පහුගිය දවස් ටිකේ සමාජ ජාලා වල සිංහල බසින් පලවුනු ඡායාරූප , ලිපි වගේම රටේ ප්රධාන මාධ්ය වලත් “ලොකු කතාබවකට ලක්වුනු දෙයක් “ “සිල් බිඳ ගැනීම“ ගැන , ඊටත් වඩා විස්තරාත්මකව , විස්තර කරල තිබුණේ එම වීඩියෝව තුල නිළියක් සහ නළුවෙක් අතර හුවමාරුවන “හාදුවක්“ . ඒ හාදුව දෙන හැටි , පියවරෙන් පියවර ඡායාරූප සමඟින් විස්තර කරන්නට තරම් අපේ සමහර “මාධ්යයන්“ සහ සමාජ ජාල පිටු සෑහෙන මහන්සියක් වෙලා තිබුණා . ඒ මහන්සියේ ප්රතිපලයක් විදියට මම ඊළඟ පෝස්ට් එකට මාතෘකාව සොයා ගත්තා , ඒකත් Kiss ගැනම තමයි , නිකං කිස් නෙවි Kissing disease ගැන.Kissing disease කියල ව්යවහාරයේ කිව්වට වෛද්ය විද්යාත්මක නම Infectious mononucleosis .මේක බෝකරන්නෙ වයිරසයක් . එයා වැඩිපුර රැඳිල ඉන්නෙ කෙළ සහ අනෙකුත් දේහ තරල වල . ඒ කියන්නෙ මෙ රෝග තත්ත්වයෙන් පෙළෙන කෙනෙක්ගේ කෙළ වල , සොටු නැත්නම් කිවිසිමකදි නාසයෙන් විසිරෙන බිඳිති වල , ලේවල වලේම ශුක්රාණු තරලව වගේ තැන් වලත් රැඳෙනව. ඔය නිසාමයි මේ රෝග තත්ත්වයට Kissing disease කියන්නෙම , මොකද තරුණ දරුවන් අතර මේ තත්ත්වය වැඩියෙන්ම පැතිරෙන්නෙ “හාදු“ මඟින්
නිසා , හාදු දෙත්දි මෙම වයිරසය (එප්ස්ටන් බාර් වයිරස EBV එයාගේ හුරතල් නම තමයි ඊබා වයිරසය) කෙළ හෝ ශ්ලේශ්මල තරලය සමඟ අනෙක් පුද්ගලයාට මාරු වෙනවා. හාදු විතරක් නෙවි , කෙළ තැවරුණු බීම වීදුරුවකිනුත් මෙයම වන්නට පුළුවන් . මෙවැනි හේතු නිසා තමයි මෙම රෝගය තරුණ දරුවන් අතර බහුල , හාදු , කෑම බීම හුවමාරු කරගැනීම , වගේම අනාරක්ෂිත ලිංගික එක්වීමක් නිසාත් mono (මේ ලෙඩේ හුරතල් නාමය) හැදෙන්න පුළුවන් .
![]() |
| ලස්සන ඊ-බා |
මෙන්න ලක්ෂණ ටික ,
- උණ ( එච්චර අමාරු නැති මද උණක ඉඳන් තද ගැහෙන උණක් දක්වා වෙන්න පුළුවන්)
- උගුරේ අමාරුවක් ( ඔය sore throat කියල කියන්නේ , උගුර රතු වෙලා ඉදිමිලා කෙළ ගිලිත්දි වේදනාව එන්නේ )
- බෙල්ලේ , කිහිලි වල කුද්දැටි ඉදිමීම
- ඇඟපත රිදෙන , අප්රාණික දුබල බව
- තද ඔළුවෙ කැක්කුම
- මේ කිව්ව ලක්ෂණ වලට අමතරව
- හමේ රතු පාටට හුරු ලප එක්ක , rash එකක් වගේ එන්න පුළුවන්,
- බඩේ කැක්කුමක් , බඩ පුරවාදාපු ගතියක් එන්න පුළුවන් (මෙන්න මේක තමයි වඩාත්ම භයානක ලක්ෂණය , මෙය මතුවෙන්නට පුළුවන් අදාල වයිරසය නිසා අක්මාවට සහ විශේෂයෙන්ම ප්ලීහාවට බලපෑමක් කරමින් ඉදිමීමට ලක්කරන නිසා. මේ හේතුවෙන් , මුල් ලක්ෂණ වගේම මෙ අන්තිම ලක්ෂණය ගැනත් දැඩි අවධානයෙන් ඉන්න එක වටිනවා මොකද මේ අවසාන ලක්ෂණය ජීවිතය අවදානම් තැනකට ගෙනෙන්නටත් හේතු වන්නට ඉඩක් තිබෙන නිසා.)
මතක තියා ගත යුතුම දේ , මේ රෝගයටම කියා විශේෂිත බෙහෙතක් නැහැ , වේදනාව , උණ ඇඟපතේ අමාරු පාළනය කිරීමත් වෙනත් ද්වීතික ආසාදන හෝ සංකූල ( ඒ කිව්වේ මේ ලෙඩේ නිසා ඇති වන වෙනත් ප්රශ්න ) ඇත්නම් ඒවාට ප්රතිකාර කිරීමත් තමයි කෙරෙන්නෙ . නමුත් විවේකය සහ දියර ජාති ( වතුර , පළතුරු බීම වැනි දේ මිසක මත් දිය නොවේ) වැඩිපුර ලබා ගැනීම හුඟක් වැදගත්.
හුඟක් වැදගත් කිව්වෙ , බොහෝ වෙලාවට මේ තත්ත්වය “ඉබේම සුව වෙලා “ ගියත් (නැවත නැවත ඇති වන්නට පුළුවන්) , අක්මාව , ප්ලීහාවට අනතුරු ඇති කරමින් “සිරෝසිස් “ වැනි තත්ත්වයන් ඇති කරන්නටත් , ප්ලිහාව ඉදිමිලා පිපිරීමක් වුනොත් , ජීවිතය ගැන දැඩි අවදානම් අවස්ථාවක් මතු කරන්නටත් පුළුවන් නිසා.
![]() |
| මේ තවත් සුන්දර හාදුවක් |
එහෙම නම් අදට සමුගන්නවා , සුව සතුට ගත සිත රැදේවා පතමින් .

