| බල්ලන්ටත් ඇදුම් ...... |
“මනෝජ ඔහොම කියයි දැන් , Summer එකේදි ...දැන් ඔය වහගෙන ඉන්න කෑළි ටික ටික අඩු වෙනවා , ඊට පස්සේ බලන්නත් ලැජ්ජයි අනේ මුළු ඇඟම එළියේ ....අනේ මන්ද මේ කුණු සරීරෙ මොකට එළියට දාගෙන යනවද කියල ,...“ මගේ බිරිඳයි , මේ රටේදි අපිට හුඟක්ම උදව් කළ මිතුරියකයි ඇඳුම් ගැන කළ කතා බහක කොටසක් තමයි ඔය ..මොකද දැන් හැමෝම මුළු ඇඟම හොඳට වැහෙන්න ඇඳුම් , ජැකට් ...තව තව පලදනා ගණනාවක් දාගෙන තමයි යන්නේ එන්නේ ,ඒ විතරද මේ දවස් වල නම් බල්ලන්ටත් හොඳ උණුසුම් ඇදුම් අන්දවගෙන තමයි යන්නේ ...එ වුනාට ඉතින් හොඳ හොඳ ඇඳුම් එන්නේ Summer එකටලු
ඉතින් ඔය කතාව මට මතක් වුනේ “ඇඟ පෙන්නන්න ඕන අවස්ථාවක් “ ගැන කතා කරන්න හොඳ මාතෘකාවක් මට ආ නිසා . ඇත්තටම ආව නොවෙයි , මීට පෙර ලිපියේ “රූ“ අහපු ප්රශ්නයක් නිසා තමයි මේ ගැන ලියන්න සිතක් පහල වුනේ ...“රූ“ ...ඔබේ පැනය මෙතැන සටහන් කළාට අමනාප නොවේවි කියල සිතනවා ,
“මට පොඩ්ඩක් ටැපලුනාද මන්දා ඒකයි ආයෙත් අහන්නෙ..අපි වෛද්ය පරීක්ෂනයකට යොමු වෙන්න ඕනි මොන අවස්ථාවෙද? රෝග ලක්ෂණ මතුවෙද්දි පරක්කු වැඩිද?“
මෙතැනදි අපි වඩාත් දැනුවත් වෙන්න ඕන අවස්ථාව තමයි තමන්ගේ පවතින සෞඛ්ය තත්ත්වය හඳුනාගැනීම සහ අනාගත සෞඛ්ය අනතුරු පෙර හඳුනාගනැනීම සඳහා කරන පරීක්ෂණ ගැන Routing Health Checkups (Examinations , tests and Screening). එහෙම කියන්න හේතුව අපි ඔය ගැන එතරම් තැකීමක් නැති නිසා , “අපිට ඉතින් ලෙඩ වෙන්නම එපායැ පරීක්ෂණයක් කර ගන්න“ නේද ?
| ඔබේ පවුලේ වෛද්යවරයාගේ සේවය හුඟක් වැදගත් |
එහෙමනම් අපි කතාව ගොඩාක් දිගට අදින්නේ නැතිව කෙලින් කතාවට එමු ...මොකද ලොකු කතා කරන්න තරම් වෙලාවකුත් නැහැ වගේ , මේ Regular checkups ගැන කතා කරත්දි ස්ත්රී පුරුෂ භාවය , වයස ,රැකියාවේ ආකාරය , පුරුදු , පවුලේ අයට පැවති රෝග තත්ත්ව වගේ සාධක මත අපි මේ කතා කරන්නට හදන සාධක ටිකක් එහා මෙහා වෙන්න ඉඩ තියෙනවා , ඒත් අපි සාමාන්ය පුද්ගලයෙක්ට අදාලව මේ කරුණු කතා කරමු , එතකොට අපිට පුළුවන් අපේ තත්ත්වයට අනුව ඒ පරීක්ෂණ කරන්නට ඕන කාළ සීමාවන් ළං වෙන්න ඕනද දුරස් වෙන්නද කියල දළ අවබෝධයක් ගන්න , කොහොම වුනත් මේ ගැන ඔබේ පුවලේ වෛද්යවරයා හමුවෙලා උපදෙස් ගන්න එක හුඟක් වටිනවා ..
ඔන්න දැන් ඉතිං වයස අහන්නම වෙනවා ..ආයේ මොකටද වයස අහල හිත් අමනාප කරන්නේ ..මෙහෙම කියමුකෝ ..ඔබ වයස අවුරුදු 18ට වැඩි 40ට අඩු කෙනෙක් කියලා , එහෙම නම් ඔබ මාස හයකට සැරයක් වත් (අඩුම ගානේ අවුරුද්දකට එක් සැරයක්වත් ඔබේ දන්ත සෞඛ්ය ගැන පරීක්ෂාකරවා ගන්ට සුදුසුකම් ලත් දන්ත වෛද්යවරයෙක් හමුවෙන්නට ඕන , ඔන්න ආයෙත් කියන්නේ , “දත් දොස්තර මහත්තය ගාවට යන්නේ දත් කැක්කුම හැදුනම විතරක් නෙවි , “ දත් නරක් විම විදුරු මස් ආශ්රිත රෝග , පිළිකාමය තත්ත්ව ඔය වගේ නානා විධ රෝග ඇති වෙන්න පුළුවන් ඔය පුංචි කටේ ..ඒ නිසා ඔය කියන කාළ සීමාවල නිසි පරීක්ෂණ , නිරීක්ෂණ කරවා ගත්තොත් ටිකක් සැනසිල්ලේ ඉන්නට පුළුවන් .
| මාස හයට ..කටට වෙච්චදේ |
ඔය කාළේ ඇඟේ “තෙලේ නගින කාළේ ..“ ඒ නිසා අඩු ගණනේ අවුරුද්දකට සැරයක් වත් රුධීර පීඩනය , වෛද්යවරයෙක් ලවා පරීක්ෂා කරවා ගන්න , ඒ එක්කම ඔබේ B.M.I. අගය ගැන මැන බලලා ඒ අගය නරක පැත්තට යනවා නම් , වෛද්යවරයෙක් හෝ සුදුසුකම් ලත් පෝෂණවේදියෙක්ගේ උපදෙස් ගන්න , ඔය අතරේ අවුරුදු 30-35 විතර වෙනකොට අවුරුදු දෙක තුනකට වතාවක් රැධීර කොලෙස්ටරෝල් පරීක්ෂණයක් (Cholesterol profile) සිදු කරවා ගෙන ඒ වාර්තා සටහන් පරිස්සමට තියා ගන්න , එයින ඔබටම පොඩි අදහසක් ගන්නට පුළුවන් වේවි ඔබ කොයිතරමි පරිස්සම් වෙන්න ඕනද ? අවදානම් මොනවාද කියන එක ..අවුරුදු 35න් පස්සේ වගේ වාර්ෂිකව රැධීර සීනි Blood sugar එකක් කරගන්න එක හොඳයි ,(අඩුම තරමේ අවුරුදු දෙකකට වතාවක් වත් , හැබැයි පවුලේ ළඟම ඥාතීන් දියවැඩියා රෝගීන් විදියට ඉන්නවා නම් , නැත්නම් ඔබ අධීක තරබාරුනම් වඩාත් හොඳයි අර අවුරුද්දකට වතාවක් කියන සීමාව ..මීට අමතරව මේ කාළේ අවුරුදු දෙක තුනකට වතාවක් ඔබේ සම ගැන , සමේ ලප කැළල් ඉන්නන්ගේ වෙනස් වීම් ගැන වෛද්යවරයෙක් මගින් පරීක්ෂා කරවා ගන්න එක හොඳයි , මොකද දැන් ටිකෙන් ටික “සමේ ඇතිවන පිළීකා බහුල වන තත්ත්වයක් තිබෙනවා , අනෙක අවාසනාව කියන්නේ මුලින් හඳුනගත්තොත් හොඳින්ම සුව කරන්නට පුළුවන් මේ පිළීකා , හැම තැනම පැතිරුණාට පසුව තමයි බොහෝ දෙනෙක් ප්රතිකාර සඳහා එන්නේ , මොකද හුඟ දෙනෙක් කියන්නේ “ඔය ඉන්නෙක් හිටියා ,ටිකක් ලොකු උනා ..ඕ.....ක ඉතින් ගණන් ගන්න දෙයක්යැ , ඉතින් අපි පෙන්නුවෙ නැහැ ..“
| ඇහුන් නෑ ......(ඇහෙන්නේ නෑ) |
මේ වයස් සිමාවේ අවුරුදු දහයක විතර පරතරයකදි ඔබේ ඇස් සහ කන් වල ක්රියාකාරිත්වයේ වෙනස්කම් තිබේ දැයි පරීක්ෂා කරවා ගන්නට පුළුවන් නම් වටිනවා , මොකද තමන්ට ඇස්වල පෙනීමේ දුර්වලතා තියෙන බව , කන් වල ඇසීමේ අඩුපාඩු තිබෙන බව නිසි ලෙස නොදැනෙන නිසා සහ එසේ වේයැයි විශ්වාස නොකරන නිසා නිසි අවස්ථාවේ ප්රතිකාරයන්ට යොමු නොවී සෞඛ්ය අතින් වගේම සමාජයීය අතිනුත් විවිධ හිරිහැර වලට ලක් වෙනවා .
ඔබ කාන්තාවක් නම් මේ වයස් සීමාවෙදි අඩුම තරමේ වසර තුනකට වතාවක් වත් පැප් පරීක්ෂණය කරවා ගන්න , මීට අඩුවුනත් ඔබ විවාහක නම් , ලිංගික එක්වීම් වල යෙදෙනවා නම් , වසර තුනකට වරක් Pap test කරවා ගන්න . එයින් පුළුවන් ඔබට “ගැබ් ගෙල පිළිකා ඇති වීමේ අවදානමක් පවතීද“ කියන එක පෙර සිට දැන ගන්න , කෝකටත් හොඳයිනේ පෙර දැනුම්දීම නේද ....
මීට අමතරව පවුලේ කෙනෙක් යම් පිළිකා තත්ත්වයකින් පෙලුනා නම් ඔබ මේ වයස් සිමාවෙදි වසරකට වතාවක් නැත්නම් තත්ත්වය මත මාස හයකට වතාවක් වත් Screening test කර ගන්න එක හොඳයි , උදාහරණයක් ඔබේ මවට පියයුරු පිළිකාවක් තිබුණා නම් මේ කාළ සීමාවේ නියමිත කාළ සීමාවන්ට වතාවක් ස්වයං පියයුරු පරික්ෂාව මෙන්ම සායනික පරීක්ෂාවක් කරගන්න එකත් හොඳයි .
දැන් අපි ටිකක් වයසට යනවා , ඔබේ වයස අවුරුදු 40 හෝ ඊට වැඩි , නමුත් පනහට අඩු කෙනෙක් ...එහෙම නම් අර මුලින් කී දන්ත සහ , BMI , සහ රැධීර පීඩනය , රැධීර සීනි සහ Pap test යන පරික්ෂාවන් ඒ කිව් කාළ පරතරවලින්ම කරගන්න ඕන , ඔබේ පවුලේ කවුරු හරි හිටිය නම් ගුද මර්ගය ආශ්රිත පිළිකාවක් තිබුණ ..එහෙනම් දැන් ඔබ ඒ ගැන ටිකක් අවධානය වැඩි කරගෙන වාර්ෂිකව මළ පරීක්ෂාවක් , Stool occult blood , අවශ්යතාවක් ඇත්නම් අනෙකුත් පරික්ෂන කරගන්න . (විශේෂයෙන්ම වයස අවුරුදු 45ට වැඩි වෙත්දි ).
ඒ වගේම මෙතැන ඉඳන් වාර්ෂිකව “Physical examination“ එකක් කර ගන්න , එතැනදි ඔබේ වෛද්යවරයා ඔබේ උස බර , හිසේ සිට පාදාන්තය දක්වා සාමාන්ය පරීක්ෂාවක් කරාවි , එයත් හරි වැදගත් පුර්ව හඳුනාගැනීම් වලට.
මේ කාළ සීමාවෙදි ඇස් පරීක්ෂා කර ගැනීම් අවුරුද්දකට වතාවක් කරගන්න එක හොඳයි , මොකද ඇස් වල තිබෙන පටක වල සංයුතියේ යම් යම් වෙනස්කම වෙන්න පුළුවන් අවධියක් මේ .
තරු ළකුණක් දාල ලියන්න ඕන දෙයක මේක , ඔබේ පවුලේ යම් ආවෙණික විය හැකි රෝගයක් ( ඒ කිව්වේ ආරෙන් යන්න පුළුවන් තත්ත්වය් තිබුණා නම් ඔබේ විශේෂ අවධානය ඒ ගැන තිබෙන්න ඕන කාළය , ඒ වගේම වෛද්යවරයා හමුවෙන්න ගියාම ඒ තොරතුරුත් ඔහුට දෙන්න , එය හරිම වැදගත් .
ඔබට වයස 50-64 අතරේ , එහෙම නම් වාර්ෂිකව මල පරීක්ෂාවක් කරගන්නම ඕන පුළුවන් නම් සිග්මොයිඩොස්කොපි පරීක්ෂණයක් අවුරුදු පහකට වතාවක් කරවා ගන්න , ඒ එක්කම අවුරුදු දහයකට වතාවක් Colonoscopy කියන ගුදමාර්ගය සහ මහාන්ත්රය තුල පිළිකා ඇතිවීමේ අවදානම පිළිබඳ සොයා බලන පරීක්ෂණ කරවා ගන්න් .
ඒ එක්කම E.C.G පරික්ෂයක් කරවා ගෙන ඔබේ පවුලේ වෛද්යවරයා මගින් කියවා ගන්නට පුළුවන්
දැන් කාන්තාවන්ට නම් අවුරුදු දෙක තුනකට සැරයක්වත් මැමෝග්රෆි පරික්ෂණයක් කරගන්න එක සුබයි .
වයස 50-65 වගේ සීමාවට එත්දි මතුවන රෝග තත්ත්ව අනුව මේ කාළ පරතර වෙනස් කරන්න ඕන , නමුත් පෙර කී පරික්ෂණ විමර්ෂණ නියමිත කාළ පරාසවල කරගන්නට වැදගත් වෙනවා .පුරුෂයින් නම් Prostate gland එකේ තත්ත්වය පිළිබඳ අගැයුමක් (P.S.A) කරගන්න එක හොඳයි Prostate Specific Antigen වගේ ,
මෙයින් ඉහළ වයස් සීමාවන්ට යත්දි අනිවාර්යයෙන්ම මේ අවසාන සීමාවේ තියෙන පරතර වලින් වත් පුර්ව සොයා බැලීම් කරන එක හොඳයි ඒ වගේම තමන් යම් අවදානම් තත්ත්වයන් වල ඉන්නවා නම් (ඒ කිව්වේ ආහාර පුරුදු , මත්පැන් , දුම්වැටි , මානසික ආතතිය ) ඊට වඩා කෙටි කාළ සීමාවලින් පරීක්ෂණ කරන්නත් වේවි .
එහෙම් මේ කතාව අදට ඉවරයි , මේක ලියන්න ගත්තෙනම් මීට දවස් තුනකට ඉස්සර වෙලා , ඒත් පහුගිය දවස් ටිකේ අර driving test එකට ටිකක් practice කළා ...ඒකයි සටහන ඉවර කරන්න බැරි උනේ . අද ඒකත් ඉවරයි , ...කොහේ ඉවර වෙන්නද තවත් විභාගයක් ළඟ ඒවි , ....ජීවිතේම හරි සුන්දර ප්රශ්න පත්තර දාමයක් වගේ ....එකක් ලියල ඉවර වුනාම දැනෙන සතුට , නිදහස !!!!!.....