2016/01/14

186) උත්තර දෙන මුත්තරා

අද පොඩි අක්කල දෙන්නට වෙනදට වැඩිය සතුටුයි . මොකද ඊයෙ රෑ පටන් ගත්තු හිම වරුසාව තව නැවතිලා නැහැ . අනෙක තෙත් හිම wet snow , කවුරුත් වගේ ආසයි තෙත් හිම වලට . තාත්ත ගේ ඉස්සරහ පාත්වේ එක සුද්ද කරනකං අක්ක දෙන්න වාහන පනගන්වල , හිම  අයින් කරල , අයිස් කඩල ඔක්කොම ටික ලේස්ති කරනවා. මට දැන් ටිකක් ලේසයි ලොකු “කෙල්ලො දෙන්නෙක්ම“ ඉන්න නිසා. (ගෙදර ඉන්න “ලොකුම කෙල්ල“ උදේ පාන්දරම වැඩට යන නිසා , මේ පොඩි කෙල්ලො දෙන්න එක්ක මේ යුද්දේ කරන්න වෙන්නේ මටම තමයි)
ඩ්‍රයිවිං වලින් හොඳම ඩ්‍රයිවිං “වින්ටර් ඩ්‍රයිවිං“ 
කෙහොම හරි වෙලාවට ඔක්කොම කරල පාසල සහ සේවා ස්ථානය බලා යන ගමන පටන් ගත්ත.
“අද නියම දවස ඉවසීම පුරුදු කරන්න නේද තාත්තේ “ ලොක්කි , පොඩ්ඩි දිහා බලන ගමන් .
“ඒ මොකද ?“ පොඩ්ඩි පැන්න මැදට 
“ඇයි වාහනේ යන්නේ අපට ඕන විදියටම නෙවිනේ , ඒ නිසා වෙනදට වැඩිය කල්පනාවෙන් යන්න ඕන “ අක්කගේ විස්තර කිරීම හරි , මේ ස්නෝ තට්ටුව උඩ “කිරි කිරි “ගාමින් කරකැවෙන රෝද , කියන දේ අහන්නේම නැහැ , ස්කේටිං කරනවා වගේ තමා , හැබැයි මම ආසම ඩ්‍රයිවිං , ස්නෝ ඩ්‍රයිවිං කිව්වොත් වැරදිම නැහැ.


“තාත්තේ ඔය ඉස්සරහ පාර මැද කවුරු හරි යනවා , බලාගෙන “ වාහනේ යත්දි ආරක්ෂාව ගැන හුඟක් හිතන පොඩ්ඩි බෙල්ල දික් කරගෙන කෑගහනවා .
“හේයි මේ ලිලී ආච්චී , මොකක් කරනවද මේ හිමේ “ ලොක්කි ගමනෙන්ම අඳුනගත්ත කවුද කියල 

“හෙල්ලො ලිලී , කොහෙද යන්නේ ? මොකෝ පයින්ම , ලිෆ්ට් එකක් ඕනද “ , පාත් කළ වීදුරුවෙන් ඔළුව දාල කැගැහැව්වෙ හුළඟත් එක්ක සද්දෙ නිසා
“ආ මයික් , මම මේ හොස්පිටල් එකට යන ගමන් , කාර් එක ස්ටාර්ට් උනේ නෑ , ඒයේ මට අමතක වුනා ප්ලග් කරන්න , මං හිතන්නෙ බැටරිය , මම මේ පයින්ම යන්න හැදුවේ , ලොකු දෙයක් “ අැඟ පතේ තිබුණු හිම ගසාගෙන අක්ක ඉන්න පැත්තෙන්ම ඇයත් වාහනේට ගොඩ වුනා . 
අපේ අළුත් අගමැතිතුමා , නළුවෙක් , ගුරුවරයෙක් , සටන් ශිල්පියෙක්
“එහෙම නං මම මේ දෙන්න ඉස්කෝලේට දාලා ලිලීව හෝස්පිටල් එකට දාන්නම් කමක් නැහැනේ “ 
“කිසි ප්‍රශ්නයක් නෑ මයික් අපොයින්මන්ට් එක නමයයි විස්සට යුරින් ටෙස්ට් එකක් තියෙන්නෙ  ආයෙත් මුත්‍රා අමාරුවක් , මං ටැක්සියකට කතා කරන්න හදලත් , ආයෙත් හිතුව පයින්ම යන්න . කොහෙද මේ රතු අගමැති කොල්ල  (අපේ ජස්ටින් ටෘඩෝ අගමැති තුමා ) අපේ පැන්ෂන් එක වැඩි කරන එකක්යැ , එයා තාම පොඩි වැඩියි , රට නාස්ති කරන්න හදන්නෙ “ ලිලී කියවගෙන යනවා. ඒ එයාගේ හැටි , මොනදේ ආවත් අන්තිමට ඉවර වෙන්නෙ අළුත් අගමැතිතුමාට බැනල , හරියටම කිව්වොත් අර අපේ “කැපුවත් ලේ කොළ “ නැත්නම් “කැපුවත් ලේ නිල්“ පාට අය වගේමයි .

ඔක්කොමලා ඕන කරන තැන්වලට දාල වැඩට එත්දි ටිකක් පමා වෙලා. ප්‍රශ්නයක් නැහැ මොකද අද වගේ දවසක “කීයට හරි වැඩට එනඑක“ තමයි වැදගත්.

දවසේ වැඩ අවසන් කරල ගෙදර ඇවිත් බ්ලොග් එකට ලියන්න යමක් හිතත්දි මතක් වුනේ “ලිලී ආච්චිගේ“ කතාව , නිල්පාටම ඇඟේ තියෙන කොන්සර්වෙටිව් පක්ෂයට පණ දෙන , දැනට රටේ බලය තියෙන රතු පාට ලිබරල් පක්ෂයට හැම  දෙයක් වෙනුවෙන්ම බණින මේ අත්තම්මා අද දවසේ මාතෘකාව දුන්නා , ඒ මුත්‍රා වල පාට සහ ඒ ඔස්සේ හඳුනාගත යුතු / හැකි සෞඛ්‍ය අවදානම් ගැන ලියන්නට .

එහෙම නම් දැන් පටන් ගන්නේ .....“උත්තර දෙන මුත්තරා“ ගැන කතාව ,
උත්තර දෙන මුත්තරා (පිංතූරෙ ගත්තෙ
www.secretsofthefed.com)
ඔබ දන්නවා සාමාන්‍ය නිරෝගී කෙනෙක්ගේ මුත්‍රා වල වර්ණය කහ පාටට නැත්නම් ඇම්බර් පාටට හුරු බව. නමුත් විවිධ අවස්ථා වලදි මේ පාට වෙනස් වෙන්නට පුළුවන් . ( මේ ලිලි ආච්චිගේ නම් ඔක්කොම නිල් පාටයි කතා කරන විදියට ) අපි බලමු මෙන්න මේ පාට වෙනස්කම් මොනවද ඒවට හේතු මොනවද කියලා .

මේ පාට වෙනස්කම් වලට හේතු කිහිපයක් තියෙන්න පුළුවන් , 
  • ඔබ බොන / ලබා ගන්නා දියර ප්‍රමාණය අඩුවීම / හෝ වැඩි වීම 
  • ආහාර වල ඇති ස්වභාවික වර්ණක ( බීට් වැනි දේ නිසා ඇති වන රතු පැහැය උදාහරණයක්)
  • කල්තබා ගත් / කෘතිම ආහාර වල ඇති කෘතිම වර්ණක සහ රසකාරක හේතුවෙන්
  • සමහර ඖෂධ වල බලපෑම නිසා (උදාහරණයක් Rifampicine ඖෂධය නිසා ඇති වන රතු පැහැය) 
  • යම් සෞඛ්‍ය ගැටළුවක් නිසා ඇති වන වර්ණ වෙනස්වීම
දැන් අපි බලමු මේ වර්ණ වෙනස්වීම සහ ඒවාට විය හැකි හේතු  , හැබැයි වැදගත් දෙයක් කියන්න ඕන මේ වගේ දේවල් පිළිබඳ දැනුවත් කරන්නෙ ගෙදරදිම Diagnose කරගෙන ලෙඩ දාගන්න නෙවෙයි , ඒ නිසා 
  • මුත්‍රා වල සාමාන්‍ය වර්ණය දින කිහිපයක් තුල වෙනස් වෙලා තිබේ නම් , 
  • ආහාරයක් හෝ ලබා ගන්නා ඖෂධයක් නිසා සිදුවූවක් ලෙස වටහා ගන්නට අපහසුනම් 
  • මේ වර්ණ වෙනසත් එක්ක , බඩේ , කොන්දෙ , පිට හරියේ කැක්කුමක් ඇත්නම් 
  • වර්ණ වෙනස සමඟින් සමේ ලප හෝ දත්වලින් ලේ පිටවීමක් වනවා නම් ,
  • මුත්‍රා පිට කිරීමේදී අසාමාන්‍ය වේදනාවක් / තදබවක් හෝ විදුලි සැරයක් වදිනවා වැනි තීව්‍ර වේදනාවක් වරින්වර ඇති වනවා නම් ,
  • වර්ණ වෙනස සමඟින්ම මුත්‍රා තුල යම් කැබළිති , සැරව හෝ ස්ඵටික වැනි අසාමාන්‍ය දේ දකින්ට ලැබෙනවා නම් ,
  • කෙටියෙන්ම මේ වර්ණ වෙනස දින ගණනාවක් පුරා එළෙසම පවතී නම් 
  • සැක සහිත නම්  
කළ යුතුම දේ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙන එක . දැන් තව වැදගත් දෙයක් කියන්න ඕන . මෙහෙම දෙයක් දැක්ක පමණින් “මුත්‍රා රෝග සම්බන්ධ විශේෂඥ“ වෛද්‍යවරයාම චැනල් කරන්න අවශ්‍ය නැහැ . පවුලේ වෛද්‍යවරයා හමුවීම තමයි හොඳම දේ මුලින්ම. 
දැන් ඉතින් “බීට් ව්‍යාංජනේ කාල නිදා ගෙන උදේ මුත්තරා රතුයි කියල දොස්තර මහත්තයට කරදර කරනව එහෙම නෙවෙයි 

  1. මුත්‍රා වල කිසිම වර්ණයක් නැති , වතුර වැනිම ස්වභාවය 
    • මෙහෙම වෙන්න පුළුවන් ප්‍රධානම හේතුව අධිකව ජලය/දියර  පානය කර තිබීම , එහෙම වුනාම නිපදවෙන මුත්‍රා හුඟක්ම තනුකයි , මේ නිසා කහ පාට නොපෙනනෙන තරමට අඩුවෙලා තමයි අපට පෙනෙන්නෙ .
    • මේ හුඟක්ම පොදු අවස්ථාව වුනත් , ඉතාම කළාතුරකින් මොළයේ සිදුවන අනතුරක්  / වෙනස් නිසා හෝ වකුගඩුව ආශ්‍රිතව සිදුවන ආපදාවක් නිසා මුත්‍රා නිශ්පාදනයේදි වැදගත්ම හෝමෝනයක් වන ADH (ප්‍රති මුත්‍රකාරක හෝමෝනය) ප්‍රමාණය අඩුවීම හෝ එයට දක්වන සංවේදි බව අඩුවීම නිසා ඇතිවන Diabetes insipidus තත්ත්වයේදීත් මෙම වර්ණ වෙනස දකින්නට පුළුවන් වේවි. මුල් අවස්ථාව එතරම් සැළකිල්ලට නොගතත් දෙවැන්න ඉතා සැළකිලිමත්විය යුතු ඉක්මණින් නිසි ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් 
  2. කහ මිශ්‍ර - ලා දුඹූරු පැහැයට හුරු 
    • මෙයට නම් ප්‍රධාන හේතුව වන්නේ  අවශ්‍ය ප්‍රමාණයට දියර පානය නොකිරීම . විශේෂයෙන්ම අධික වියළි හෝ වායුසමීකරණය කළ පරිසරයක් තුල වැඩි පැය ගණනක් ගත කරන්නෙකුට මේ තත්ත්වය බහුලව දකින්න පුළුවන් වුනත් එය අවදානමක් ගැන පෙර හැඟවීමක් . දැන් බොන දියර ප්‍රමාණයට වඩා වැඩිපුර බොන එක සුබදායකයි (  දියර කීවේ මත්වන දියර නොවේ ) 
  3. තැඹිලි පාටට හුරු 
    • මෙයත් විජලනය / දියර පානය අඩුවීම නිසා වන්නටත් පුළුවන් ,
    • අධිකව කැරට් යුෂ වැනි දේ පානය කිරීම නිසා වන්නත් හැකියාවක් තිබෙනවා
    • සමහර ආහාර වර්ණක ( අයිස් ක්‍රීම් වැනි දේට යොදන) නිසාත් වන්නට පුළුවන් 
    • Rifampicin , Isoniazid (ක්ෂය රෝගයට ප්‍රධානව දෙන ) හෝ warfarin (ලේ කැටි ගැසීම පමා කිරීමට දෙන ) වැනි ඖෂධ නිසාත් 
    • නැත්නම් අක්මාව , පිත්තාශය ආශ්‍රිත රෝගී තත්ත්වයක් නිසාත් මෙ වර්ණ වෙනස වන්නට පුළුවන්
  4. රතුපාට මුත්‍රා 
    • බීට් , බෙරි වර්ග වැනි ආහාර සහ කෘතිම ආහාර වල ඇති තද රතු වර්ණක නිසාත් ,
    • ඉහත කී ඖෂධ සහ සමහ වේදනානාශක Ibuprofen) නිසාත් මෙය වන්නට පුළුවන්,
    • වකුගඩුව , මුත්‍රාශය ආශ්‍රිතව කළ ශල්‍යකර්මයකට පසුව සිදුවන ලේ වහනය නිසා මෙන්ම ,
    • මුත්‍රා ආසාදන , මුත්‍රා මර්ගයේ හෝ වකුගඩුවේ ඇති වන මුත්‍රාගල් නිසා මෙන්ම ,
    • ඒ ආශ්‍රිතව , පුරස්ථ ග්‍රන්ථී (පිරිමින්ගෙ) ඇති වන පිළිකාමය හෝ නොවන ගෙඩි නිසාත් මේ රතු පැහැය මුත්‍රා වලට එක්වන්නට පුළුවන්.
    • ඒ වගේම තැලිසීමියාව , සහ රුධීරය ආශ්‍රිත රෝග තත්ත්ව වලදිත් මෙය වන්නට පුළුවන් නිසා , රතු පාට නම් සැළකිලිමත් වෙන්න.
  5. තද දුඹූරු-කළු වර්ණය සහිත මුත්‍රා 
    • මේ සඳහා රතු මුත්‍රා වල සාධක සියල්ල වගේම  ප්‍රතිජෛවකයක් වන Nitrofurontoin හෝ Metranidazole වැනි ඖෂධ නිසාත් මෙය වන්නට පුළුවන්.
  6. නිල් - කොළ පාට මුත්‍රා 
    • නැහැ මේකට දේශපාලනේ ගෑවෙන්නෙ නැහැ , මුලින්ම ඒක කියන්න එපායැ
    • මුත්‍රාශය , මුත්‍රා මාර්ගය ආශ්‍රිත බැක්ටීරියා ආසාදන ( සියුඩොමොනාස් වර්ගයේ) නිසා වගේම පිත්ත ප්‍රණාල වල ගැටළු නිසාත් මේ වගේ පාටක් මුත්‍රා වලට එක් වන්නට පුළුවනි.
  7. අඳුරු දුමාරයක් වැනි අපැහැදිලි බවක් ඇති මුත්‍රා
    • මේ තත්ත්වයට මුත්‍රා ආසාදනයක් පැවතීම බොහෝ දුරට හේතුවක් 
    • සමහර විට වකුගඩු තුල තිබෙන මුත්‍රා ගල් නිසාත් මේ අඳුරු පැහැය දෙන්නට පුළුවන් බව මතක තබා ගන්න එක සුබයි.
  8. කිරි පැහැ / සුදු පැහැ මුත්‍රා 
    • දරුණූ තත්ත්වයේ මුත්‍රා ආසාදනයකදි නිපදවෙන “සැරව“ මුත්‍රා සමඟින් එත්දි මේ කිරි පැහැය දකින්නට ලැබෙන්නෙ බහුලවම 
  9. පෙණ නඟන මුත්තරා 
    • මුත්‍රාවල ප්‍රෝටීන අසාමාන්‍ය ලෙස පැවතීම තමයි ප්‍රධාන හේතුව , 
    • සමහර විට ඔබ මස් මාළු ප්‍රෝටිනමය ආහාර බහුලව ගත්ත දවසක් වෙන්න පුළුවන් ,
    • නමුත් දිගටම මේ තත්ත්වය ඇත්නම් වකුගඩු වල යම් ආබාධ තත්ත්වයක්ද කියල සැක කරන්නට වැදගත් ලක්ෂණවක් වේවි මෙය.
මේ කියාගෙන ගියේ බහුලව දකින්නට පුළුවන් අවස්ථාවන් , මෙ පාට වචන වලින් කියත්දි පොඩි පොඩි වෙනස් කම් තිබෙන්න පුළුවන් , උදාහරණයක් මෙතන තැඹිළී පාට කියත්දි කෙනෙක්ට ඒක පේන්න පුළුවන් රතු පාටට හුරු විදියට , කෙසේ වෙතත් “මුත්‍රා වල වර්ණය සාමාන්‍යයට වඩා වෙනස් නම්  , ඒකට හේතුවක් හරියටම හිතා ගන්න බැරි නම් , දින කිහිපයක් පුරා පවතිනවා නම් “ නොසලකා ඉන්න එපා එච්චරයි කියන්න තියෙන්නේ .

කතාව ඉවර කරත්දි මට මතක් වුනේ “ලිලි ආච්චි“ කියපු කතාවක් , 
“මේ පොඩි කොල්ල ට මොළයක් නෑ (මේ කිව්වෙ මං ගැන නොවෙියි අපේ අගමැතිතුමා ගැන :D )  , මේ සිරියාවෙන් විසිදාහක් අනාථයෝ ගේන්න හදනවා , කවුද උන්ද කන්න දෙන්නෙ , අපේ සල්ලිනේ , ඇයි බැරි ඒ සල්ලි වලින් අපේ පැන්ෂන් එක වැඩි කරන්න , හාපර් හිටියනං ඔය ගොං වැඩ කරන්නෙ නෑ .. නේහ්“ ...මම උත්තරය්ක නොදි ඔහෙ අහගෙන හිටි නිසාද මන්ද මගෙන් උත්තරයක් බලාගෙන වගේ ඇහුවේ .
උත්තරයක් නොදුන්නත් මටත් මතක් වුනේ කැනඩාවට එන්නට පෙරුම්පුරමින් අපේ රටවල “උගත් දරුවන්“ සුසුම්ලත්දි........ඔවුන්ටත් රටට ඇතුළු වන්නට වැඩි අවස්ථාවක් දෙනව නම් එය රටට සම්පතක් !

එහෙම නම් කතාව නිමයි , නිදාගන්න ළඟයි ගිහින් එන්නම් සුව සතුට පිරි දවසක් ඔබට පතමින් .