ඇත්තටම මේ DBT තුල සිදුවෙන්නේත්, අපේ හිතේ හැඟීම්, චිත්තවේග ගැන විමසිලිමත් වෙමින්, ඒ දෙසට හිත යොදවමින් එක්තරා ආකාරක mindfulness ක්‍රියාකාරකමක්. තවත් විදියකින් කිව්වොත් පුරුදු වෙලා, ජීවන කුසතාවයක් බවට පත් වුනාම "භාවනාවක් වගේ නොදැනෙන භාවනාවක්".
අප පහුගිය ලිපි දෙක ඔස්සේ කතා කළානේ ඉනර් ක්‍රිටික් ගැන. ඒ කියන්නේ, අපේ හිත ඇතුලේ හැංගිලා ඉඳගෙන අපව පාලනය කරන කෙනා ගැන. අදත් එයා ගැනමයි කතාව.
හැබැයි, අද අප කරන්න උත්සාහ කරන්නේ, ඒ ඉනර් ක්‍රිටික් මගෙන් වෙන් කරල ටිකක් ඈත් කරල එයා දිහා බලලා හදුනගන්න එක, ඒ එක්කම "මා" ඒ ඉනර් ක්‍රිටික්ගේ බලපෑමෙන් දුරස්වන්නට උත්සාහ කිරීම. මේක කරන්න පියවර තුනක් එකට කරන්න තියෙනවා,
නමක් දෙන්න
ඒ කියන්නේ ඔබ හදුනා ගන්නවා නම් ඔබේ හිත ඇතුලෙන් එන "සෘණාත්මක බලපෑම" හඳුනාගන්නවා නම් අන්න එයාට නමක් දෙන එක. හිතන්නකො ඔයා මොකක් හරි අළුත් වැඩක් පටන් ගන්න උත්සාහ කරත්දිම , ඔයාගේ හිතේ හැංගිලා ඉන්න කෙනා (ඉනර් ක්‍රිටික්) කියනවා නම් "ඔය වැඩේ හරියන්නෑ, කොච්චර කරත් ඔච්චර තමයි" කියලා, අන්න ඒ ඉනර් ක්‍රිටික්ට නමක් දෙන්න. ඔබ කැමති නමක් දෙන්න පුළුවන්, ඒක "බූලා" ද, "කරදරකාරයා" , "ක්‍රිටික්" එහෙම නැත්නම් නමක් වුනත් දෙන්න බැරි නෑ. වැදගත්, ඒ හැඟීමට නමක් දෙන එක. මේක නිකං වැඩකට නැති වැඩක් වගේ දැනේවි , හැබැයි අපේ ඇගේ ඇළිලා ඉන්න එයාට නමක් දීම තුලින්ම අප කරන්නේ, එයාව අපේ ඇගෙන් ගලවල ඉවත් කරන්න පුළුවන් දෙයක් බවට පත් කරන එක.
ලේබලේ ගහන්න
ඊළඟට දාගත්ත නමත් එක්ක ලේබලේ ගහල, ගැලවෙන්න ඕන.මෙහෙම අපි හිතමු ඔයාගේ ඉනර් ක්‍රිටික් අර කියපු කතාවම කියාගෙන යන්න එනවා කියලා. දැන් එයාට නමකුත් දාල තියෙන්නේ, අපි හිතමු එයාට "කරදරකාර හැඟීම" කියල නමක් දැම්ම කියලා. දැන්, "ඔය කොච්චර දැඟළුවත් ඕක හරියන්නෑ" කියල කියාගෙන ඇවිත්, ඒ නිසාම "මම අසාර්ථකයි" කියන අදහස ඔබේ හිතට එන්න ඉස්සර වෙලා මෙහෙම හිතන්න පුළුවන්.
"අර කරදරකාර හැඟීම ආයෙත් ඇවිත් මේ වැඩෙත් හරියන්නෑ කියනවා" .
මෙතැනදි, "මම අසාර්ථකයි" කියන හැඟීමට වඩා අපට දැනෙන්නේ, වෙන අයෙක් ඇවිත් කියන දෙයක් විතරයි. එතැනදි ඔබ ඒ හැඟීමෙන් වෙන්වීමක් වෙනවා. ඒ වෙන්වීමමයි ජයග්‍රහණයේ ආරම්භය.
අපි පොඩි උදාහරණයකින් මේ කතාව තවත් සරළව තේරුම් ගන්න බලමු.
හිතමු, ඔබ යාළුවොත් එක්ක පාටියක, හැමෝම හිනාවෙනවා, කතා කරනවා, සතුටින් වගේ. ඒත් ඔබට එහෙම “ලොකු” සතුටක් හෝ කලබලයක් නෑ, ඔබ යාළුවොත් එක්ක එයාලගේ කතාව අහගෙන ඉන්නවා. දැන් ඔයාට හිතෙන්න පුළුවන් මෙහෙම,
“මේ හැමෝම මාව මහ බොරිං යාළුවෙක් කියල හිතනවා ඇති”. දැන්,
තේරුම් ගන්න: “මගේ හිතේ සෘණාත්මක අදහසක් මතු වෙනවා”
නමත් එක්ක ලේබලේ ගහන්න : "ඒ මගේ ටොමියා (ටොමියා කිව්වේ, ඉනර් ක්‍රිටික්ට ඔබ දීපු නම) අනාවැකියක් හිතනවා මං ගැන වෙනත් අය හිතන විදිය "
දැන්, මුලින් දැනුනු විදියටම “රිදෙන්නේ නැතිව”, හිතට ඇති වුනු හැඟීමක් විදියට වෙන් කරගන්නට පුළුවන්.
මේ විදියට අපේ ජීවිතේට ඇළවිලා ඉන්න හැඟීමෙන්, චිත්තවේගයෙන් ගැලවිලා නිදහස් වීම "cognitive defusion" ලෙසයි හදුන්වන්නේ. ඒ විදියට cognitive defusion කරන්නට ඔබට පුළුවන් නම්, "මම කැතයි, මම දුර්වලයි, හැමදාම මට වරදිනවා, මම අවාසනාවන්තයි" වගේ සෘණාත්මක සිතුවිලි වලින් හිත බර වෙන එකක් නැහැ. මොකද ඔබට පුළුවන් ඒ සෘණ හැඟීම දෙන ක්‍රිටික්ස්ලා, ඔබෙන් වෙන්කර ඈත් කර හදුනගන්නට, ඇගේ අළවගන්නේ නැතිව.