් "My Name is Khan..I am not a terrorist" , අපිටත් කටපාඩම් වන තරමට නිරන්තරයෙන් කියූ ඒ දෙබස...(මතක් වෙන්නත් එක්ක
මෙන්න වීඩියෝවක්) ඒ ඔටිසම් රෝගියෙක්ගේ හඳුනාගැනීමේ ලක්ෂණයක් ...echolalia ලෙසින් වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන එකම වචනය නැවත නැවත කිවීමේ ලක්ෂණය..
එහෙමනම් අපි ටිකක් හඳුනගන්න බලමු මේ ඔටිසම් කියන්නේ මොන වගේ රෝගයක්ද කියල...
ඇත්තටම Autism කියන්නේ , Autism Spectrum Disorders හෙවත් A.S.D කියන ප්‍රධාන වශයෙන් මානසික සංවර්ධනය අඩාල වන ඒ වගේම ජීවිතයේ අවසානය දක්වාම සුව නොවන රෝග මිශ්‍රණයක එක් රෝගයක් පමණයි. , ඒ නිසා අපි මේ සමස්ථ රෝග තත්තවයම ගැන පොදුවේ කතා කරන එක හොඳයි කියල හිතුන .
 |
| C.D.C. එකේ අළුත්ම වාර්තාවන් |
අපි ටිකක් සංවේදී වෙන්න ඕන කරන හඳුනා ගැනීමක් මේ රෝග තත්ත්වය ගැන ළඟදි එක්සත් රාජධානිය තුල කෙරුණා , එයින් හදුනාගත් තොරතුරු ලොකු අනතුරක් ගැන අපිට කියනවා , ඒ තමයි සාමාන්‍යය අගයක් බැලුවම අද දරුවන් සියදෙනෙක් ගෙන් එක් අයෙක් A.S.D තත්ත්වය සහිත බව. හරියටම කිව්වොත් දරුවන් 110 කින් එක් අයෙක් මේ තත්ත්වයේ එයිනුත් වැඩි කොළු පැටවුන් .පේනවද තත්තවෙ අපි නොදැවුනත්වම දරුණු අතට හැරිල වග.
මේ රෝග සංකීරණේ ලක්ෂණ ගණනාවක් තියෙනවා , ඉන් ප්‍රධාන සිදුවීම් හතරක අසාමාන්‍යතා දක්වනවා , ඒ තමයි සන්නිවේදනයcommunication , සමාජානුයෝජනයsocialization සහ චර්යාව behavior , තව විදියකින් කිව්වොත් මේ දරුවන්ගේ වයසට පැවතින්නට ඕන “ළමා හැසිරීම් කතා බහ නැහැ ,දැනුම නැහැ “ .අපි දැන් මේ එක් එක් ලක්ෂණ ටිකක් විස්තරාත්මකව සොයා බලමු .
එයින් අපි අපිට ලේසියෙන් හඳුනගන්න පුළුවන් ලක්ෂණ ටිකක් ගැන මුලින්ම කතා කරමු , මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා , දැන් මේක කියවගෙන යන කොට එක රෝග ලක්ෂණයක් දරුවට තිබෙනව කියල දැක්ක ගමන් මේකත් දාල ගම වටේ දුවන්න එපා , ටිකක් කල්පනාවෙන් බලන්නොකෝ.
 |
| එයාගේ ලෝකේ ... |
මේ දරුවන් බොහොමයක් මාස 12ක් විතර වෙනකම් තමන්ගේ නම , නැත්නම් හුරතලයට කියන නම ඇහුනට කිසිම ප්‍රතිචරායක් නැහැ , දන්නවනේ අපේ පැටවුන් පුංචි කාළේ එයාලගේ නම ඇහෙන කොට පුංචි හිනාවක් දාල ඔළුව චුට්ටක් ඇළ කරගෙන අපි දිහා බලාන ඉන්න හැටි.මේ තත්ත්වයේ ඉන්න දරුවන් එහෙම නැහැ , නම කිව්වත් , ආදරෙන් කතා කළත් එයා එයාගේ ලෝකේ වගේ ඉන්නේ , මුහුණේ කිසිම සතුටුබවක් පේන්නත් නැහැ.
අපේ දිහා බලන්නත් කැමති නැහැ වගේ , කවුරුවත් එක්ක නැතිව කතා බහක් නැතිව තනියම ඉන්නව මේවගේ ලක්ෂණ අවුරුදු 3-4 විතර වෙත්දි හොඳට අඳුනගන්න පුළුවන් . ඒ කාළෙට හරි ආයිනේ බ්රූම් යන්න , ප්ලේන් බලන්න ...ඒත් මේ රෝගයේදි ඒ වගේ කිසිම දේකට ආසාවක් , බෝනික්කෙක් නලවන්න , සෙල්ලම් ගෙවල් දාන්න කිසිම ආසාවක් නැහැ . අනෙක් කරුණ මේ දරුවන් කතා කරන්න පටන් ගන්න හුඟක් ප්‍රමාද වෙනවා , ඒ වගේම අවුරුදු දෙකක් විතර වෙත්දි පෙනේවි , සම වයසේ අනෙක් ළමුන්ට තරම් හොඳ ශබ්ද කෝෂයක් , ඒකිව්වේ වචන එකතුවක් මේ දරුවාගේ මනසේ නැහැ ,
 |
| කෑ.......ගහනවා .... |
එයා කතා කරන්නේ නිතරම එකම වචන ටිකක් , අනෙක් එකම දේ නිතරම , එකදිගට කියවගෙන කියවගෙන යනවා ,අහගෙන ඉන්න අපේ ඔළුව රිදෙන තරමට එකම දේ දිගටම , නොනවත්වා කියවනවා (මේ තත්ත්වය echolalia කියල හඳුන්වනවා) , පෙර පාසල් යන කාළෙ නම් අනෙක් යාළුවො එක්ක හැමදාම ගැටුම් , පොඩි දේකටත් අසාමාන්‍ය විදියට තරහ යනවා .පෙර පාසලේ ඉන්න ගුරුතුමිය යමක් ඇහැව්වාම දෙන උත්තරය කිසිම ගැලපීමක් නැහැ , උත්තරෙත් එක දිගට කියවානෙ යනව.ඒ වගේම සමහර ශබ්ද , වර්ණ , සුවඳවල් වලට අසාමාන්‍ය විදියට ප්‍රතිචාර දක්වනවා , සමහර ශබ්ද ඇහුනම තදින් කේන්ති යනවා ,බය වෙනවා, ඒ විතරක් නොවෙයි පිංතූර පොතේ සමහර වර්ණ එක්ක පුදුම තරහක් තියෙන්නේ ,
 |
| අනාගතේ බොඳ වෙලාද? |
පොඩ්ඩත් බලන්න පිංතූර පොත් , හැම රූපෙකම එකම පාටක් තියෙන තැන් ඉරල දාලද කියල , බය වෙන්න එපා එහෙම වෙන එකක් නැහැ , එත් මේ ගැන දැන ගන්න එක හොඳයි නේ. මේ දරුවන්ගේ ආසාමන්‍ය චලන බොහොමයි , එක දිගට ඇඟ පද්දනවා , නැත්නම් වාඩි වෙලා කොන්දෙන් කැරකෙනවා , නැත්නං ගලක් වගේ ඉන්නවා ,නිදා ගන්න ගියත් මහ රෑ නැගිටල කෑගහනවා .මේ දරුවා ගැන පෙර පාසලෙන් , පාසලෙන් හැමදාම නඩු , මොකද එක්කෝ කරදර කරලා , නැත්නං කියන දේ අහන්නෑ , නැත්නම් කිසි දෙයක් මතක නෑ , ගෙදර වැඩ කරල නෑ , ඔන්න ඔය වගේ පැමිණිලි ගොඩක් එනවා මුල් කාළේ.
 |
| තාත්තගේ ආදරේ දැන් තමා තේරුනේ.. |
වැඩිහිටි වුනාම සමාජයන අනුගත නොවූ වැඩකට නැති මිනිහෙක් , නැත්නම් අඩු මානසික පුද්ගලයෙක් විදියට තමයි සමාජය මොහු පිළිගන්නේ , නමුත් වැදගත්ම දේ මේ තත්ත්වය සුව කළ නොහැකි වුනත් මුලින්ම හඳුනගෙන නිසි ප්‍රතිකාරයනට යොමු කළොත් දරුවා හොඳ දක්ෂයෙක් කරන්නට පුළුවන් , ඒ වගේ විශේෂීත දක්ෂතා මේ දරුවන් තුල තිබෙනවා , එය නිවැරදිව හඳුනාගෙන ඒ ඔස්සේ යොමු කරවීමයි කළ යුත්තේ , දන්නවද ලෝක ප්‍රකට සමහර විද්‍යාඥයින් පවා මෙම රෝග තත්ත්වයෙන් පෙළුනායැයි පර්යේෂකයෝ සැක කරනවා (ඒ අතර ලෝක ප්‍රකට
ඇලබට් අයින්ස්ටයින් ,
ජෝන් නිව්ටන් පවා ඉන්නවා)

මේ වගේ රෝග ලක්ෂණ ගණනාවක් කිව්වත් හරියටම මේ රෝගයමැයි කියල හඳුනගන්න එක ටිකක් අමාරු කාරියක් , මොකද රුධීර පරීක්ෂණ වගේ දේකින් මේ තත්ත්වය හඳුනගන්න අමාරුයි mitochondrial dysfunction කියන තත්ත්වය වෙනුවෙන් කරන රුධිර පරික්ෂණ මඟින් යම් තරමකට අවස්ථාව තිබුණත් ඒ සඳහා ලංකාවේ පවතින පහසුකම් පිළිබඳ ගැටළුවක් තිබෙනවා , අනික ඒ පරික්ෂණ කළත් එයින් 100%ක්ම රෝග නිර්ණයක් ගන්න අමාරුයි . නමුත් මාස 18 විතරදි දරුවාගේ චර්යාව සහ හැසිරීම් පිළිබඳ අධ්‍යයනයක් කළොත් ළමා රෝග පිළිබඳ විශේෂඥ දැනුමක් , විශේෂයෙන්ම ළමා මනෝ විද්‍යාව සහ සංවර්ධන මනෝ විද්‍යාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට මේ හැකියාව තිබෙනවා , කොහොම වුනත් මුලින්ම ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙසක් ගන්න එක තමයි වඩාත් හොඳ .
දැන් මං දන්නව හිතේ තියෙන ප්‍රශ්නේ කොහොමද මේ ලෙඩේ හැදෙන්නේ ....මේක නේද ප්‍රශ්නේ , කෙටිම උත්තරේ මේකයි , මේ වන තුරු මේ රෝග සංකීර්ණේට ස්ථිරම හේතුව නම් හොයාගෙන නැහැ , තවමත් පර්යේෂණ පැවැත්වෙනවා,කොහොම වුනත් ජානමය වශයෙන් සෘජු සම්බන්ධතාවක් පවතින බවනම් සොයාගෙන , ඊට අමතරව දරුවා බිහිවන්නට ආසන්න කාළ සීමාවේ සිදුවන ගැටළු වගේම උපතේදි සිදුවන විවිධ අනතුරු fetal distress වගේ තත්ත්වත් හේතු විය හැකි යැයි විශ්වාස කරනවා.තවත් සැක කළ හැකි සාධක බොහොමයි , ඒ අතරේ විවිධ ඖෂධ , ආහාර වල පවතින රසායනික වර්ග විකිරණ සහ විද්‍යුත් චුම්භක කිරණ R.M.F (මේ ගැන අපි 44 වන ලිපියෙදි කතා කළා) වල බලපෑම වගේ සාධක ගණනාවක් විය හැකි කාණ්ඩයේ ඉන්නවා. මේ ගැන හොඳ විස්තරයක් මේ මේ රූප සටහනෙන් ගන්න පුළුවන්.
 |
| විය හැකි කාණ්ඩ ඔක්කොම |
දැන් ඇත්තම කතාවට එමු , මේ රෝග තත්ත්වය හදුනගත්තොත් දැන ගත යුතු කරුණු දෙකක් තිබෙනවා , ඒ මේ තත්ත්වය සම්පුර්ණයෙන් සුව කිරීමක් පිළිබඳ සේයාවක්වත් තවම සොයාගෙන නැහැ. අනාගතේ කොහොම වේද දන්නේ නැහැ , ඒත් අද කළ යුතුදේ මේ තත්ත්වය ඉක්මණින්ම හඳුනගෙන , තහවුරු කරගෙන නිසි ප්‍රතිකාර කරා යොමු කිරීම , ප්‍රතිකාර කියන්නේ බෙහෙත්ම විතරක් නොවෙයි ,චර්යාත්මක ප්‍රතිකාර behavioral therapy ,occupational therapy , speech therapy වගේ දරුවගේ දක්ෂතා , චර්යාවන් , ඒ ඔස්සේ යම් මානසික සංවර්ධනයක් ඇති කරනව මේ ප්‍රතිකාර කරා නියමිත දිගු කාළ සීමාවක් නිසි අයුරින් යොමු කළොත් විය හැකි අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා ගන්නට පුළුවන් ,
මගේ මිත්‍ර කැමරා කැමාර ...තමන්ගේ දරු පැටිය මේ වන විටත් විශේෂිත ප්‍රතිකාර සඳහා දරුවා යොමු කර අවසන් , “මාස දෙකයි පටන් අරගෙන , දැන් ටිකක් හොඳයි වගේ අයියේ ....“ , මම දන්නව මලේ මාස දෙකකින් ලොකු වෙනසක් නොවුනත් ...නුඹ හිත හදා ගන්න මෙහෙම කීව වග....ඒත් තව වසර කිහිපයක් ප්‍රතිකාරයන් ලබා ගනිත්දි හොඳ වෙනසක් දරුවගේ දකින්න පුළුවන් වේවි ,මගේ මිත්‍රයගේ පැටියට ඉක්මණින් “සම්පුර්ණ මිනිසෙක් වෙන්නට“ වාසනාව ලැබේවි යැයි මගේ ලොකු විශ්වාසයක් තිබෙනවා , “පැටියෝ නුඹ වෙනුවෙන්“ ඒ විශ්වාසය ආශිර්වාදයක් විදියට මුදා හරින්නම් මම,