| ඕං අදත් මේං මෙහෙම හිම වැටෙනවලු ... |
| four O one එක වෙනදම මෙහෙමයි |
| අද හැටි මෙහෙමයි ... |
| සිරා ශිරා .... |
| මට කොයින්ද ලොකු පොම්ප .... |
ඔය ශිරා වල ලේ ගන්නේ හෘදය දිසාවට කියල දන්නවනේ , Artery වල නම් ලේ ගන්න හෘදයෙන් හොඳ පීඩනයක් දෙනවා , ඒ තෙරපුම නිසා තමයි ධමනි ඇතුලේ ලේ ගමන් කරන්නේ , ඒත් මේ ශිරා වලට ඒ වගේ ලොකු සහයෝගයක් ඉන් ලැබන්නේ නැහැ , ශිරා ඇතුලේ ලේ ගමන් කරන්නේ , ඒ ශිරාව ළඟ ඉන්න පටක , පේෂි වගේ දේවල් මිරිකිම මඟින් දෙන පීඩනයෙන් . ඒ කිව්වේ Vein වල ලේ ගලන්න නම් ඒ ආශ්‍රිතව ඉන්න පේෂි හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕන ඊට අමතරව අපේ ශ්වනස ක්‍රියාවලිය වගේම තවත් සාධක කිහිපයකතුත් ශිරා ඇතුලේ ලේ ගෙනියන්න යම් දායකත්වයක් ගන්නවා .අපි හිතමු යම් හේතුවක් නිසා Vein එකක් අවට තියෙන පේෂි වල චලනයන් , දැඟලිල්ල නැතිවුනා කියල , දැන් මොකද වෙන්නේ , අර ශිරාව ඇතුලේ ලේ ගමන් කරන වේගය , අඩු වෙනවා , හරියට අපේ හයිවේ එක බ්ලොක් වුනා වගේ (මොකද තව ටිකකින් හිම වැටුනම මේ ඔක්කොම වාහන ටික ඔතනම හරි වෙනවා) , දැන් ඉතින් මේ වේගය අඩු වෙච්ච , එකතැන හිරවෙච්ච ලේ ටික , ටික වෙලාවක් යත්දි “කැටි ගැහෙන්න“ පටන් ගන්නවා. මේ කැටි , සමහර වෙලාවට හුඟක් දිග පණුවෙක් වගේ ලේ කැටියක් වෙන්නත් පුළුවන් , මේ තත්ත්වය ඕනම ශිරාවක උනත් , Deep vein එහෙම නැත්නම් ඇඟේ ඟැඹුරින් තියෙන ලොකු ශිරාවල මේ විදියට කැටියක් හැදෙන එක හරිම භයානකයි ,
![]() |
| මේං පණු පැටියා ...!!!! |
| ඔළුවට ගියොත් පැත්තක් ඉවරයි .. |
ඇත්තටම මේ විදියට ලේ කැටි ගැහෙන්න හේතුව මොකක්ද ? ප්‍රධානම හේතුව තමයි ලේ ගමනාගමනයට බාධා වීම නිසා , ඒ වගේම ශිරා අවට තියෙන පේෂි නිසි පරිදි ක්‍රියාත්මක නොවීම , ඒ වගේම රුධිරය ආශ්‍රිත රෝග තත්ත්ව වගේ පිළිකා නිසාත් මේක වෙන්න පුළුවන් .
උදාහරණ විදියට අපේ පාද වල චලනයන් සීමා වන අවස්ථා , ඒ කිව්වේ දිගු වෙලාවක් එක විදියටම වාඩි වෙලා හරි , හාන්සිවෙලාම හරි ඉන්න කෙනෙක්ගෙ අපි කිව්ව විදියට පේෂි චලන අඩු වෙනවා , ඔන්න අවදානමක් , ඒ නිසා විශේෂ වෛද්‍ය උපදෙසක් දුන් අවස්ථාවක හැරෙන්න , අපි වරින් වර අපේ පාද චලනය කරන්න ඕන , ඔන්න මේක කියවන “පුටුවට වැඩි වෙලාවක් “ බර දීගෙන ඉන්න අයට කියන්නේ , පැය දෙක තුනකට වතාවක් හරි පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදින්න , පුටුවෙන් නැගිටින්න , හොඳ ගැඹුරට හුස්මක් ගන්න ...මෙහෙම කළොත් ඔබේ ශිරා ඇතුලේ “ලේ පණුවන්“ හැදෙන එක නවත්ත ගන්න පුළුවන් . ඒ කියන්නේ මේ විදියට ක්ෂණික මරණයක් වීමේ අවස්ථාව අඩු කරගන්න පුළුවන් .
| ඔහොම හොඳ නෑ ..ඇඟට ගුණ නෑ ....වැඩි වෙලාවක් ඉන්නෙ හෙම නෑ .. |
ඒ වගේම සමහර ශල්‍යකර්ම වලට පස්සෙත් මේ තත්ත්වය එන්න පුළුවන් නිසා තමයි සෞඛ්‍ය කණ්ඩායම ඔබට විවිධ ව්‍යායාම් ගැන කියා දෙන්නේ , කරදරදයක් කියල හිතන්නේ නැතිව ඒ කියන දේවල් කරනවා නම් ඔබේ ජීවිතයට ආරක්ෂාවක් , මොකද අපි දන්නවා ඔබ Surgery එකේ වේදනාවෙන් ඉන්නා බව ඒත් ඒ වේදනාව යම් තරමකට දරාගෙන කියන දවසට ඇඳෙන් නැගිටින්නේ නැතිව තවත් ඇඳේම හිටියොත් , ගැඹුරට හුස්ම ගන්න කිව්වම ඒ කියන විදියට කරන්න උත්සාහ නොකළොත් අනතුරට පත්වෙන්නෙ ඔබේ ජීවිතය , ඉතින් ඒ කියන උපදෙස් හරියට පිළිපදින්න , එහෙම වුනොත් මේ Deep vein thrombosis කියන “සැඟවුනා මාරයා“ මතුවීම වලක්වා ගන්න පුළුවන් .
ගර්භනී අවස්ථාවෙදිත් පාදයේ ලේ ගැලීමට යම් අවහිරතා ඇති කරනවා , ඒ නිසානේ ඒ කාළෙට ඔය කකුල් කැක්කුම් , හිරිවැටීම , ඉදිමිමි වැඩි , ඉතින් මේ විදියට ගර්භණී සමයෙදි වගේම දරු ප්‍රසූතියෙන් සති 6ක් 8ක් යනකනුත් මේ විදියට ශිරා ඇතුලේ ලේ කැටි ඇතිවීමේ අවදානමක් තියෙනවා , විශේෂයෙන්ම සිසේරියන් සැත්කමෙන් දරුවා බිහිකරලා , “ඔපරේෂන් එකේ අමාරුවට“ ඇඳට වෙලාම ඉන්න අම්මලාට මේ තත්ත්වය හරිම අවදානම් , ...ඒ නිසා අපි ව ටිකකින් කතා කරන මූලික ලක්ෂණ තිබුණොත් ඉක්මණින් ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න ,
තරබාරුව මෙතැනදිත් ප්‍රධාන “මාරක සාධකයක්“ , ඒ කිව්වේ තරබාරු කෙනෙක්ගේ මේ විදියට “Thrombosis" එකක් ඇතිවීමේ අවස්ථාව අනෙක් කෙනෙක්ට වඩා වැඩියි ,
මීට අමතරව පවුලේ අයෙක්ට මේ තත්ත්වය තිබුණානම් ඔබ පරිස්සම් වෙන්න , මොකද මේක පවුලේ ..ආරයෙන් යන්නට යම් ඉඩක් තියෙනවා , අනෙක ඔබ රැධිරය ආශ්‍රිත , කාළීන රෝග තත්ත්වයකින් පෙළෙනවා නම් මේ ගැන හොඳින් දැන ගෙන ඉන්න එක හොඳයි , ඒ වගේම අපේ සල්ලි වලට දුම්බොන මහත්තුරුත් , මහත්තුරුන්ගේ දුම නොමිළේම බොන නෝනලාත් “Deep vein thrombosis“ සඳහා ලොකු අවදානම් කාණ්ඩයක් බවත් අමතක කරන්න එපා ....
| මාරක ලක්ෂණ හතර .. |
P-Pain-වේදනාව ,
W-Warmth - රස්නේ ගතිය
R-Redness - රතු වීම ...
පාදයේ වගේ තැනක මේ තත්ත්වය මුලින්ම මතු වෙන නිසා මුලින්ම හඳුනගන්න ලේසියි , හැබැයි හොඳ අවධානයෙන් හිටියොත් තමයි ඒ .මොකද සමහර විට රෝහලේ දී පවා වරදවා හදුනාගන්නටත් ඉඩ තියෙනවා , මොකද දන්නවද ? ..සමේ තුවාලයක් එක්ක ඇතිවන Cellulitis කියන තත්ත්වයටත් ඔය ලක්ෂණ ටිකම ඇති වෙනවා , ඒනිසා මේ ලක්ෂණත් එක්ක අපි මුලින් කී සාධක තිබුණා නම් හුඟක් පරිස්සම් වෙන්න ඕන . හැබැයි මේක දැක්ක ගමන් අනවශ්‍ය විදියට “කුලප්පු වෙන්න“ එපා ..ඒකම අනතුරක් ..
මේ වගේ තත්ත්වයක් ගැන සැකයක් ඇතිවුනොත් කරන්නට තියෙන්නේ “කළබල නොකර“ ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න එක. මුලින්කී සාධකත් එක්ක P,S,W,R, ලක්ෂණ ඇත්නම් වඩාත් හොඳයි වාහනයකින් ඉක්මණින් ඔබේ රෝහලට යන්න පුළුවන් නම් , මොකද මේ ජීවිත අවදානම් අවස්ථාවක් වෙන්නටත් බැරි නැති නිසා . මේ එක්කම ටිකක් හුස්ම ගැනීමේ අපහසුතාවයක් වගේ ආවොත් ඔබ කළබල නොවී පුළුවන් තරම් විවේකයෙන් ඉන්න අතරේ , අනෙක් අයගේ උදව්වෙන් හැකි ඉක්මණින් රෝහලගත කරන්නම ඕන . කළබල වුනාම වෙන්නේ අර ලේ කැටිත්ත හිර වෙලා ලොකු අනතුරක් වීමේ අවස්ථාව වැඩි වෙන එක ..ඔබට මේ ලක්ෂණ ආවේ රෝහල්ගත වෙලා ඉන්න වෙලාවක නම් ඉක්මණින් ඔබේ වෛද්‍යවරයාට , හෙදියට දැනුම් දෙන්න.
මේ විදියට නිසි වෙලාවට ඔබ රෝහල් ගත කළා නම් , ලේ කැටි ගැසීමේ ක්‍රියාවලිය පිළිබඳ ක් Prothrombine time , Clotting time , රුධීර පරීක්ෂණ කිහිපයක් එක්ක , ඔබේ පපුවේ එක්ස් රේ ඡායාරූපයකුත් ගනිවි , ඒ වගේම ඔබේ පාදයේ හෝ සැක සහිත ප්‍රෙද්ශයේ) ශිරා වල රුධිර ගමනාගමනය ගැන හඳුනගන්නට Doppler scanning කියන පරීක්ෂණයත් කරන්නට ඉඩ තියෙනවා .
මේ Deep vein thrombosis කියන තත්ත්වයමැයි හරියට හඳුනගත්තොත් ඔබේ වෛද්‍යවරයා රුධිර ප්‍රතිකැටිකාරක Anti coagulant මගින් ප්‍රතිකාරය අරඹනවා , එයින් තවදුරටත් ලේ කැටිය වර්ධනය වීම වගේම තවත් ලේ කැටි හැදීම වලක්වන නිසා අනතුර අඩු වෙනවා , බොහෝ අවස්ථාවල ආරම්භයට “සේලයින් වල දිය කළ“ ඖෂධයක් විදියට දෙනවා , ඉක්මණින් ක්‍රියාත්මක කර ගන්නට . ඊට පස්සේ බොන පෙති වලට හරවාවි ..හොඳට මතක තියා ගන්න මේ රුධිර කැටි වලක්වන පෙති මාස කිහිපයක් ගන්නට වෙනවා , ඒ කාළෙ තුවාල වීම ඇති නොවීමට වගබලා ගන්න , හේතුව මොකක්ද ? ඔබ දැන් ගන්න බෙහෙත නිසා ලේ කැටි ගැසීම අඩු වෙලා තියෙන්නේ , ඉතින් පොඩි තුවාලයක් උනත් ලේ නවතින්නේ නැතිව පිටවෙන්න ඉඩ තියෙනව . ඒ වගේ තත්ත්වයක් එහෙම නැත්නම් දත් වලින් ලේ ගැනීමක් වගේ දෙයක් දැක්කොත් කිසි වෙලාවක හිතුවක්කාර විදියට බෙහෙත නවත්වන්න එපා ...මේ වෙනස ගැන ඔබේ වෛද්‍යවරයාව දැනුවත් කරන්න , ඔහු ඊට නිසි ප්‍රතිකාර සහ වෙනස් කිරීම් අවශ්‍ය නම් කරාවි .
මේ මාස කිහිපයේ ප්‍රතිකාර අතරතුර වාර සති කිහිපයකට වතාවක් ඔබට රෝහලට , සායනයට යන්න වේවි , එය කරන්න , මොකද දැන් ඔබේ ලේ වල කැටි ගැසීමේ ස්වභාවය පිළිබඳ හොඳ අගැයුමක ඉන්න ඕන , ඒ එක්කම ඔබට කියා දෙන ව්‍යායාම හරියට කරන්න , සමහර විට compression stockings පළඳින්නත් වෙන්න පුළුවන් , මේ හැම දේම හරියට කළොත් ඔබ දැන් පවතින අවදානමෙන් මෙන්ම ඉදිරියේදි ඇතිවිය හැකි මෙබදු අවදානම් තත්ත්ව වලිනුත් පරිස්සම් .
කතාව ටිකක් දිග වැඩි උනාද මන්ද ? ඒත් කියන්න තියෙන එක කියන්න එපායැ හරියටම නේද ...ඉතින් මේ කතාව නම් මෙතනින් ඉවරයි , හැබැයි කතාව අවසන් කරන්නට ඉස්සර පැතුම් දෙකක් ! සතුට සහ දුක දෙකම මතුවන පැතුම් දෙකක් ..
“මීට වසර හතකට හෙටවන් දිනෙක (26දා) ලොවම කම්පා කළ මහා විනාශයෙන් එකවර අපි හැර ගිය දහස් ගණනක් වූ ඒ සැමට අපේ දහමේ හැටියට පින් දෙමින් , ...“... සුනාමිය දා ගාල්ල , කරාපිටිය රෝහලේ සේවය කළ මට , ඒ අත්දැකීම කිසිදා අමතක නොවන්නක් ...ගලවන්නට පවා නොහැකි වන තරමට තම මව බදාගෙන මියැදී සිටි , රතු ගවුම් පොඩිත්තක් හැඳි පුංචි කෙළි පොඩිත්තියක් මගේ හිතේ තවමත් රිදුම් දිදී සැඟවෙනවා ... අනේ කිසිදා එවන් අවාසනාවන්ත විනාශයක් නොදකින්නට ලැබේවායි පතමින් .....
ඔබ සැමට “ ලබන්නා වූ නව වසර , නිරෝගී සුව පිරි වාසනාවන්ත සුබ නව වසරක් වේවා ....“ පතමි ...
මෙන්න D.V.T හැදෙන හැටි වීඩියෝවක් http://youtu.be/CETfozL0cQg
මෙන්න එයින් සුදු කොඩි වනන හැටි http://youtu.be/uS1RGbW8UbQ

