2016/01/19

188) නිකං කරල සැපක් ගන්න “රස රහසක්“

“අනේ මන්ද මෙයා , දැන් මාස පහකුත් වෙන්න ආවනේ , තවම නෑනේ හොඳ ජොබ් එකක් සෙට් වුනේ “ ටිකක් දුර ඈතක ඉන්න මිතුරියක් මනෝජත් එක්ක දුරකථනයෙන් ,
“ඔයා වොලුන්ටියර් කරනවද ? “ මනෝජ අහපු  පළමු ප්‍රශ්නය
“ නෑ අනේ කොලේජ් එකෙන් දුන්න පැය ගණනට වඩා කරන්න ගියේ නැහැ , අනෙක් ලේසිත් නැහැ අනේ වොලුන්ටියර් කරන්න තැනක් අල්ලගන්න එක“ අපේ මිතුරින් පිළිතුරු දෙනවා .
කතාව ටික ටික ඇදෙනවා ,  සාරාංශය නම් ටිකක් සංකීර්ණයි,  ඇය වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ පාඨමාලාවක් කරනවා ලොකු අපේක්ෂාවක් මත , නමුත් තවමත් ඊට අදාල රැකියාවක් සොය ගන්නට බැරි වෙලා .


මොකද මේ රටක රැකියාවක් හොයා ගන්න එක අමාරු දෙයක් , ඔය පත්තර වල කැනඩාවට, ඔස්ට්‍රේලියාවට යවන අය කියන තරම් ලේසි නැහැ ඒක. එ් වගේම රැකියාවක් නොකර ජීවත් වෙන්නත් බැහැ . ඉතින් ඔය කාල සීමාව හරිම මානසික ආතතියක් විඳින කාළයක් .වෙනත් රටවල කෙසේ වෙතත් කැනඩාවට එන කිසිම කෙනෙක් දැනට ලබල තිබෙන අධ්‍යාපන සුදුසුකම් වලින් ආ ගමන් ජොබ් එකක් හොයා ගන්න අමාරුයි , අඩුම තරමේ එම ක්ෂේත්‍රෙය්ම කෙටි කාළීන පුහුණුවක් / අදාල විභාග නිමාකරන තුරු “අපේකෂා කරන තත්ත්වයේ රැකියාවක්“ ලබා ගන්න ලේසි නැහැ. (මම මෙතැන  කියන්නේ  තමන්ගේ වෘත්තිය / අධ්‍යාපනික තත්ත්වයන්ට ගැලපෙන රැකියාවක් .)

මේ රටතුල හදාරන පාඨාමාලාවන්  , මුහුන දෙන විභාග වගේම තවත් වැදගත් දෙයක් තමයි Volunteer කළ කාළය . එය කොයිතරම්ම වටිනවාදැයි කීවොත් බොහෝ වෙලාවට යම් ආයතනයක් තුල ස්වෙච්ඡා වෙන් සේවය කළ කාළය ‍රට තුල වෘත්තීය අත්දැකීමක් ( Canadian experience)  ලෙසට පිළීගන්නවා. . එ් නිසාම Volunteering එහෙම නැත්නම් “ස්වෙච්ඡා සේවය“ කියන සංකල්පය පාසල් කාළයේ ඉඳළම දරුවන්ගෙ මනසට ඇතුළු කරනවා . සමහර ශ්‍රේණිවලදි එය අනිවාර්යයි . විශේෂයෙන්ම විශ්ව විද්‍යාලයට
මේ ඉන්නෙ අපේ පිහිනුම් පුහුණූකරුවෝ ටික 
ඇතුළු වෙත්දි , ශිෂ්‍යත්ව සඳහා තෝරා ගනිත්දි මේ Volunteer පැය ගණන් ගැන විමසනවා. මේ ඔස්සේ  යමින් මගේ ලොකු කෙළීත්  ගිය අවුරුද්දේ  ගමේ තියෙන පිහිනුම් තටාකයේ ස්වේච්ඡා පුහුණුකරුවෙක් විදියට සේවය කළා (නියමිත වයසට පෙරම අදාල පිහිණුම් විභාග සමත් වී තිබීම නිසා)   , කිසිම මුදලක් ගෙවන්නේ නැහැ , නමුත් එය  සතුටක්  ,ලොකු අත්දැකීම් එකතු කර ගැනීමක්.ඒ සතුට කෙතරම්ද කියතොත් , මේ දවස් ටිකේ පිහුණුම් තටාකය වසා තිබෙන නිසා වෙනත් සමාජ කටයුතු මඟින් මේ ස්වේච්ඡා අත්දැකීම ලබා ගන්නට ස්වයං පෙළඹවීමක් ඇති වෙලා.


මොකක්ද මේ Volunteering කෙරිල්ල කියන්නේ ?

නිකං දිමේ සතුට ! 
මෙහෙමයි ඔබ පාසල් වයසේ වුවත් , රැකියාවක් කරන වයසේ වුවත් , තමන්ට යම් වෘත්තීමය , ආයතනිකමය අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් මෙය. මෙතැනදි සිදුවන්නේ , මෙලෙස අත්දැකීම් ලබා ගන්නට අපේක්ෂා කරන පුද්ගලයා , තමන් ස්වේච්ඡාවෙන් අදාල ආයතනය තුල සේවය කිරීමට කැමති බව දක්වමින් ඉල්ලීමක් කරනවා. එතැනදි අදාල ආයතනයට මිනිස් සම්පත් අවශ්‍යතාව තිබේ නම් , අදාල ඉල්ලුම්කරුගේ පසුමිබ් විස්තර , පොලිස් වාර්තා  ‍, අධ්‍යාපන තොරතුරු ආදිය විමසීමෙන් පසුව , අවශ්‍ය මට්ටමේ සිටී නම් , ස්වෙච්ඡාවෙන් තම ආයතනය තුල සේවය කරන්නට අවස්ථාවක් ලබා දෙන්නට පුළුවන්. මෙ සඳහා කිසිදු ගෙවීමක් කරන්නට ආයතනය බැඳිල නැහැ . ඒ බව ඉල්ලුම්කරන්නා දන්නවා. දැන් යම් කාළසීමාවක් , ස්වෙච්ඡාවෙන් , පැවරුම් කළ රාජකාරි කරන්නට අදාල ඉල්ලුම්කරුට අවස්ථාව ලැබෙනවා. සාමාන්‍යෙයන් මෙලෙස සේවය කරන ස්වෙච්ඡා පැය ගණන , කාළ සීමාව පිළිබඳ ලිඛිත සටහන් තබා ගන්නා ආයතනයේ මානව සම්පත් නිළධාරින් එම තොරතුරු පාසලට හෝ රැකියාවක් ඉල්ලුම් කරන අවස්ථාවක ලබා දෙනවා. එය සමහර විට  අධ්‍යාපන සහතික වලට වගේම වටිනාකමක් තිබෙන වාර්තාවක් වෙන්න පුළුවන්.

දැන් ඔබ කියන්න පුළුවන් “ඔය එක එක රට වල කයිවාරු “ කියල , නමුත් අද කියන්න හදන්නේ  අපේ රටටත් මේ Volunteering ක්‍රමය පාසල් දරුවන්ට හඳුන්වා දෙන්නට පුළුවන් නම් යම් වැදගත් වෙනසක් වේවි කියල හිතන්න පුළුවන් බව. මොකද අපේ රටේ රැකියාවකට ඇතුළු වන බොහෝ “කෝඩුකාරයින්ට‘ / මුලින්ම රැකියාවකට එන අයට  , සිද්ධාන්ත දැනුම ඇතත් , ආයතනික ප්‍රාෙයා්ගික දැනුමක් නැහැ.
මේ නිසාම විවිධ උපාධී  ඩිප්ලෝම සමඟ මුලින්ම රැකියාවකට එන දරුවන් ,

  • ආයතනයක් තුල හැසිරිය යුතු ආකාරය , 
  • කණ්ඩායමක් සමඟ සුහඳව කටයුතු කරන ආකාරය , 
  • සම-කණ්ඩායමේ සාමාජිකයකු සමඟ ඇති වන ගැටළුවක් නිරාකරණය කරගන්නා ආකාරය 
  • අළුත් තාක්ෂණය සමඟින් කටයුතු කරන ආකාරය , 
  • තමන්ගේ සේවා ලාභීන් සමඟ ගණුදෙනු කළ යුතු ආකාරය , ගැන අත්දැකීමක් නැහැ. 
මේ හේතුවෙන් කළක් යනතුරු එවන් අළුත් සාමාජිකයන්ගේ කාර්යක්ෂමතාව පහළ මට්ටමක පවතිනවා වගේම , ඔවුනුත් මානසිකව ලොකු පීඩනයක ජීවත් වනවා . නමුත් මේ රැකියාවට එන්නට පෙර “ස්වේච්ඡාවෙන් “ මේ ආයතනය තුල සේවය කරලා තිබුණානම් , ආයතනය ගැන , එය ක්‍රියාත්මක වන පරිපාලනය වන ආකාරය ගැන අවබෝධයක් තිබෙනවා වගේම , “තමන් මෙතැනට අළුත්  කෙනෙක් “ කියන හැඟීම එන්නෙ නැහැ . “මෙැතැන මගේ තැනක්“ බවට පත්වෙන්නෙ නිරායාසයෙන්. එයයි මේ Volunteering වල ඇති “රස රහස“


දැනටත් අපේ රටේ සමහර වෘත්තිය පුහුණූ , උපාධිවල කොටසක් විදියට ආයතනික පුහුණුව තිබුණත් එයින් පෙර ක්‍රමයේ තරම්ම අත්දැකීම් සහ සතුටක් ලැබෙනවද කියල මට විශ්වාසයක් නැහැ . මක් නිසාද මමත් එවන් පුහුණූ ආයතන කිහිපයක සේවය කර ලද අත්දැකීම් අනුව  සිසුන් , තමන් ලද සිද්ධාන්තමය පුහුණුව , ප්‍රාෙයා්ගිකව අධ්‍යයනට කරන්නට මෙවන් ආයතන වෙත ගියත් , ඒ යන්නේ “අපි කෝස් එකට ගෙවල තියෙන්නේ  , ඉතින් එයාල අපට මේටික දෙන්න ඕනේ“ වගේ ආකල්පයකින් , අනෙක මට දැනුනු දෙයක් ඔවුන් මානසිකව විදවනවා “ අපි නිකං වැඩ කරන්නෙ “ වගේ අදහසකින් , කොයිතරම් පැහැදිලි කළත් “මේ නිකං කෙරිල්ලෙන් ලැබෙන වෘත්තීය අත්දැකීම් කොයි තරම් වැදගත්ද “ කියල ඒක හිත් ඇතුලට යවන්න ටිකක් අමාරුයි . නමුත් පාසල් කාලයේ ඉඳළම “ස්වේච්ඡා සේවයේ “ වටිනාකම , අවශ්‍යතාව ගැන වැටහීමක් තිබුණානම් ඔවුන් එම “නිකං කරන කාළය“ ජීවිතයට එකතු කරගන්නවා වගේම සතුටකුත් විදිනවා.

Volunteering නිසා කාට මොනවද ලැබෙන්නෙ ?

Volunteering නිසා  ආයතනනයට නොමිිලේ මානව සම්පතක් ලැබෙන අතරේ “ස්වේච්ඡා සේවයකයාට“ අළුත් අත්දැකීම් ලබා ගන්නට , අළුත් කණ්ඩායමකට මුසුවන්නට , ආයතනයේ වගකීමක් ඇති පුද්ගලයෙක් ලෙස කටයුතු කරන්නට අවස්ථාවක් ලැබෙනවා . දින කිහිපයකදි “ස්වෙච්ඡා සේවකයා“ ආයතනයේම තවත් කොටසක් බවට පත්වෙන්නේ කාටත් නොදැනීම . ඒ ඔස්සෙ ඔහුට / ඇයට මානසිකව ලොකු තෘප්තියක් වගේම , සමාජය වෙතින් ලොකු ගෞරවයක් ලැබෙනවා , එය මිල කරන්න බැරි තරම් .

තමන් ලද විෂයානුබද්ධ දැනුම , අධීක්ෂණයක් යටතේ ප්‍රාෙයා්ගිකව අත්විඳිමින් කරන මේ “ස්වේච්ඡා සේවය“ කාළය තුලම , තමන් ගේ ඉදිරි රැකියාවට මාවත පෑදෙන්නට අවස්ථා ඉහළයි. බොහෝ අවස්ථා වල තම ආයතනය තුල “ස්වෙච්ඡා වෙන් කටයුතු කළ “ අයට රැකියා දොරටු විවෘත කර දෙන්නට බොහෝ ආයතන කැමැත්තක් දක්වන්නේ  , එමඟින් තමන්ගේ සේවක කණ්ඩායමට එක්වන නව සේවයකයා ආයතනය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනටමත් දැනුමක් ඇති නිසා ඔහුගෙන් කාර්යක්ෂම සේවයක් මුල සිටම ලබාගන්නට හැකිවීම නිසාවෙන්. මේ තත්ත්වය , බැංකු , රෝහල් , සෞඛ්‍ය ආයතන , ප්‍රධාන පරිගණක සමාගම් දැනට ක්‍රියාත්මක කරනවා. ඔවුන්ගේ රැකියා ඉල්ලුම්පත් වල “ අප ආයතනය තුල ස්වේචඡාවෙන් සේවය කර ඇත්ද ? “ කියන ප්‍රශ්නය ඔස්සෙ විමසන්නෙ මේ කරුණයි.

මේ රැකියා සඳහා අවස්ථාවන් වගේම , “ස්වෙච්ඡාවෙන් සේවය“ කරන කාළය තුල අදාල ආයතනය තුල දී විවිෂ ක්ෂේත්‍ර වන ඉහළ පෙළේ නිළධාරින් , වෘත්තිකයන් සමඟ උරෙනුර ගැටී කටයුතු කරන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒ කටයුතු කිරීමෙදි , ආයතනයේ  වැටුප් ලබන සේවකයෙක්ට වඩා මේ ස්වෙච්ඡා සේවකයා පිළීබඳ සැළකීමක් , විමසීමක් සිදුවන එක ප්‍රාෙයා්ගිකව සිදුවන්නක්. මේ විමසීම් , හමුවීම් ඉදිරි දිනකදි තමන් අපේකෂා කරන වෘත්තීය මාවතට යොමුවීමට උපකාර වන අවස්ථා ඉහළයි.

අර්ධය සම්පුර්ණ කරගෙන රස්සාවට එන්න 

දැන් ඔබ අහන්න පුළුවන්
          “කොහේද මේ ළමයින්ට වොලුන්ටියර් කරන්න දෙන්නේ ?“ කියලා ,
මුලින්ම මේක අවශ්‍යතාවයක් ලෙස හඳුනගන්නවා නම් එයට මගක් තිබෙනවා . මෙහෙම හිතමු සාපෙල / උසස් පෙළ කරන දරුවන්නට ගමේ පාසල , පුස්තකාළය , පන්සල  , පල්ලිය වගේම  ගම ආශ්‍රිත ව්‍යාපාරික ප්‍රජාවේ සහයෝගයේ විවිධ ආයතන වලත් වැඩකටයුතු කරන්න පුළුවන් වේවි. විශ්ව විද්‍යාල , වෘත්තීය පුහුණූ ආයතන වල ඉන්න දරුවන්ට ඊට වඩා ටිකක් සැළසුම්ගත , සංවිධාන , විවිධ සමාගම්  , රජයේ ආයතන වල තම ස්වෙච්ඡා පැය ගණනක් කටයුතු කරන්නට දෙන්නට පුළුවන් වේවි. නියමිත පෙළඹවීම සහ අවශ්‍යතාව හඳුනාගන්නවා නම් “තැන් හොයාගන්න එක“ ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.

එතකොට ඕවට වෙලාවක් කොයින්ද ?

මේ ක්‍රමය පාසල් ළමුන්ට හඳුන්වා දෙනවා නම් , යම් වසරක් තුල අවම පැය ගණනක් සමඟින් , ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ පාසල් නිවාඩු කාළය තුල , නැත්නම් සති අන්තය යොදා ගනිමින් මෙම වෘත්තීමය අත්දැකීමත් ලබා ගන්නට , කොහොමත් ඒ කාළේ අම්ම තාත්තගේ රැකවරණය තුල ඉන්න නිසා අමතර වියදමක් අවශ්‍ය වෙන එකක් නැහැ. රැකියා අපේකෂිතයෙක් නම් තම පුහුණූව , පාසල් අධ්‍යාපනයට පසුව , “රස්සාවක් නැහැ“ කියමින් අඬ අඬා හෝ “දියව් දියව් අපට දියව් “ කියමින් පෙරළි කරන ඉන්න කාළේ , මාස කිහිපයක් මෙලෙසින් වෘත්තීමය / රැකියාවක පුහුණූවක් නොමිලේ ලබා ගන්නට පුළුවන් නම් එය “වියදමකට වඩා අනාගත ආයෝජනයක්“ .

නිසි පිළිගත් ක්‍රමවේදයක් අනුව , ස්වෙච්ඡා සේවය සඳහා බඳවා ගැනීම් වනවා නම් , නිසි සොයා බැලීම් සිදුවනවා නම්  දොගොල්ලන්ටම කරදර ඇති වෙන ඉඩ අඩුයි. නමුත් දෙගොල්ලන්ටම වාසි වෙන ඉඩ වැඩියි. මේ සියල්ල නිසි ලෙසින් සිදුවුනොත් , සාපෙළින් , උසස් පෙළින් , නැත්නම් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය නිමා කරල රැකියාවක් අපේක්ෂා කරන දරුව , “පොතින් ලද දැනුම පමණක් ඇති“ අර්ධ මානව සම්පතක්  ලෙස නොවෙයි , පොත පත දැනුම වගේම , රැකියාවක නියුත්කව සිට ලද දැනුමත් ඇති පරිපුර්ණ සම්පතක්  ලෙස වෘත්තියට , රැකියාවට පිවිසේවි . එය රටට සම්පතක්. ඒ වගේම මේ නිසා අපේ රටේ බොහෝ ආයතන වල කාර්යක්ෂමතාව බිදින , සේවකයන් මෙන්ම සේවාලාභීන්ටද  අපහසුතා ඇති  කරන “පොර මානසිකත්වය“ බිඳින්නත් මෙය ඉවහල් වේවි , මොකද ස්වෙච්ඡා කාළයේදි “පොර “ වෙන්න අමාරුයි , හැමෝ එක්කම සුහදව සමහර විට “හැම රාජකාරියක්ම “ කරන්න වේවි . මේ තත්ත්වයත් එක්ක කළක් වැඩකරත්දි “පොර මානසිකත්වය“ බිඳෙනව වගේම , ආයතනයේ සියල්ලන් මිතුරන් ලෙසින් කටයුතු වලදි උපකාර වෙනවා , එය ආයතනයට වගේම සේවා ලාභී්න්ටත්  , මේ ස්වේච්ඡා සේවකයාටත් හොඳ අත්දැකීමක්.(ඇත්තටම මේ ක්‍රමය හොඳින් ක්‍රියාත්මක මේ රටවල ආයතන තුල “පොරවල්“  දකින්න ලැබෙන්නේ ඉතාමත් කළාතුරකින් )

නමුත් දැන් ඔබ ඇහැව්වොත් , “ අපේ ළමයින්ට ඕවට වෙලාවක් තියෙනවද , ශිෂ්‍යත්ව පංති , ඉංගිරි පන්ති , ගණන් පන්ති ....පන්ති .... පන්ති ......“ කියලා , මොකක්ද මං දෙන උත්තරේ ?

ටිකක් හිතල බලමු , එහෙම නම් ලියල Draft එකේ දින ගණනක් තිබුණු පෝස්ට් එක එළියට ඇදල දාන්න තල්ලුවක් වුනු “ඔමාගේ හීන“ ලියන ඔමාටත් ස්තුති කරමින්  සමුගන්නව අදට ( ඇයගේ මේ ලිපිය කියවත්දි http://omageheena.online.lk/2016/01/blog-post_19.html  තමා මතක් වුනේ මේ වගේ පෝස්ට් එකක් ලියන්න අරගෙන තවමත් ඒක ගබඩාවේ නේද කියලා :D )

නැවත හමුවන තුරු සිත සතුට , ගත සුවය රැඳේවා ! (අහන්න එපා එතකොට “පසුම්බියේ මුදල් රැඳේවා“ කියල ප්‍රාර්ථනා කරන්නැත්ද කියලා )