| ටොරොන්ටෝවේ සිට අමතමි .... |
"Day care temporary closed due to Chicken pox " .... අළුත් රටේ හැඩ රුව හදුනගන්නට පැමිනි දිනට පසු දිනේම අපි ගමනේ යා...ම ආරම්භ කළා .මට පෙර කැනඩාවට ආ මගේ සහෝදර හෙද නිලධාරිනියකගේ සහ එම පවුලේ සැම පෙර ගමන් කරුවන් කරගනිමින් අපි මාවත් , කඩපිල් , වීදී දිගේ ඇවිදින්නට වුනා ....සීතල සුළඟ ...සැනෙන් වෙනස් වන කාළගුණ තත්ත්ව විඳගෙන මේපල් පත් අතරින් අපි ඇවිද යත්දි එක්තරා ස්ථානයක ඉහත දැක්වූ සටහන දොරක එල්ලා තිබුනා. මේ ගැන මගේ මිතුරන් පැහැදිලි කළේ එම ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් නිසා පැපොල රෝග තත්ත්වය පැතිරීමේ අවදානමකදී මේවැනි ක්‍රියාමාර්ගයන් ගන්නා බවයි . පැපොල රෝගය සඳහා එන්නත් සහිත කළක මෙවන් රටකත් මෙවන් සිදුවීමක් දකින්නට ලැබිම , මෙම රෝග ගැන සටහනක් කරන්නට මා පෙළඹන්නට වුනා.
![]() |
| අපේ ගමන .... |
එහෙමනම් අද අපේ කතාව පැපොල් ..නැහැ ..පැපොල රෝග ගැන ..අපි ඉස්කෝලේ කාළේ කියන විදියටම කිව්වොත් “පලදාව හැදුනම“ කරන්න ඕන දෙ ගැන ..අපේ වැඩිහිටියන් නම් කීවේ “දෙයියන්ගේ ලෙඩේ“ කියල , මතකද ඒ නම ඇහෙන්නවත් කියන්න ඒ අය බය වුනා ...
ඇත්තටම මොකක්ද මේ පැපොල ..Chicken pox ...මේ තවත් Varicella zoster නම් වෛරසය නිසා බෝවන ..සීග්‍රෙයන් බෝවන රෝග තත්ත්වයක් ..වෛරසයෙන් ආසාදනය වුනාට පස්සේ දින 10ක් 21 අතරෙදි සමේ මතු වන රතු පාට ලප ...කසන සුළු බිබිලි බවට පත්වෙලා කැඩිල වියලිලා යන රෝගයක් ..මේ එක්කම තද උණ , ඇඟපත රුදාව වගේ පොඩි පොඩි කරදර ඇති කරන තත්ත්වයක් ..ඒත් අර බිබිළ මුළු ඇඟ පුරාම ආවාම ඇති වන වේදනාව නම් ...මතක් වෙනකොටත් අමාරුයි ..සාමාන්‍යෙයන් වෙන ලොකු කරදර ඇති කරන්නේ නැහැ ..නැහැ කිව්වට ඉතාමත් සුළු අවස්ථාවක් තියෙනවා යම් අහිතකර , සමහර විට මරණීය විය හැකි අතුරු පල ඇති කරන්නටත් ..ඒත් ඒ ඉතාමත් සුළු අවස්ථාවක් ...ඒ වගේම හුඟක් වියපත් , දියවැඩියාව , වගේ රෝග වලින් පෙළෙමින් දිගුකාළීනව ප්‍රතිකාර ලබන අයෙකුට මේ තත්ත්වය හැදුනොත් තමයි තරමක අනතුරක් තියෙන්නේ ..බය වෙන්න එපා , කරන්න ඕන මේ වගේ අයෙකුට පැපොල හැදුනොත් , කැඳ බිබී ඉන්න එකට වඩා ළඟම තියෙන රජයේ රෝහලට එන එක ..එතකොට අවශ්‍ය ප්‍රතිකාර දෙන නිසා හිත කළබල කරගන්න එපා .
අනෙක Chicken pox වැඩියෙන්ම ඇතිවෙන අවදානම තියෙන්නේ ළමා වියේදි , විශේෂයෙන්ම පාසල් වියේදි ..එක්කෙනෙක් ගෙනාවොත් පන්තියටම දීල තමයි යන්නේ ..දන්නවනේ ..මොකද මේ වෛරසය ඉතාමත් කුඩා ..වාතයේ බොහොම පහසුවෙන් පාවෙලා වෙන කෙනෙක් ගාවට පාවෙලා යන්න පුළුවන් රෝග කාරකයෙක් ..අනෙක බිබිළ මතුවෙන්න දවස් දෙකකට විතර ඉස්සර වෙලා වුනත් ඒ කෙනාගෙන් මේ වෛරසය පිටවෙන්න පුළුවන් , ඒ විතරක් නොවෙයි රෝගියෙක්ගේ බිබිළ වල තිබෙන දියරය යම් ආකාරයකින් ස්ඵර්ශ වුනත් තව අයෙකුට මෙය බෝවෙන්න හැකියාවක් තිබෙනවා , ඒ නිසා සමහර විට පරිස්සම් වෙන්න ටිකක් අමාරු බවකුත් දැනෙනවා .
එක අතකින් පොඩි කාළෙ මේක හැදෙන එක හොඳයි කියලත් හිතෙනවා , මොකද ලොකු වුනාට පස්සේ , නැත්නම් ගර්භණී අවධීයෙදි හැදුනොත් වෙන්නට පුළුවන් “නරක දේ“ වැඩි නිසා , ඒත් පැටියෙක්ට මේ පැපොල හැදිල විඳවන හැටි දැක්කම නම් පුදුම දුකක් දැනෙනවා , ඒත් සාමාන්‍යෙයන් පැපොල හැදුනොත් ඒයාට “නොමිලේ ජීවිත කාළෙටම“ ප්‍රතිශක්තික ආරක්ෂාවක් ලැබෙනවා , ඒ කියන්නේ නැවත් පැපොල ඇති වීමේ අවදානමක් නැති තරම් , ඒත් ඉතා සුළු අවස්ථාවකදි පැපොල හැදුනු අයෙකුට කාළෙකට පස්සේ නැවතත් එවැනිම බිබිළී මතුවෙලා “පැපොල වගේ“ තත්ත්වයක් හැදෙන්නට ඉඩක් තියෙනවා , අපි ඒකට කියන්නේ Herpes Zoster කියලා , ඒකනම් ටිකක් කරදරකාරී , ඒ වගේම නැවත නැවත කරදර කරන ලෙඩක් ..
| අනේ පැටියගේ දුක ..... |
| මේපල් අතු අග කොළ (රතු) .... |
පැපොල හැදුනොත් කිසිම වෙලාවක ඇස්පිරින් දෙන්න නම් එපා , ඒකෙන් Reye syndrom කියන වෙන ලෙඩක් හැදෙන්න පුළුවන් , පැරසිටමෝල් නිසි මාත්‍රාව ( අපි කතා කළා මතකද “සත පනහේ මාරයා ගැන“ ) දෙන්න , දරුව හොඳට නාවල පිරිසිදුව තියා ගන්න , බිබිළ කසන්න ඉඩ තියෙන නිසා නියපොතු කපල තියාගත්තතොත් වඩාත් හොඳයි , බිබිළ තදින් මතුවෙලා බිඳිල නැත්නම් කසන එක අඩු කරගන්න මෘදු ක්‍රීම් වර්ගයක් භාවිත කළාට කමක් නැහැ. හැබැයි තුවාල මත ගාන්න එපා ...හොඳට කන්න බොන්න දෙන්න , පොඩ්ඩ කැමති පැණි රසටනේ , මේ වෙලාවේ පැණි රසට යමක් වැඩිපුර දුන්නට කමක් නැහැ , මොකද දැන් ඇඟට හුඟක් කැළරි ඕන , අනෙක මතක තියා ගන්න තුනපහ , ලුණූ වැඩිපුර (නොදාම ඉන්න පුළුවන් නම් හොඳයි) දැම්මොත් කන්න බැහැ , හරිම දැවිල්ලක් , සමහර විට වමනේ යන්නත් පුළුවන් ,
හුඟක් තදට උණ එනවා නම් (ෆැරන්හයිට් 102ට වඩා) , කල්පනාව වෙනස් වගේ නම් , නිදි මත වැඩිනම් , ඇවිදිම කතා කරන විදිය වෙනස් වෙලා නම් , බෙල්ලේ කැක්කුමක් එක්ක එළිය දිහා බලන්න බයය වගේ නම් ගෙදර තියාගෙන ඉන්න එපා , එක්කව් යන්න රෝහලකට ...( වැඩිය කළබල වෙන්න නේ නැතිව )
| chick peas |
එහෙනම් පැපොල් කතාව ඉවර කරන්නම් , අද ටිකක් සීතලයි සෙල්සියස් නමයයි , පොද වැස්සත් එක්ක හරිම සුන්දරයි ..සීතළයි ..අපි තව ටිකකින් යනවා මේ ළඟ තියෙන ගඟක් වගේ තැනකට එතන කුරුල්ලෝ වැහි වැහල ආසාවේ බෑ බලාගෙන ඉන්න .....
