2011/12/03

69) රැස් විහිදෙන සමනළියන් රිදවන්නා...

ටික ටික ළං වන සීතල දුරුත්ත ....
කැනඩාවේ පළමු මාසය නිමා කළ අපට තවත් කළ යුතු රජයේ කටයුතු කිහිපයක් ඉතිරි වෙලා තිබෙනවා , ඒ අතරින් Ontario Health Insurance Plan-O.H.I.P , එහෙම නැත්නම් අපි මෙහේ පොදුවේ කියන විදියට හෙල්ත් කාඩ් එක ගන්නට ඕන ,  ඒ සඳහා ඉල්ලුම් කරන්නත් මාසයක් විතර බලාගෙන ඉන්න ඕන ...අද තමයි ඒ සඳහා දවස , පොඩ්ඩො දෙන්නා ඉස්කෝලෙට දාගෙන අපි දෙන්නා ඒ වැඩේ කරගන්නට Service Canada ආයතනයට යන්න සූදානම්...



වෙනදට වඩා ටිකක් පරක්කු වුනත් හරියට අටයි පනහ වෙනකොට ඔක්කොමල ලේස්තියි , වෙනද නම් මගේ හුරුපුරුදු “රෝද දෙකේ ගුවන් අශ්වයගේ “ පිටේ නැගල පාසලට යන අය දැන් නම් පයින් තමයි ගමන ..ඒත් එච්චර දුරක් නොවෙන නිසා වගේම වටේ පිටේ සිරි බල බල සීතලේ යන්නත් පුළුවන් නිසා අකමැත්තක් නැහැ වගේ ,

දොර ඇරගෙන එළියට ආවම තමයි දැක්කේ වැස්ස ....පොඩි හිම වැස්සක් ...“ලොකු නංගිටත් එක්ක කුඩේ අල්ලගන්න ....“ අම්මගේ අවවාදයක් ...දෙන්න කුටු කුටු ගානවා ...මම දන්නවා ..දෙන්නම කැමැත්ත කුඩේ නැතිව තෙමෙන්නනේ නේද ..පොඩ්ඩි නම් කුඩේ ගැන හෙවිල්ලක් නැහැ ..වැටෙන වැටෙන හිම කැට අල්ලන්න එහෙට මෙහෙට පැන පැන යනවා ...
“කෝ ....කොච්චර කිව්වත් ......“ අම්මගේ සැර ඇහුණ ගමන් දෙන්නම කුඩේ යට ...
“ඔන්න ඔහේ දඟලපුවාවේ ...මටත් හිතෙන්නේ මේ ජැකට් එක ගලවල දාල යන්නමයි ...“
“හරි ෂොක් ..තාත්තල දූල ඔක්කොම .....ඕව කරල ලෙඩ වෙන්නකෝ ...තාම health කාඩ් ඇත්තෙත් නැහැ ....“ ....
කොහොම හරි පැටවු දෙන්න හරියටම ඉස්කෝලේ පටන් ගන්න විනාඩි පහක්  තියල ඉස්කෝලෙට දාගෙන අපි දැන් අපේ මිතුරා වන “මිසිසුගා“ බස් එකේ ගියා අර කීව වැඩේ කර ගන්නට..

හිම වැස්සට යට වුනු තණ පිස්ස ...
ගමනට පැයක් විතර ගියත් අපි හතර දෙනාටම හෙලත් කාඩ් ඉල්ලුම් කරන්න විනාඩි පහක්වත් ගියේ නැහැ ..කුවිතාන්සියත් නිකුත් කළා , තව මාස තුනක් ඉන්න ඕන කාඩ් එක අතට ලැබෙන්න ...වැඩේ කරල ඉවර වෙලා , එළියට ආව ....“මොර සූරන හිම වැස්සක් ...“ ... ආසාවටත් එක්ක හිම වැස්ස යටින්ම අපිත් ආයෙත් ගෙදර ආව ...

තේ එකක් එහෙම බීලා , මං මගේ අන්තර්ජාල රාජකාරිය කරන්න ඉඳගත්ත....මනෝජගේ පෙනුම හොඳ නැහැ .... “මොකද ...ප්‍රශ්නයක්ද ...ලෙඩක්ද ....“ ....
“නෑ ...ප්‍රශ්නයක් නෙවි ...ඔළුව කකියනවා තදට ...ආයෙත් මිග්‍රෙන් වලට එනවාද දන්නෑ ....“
ඇය මිග්‍රේන් තත්ත්වයෙන් වේදනා වින්ද කාළය මට මතක් වුනා ...හැබැයි හුඟ කළකින් මතුවුනේ නැහැ ...ඒත් මේ climate එකත් එක්ක වෙන්න පුළුවන් ...ඒ එක්කම මට මතක් වුනා , අපේ අසල්වැසි හිතමිතුරන් කිහිපදෙනෙක්ම මේ වගේ තත්ත්වයන් ගැන කතා වුනා ..

එහෙනම් දැන් දන්නවනේ අද කතාව ...ඒ තමයි Migraine headache ...එහෙම නැත්නම් ඉරුවාරදය ...

දැනෙනවනම් මට ඇනෙන තරම් ....
ඇත්තටම මොකක්ද මේ ..මේ හිසේ ඇතිවන තද කැක්කුමක් ...විශේෂ රටාවක් , තියෙන , ඉවසිය නොහැකි තරමේ තද කැක්කුමක් , හිස පතුලේ ඉඳන් ඇවිත් ඇස් දෙකෙන් ගිණි පිටවෙනවා වගේ නැත්නම් කරන්ට් වදිනවා වගේ දැනෙනවා..මේක ඇත්තටම හරිම වේදනාකාරී සහ අප්‍රසන්න අත්දැකීමක් .කැක්කුම විතරක් නොවෙයි , ඒ එක්කම වමනෙට එන්න වගේ , අත් කකුල් සීතල වෙලා , සුදුමැළි වෙනවා .අපි සාමාන්‍යෙයන් ගන්න වේදනානාශක ගත්තට වේදනාව අඩු නොවෙන තරම් , ... අපි දැන් ටිකක් කතා කරමු මේ තත්ත්වයට හේතුව සහ ප්‍රතිතාර සහ පාළනය ගැන ..

දන්නවද මිග්‍රේන් ඇති කරවන මූලික සාධකය ඔබේ සෛල ඇතුලේ හැංගිලා ඉන්න ජානයක් ..හැබැයි මේ මිග්‍රේන් ජානය වැඩි කළබලකාරයෙක් නම් නොවෙයි , සමහර විට ඔබේ මගේ ..අපි හුඟ දෙනෙක්ගේ ඇඟ ඇතුලේ මේ කරදරකාර ජානය “නිදාගෙන“ ඉන්නවා වෙන්න පුළුවන් , එයාව නැගිට්ටවල කරදරයක් ඇති කරවගන්නේ අපි , එහෙම නැත්නම් අපිට බලපාන යම් සාධකයක් නිසා , ඒ සමහර විට මේ වගේ පරිසරයේ සිදුවන වෙනසක් වෙන්න පුළුවන් , එහෙම නැත්නම් නිදා ගැනීමේ රටාව වෙනස් වීම , හිතේ නොසන්සුන්බව , මානසික පීඩනය , ඇඟ ඇතුලේ හෝමෝනමය වෙනස් වීම්...ඔය වගේ නානාවිධ සාධක නිසා මේ නිදාගෙන ඉන්න මිග්‍රෙන් ජානය “ නැගිටින්න පුළුවන් ...ඒ එක්කම තවත් හේතු ගණනාවක් නිසා මේ හිසේ රුදාව ඇති වෙනවා ..කොහොම වුනත් ඒ හැම වෙලාවකම වෙන්නේ මොළේ ඇතුළේ තියෙන රැධීරවාහිනි සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉදිමීමක් , ඇත්තටම ඒක කරවන්නේ මොළයේම ඉන්න Trigeminal nerve කියන ස්නායුවේ මැදිහත් වීමෙන් තමයි , කොහොම හරි රැධිර වාහිනී ඉදිමිලා ඇදුනාම ඒ වටේ ඉන්න ස්නායු තෙරපෙනවා , එතකොට තමයි අර “කරන්ට් වදිනව“ වගේ තද කැක්කුමක් හිස “ඇතුලෙන්“ එන්නේ , ඊට පස්සේ ඔය ස්නායු ක්‍රියාකාරීත්වයට මොළයේ වෙනස් කොටස්තුත් එක්වෙලා ලෙඩේ ඔළුවට විතර නෙවි මුළු ඇඟටම දෙනවා ..ඒ කිව්වේ දැන් ඇඟපත රිදෙනව වගේ , සුදුමැළියි , වමනෙට යන්න එනවා ...ඔය වගේ තව පොඩි පොඩි අමාරු ගොඩක් එක් වෙනවා දැන් ,සමහර කෙනෙකුට තාවකාළිකව කල්පනාව නැති වෙන්න වුනත් පුළුවන් , ඒ වගේම ටික වෙලාවකට අංශභාගෙ හැඳුනවගේ වෙන අයත් ඉතා සුළු පිරිසක් හරි ඉන්න පුළුවන් ...

හැබැයි මේ ඔක්කොම වෙන්න ටික වෙලාවකට ඉස්සර වෙලා මේ පුද්ගලයාට ඒ ගැන “ඉවක් දැනෙනවා‘ , ඒ කිව්වෙ පොඩි වෙනස් කම් කිහිපයක් දැනේවි ...ඇස් ඉස්සරහින් පුංචි පුංචි සත්තු ..නැත්නම් පාට පාට බෝල යනව වගේ පේන්න පුළුවන් , සමහරැන්ට අමුතු ගඳක් දැනේන්නත් පුළුවන් , එක්කෝ අතේ ඇඟිළි වලට තුඩකින් අනිනව වගේ දැනේවි , සමහර විට කතා කර කර හිටයනම් එකපාරට අමතක වුනා වගේ දැනිලා ...ටික වෙලාවක් ගියාම තමයි කරන්ට් වදින තරමේ ඔළුවේ කැක්කුම එන්නේ ...ඔය ඔළුවේ කැක්කුමට ඉස්සර වෙලා එන පෙර ලක්ෂණ වලට කියන්නේ Aura ...කියල ..සිංහල තේරුම නම් “රැස් කදම්භය“ .....“කොහොමද රැස් නේද ...“ (හැබැයි සමහරුන්ට මේ aura එක නැතිවම හිසේ වේදනාව එන්නත් පුළුවන් ....)

හැබැයි ඔය “රැස් මතු වෙන්න“ දවසකට විතර ඉස්සර තවත් “පෙර දැනුම් දීම්“ කරනවා , ...ඒ කෑම ගැන තද ආසාවක් ...දොළදුකක් වගේ ඇති වෙන්න පුළුවන් , ඒ එක්ක ඔළුවේ බරගතියක් , හේතුවක් නැතුවත් හිතේ දුකක් පිරිළ වගේ දැනේවි , බෙල්ලත් හරවන්න බැහැ වගේ ...රිදෙන්න පුළුවන් , ඔය වගේ දැනුනොත් ,ඔබ මිග්‍රෙන් වලින් පීඩා විදින්නෙක් නම් ටිකක් පරිස්සම් වෙන්න මොකද හෙට අනිද්දා “තරු එක්ක රැස් විහිදෙන්න ‘‘ පුළුවන් ...

නිදා ගත්  නපුරා ...
මේ තත්ත්වය සුව කරන්නට පුළුවන්ද කියල ඔබ මගෙන් ඇහැව්වොත් ....හිත කළබල නොකරගෙන මේ කරුණ අහගෙන ඉන්න ...මේක නිට්ටාවටම සුව කරන්නට පුළුවන්ද කියන එක තවමත් ප්‍රශ්නයක් , මොකද ඖෂධ වලින් “මේ රෝගය නිදි කෙරෙව්වත් “ යම් සාධක එක්ක නැවත නැගිටල කරදර කරන්න ඉඩ තියෙනවා , ඒ නිසා වඩාත්ම හොඳ දේ තමයි තමන්ගේ ඇඟ ඇතුලේ ඉන්න මේ කරදරකාරයා නැගිටින හේතු සාධක තමන්ම හොයගෙන ඉන් පුළුවන් තරම් වලකින්න උත්සාහ කරන එක ...හැම සාධකයක්ම කියන්න බැරි වේවි , ඒත් හිතේ  ඇතිවන පීඩනයන් Stress , නින්ද නොයාම එහෙම නැත්නම් නිදි රටාව වෙනස් වීම , සමහර කෘතිම ආහාර සහ පාන වර්ග වල ඇති රසකාරක සහ වර්ණ කාරක වර්ග (මේව එක් අයෙක්ගෙන් තවත් අයෙක්ට වෙනස් වෙන්න පුළුවන් ) , චොකලට් , දුම්පානය සහ මත්පැන් , ඇඟේ හෝමෝන වෙනස් වීම් (ආර්තවය, ගර්භණීත්වය වැනි අවස්ථාවල) , තද ආලෝකය , ශබ්දයන් ...ඔන්න ඔය වගේ සාධක ගණනාවක් අතරින් තමන්ගේ ලෙඩේ වැඩි කරන සාධකය සොයාගෙන ඉන් ඉවත්වීම තමයි වඩාත්ම සාර්ථක ....

නැත්නම් කරන්න තියෙන්නේ මේ ලක්ෂණ තියෙනවා නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙන එක , එතකොට ඔහු බොහොම සරළ පරීක්ෂණ කිහිපයකින් ඔබේ තත්ත්වය හඳුනාගෙන ඖෂධ සහ උපදෙස් ලබා දේවි , ඒ උපදෙස් අනුව මේ ඖෂධ කලක් ගන්න වෙනවා , මොකද නැගිට්ට වගේ නෙවි මේ රෝග සාධකය නිදි කරවන එක ලේසි නැහැ ....මේ තත්ත්වය සඳහා ඖෂධ වගේම relaxation therapy sound therapy කියන ක්‍රම වලත් හොඳ බලපෑමක් තියෙනව කියල සොයාගෙන තිබෙනවා ..මේ ප්‍රෙද්ශයේ නම් ප්‍රධාන ඔසුසැල් වලින් ඒ Relaxation therapy kit මිලදී ගන්න පුළුවන් ...එහි තිබෙන්නේ බොහොම මෘදු ...සිහින් සංගීත රාවයක් දෙමින් සම්බාහනය ලබා දෙන  උපකරණයක්  ...

ඖෂධ ගැන කියත්දි , ඔබට තදින්ම මිග්‍රේන් තත්ත්වය ඇත්නම් ලබා දෙන සමහර ඖෂධ වලින් ඔබට නිදි බර ගතියක් ඇති කරන්නට පුළුවන් , ඒ නිසා ඔබ රිය පදවනවා නම් , යන්ත්‍ර සූත්‍ර එක්ක වැඩ කරනනෙක් නම් මිග්‍රේන් ගැන වගේම ඒකට බෙහෙත් ගත්තට පස්සේ ඇති වන බලපෑම් ගැනත් දැන ඉන්න එක හොඳයි ..ඒ වගේම මේ සමහර වේදනානාශක වලට gastritis තත්ත්වය ඇති කරන නිසා , කෑම වේල ගැන සැළකිළිමත් වෙන්න , මේ දවස් ටිකේ සැරට තුනපහ මිරිස් එක්ක කෑම ගත්තොත් වැඩේ තවත් අමාරුවේවි ...ඒ වගේම  හොඳට දියර ජාති බොන්න ...(සැර බීම , සෝඩා සහිත බීම නොවෙයි) වතුර  ප්‍රධානව....

දැන් පේනව නේද “රැස් විහිදෙන සමනළියන් ගැන ...“ මෙතැන සමනළියන් කියන්න හේතු දෙකක් තියෙනවා , එකක් භාතිය සන්තුෂ් ගායනා කරන ගීතයේ පදවැල මතක් වුන නිසා ..අනික මිග්‍රේන් ඇතිවන්නෙත් , ඉන්  වැඩියෙන්ම කරදර වෙන්නේ කාන්තා පාර්ශවය නිසා ...

මේක ලියල ඉවර වෙනකොට රෑ 2 ..නැහැ උදේ දෙකයි ..අපේ සමනළීත් සමනළ පැටවු දෙන්නත් අද වේලාසනම නිදි ...මට තව පැයක්වත් ඉන්නවේවි මේක අවසන් කරලා publish කරන්න ...බයක් නැහැ මොකද මට තවම නම් රැස් විහිදිලා නැහැ ....


මෙන්න මෙතන තියෙනවා මේ ලෙඩේ හැදෙන හැටි වෛද්‍ය විද්‍යාත්මකව පැහැදැළි කරලා බලන්නකෝ ...
අර රැස් විහිදෙන සිංදුව නම් මෙතැනින් ගිහින් රස විඳින්න පුළුවන් ....