| කිරි වෙහෙරේ කොත් කැරැල්ල..... මතින් ඇදෙන දහම් රැල්ල |
ඊයෙ ගියේ කතරගම , මේ දවස් වල ඒ පැත්ත හරිම වියළියි , දූවිල්ල පිරිලා , ඒ මදිවට වැලිත් ගසාගෙන එන හුළඟ , ටිකක් කර්කශ ගතියක් දැනෙනවා , ඒත් රාත්‍රියට නම් හරිම සිසිල් බවක් තමයි තිබුණේ ,
කොහොම වුනත් ගෙදර එනකොට වෙනදට වඩා ටිකක් මහන්සියි , තෙහෙට්ටුයි වගේ , (දැන් අපි වයසයිනේ ) , අද නිවාඩුවක් දැම්ම , මොකද ඇඟේ අමාරු තියාගෙන රාජකාරියට ගියාම ඒ වැඩේ හරියට කරන්න අමාරුයි , මොකද අපේ සේවය බලාගෙන ඉන්නෙත් රෝගීන්මනේ ,
ඉතිං ටිකක් විවේක ගන්න ඕන , ඒ වුනාට මෙහෙම ඉන්නත් කම්මැළියි , සිංදුවක් අහන්න ඕන , “පොඩී අර රෑං පෙත්තේ නැන්දගේ සිංදුවක් දාන්නකෝ...ඔන්න ඔය කොළ පාට C.D. එක ....“ අපේ පොඩ්ඩී නන්දාමාලිනිය හඳුනගන්නේ අර “රැං පෙත්තේ පෙත්ත කැඩිල “ කියන සිංදුවෙන් , ඒනිසා තාමත් රෑං පෙත්තේ නැන්ද තමයි
පොඩ්ඩි බොහොම ආඩම්බරෙන් ගිහින් C.D.එක දාල V.L.C player ක්‍රියාත්මක කළා ...අක්කගේ මූණ නම් ටිකක් හොඳ නැහැ වගේ මොකද නංගිටනේ වැඩේ පැවරුවේ ....,
“ලොකූ එන්න අපි සිංදුවක් අහමු ,...අද ඔයා බ්ලොග් එකට ලස්සන කවියක් හදන්න ...ඒවට ඕන ලස්සන වචන හොයා ගන්න පුළුවන් මේ සිංදු වලින් ...“
හපොයි මෙන්න දෙන්නම උකුළේ ...මදෑ නිදහසේ සිංදුවක් අහන්න හැදුවා ...විශාරද නන්දා මාලිනියගේ ගිතයක් .
“සැඳෑ කළුවර කුර ගගාවිත්....
ඔබේ පැල්පත මගේ දසුනින්...
ඈත් වූ සඳ මගේ සරා සඳ....
තනිවෙලා මා තනි වෙලා ....“
“තාත්තේ මොකක්ද කුර ගානවා කියන්නේ ......හරකටනේ කුර තියෙන්නේ ....“ මගේ සමාධිය බිඳ දමමින් හැමදාමත් වගේ ලොකු එයාට ආපු ප්‍රශ්නේ එවෙලෙම ඇහුව ....
දැන් ඉතින් විස්තර දෙමුකො ...
| සංවේදී හැඟුම්බර හඬ .... |
“පුතේ කුර ගානවා කියන්නේ බොහොම හිමින් ..ගාට ගාට ..එනවා කියන එකනේ , ඔය බර ඇදල ඇදල මහන්සි වුනාම හරකා බොහොම හෙමින් කකුල් අද්දව අද්දව , එන ගමන තමයි කුර ගගා කියල ඔතැන කියන්නේ , “ , “ඒ කියන්නේ හෙමින් හෙමින් කළුවර ඇවිත් ..කියන එකනේද “ පොඩ්ඩී මැදට පැන්නා ...
“හ්ම් ...අපි සිංදුව අහමු .....“
සිංදුව අහල ඉවර වුනත් අර කුර ප්‍රශ්නේ මගේ මතකේ හිටිය , ඒ එක්කම මතක් වුනා ගවයින්ගේ මුඛ-කුර රෝගේ(Hoof and mouth disease) ගැන ...ඒත් ඉතින් මට ගවයින්ගේ රෝග ගැන ලියන්න ප්‍රමාණවත් දැනුමක් නැහැනේ , ඒ ගව රෝගෙ විදියටම අපට හැදෙන රෝගයක් තියනවා , හැබැයි ඒකට කියන්නේ Hand Foot Mouth disease කියලා , අද අපි ඒ ගැන කතා කරමු . මේක ගැන ලියන්න තවත් හේතුවක් වුනේ සොඳුරු සුව අසපුවේ හැමදාමත් රැඳෙන “ජනිත්“ මහත්මය Skype ඔස්සේ කළ කතා බහකදි "මේ H.F.M.D ගැනත් ලියමුද " කියළ කළ යෝජනාවත් . අනෙක් අපේ පුංචි පැටවුන්ට හැදෙන්නට වැඩි අවස්ථාවක් තියෙන ටිකක් කරදරකාරී රෝගයක් මේක ..ඔය මොන්ටිසෝරි එකක , එක පැටියෙක් ලෙස වුනොත් දවසකින් දෙකකින් ඔක්කොම ලෙඩ කරන බෝවෙන රෝගයක් ..කොහොමද ගෙදර පැටියෙක් ලෙඩ වුනාම තත්ත්වේ , දන්න අයත් ඉන්නවනේ ....
| කොක්සාකි වයිරස් පවුල .... |
මොකක්ද මේ Hand foot mouth disease කියන්නේ ?...හැමදාමත් අහන ප්‍රශ්නෙන් පටන් ගනිමු..
මේක වයිරස් මගින් බෝවන රෝගයක් ,ප්‍රධාන වශයෙන් කොක්සාකි කියන වයිරසය (coxsackieviruses A16) තමයි රෝග කාරකයා වන්නේ , මීට අමතරව තවත් වයිරස් කාණ්ඩ කිහිපයකුත් මෙය ඇති කරන්නට ඉඩ තිබෙන බව දැනට සොයාගෙන තියෙනවා , ටිකක් බය හිතෙන දෙයක් කියන්නද ? ඔය වයිරස් වලින් බොහොමයක් අපට පෝලියෝ හදන වයිරස් අයිති කාණ්ඩයටම අයිති අය , එක රෑනේ අය ....දැන් ඉතින් බය වෙන්න එපා මම කීවෙ නැහැ HFMD නිසා පෝලියෝ හැදෙනවා කියලා හැබැයි මේ වයිරස් එකත් පෝලියෝ වලදි වගේම ස්නායු පද්ධතියට යම් බලපෑමක් (ඒ තරම් ප්‍රබල නොවුවත්) කරන බව සොයා ගත්ත ,
| කෙල්ලට හොඳටම උණ ..! |
මේ ලෙඩේදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් , මුලින්ම තද උණක් (ෆරන්හයිට් අංශක 100-102 විතර) හැදෙනවා , ඒ එක්කම ඇගේ පතේ අමාරු ගතියක් කෑම අප්පිරියා බවක් එන්න පුළුවන් , පැටියෙක් නම් වෙනද වගේ සෙල්ලම් කරන්නේ නැතිව පැත්තකට වෙලා නිදා ගන්න හරි මැලවිලා ඉන්න හරි පුළුවන් , උගුර රිදෙන්න ගන්න පුළුවන් , බැළුවොත් පෙනේවි උගුර රතු වෙලා වග ., ඒ නිසාම කන්න බොන්න කිසිම කැමැත්තක් නැහැ , මේ තත්ත්වය හරිම අවදානම් , විශේෂයෙන්ම පොඩි දරුවන්ට , මොකද හරිම ඉක්මණින් විජලනයට පත් වෙන්න පුළුවන් , ඒක ජීවිතයට හරිම අවදානම් ,.......
| පැටියගේ කට වටේම බිබිළි ... |
ඔන්න එතැනින් දවසක් දෙකක් ගිය තැන කම්මුලේ , කට වගේ දිව , විදුරුමහේ පුංචි පුංචි රතු පාට බිබිළි (ඇල්පෙනෙති වල හිස තරමේ ) ඇති වෙනවා , තව පැය කිහියක් යත්දි ඒ වගේ බිබිළි අල්ලේ යට පැත්තේ පතුලේ වගේම ලිංගය ප්‍රදේශයෙත් ඇති වෙන්න පුළුවන් , පැටවුන්ගේ නම් තට්ටම් වලත් මේ බිබිළ එනවා , ඒ රතු පාට බිබිළ කසන්නේ නැහැ , ඒත් එක ළඟ බිබිළි ගනනාවක් හැදෙන නිසා හරිම වේදනාකාරිය , මේ නිසාම පෙර පාසල් වයසේ දරුවන් ටිකක් නොසන්සුන් , කළබලකාරී ගතියකුත් පෙන්වනවා ,මේ බිබිළ කැඩිලා තුවාල ආවාම වේදනාව තවත් වැඩියි .
| අත බලන්න .....මෙන්න බිබිළි .... |
මේ රෝගය බෝවන්නේ ප්‍රධාන වශයෙන්ම ස්පර්ශයෙන් කියන්න පුළුවන් , ඒ කිව්වේ වයිරස් තව කෙනෙක්ගේ ඇඟේ ගෑවීමෙන් තමයි එයාට මේ රෝගය බෝවන්නේ , කොහොමද මෙහෙම ඇඟේ ගෑවෙන්නේ , මෙහෙමයි රෝගය සහිත කෙනෙක්ගේ බිබිළි වලින් , සොටු වලින් මළපහ වලින් මේ වයිරස් පිටවනවා , මේ දේවල් ගෑවුනොත් වයිරසය තමන්ටත් ඇතුළු වන්නට පුළුවන් , හැබැයි හොඳින් අත් සේදීමේ ක්‍රම භාවිත කරනවා නම් ටිකක් හරි පරිස්සම් , කොහොමත් ඉතින් අපේ බබාලත් පෙර පාසලට , පාසලට ගියාම හොඳට අත් සෝදනවනේ , අනෙක් හොටු එහෙම ගාගන්නෙත් නැහැනේ , ..මොකට කියනවාද නේද ? ඔන්න ඔය හේතුව නිසා තමයි පෙර පාසල් සහ පාසල් දරුවන්ට මේ රෝගය බෝවීමේ අවදානම වැඩි ..ඒ නිසා ඔබේ පැටියාටත් අත් සේදීම ගැන , එහි නිවැරදි ක්‍රම ගැන ගෙදරදි කියල දෙන්න , කියල දීලා විතරක් මදි අම්ම තාත්ත , ගෙදර අයත් ඒක හරියට කරන්න , මොකද අවවාදෙත් එක්කම ආදර්ශෙත් එකතු වුනාම තමයි වැඩිය ප්‍රයෝජනයක් ලැබෙන්නේ ..
| හා...ච්.චුස් ...කොක්සාකි ..... |
හැබැයි තවත් අවස්ථාවක් තියෙනවා , ඒ තමයි කිවිසීමෙදි පිටවන බිඳිති , ඒ කිව්වේ මේ රෝග තත්ත්වය සහිත කෙනෙක් හරි , තුවාල සුව වෙලා සතියක් තුලදී හරි , සමහර අවස්ථාවල බිබිළි නොදාමින් වයිරස් හැංගිලා ඉන්න කෙනෙක් හරි කැස්සොත් , කිවිසුමක් පිට කළොත් මේ වයිරස් ලක්ෂ ගානක් වාතයට පිට කෙරෙනවා , ඒවා පාවෙලා ගිහින් තව කෙනෙක්ගේ නාහෙට ඇතුළු වුනොත් , ඇඟට ඇතුළු වුනොත් එයාටත් මේ ලෙඩේ හැදෙන්නට ඉඩ තියෙනවා , ඒ නිසා අත් සේදීම වගේම කිවිසීමේදි බිඳිති පිටවන ප්‍රමාණය අඩු කරගන්නත් යම් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා නම් හොඳයි , ඔන්න දැන් ඉතින් නාහේ හොඳටම තද කරගන කිවිසුම් යවන්න එපා , ඒක මරණීය අනතුරක් ඒගැන කියවන්න ,
දැන් ඔබ හිතාවි මෙච්චර වයිරස් තියෙනවා නම් කොච්චර ලෙඩ්ඩු ඉන්න එපාද කියල , ඔව් වාසනාවට මේ වයිරස් එකත් එක්ක හැප්පිලා මුලින්ම විනාශ කරල දාන්න අපි බොහොමයකගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට Immune system පුළුවන් , අපේ ඇඟේ ඉන්න සුදු රුධිරාණු ,antibodies , immunoglobulin වගේ සාධක එතැනදි වැඩි වගකීමක් ගන්නවා , ඒත් ප්‍රතිශක්තිකරණ හැකියාව තාවකාලිකව හරි දුර්වල වෙච්ච කෙනෙක්ගේ ඇඟට වයිරස් එක ඇතුළු වුනොත් ..දැන් ඉතිං චන්ඩියා එයා , එතකොට ලෙඩේ හදනවා .. විශේෂයෙන්ම පොඩි පැටවු , වෙනත් රෝග වලට දිගු කාළින ප්‍රතිකාර ගන්නා අය මේ තත්ත්වය සඳහා අවදානම වැඩි ඒකයි .
| එන්න එපා මගේ ළඟට...මගේ ප්‍රතිශක්තිය හොඳයි .. |
ඔබේ දරුවාට මේ ලක්ෂණ මතු වුනොත් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවීම වඩාත් සුදුසුයි , ගොඩාක් ලොකු පරීක්ෂණ කරන එකක් නැහැ , බොහොම සරළ රැධීර පරීක්ෂාවක් , සමහර විට මළ පරීක්ෂාවක් කරල බෙහෙත් දෙන්න පුළුවන් , බෙහෙත් මල්ලක්ම දෙන එකක් නැහැ , ඉල්ලන්නත් එපා , මොකද මේ තත්ත්වයට සම්මත වෙච්ච ඖෂධයක් නැහැ , හොඳම ඖෂධය විවේකය , විශේෂයෙන්ම මේ තත්ත්වය තිබේ නම් දරුවා පාසල් නොයවා නිවසේ රඳවා ගන්නවානම් (isolation) ඒක දරුවාටත් අනෙක් අයටත් හොඳයි , රාජකාරියෙන් නිවාඩුවක් ගන්න පුළුවන් නම් අඩුම තරමේ දින 2-5ක් විතර වත් නිවාඩු ගන්න , හැබැයි මතක තියා ගන්න ලෙඩේ හොඳ වෙලා සතියක් විතර යම් වයිරස් එක ඇඟේ තියෙන නිසා අනිත් අයට නොබෙදා ඉන්න කටයුතු කරනවා නම් වඩාත් හොඳයි , මේ දවස් ටිකේ හාදු දෙන එකත් හොඳ නැහැ හොදේ ...ලොකු අයටත් අදාලයි ....
ඒ අවස්ථාවේ තියෙන ගැටළු වලට තමයි ප්‍රතිකාර කෙරෙන්නේ , උදාහරණයක් උණ තිබේනම් Paracetamol වර්ගයක් (මේ ගැන දැන ගන්න ) හැබැයි කිසිම වෙලාවක හිතුමනාපෙට ඇස්පිරින් කාණ්ඩයේ ඖෂධ නම් දෙන්න එපා , වැඩිහිටි හරි පාසල් වයසේ දරුවෙක්ට හරි නම් යම් Mouth wash වර්ගයක් නියම කරන්නත් පුළුවන් , සමහර විට ගෙදරදිම හදා ගන්න මද උණුසුම ලුණු ද්‍රාවණයක් මේ සඳහා යොදා ගන්නත් පුළුවන් ,
වැදගත්ම දෙයක් කියාවි , ඒ තමයි දියර ජාති වැඩිපුර දෙන්න කියන එක (හැබැයි දොඩම් , සෝඩා වර්ග වගේ දේ ඇති ආම්ලික බව නිසා ඒවා නොදී ඉන්න පුළුවන් නම් හොඳයි මොකද ඒ වගේ දෙයක් බොත්දි වේදනාවක් ආවොත් පොඩි අය ඊට පස්සේ බොන්නෙම නැතිව යනවා බයට ..ටිකක් සීතල කළ දියර වර්ග , කිරි , වතුර වගේ බොන්න කැමති වේවි ,එයින් වේදනාවත් ටිකක් අඩු වෙනවා ) ,
| බොන්න ....හොඳට බොන්න .... |
කෑම ගැන කිව්වොත් වඩාත් හොඳයි තුනපහ මිශ්‍ර නොකර හෝ අඩුවෙන් හරි යෙදූ ඒ තරම් හපන්න ඕන නැති මෘදු ආහාරයක් , (උදාහරණයක් -කැඳ , සුප් ) ලබා දිම .
මේ තත්ත්වය පැතිරීමේ අවදානමක් තියෙන අවස්ථාවක , අපි භාවිත කරන රෙදි , මතුපිටවල් , මේස , බිත්ති , උපකරණ , සෙල්ලම් බඩු ආදියෙහි මේ වයිරස් ඉන්න පුළුවන් , ඒ නිසා වඩාත් සුදුසුයි ඒ වගේ උපකරණ හැකිතරම් පිරිසිදුව තියා ගන්න එක, පුළුවන් නම් ඒවගේ සෝදන්න පුළුවන් උපකරණ හොඳින් සෝදන්න සබන් ටිකක් භාවිත කරල , ඊට පස්සේ පුළුවන් නම් ක්ලෝරීන් බ්ලීච් ද්‍රාවණයකින් (හදා ගන්නේ මෙහෙමයි bleaching powder එහෙම නැත්නම් T.C.L කුඩු තේ හැන්දක් වතුර කෝප්ප හතරක ප්‍රමානයකට එකතු කරල හොඳින් දිය කර ගන්න , කිසි වෙලාවක කුඩු වලට වතුර එකතු කරන්න එපා , වතුර වලට කුඩු එකතු කරන්න) එම උපකරණ , මතුපිටවල් හොඳින් පිසදාන්න .
ඒ වගේම මේ අවස්ථාවේ රෝගී අයත් එක්ක කෑම ජාති බෙදා ගෙන කන්න , උපකරණ බෙදා හදා ගන්න යන්න එපා , හැබැයි ඉතින් අපේ පැටියෙක් ලෙඩ වුනොත් මොකද කරන්නේ , පැටියගේ වැඩ කරන්න , හැබැයි පස්සේ හොඳට අත් සෝදගන්න , නැත්නම් අනෙත් දරුවටත් හැදෙන්න තියෙන අවස්ථාව වැඩියි ,
| මේ ඔක්කොම එනකම් ගෙදර ඉන්න එපා.. |
| මෙන්න 1998 චිනයේ තත්ත්වේ |
| පීඩීඑෆ් එකක් විදියට ගන්න |
එහෙනම් අදට යනවා , ආයෙ දවසක ලෙඩක් අරගෙන එන්නම් , සතුටින් ...සනීපෙන් ඉන්න ....මොකද “නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොහින්දා “ නේද ? සුනිල් එදිරිසංහයන්ගේ හඬ මුසු වුනු තවත් ලස්සන සිංදුවක් ඇහෙනවා ...
මෙන්න සිංදුව ...
රජෙකු වුනත් ගිලන් වෙලා //
එක්තැන් වුණ දා
කියනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා //
ඉසුරු සමඟ හාද වෙලා //
නොසතුට ආදා
දැනෙනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා //
බැරිවුණදා නෑදෑයන් //
අතහැර ගියදා
හිතෙනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා //
එක්තැන් වුණ දා
කියනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා //
ඉසුරු සමඟ හාද වෙලා //
නොසතුට ආදා
දැනෙනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා //
බැරිවුණදා නෑදෑයන් //
අතහැර ගියදා
හිතෙනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා //