2011/08/28

50) බබා ලැබෙන හැටි ..

අද හරිම සුන්දර දවසක් , හේතු තුනක් නිසා , ඒ කාළෙකට පස්සේ සොඳුරු සුව අසපුවට එන්නට හැකි වීම , “බබා හම්බවෙන දවස “ වීම සහ මේ ලිපිය එක් කඩඉමක් සලකුණ කිරීම . මින් පළමු වැන්න ගැන නම් ගැටළුවක් නැතිව ඇති , ඒත් මොකක්ද මේ බබා ලැබෙනව දවස කීවේ ? ..ඔව් ඔබ දන්නවා අපි පහුගිය දින කිහිපය පුරාම කළේ දරුවෙක් පිළිසිඳි ගැනීමේ සිට මවක් පියෙක් සූදානම් විය යුතු ආකාරය ගැන , අද ඒ ලිපි පෙලේ අවසන් ලිපිය , අද අපි කතා කරමු දරුවා බිහිවීම ගැන .



පනහ ලැබුවා .....බ්ලොග් එකට !
මොකක්ද තුන් වන විශේෂත්වය ,  ඒතමයි මේ තමයි මෙම බ්ලොග් සටහනේ පනස් වන ලිපිය , අර්ධ ශතකය ..පහුගිය මැයි මාසේ දහ තුන් වන දා (මා සේවය කළ වෘත්තිය පුහුණු ආයතනයෙන් ඉවත් වන්නට තීරණය කළ දා) මෙම බ්ලොග් පිටවු ආරම්භ කළේ , තවදුරටත් මගේ සිසු සිසුවියන් අරමුණු කරගෙන ඒත් දින කිහිපයක් යත්දි මේ ලිපි ඔබ සැම කියවමින් යම් තරමකින් හෝ ප්‍රයෝජනයක් ගන්නා බව හැඟීමත් එක්ක අර මුල් අරමුණට තවත්  පියවර කිහිපයක් ඉදිරියට යමින් පොදු සෞඛ්‍ය ගැටළු සහ අනතුරු ගැන කතා කරන්නට පෙළඹුනා.ඒ සොඳුරු පෙළඹවීමට මේ කියවූ , දිරි ගන්වමින් අදහස් දැක්වූ ඔබ සැම හේතු වන නිසා , අද දිනය එලෙසින් මා දිරි ගැන්වූ ඔබ සැමට පොදුවේ ස්තුතියි පුද කරන්නට සිතමි .නම් වශයෙන් නොකීවත් ඔබ සැම වෙත මගේ ගෞරවය පුදමි .එමෙන්ම ඉදිරියේද ඔබගේ අදහසට , යොජනාවන්ට මේ බ්ලොග් සටහන විවෘත බව මතකයේ රදවමින් , කයිවාරුව අවසන් කර අද කතාව පටන් ගන්නට උත්සාහ කරමු...

හොඳයි , දැන් අපි මේ වන විට එන්න ඉන්න අමුත්තා වෙනුවෙන් සියල්ල සූදානම් , මානසිකව , කායිකව , ඒ වගේම ගේ දොර වටපිටාව ,ඒ විතරක්ද ගන්න ඕන බඩු මුට්ටු , ඔක්කොම ලැහැස්තියි , ඔබ අද මේ ලිපි මාලාවට ආවේ පළමුවතාවටනම් කරුණාකර මීට පෙර ලිපි , එනම් 45,46,47,48.49 යන ලිපි කියවා සිටීම වඩා පහසුවක් වනු ඇත.

කාළෙ හරිද ? 
දැන් ගර්භනීත්වයට සති 37ක් විතර , සමහර විට වරින් වර පෙඩි පොඩි වේදනාවන් , බඩේ ඇදීම් වගේ කැක්කුම් ඇති වනවා ඇති , ගෙදරදි නම් ටිකක් බය හිතෙනවත් ඇති , දැන් බබා ලැබේද දන්නෑ කියල , ඔබ් මේ දවස් වල පැටිය ටිකක් දඟළනවා ,  මේ තත්ත්වය බොහෝ දුරට සාමාන්‍යයි , ඒ වගේම බඩේ තිබුණු තද ගතිය ටිකක් අඩු වෙලා වගේ දැනෙන්නත් පුළුවන් , බය වෙන්න එපා , මුකුත් කරදරයක් නෙවි , පැටිය දැන් අම්මගෙන් ඉවත් වෙන්න ඕන විදියට හැඩ ගැහෙනවා , හැරෙනවා , ඒකයි එහෙම වෙන්නේ , කෙසේ වෙතත් ඔබට ලබා දුන් නියමිත දිනයට Due date එකට සති දෙකකට පෙර ඔබට අදාල සායනවයට යන්න , නැත්නම් ඔබේ විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න , මොකද එතැනදි ඔබට යම් අසාමාන්‍ය තත්ත්වයක් තිබේද , සාමාන්‍ය දරු ප්‍රසූතියට සුදුසු තත්ත්වයකද ඉන්නේ මෙන්ම නියමිත දිනට පෙර දරුවා බිහිවේද කියන එක ගැනත් දැන ගන්න පුළුවන් .


මේ දිනය ගැන විශේෂයක් තිබෙනවා , ඒ අද එක්තරා මොස්තරයක් බවට පත්වන සිසේරිය් සැත්කම ගැන ඔබේ වෛද්‍යවරයාට යෝජනා කරන්නට පෙළඹෙන්නේ මෙන්න මේ දවසේ ,මොකද දැන් පොඩි බයක් තියෙනව නේද හිතට  ? මොන පොඩිද නේද ?...ඔය බය වගේම විවිධ සමාජයීය හේතු නිසා බොහෝ ගර්භනී මව්වරුන් තම දරුවා සිසේරියන් සැත්කමකින් බිහි කරගන්නට පෙළඹෙනවා , මම පොඩි ඉල්ලීමක් කරන්නම්, දැරුවා බිහිවිය යුතු ආකාරය ඔබ නිගමනය කරන්නට යන්න එපා , ඔබට වෙනත් සෞඛ්‍ය ගැටළුවක් නැත්නම් සාමාන්‍ය ප්‍රසූතිය Normal delivery තමයි වඩාත් සුදුසු , මවට වගේම පැටියටත් . ඒ නිසා ඉස්කොළෙට දරුව වේලාසන දාගන්න , එහෙම නැත්නම් රූ සපුව රැක ගන්න , නැත්නම් හිතේ බයට සිසේරියන් සැත්කම් කරවා ගන්න එපා , එහි යම් යම් ගැටළු නැතිවා නොවේ , කෙසේ වෙතත් ඔබේ සෞඛ්‍ය තත්ත්වයේ හෝ දරුවා යම් අනතුරුදායක තත්ත්වයක සිටීනම් සුදුසුම ක්‍රමය විදියට වෛද්‍යවරයා විසින් “සිසේරියන් සැත්කම“ තෝරාවි , එය කළ යුතුයි.

සූදානම් ....
එහෙම නම් රෝහලට ඇතුලත් වෙන්නට ලබා දුන් දවසට ඔබ රෝහල් ගත වෙන්න සූදානම් . මතකද අවශ්‍යබඩු මල්ල . මෙන්න මෙහෙම ලෙහෙස්ති කරගන්න , බෑග් දෙකක් තිබේ නම් වඩාත් හොඳයි , එකක් අම්මගේ බඩු , ඇඳුම් වලට අනික පැටියගේ දේවල් දාගන්න . අම්මගේ බෑග් එකේ බෙඩ් ජැකට් කිහිපයක් , චීත්ත robe කිහිපයක් හොඳට වියලළ , මැදල ලස්සනට නවල සූදානම් කරගන්න තව ...හොඳ feeding bra කිහිපයක්  , ඒ වගේම හොඳ යට ඇඳුම් කිහිපයක් , අවශ්‍යතාවය මත ටිකක් වැඩිපුර වුනත් කමක් නැහැ , ඔබට ගැළපෙන සනීපාරක්ෂක තුවා පැකට් එකකුත් දාගන්න සමහර විට අවශ්‍ය වෙන්න ඉඩ තිබෙනවා . ඊට අමතරව මුහුණ පිස දැමීමට ගන්නා තුවායක් දෙකක් ,පනාවක් , දත් බුරුසු සබන් වගේ සාමාන්‍ය දිනයක අවශ්‍ය අඩුම කුඩුම ටිකත් පිළිවෙලකට  pack කරගන්න. පැටියගේ crib එකට දාන්න ෂීට් එකක් ගත්තනම් ඒකත් එක්ක අර පොඩි කොට්ට පොඩිත්තත් දාගන්න . පිළීවෙලකට කිව්වේ අවශ්‍ය වන පිළිවෙලට. වෙනම බැග් එකක දාල රබර් සෙරෙප්පු දෙකකුත් සුදානම් කර ගන්න .

ඒ බෑග් එකේම පැත්තක ගන්න පහසු විදියට මෙතෙක් ඔබට අදාලව කළ සියළු පරීක්ෂණ වාර්තා , සායනික සටහන පත් clinic cards , වගේ වැදගත් ලිපි ලේඛණ ටික රඳව ගන්න .

දැන් පැටියගේ බෑග් එක ..ඒකෙත් අවශ්‍ය වන පිළිවෙලකට , බ්ලැන්කට් ෂීට් එකක්  දෙකක්  , නැපීස් ටිකක් වැඩිපුර , පැටිය පිසදාන්න ගත්ත තුවායක් , කෝඩ් ක්ලෑම්ප් දෙකක් විතර දාගන්න ,

තාත්තත් ළඟ ඉන්නවනම් ......
හරි දැන් ඔක්කොම සූදානම් , එහෙම නම් අපි දැං යනවා hospital . මේ ගමනට මුළු පවුලම යන්න එපා , මහත්තයත් එක්ක , අම්ම හරි නැන්දම්ම හරි යන්න , මොකද ලංකාවේ මාතෘ රෝහල් වල පවුල් පිටින්ම ගිහින් ඉන්න තරම් පහසුකම් නැහැ , ඒත් ඔබ පෞද්ගලික රෝහලක නම් කිසිම ගැටළුවක් නැහැ. විශේෂයෙන්ම දරුවා බිහිවන අවස්ථාවේ දරුවාගේ පියා “ළඟ සිටීම“ වඩාත් සුදුසු බව අද හඳුනාගෙන තිබුණත් ලංකාවේ රජයේ රෝහල් වල එම පහසුකම ලැබෙන්නේ ඉතා කළාතුරකින් , ඊට සාධාරණ හේතු තිබුණත් වඩාත් සුදුසුම ක්‍රමය තාත්තා ද ළඟ සිටීමයි.

දැන් ඔබේ වේදනාව ටිකක් වැඩි වෙනව නේද ? වරින් වර ඇතිවුනු තද වේදනාවන් දැන් ටිකෙන් ටික තද වෙනවා, ඒ වේදනාවන් අතර කාළ පරතරය අඩු වෙනවා .ඒ වගේම ටිකක් රිද්මයානුකූල වේදනාවක් දැනෙනවා ,කොන්දේ කැක්කුමත් වැඩි වෙනවා , මේ  ප්‍රසූතියට හේතුව labor pains නම් දැන් ඔබ labor room එකට රැගෙනයාවි , බය වෙන්න එපා හිත සතුටින් ඉන්න . ඔබ අම්ම කෙනෙක් වෙන්න යන්නේ , ඔබ රැක බලා ගන්න හොඳ පුහුණු සෞඛ්‍ය කණ්ඩායමක් ඉන්නවා . ඉතින් සතුටින් ඉන්න .

episiotomy ට බය වෙන්න එපා..
ඒ සුතිකාගාරයෙදි සිදුවන කටයුතු කිහිපයක් තිබෙනවා , ඒ දරු ප්‍රසූතියේ එක් එක් පියවරයන් පිළිබඳ නිසි නිරීක්ෂණයන් පවත්වා ගැනීම , ඒ සඳහා අවශ්‍ය උදව් කිරීම , ඒවගේම වේදනාව අඩු කිරීම සඳහා යම් ඖෂධ ලබා දීම , දරු ප්‍රසූතියේ අවසන් පියවර වලදි දරුවා පහසුවෙන් පිටතර ගැනීමට episiotomy කැපුමක් යොදන්නත් පුළුවන් , ඒක මහ ලොකු ඔපරේෂන් එකක් විදියට හිතල බය වෙන්න එපා , ඔය “එපිස් දානව “ කියල කියන්නේ ඒ සුළු කැපුම , මේ තත්ත්වයේදි වේදනානාශක ලබා දී තිබීම වගේම එම ප්‍රෙද්ශයේ ස්නායු තෙරපීමකට ලක්වී තිබීමත් නිසා එම කැපුම ලොකු වේදනාවක් දෙන්නේ නැහැ , එමගින් දරු පැටියා පහසුවෙන් ඉවතට ගන්නට පුළුවන් වෙනවා.


දැන් දරු පැටියා බිහිවන විදිය විස්තර කරන්නට යන්නේ නැහැ , එය ඇසින් දැක ගතයුතු නිසා හොඳ වීඩියෝවක් ඇතුළු කළා , මෙතනින් ඇවිත් බලන්න.

මේ තවත් සාමාන්‍ය ප්‍රසූතියක් ,බලන්න හැබැයි ටිකක් සංවේදී දර්ශන තියෙන නිසා බය නම් නොබැලුවත් කමක් නැහැ

C-section සැත්කමක් 
දැන් අපි සිසේරියන් සැත්කම ගැන කතා කළොත් , එහිදි වෙන්නේ ඔබේ කොදුඇට තුලින් සුෂුම්නාවට spina යම් නිර්වින්දක ඖෂධයක් ඇතුළු කරල කොන්දෙන් පහල හිරි වැට්ටීමක් කරල , උදරයේ පහලින් ශල්‍යකැපුමක් යෙදීමෙන් ගර්භාෂ්‍ය තුලින් පැටියා එළියට ගන්න එක , මෙතැනදි අම්මට සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න ටිකක් වැඩි පුර දින ගනනක් යනවා , පොඩි පොඩි ගැටළු ඇති වන්නටත් ඉඩ තිබෙනවා ,  ඒ නිසා හරිම වැදගත් නිසි වෛද්‍ය නිරීක්ෂයන්ට ලක්වීම . ඒ වගේම සිසේරියන් සැත්කම හෙවත් C-section මගින් දරුවකු බිහි කළ මවක් නැවත දරු ප්‍රසුතියක් ගැන සුදානම් වන්නට අඩුම තරමෙ අවුරුදු දෙකක් වත් ප්‍රමාද කරනට ඕන , නැතිනම් ටිකක් අනතුරුදායක තත්ත්වයන්ට යන්න  පුළුවන්.අනෙක් වැදගත්දේ වෛද්‍ය උපදෙස් අනුව හැකි ඉක්මණින් සාමාන්‍ය ජීවිතේ ක්‍රියාකාරකම් වලට එන්න , බර උස්සන එක හැර ඔබට ගෙදර දොරේ සාමාන්‍ය කටයුතු කරන්නට පුළුවන් , ටිකක් රිදෙනවා තමයි , ඒත් ලොකු ඔපරේෂන් එකක් කළා කියලා ඇඳටම වෙලා කාළයක් හිටියොත් තුවාලය සුව වෙන්න ප්‍රමාද වෙනවා වගේම ඔබටත් දරුවටත් ගැටළු ඇති වෙන්න ඉඩ වැඩියි.

මේ හදවතේ සතුටයි ....
කොහොම දරු පැටියා බිහිවුනත් හැකි ඉක්මනින් දරු පැටියට කිරි දෙන්න පටන් ගන්න , ඔබේ තුරුළුට පැටිය අරගෙන ඒ උණූසුම බෙදා ගන්න , ඒ සුවය විදින්න , පැටිය සතුටින් තමන්ගේ පළමු ආහාරය රස විඳීවි.

එසේ නම් අපි මේ ලිපි මාලාව මෙතැනින් නිමා කරන්නටයි සූදානම , ඉතින් මේ ලිපි මාලාව සමඟ එක්ව සිටි ඔබට බෙහොම ස්තුතියි , මේ අතරේ මව්වරු පියවරු වෙන්න බලාන ඉන්න තරුණ පිරිස් බොහොමයක් ඇති , හොඳට මතක තියා ගන්න දැන් ඔය දැනෙන හැඟීම් ,කළබල ගොඩාක් වෙනස් වෙලා නියම පිරිපුන් මිනිසුන් වෙන්නට පටන් ගන්නේ මෙන්න මේ දවසේ ඉඳන් කියලයි මට හිතෙන්නේ .

එහෙම නම් මම සමුගන්නම් ,