2011/10/05

64) යට හිරි වට්ටන....කඳ දිගු ලඳ නම...

අද යන්න වුනානේ පොලිසි...   නැහැ ..පොලිසියත් එක්ක යන්න වුනා ...වෙන කරදරයක් නිසාවත් ආයුධ පෙන්නන්නවත් නොවෙයි , ඩෙංගු inspection එකකට ..අපේ රෝහල් පොලිසියේ නිළධාරිමහත්වරුත් එක්ක මටත් යන්න වුනා රෝහල වෙනුවෙන් ...ගෙයින් ගෙට යමින් රෝගය පැතිරීමේ අවදානම වගේම දැනට ක්‍රියාත්මක නීතී ගැනත් ,  නිවැසියන් දැනුවත් කරන්නට වුනා ..අද සතියේ දවසක් නිසා බොහෝ නිවෙස් වල හිටියේ ගෘහණියන් සහ දියණියන් ..පොලිස් නිළධාරිමහත්වරු නීතී ගැන කියල දෙත්දි අපි ටිකක් අවට පරිසරේ ගැනත් බලල ...කරුණූ කාරණා ටිකක් කියල දුන්නා...



ඒ අතරේ ගමේ සිවිල් ආරක්ෂක කමිටුවෙන් ආ වයසක පහේ මහත්මයෙක්(දැනගත් විදියට විශ්‍රාමික පරිපාලන  නිලධාරියෙක්)  අපි යන නිවෙස් වලින් තොරතුරු ලබා ගත් අයගේ නම ,අත්සන එක්ක නාම ලේඛණයක් ගන්නවා ..
....“මහත්තය මේ බලන්න ...මේ ඔක්කොම “කාළ“ නේ ... ..“ තවත්  නිවෙසකට යන අතරේ අර “ලියාගන්න මහත්තය“ මට තට්ටුවක් දාල මෙහෙම කියනවා....“මොකද වුනේ ..list එක වැරදිලද ....?“ මමත් පොඩ්ඩක් තිගැස්සුනා ..
“නෑ මහත්තය මේ මම කිව්වේ ..මේ list එකේ ඉන්න ඔක්කොම නම් ඉවර වෙන්නේ “කා“ වලින්නේ ....බලන්න “ප්‍රීතිකා..ඊළඟ ගෙදර නයනිකා ...මේ ඊළඟට රූපිකා ...ඉළඟට අපේ සමරේළගේ ගෙදර ඔන්න ආයෙත් සමන්තිකා ...“ අර විශ්‍රාමික මහත්තය කියා ගෙන යත්දි අපි හැමෝටම හිනා ...දවල් රස්නෙත් එක්ක අමාරුවෙන් හිටි හැමෝගෙම අපහසුකම් ටිකකට දැනුනේ නෑ වගේ...
“මහත්තයා ...තව ටිකක් මේ විදියට ඇවිද්දොත් අපේ ගෙදරදි මට ලියන්න වෙන්නේ සයටිකා...කියලා ..එතකොට තව “කා “ කෙනෙක්නේ ..“ අපිත් එක්ක ගියා සිවිල් ආරක්ෂක කමිමුවේ විශ්‍රමික විදුහල්පතුමා මටත් හොඳ අවස්ථාවක් දුන්නා ..ඒ ..අද ලියන්න හොඳ මාතෘකාවක් ..අර ගෑණු ළමයාගේ නම ....සයටිකා.....අන්න එයා ගැනයි අද කතාව....

කොනිත්තන කෙල්ල 
විනෝද කතාවක් එක්ක ආවට මේ සයටිකා කියන තත්ත්වය නම් ඒ තරම් සුන්දර නැහැ ..හරිම වේදනාකාරී ..ඒ වගේම අපේ සාමාන්‍ය ජීවිතේ හුඟක් වෙනස් කරන්නට හේතු වන වේදනාකාරී  තත්ත්වයක් ...එහෙම නම් අපි පොඩි anatomy පාඩමක් එක්කම කතාව පටන් ගනිමුද ?...

මෙන්න කමිබිය ....
අපේ 37 වන ලිපියෙදි කතා කළ විදියටම , කොන්ද කියන්නේ හරිම වටින වස්තුවක් ..ඒ නැවෙන නිසාම නොවෙයි ..ඒ ආශ්‍රිතව අපේ හැම අවයවයක්ම වගේ පාලනය කරන , ඒ වගේම ඒ අවයව පටක මොළයට සම්බන්ධ කරන spinal nerves ස්නායු ටෙලිෆෝන් වයර් ටික රඳවාගනෙ යන ටෙලිෆෝන් කණු තමයි කොන්ද හදන්නේ ...ඔය කණු 24(කශේරුකා vertebrae ) ක් එකිනෙකට හොඳට සම්බන්ධ වුනාම තමයි මොළයත් අපේ අවයවත් නිසි ලෙස සම්බන්ධ වෙලා හොඳින් වැඩ කරන්නට අපිට හැකි වෙන්නේ ..හැබැයි යම් හෙයකින් මේ ටෙලිෆෝන් කණුවක් උඩට පොල් ගහක් කඩාගෙන වැටිලා කැඩුනොත් , ඇද වෙලා ගිහින් වයර් ඇඹරුනොත් , කැඩුනොත් මොකද වෙන්නේ ...ඒ  තැනින් පස්සේ ප්‍රදේශයට “සන්නිවේදන සම්බන්ධතාව“ නැතිව යනවා නැත්නම් සන්නිවේදන ගැටළු ඇති වෙනවා .....අන්න ඒ වගේ , ඊට ආසන්න තත්ත්වයක් තමයි මේ සයටිකා වලදිත් වෙන්නේ ..ඒ කිව්වේ කොන්දේ පහල පෙදෙසින් පටන් අරගෙන අපේ තට්ටම ප්‍රෙද්ශය සහ කකුලට ස්නායු සපයන , ස්නායුවක් වන සයටිකා ස්නායුව (Sciatic nerve)  ..මොකක් හෝ හේතුවක් නිසා තෙරපීමෙන් , ඒ ස්නායුවට යම් හිරිහැරයක් වීමෙන් ඇති වන අධික වේදනාව තමයි මේ Sciatica කියල නම් කරන්නේ ..

වේදනාව ..නාව නම් ..
අධික වේදනාවක් කිව්වට , මෙතැනදි වේදනාව අතිශ්‍යය තද ...කරන්ට් වදිනවා වගේ එකවර උග්‍රවන දැනෙන වේදනාවක් තමයි ඇති වෙන්නේ ..කොන්දේ පහල හරියෙන් පටන් ගන්න වේදනාව එකපාරට කකුල ..විළුඹ ..පාදය වගේ පැත්තට විහිදිල යනවා  , ටික වෙලාවක් ඇවිද ගන්න බැරිවම යන්නත් පුළුවන් , ඒ වගේම ඒ වේදනාව ඉවසගන්න බැරි තරම් තද වේදනාවක් වෙන්නත් ඉඩ තිබෙනවා ..

හුඟ වෙලාවක් එක දිගට වාඩි වෙලාම , නැත්නම් හිටගෙන එක තැනම ඉන්න වෙලාවක මේ වේදනාව ඇති වෙන්න පුළුවන් ..හැබැයි උස අඩු පුටුවක වාඩි වෙලා ඉඳල නැගිටින කොට මේ තත්ත්වය ඇති වීමේ අවදානම වැඩියි ..ඒ විතරද හයියෙන් කැස්සොත් ..කිවිසුමක් ගියොත් ...ඉවරයි ...කදුළු පනින්න තරම් තද වේදනාවක් එතකොටම ඇති වෙනවා ...මේ කැක්කුම සති හයකට අඩුවෙන් නම් තිබුනේ ඒ තත්ත්වය නම් කරන්නේ acute sciatica කියලා ..ඒත් බොහොම අවස්තා වල අපි දකින්නේ සති යකට වඩා වැඩි පුර දුක් විඳපු Chronic sciatica රෝගීන් ..

තරු පේන නැවිල්ල ..
මේ වේදනාව විතරක් නෙවි ..කකුලේ තැනින් තැන ..ඇඟිලි වල නිකං කටු අනින්න වගේ පුංචි පුංචි වේදනාවන් වරින් වර ඇති වෙනව මේ sciatica තත්ත්වයේදි ඒ එක්කම කකුල හිරි වැටිච්ච වගේ ..සමහර විට ඒ කකුල නැහැ වගේ දැනෙනවා ..සමහර කියන්නේ කකුල තිබුණට ඉදිමිලා වගේ දැනෙනවා කියල ..ඔය වගේ ලක්ෂණ සති කිහිපයක් තිබුණොත් නිසි ප්‍රතිකාර ගන්නම ඕන...නොසලකා හැරියොත් ටික දවසකින් දැනේවි ඒ කකුල , නැත්නම් කකුළෙ ඒ වේදනාව සහිත  ප්‍රෙද්ශයේ පේෂී කෙට්ටු වෙලා වගේ ..මෙන්න අනතුරක් ...! තවත් මේ තත්ත්වය නොසලකා හිටියොත් ඔබේ පාදය තබන්නට බැරි තත්ත්වයටම පත් වෙන්න පුළුවන් ..මේ වෙනකම් ඉන්න එපා . අර මුලික ලක්ෂණ හඳුනගත්තම ඔබේ වෛද්‍යවරයා හමුවෙලා ඒ ගැන පවසන්න. දැන් ඉතින් පොඩ්ඩක් කකුල හිරි වැටුනා කියල  “මට sciatica“ කියල දඟන්න එපා ..කෙටි කාළසීමාවක් තුල වරින් වර මේ හිරි වැටීම , වේදනාව ඇති වෙනවා නම් දොස්තරමහත්තය හමුවෙන එක හොඳයි..

නරකම අවස්ථාවක් තියෙනව මේ තත්ත්වයේ , එහිදි ඔබේ මුත්‍රා පිට වීම , මලපහ පිටවීම පවා ඔබට පාලනය කරන්නට බැරිව ..නොහිතාම පිට වෙන්න පුළුවන් ..මේක නම් ටිකක් දරුණු අවස්ථාවක් , එක් අවස්ථාවක හරි මේ තත්ත්වයට මුහුණ දුන්නොත් (කොන්දේ වේදනාවත් එක්කම) ...ඉක්මණින්ම නිසි ප්‍රතිකාරයකට යොමු වෙන්න ඕන ..නැත්නම් ලොකු අනතුරක් අතළඟ...

සැප-පුටුව ...දුක-වේදනාව...
මේ අවස්ථාවේ විතරක් නොවෙයි ...මුලින් කීව වගේ වේදනාව දින කිහිපයකදි අඩු නොවි , වැඩි වෙන බවක් දැනෙනවනම් , හදිසි අනතුරක් , වැටීමක් එක්කම මේ තත්ත්වය ඇති වෙලා වැඩි වෙනවා නම් , පහුගිය දවස් වල ඔබේ බර අසාමාන්‍ය විදියට බලාගෙන ඉදිත්දි අඩුවුන බවක් මතක නම් ඒ එක්ක මේ වේදනාව ආව නම් ..අධික උණක් එක්ක මේ සයටිකා වේදනාව ආවනම් ...දැන් නම් අත ගගා බලන් ඉන්න එපා ..කළබල නැතිව ටිකක් පරිස්සම් විදියට ළඟම තියෙන රෝහලකට යන්න ..රෝහලට යත්දිත් පයින් යන ප්‍රමාණය අඩු කරන්න පුළුවන් නම් ආරක්ෂාවට හොඳයි ...

මේ තත්ත්වයට ඔබ රෝහලට ඇතුලත් වුනා නම් මුලික පරික්ෂණයකින් පස්සේ රුධිර පරික්ෂණ කිහිපයක් කරාවි ..F.B.C , E,S,R , Serum calcium , ඔය වගේ පරික්ෂණ කිහිපයක් එක්ක මුත්‍රා පරික්ෂණත් කරාවි ..එතැනින් නවතින්නේ නැතිව Xray , CT හෝ M.R.I. scanning කරන්නත් ඉඩ තිබෙනවා ..පහසුකම් සහිත රෝහලකදි ඔබේ bone scan එකකුත් කරගන්නට පුළුවන් ..මේ පරික්ෂණ වලදි තහවුරු වුනොත් අර ටෙලිෆෝන් වයර් එක ඇඹරිලා හරි තද වෙලා හරි කියලා ..ඒ කිව්වේ sciatic nerve එක compression එකක් හරි irritation එකක් හරි කියල .. ඔබට ප්‍රතිකාර නියම කරන්නට පුළුවන්.

වේදනා නසන්නී ...
ප්‍රතිකාරයේ මුල්ම අවස්ථාව වේදනානාශක ...painkillers කියල අපි කියන්නේ ..පැරසිටමෝල් වල ඉඳල ..Narcotic ඝණයේ ඉතා ප්‍රබල වේදනානාශක දක්වා ඔබට ලබා දෙන්නට පුළුවන් ..මතක තියා ගන්න මෙයින් සිදුවන්නේ වේදනාව පාලනයක් විතරයි ..ඒ එක්කම මේ ඖෂධ නිසා ඔබට ගැස්ට්‍රයිටිස් තත්ත්වය වගේම මළපහ රටාවේ වෙනස් කම් ඇති වෙන්නත් පුළුවන් ...හොඳට කන්න බොන්න ඕන  මේ අවස්ථාවේ (කන්න බොන්න  කිව්වට ..අර සැර බීම නොවෙයි ..) මේ අතරේ තියෙන සැර බෙහෙත් ගනිත්දි  නිතර නිදි මතක් වගේ එන්නත් ඉඩ  තිබෙන නිසා ඔය ඖෂධ ගන්නා අවස්ථාවේ ඔබේ ඖෂධවේදියාගෙන් එය අසා දැනගන්න ..එසේ වේ නම් රිය පැදවිම ..වේගවත් චලනයන් සහිත උපකරණ එක්ක වැඩ කරන එක අනතුරුදායක වෙන්න පුළුවන්.

වැරදියට උස්සන්න එපා 
දැන් ඉතින් බෙහෙත් බීලා ඇඳට වෙලාම දිගටම ඉන්න එපා ..සාමාන්‍ය කටයුතු වල යෙදෙන්න ..බර එසවිම් නොකරනවා නම් හොඳයි ..විශේෂයෙන්ම වැරදි ක්‍රම වලට බර ඔසවන්නම එපා .සමහර විට ඔබේ තත්ත්වය මත සරළ ව්‍යායාම කිහිපයක් කියා දේවි ඔබේ භෞතචිකිත්සකවරයා හෝ වෛද්‍යවරයා විසින්ම , හොඳින් අසා දැනගෙන නියමිත සීමාවේ ඒ ව්‍යායාම කරන එක වාසියක් වේවි .ඒත් කොන්ද නැමීමේදී ඒ වේදනාව අධික වෙනවා නම් ඒ ගැන ඔවුන් දැන්වත් කරන්නට පසුබට වෙන්න එපා ..මොකද කොන්ද අපේනේ .....


හරියට කරනවා නම් මේකත් හොඳ ප්‍රතිකාරයක් 
මේ ඖෂධ සහ ව්‍යායම ප්‍රතිකාර වලට නිසි සුව තත්තවයක් නොවේ  නම් ඔය කොඳු ඇට අතරට යම් ඖෂධයක් ඉන්ජෙක්ෂන් එකක් විදියට ලබා දෙන්නත් හැකියාවක් තිබෙනවා ..පොඩ්ඩක් රිදුනට එයින් ලොකු සහනයක් ලබන්න බොහෝ විට පුළුවන් ..එයත් අසාර්ථකනම් ශල්‍යකර්මයක් කරන්නට සිදු වේවි ..අර ඇඹරුණු , තද වුනු කොඳු ඇට නැවත නිවැරදි කරන්නට Laminectomy වගේ ස්නායු ශල්‍යකර්මයක් කරන්නට අවශ්‍ය බව වෛද්‍යවරයා ඔබට පැවසුවොත් ..එහි ඵල අපල නිසි ලෙස අසා දැනගන්න ..ඔබේ කැමැත්ත ඇත්නම් පමණයි ශල්‍යකර්මය සිදු කරන්නේ ..ඒ ගැන බයවෙනවාට වඩා දැනුවත් වීමයි වැදගත් ..ප්‍රධාන රජයේ රෝහල් වල මේ ශල්‍යකර්මය බහුලව සිදු කෙරනවා ..

පිරිමි අපිට මෙයත් හේතුවක්ළු 
මෙච්චර කතා කළත් මේකට හේතු කිව්වේ නැහැනේ ..ප්‍රධාන වශයෙන් කශේරුකා ලිස්සායාම ..Disk herniation තත්තවය නිසා මේ ස්නායු තෙරපීම වෙන්න පුළුවන් , සමහර විට රිය අනතුරක් හරි වෙනත් දැඩි වැදීමක් සිදුවන අනතුරක් මීට හේතු වෙන්න පුළුවන්. වැරදි දේහ ස්ථාපිත(වාඩි වීමේදී පසුම්බිය පසුපස සාක්කුවේ තිබිම මගින් “වැරදි ස්ථාපිතයක් ඇති කරන බව ඔබ දන්නවාද)  වගේම බර එසවීමේදි වැරදි ක්‍රම යොදා ගනිමින් කොන්දට කරදර කර ගැනීමත් ඒ වගේම වියපත් වීම සහ තවත් වෙනත් රෝග තත්ත්ව නිසා කශේරුවේ මැද ඇති සුෂුම්නාව spina ගමන් කරන බටය පටුවෙන්නට පුළුවන් ,අපි ස්පයිනල් ස්ටෙනෝසිස් නමින් හදුන්වන මේ තත්ත්වයටත් ශල්‍යකර්මයක් කරන්නට වෙනවා. මීට අමතරව විවිධ ආසාදන තත්ත්ව , කොන්දේ ඇති වන ගෙඩි..ඔස්ටියෝපෝරෝසිස් වැනි රෝග මෙන්ම අපි මීට පෙර කතා කළ Multiple myeloma කියන පිළිකා තත්ත්වයේදිත් මෙහෙම වෙන්න පුළුවන්...දැන් ඉතින් මේ අන්තිම සාධකය ගැන  විතරක් හිත හිත ඉන්න එපා...ඊට වඩා බහුල සාධක එමටයි...


කොහොම හරි මට මේ “ලෙඩේ “ මතක් කරල දුන්නු මහත්මයාගෙ ගෙදරින් අපිට හොඳ සංග්‍රහයකුත් අවසානයේ ලැබුණ ..රසම රස සීතල පැපොල් බීමක් .. මද්දහනේ රස්නෙටත් ...ඇවිදින්න හොර (මොකද රෝද දෙක උඩම නිසා) අපිට ටිකක් ඇවිද්දම එන කකුල් වල කැක්කුමත් නැති වෙලා ගියා ගහක් යට වාඩි වෙලා ඒ සංග්‍රහය භුක්ති වින්දට පස්සේ ..

“මහත්තයා අපි ආයෙත් සති දෙක තුනකින් පසු නිරික්ෂණේට යමු නේද ...“ සිවිල් ආරක්ෂක කමිටුවේ මහත්තරු ටික අපි දෙන්නගෙන් අහත්දි ..මම එල්ලිලා ඉවරයි Traffic police බයික් එකේ ...“ හ්ම් යමු යමු අපි එන්නම්කෝ ......අද හරියට වැඩ ..ඉක්මණට යමු නේද ? “ මගේ මිත්‍ර පොලිස් නිලධාරි මහත්තය ඇක්සලේටරේ  කරකවල ගත්තේ හරියට අර කතාව ඇහුන නැහුන වගේ .