අළුත් සටහනක් එක් කරන්නට මග බලා සිටියත් , පහුගිය දින ටික වෙනදට වඩා කාර්ය බහුල වුනා නිසා , බ්ලොග් සටහන ලිවීම වගේ “භාවනාවක්“ කරන්නට තරම් විවේකයක් නොලැබුණ තරම් , ඊයේ ලියන්න හිටියත් , බිරින්දෑ උපන් දින කේක් එකක් හදන්න කළ යුද්දේ එක්ක , මාත් එක් වුනු නිසා ඊයෙත් මගේ මේ අරමුණ ඉටු කර ගන්න බැරි උනා ..කොහොම උනත් අපි අද තියෙන මිතිලිගේ උපන් දිනයට ලස්සන චිත්‍රයක් වගේ කේක් එකක් හැදුවා.(ලංකාවෙදි නම් පැය දෙකක් වගේ ටික වෙලාවකින් ලස්සන උපන් දින කේක් එකක් හැදුවත් , මෙහේ හැම දෙයක්ම ටිකක් වෙනස් නිසා , වැඩේ ටිකක් පමා වුනා, අනෙක ඉතින් birthday එක එක්කෙන්ගේ උනාට දෙන්නටම කේක් හදන්නත් එපායැ ) ...කයිවාරුව ඇති නේද ?....ඔන්න ඔය වැඩේ කරන අතරේ අපේ පවුලේ ළඟම මිතුරියක්ගෙන් ඇමතුමක් ලැබුණා ...“මනෝජ , මේ ඔයා සොරයිසිස් ගැන මොකද කියන්නේ ? ...ඒක හොඳ කරන්න පුළුවන්ද අනේ ...මගේ යාළුවෙක්ට තියෙනවා .එයා හරියම බයෙන් ඉන්නේ , ..“දන්නවනේ අපිට මේ වගේ කතාවක් ඇහුනව , දැක්කම ඒකම ඇති ඊළඟ post එකට ...ඒත් මේ කතාව ඇහුනම හිතට පොඩි දුකක් ඇති වුනා , ඒ කිසිවක් නිසා නොවෙයි , මේ ලියූ post අතරේ චර්ම රෝග ගැන එකම එක ලිපියක්වත් නෑ ...ඔව් එහෙමනම් අද ඒ අඩුව පුරවන්නත් එක්ක , අද කතා කරමු .
එහෙමනම් කතාව අරබමු ..අද මගේ කතාවේ මාතෘකාව පොතු කබර ...Psoriasis ...දැන් ඕක කියවන්න ගිහින් දිව උළුක්කු කර ගන්න එපා ..නිකම්ම “සොරයිසිස් “ කියල කියන්න පුළුවන් ..
මේ ගැන කියත්දිත් අපිට ටික වෙලාවකට ජීව විද්‍යාව පන්තියක් කරන්නට වෙනවා ..අපේ “සම“ ගැන , ....අපේ සම හැදිල තියෙන්නේ සෛල තට්ටු ගණනාවකින් , ඒ තට්ටු ටිකේ පහළින්ම , අඩිතාලම වගේ ඉන්නේ අර සෛල තට්ටු වල “අම්මලා, “ , එයාලාගේ වැඩේ තමයි අළුත් “සෛල පැටවු“ හදල දෙන එක ..“අළුත් සෛල පැටවු ...! ඒ මොකටද ...? මෙහෙමයි , අපේ හමේ එළියෙන්ම තියෙන්නේ මිය ගිය සෛල තට්ටු කිහිපයක් , ඊළඟට ඉන්නේ වයසට ගිය සෛල තට්ටු , ඊට යටින් ඊට වඩා තරුණ ශක්තිමත් සෛල තට්ටුක් ..ඔය වගේ තට්ටු ගණනාවක් තියෙනවා ...ඔය එළියෙන්ම ඉන්න මිය ගිය සෛල තට්ටු ගැළවෙනවා , ඉබේම හැළෙනවා ..එහෙම හැලෙන කොට ඊට යටින් ඉන්න සෛල තට්ටුව එතැනට ඇවිත් අර අඩුව පුරවනවා ...නිරෝගී පුද්ගලයෙක්ගේ ඔන්න ඔය වගේ හැළීමේ , පිරවීමේ , මේ අළුතින් සෛල නිපදවීමේ ක්‍රියාවලිය පිළිවෙලට , රිද්මයකට තමයි සිද්ධ වෙන්නේ , එතාකොට තමයි අපේ සම නිරෝගීයි කියල අපි කියන්නේ . (ඒ වුනාට අපිත් අපේ හැව හලනව කාටත් හොරෙන් නේද ...)
| මෙන්න බලන්න fit එකේ සොරයිසිස් |
ඇත්තටම මොකක්ද මේකට හේතුව ? .. මේකට හරියටම හේතුව මේකයි කියන්න තවමත් කවුරුවත් දන්නේ නැහැ , හැබැයි සමේ inflammation එකක් බවනම් හඳුනාගෙන තියෙනවා ,විශේෂයෙන්ම ඇපේ ඇඟ ඇතුළෙ තියෙන ප්‍රතිශක්ති කරන පද්ධතියට “යම් හේතුවක් නිසා වැරදි සංඥා ලැබීම මගින්“ මේ Inflammation එක (ප්‍රදාහය) ඇති කරන බව අද සොයාගෙන තයෙනවා , හේතු සාධක යැයි සලකන කරුණූ අතරේ ජානමය බැඳීම් , ඒ කිව්වේ ආරයෙන් ආ හැකි රෝගයක් බව පර්යේෂකයන් පවසනවා , ඒ වගේම වැදගත් දෙයක් කියන්න ඕන , අපි හුඟ දෙනෙක් හිතා නෙ ඉන්නවා Psoriasis “ගෑවුනොත් බෝ උනා“ කියල ..බය වෙන්න එපා , එහෙම ගෑවිලා බෝවන තත්ත්වයක් නෙවි මේක , ඒ නිසා ඔබේ පවුලේ , රැකියා ස්ථානයේ , සමාජයේ මෙවන් රෝගී පුද්ගලයෙක් හිටියොත් ඔහුව ඇයව මානසිකව වට්ටන තරමට කොන් කරන්න යන්න එපා , ගෑවුනා කියල ඔබ අපිරිසිදු වන්නේ නැහැ , එහෙම නම් ඔබ office යන්න , බස් එකෙන් බහිනකොට කීදෙනෙක්ගේ “හැව“ ඔය ඇඟේ අළවගෙනද එන්නේ ..නේද ?
හේතු සාධකය මේකමයි කියල හරියටම නොකිව්වත් සමේ ඇතිවන වෙනත් ආසාදන , තුවාල , තද හිරු එළිය ,කළගුණයේ වෙනස්වීම් , සමහර ඖෂධ වර්ග ( විශේෂයෙන්ම අවපීඩනයට දෙන Lithium කියන නම තියෙන ඖෂධ , මැලේරියාවට , ඒ වගේම වේදනාව පාළනයට දෙන සමහර ඖෂධ) නිසාත් මේ තත්ත්වය මතුවෙන්න , නැත්නම් වැඩිවෙන්න ඉඩ තියෙන බව හඳුනාගෙන තිබෙනවා . ඒ වගේම මානසික ආතතිය Psychological stress , දුම්පානය සහ මත්පැන් කියන තුන් දෙනා මෙය උග්‍ර කරවන සාධක කිහිපයක් , (කොහොමත් මේ තුන් දෙනා එකටම යන අවස්ථා වැඩියි නේද ?) ,
තවත් සමහර දේහයේ සිදුවන හොමෝන වෙනස් වීම් , ආර්තවය ,ගර්භනීත්වය , වගේ සාධක වලදිත් මේ රෝග තත්ත්වය මතුවෙන්න සහ උග්‍රෙවන්න පුළුවන් .
| නිය පොතු වලත් |
මේ තතත්වය ඔබට ඇත්නම් හොඳම දේ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ගන්න එක , මොකද මේ තත්වය පහසුවෙන්ම හඳුනගන්න ඔහුට පුළුවන් , ලොකු පරීක්ෂණ අවශ්‍යම නැති තරම් , ඒත් සමහර විට සමේ පටක කොටසක් සූරල අරගෙන Biopsy කරන්නත් පුළුවන් , හරියටම වර්ගීකරණය කරන්නට නම් , ප්‍රතිකාර විදියට සමේ ආලේප කරන්නට Steroid වර්ගයේ ක්‍රීම් එක්කම , Moisturizing ක්‍රීම් වර්ග ලබා දෙන්නත් පුළුවන් , විශේෂයෙන්ම දැන් ඔබ සබන් භාවිතයෙදි හුඟක් ප්‍රෙව්සම් වෙන්න ඕන , මෘදු සබන් පමණයි භාවිත කරනවා නම් කළ යුත්තේ , නැත්නම් වෛද්‍ය උපදෙස් මත ලබා දෙන් තෙල්මය සබන් විශේෂයක් , ඒ වගේම Phototherapy නම් ප්‍රතිකාර ක්‍රමයත් අද සාර්ථකව ක්‍රියාත්මකයි , ඒත් එහි යම් දිගු කාළීන අතුරුපල පවතින බව අද ප්‍රකාශවෙනවා.ඒ වගේම පිළිකානාශක ප්‍රතිකාරයේදි භාවිත කරන ඖෂධත් මෙහිදි යොදා ගන්නට ඉඩ තිබෙනවා , එදාට බය වෙන්න එපා “මේක පිළිකාවක් කියලා“ ..
![]() |
| වැඩියෙන්ම හැදෙන තැන් |
හොඳට මතක තියා ගන්න මේ තත්ත්වයේදි ඔබේ ආහාරය ගැන හුඟක් සැළකිළිමත් වෙන්න වෙනවා , වෙනදාට අසාත්මික වන පළු නගන(කෑවම ඇඟේ වෙනසක් ලෙඩක් ඇති කරන) ආහාර වලින් වළකින එකත් , පාන වලදි , ජලය , පළතුරු යුෂ (ස්වභාවික) වැනි දෑ ප්‍රමාණවත්ව ගැනීමත් , ඒ එක්කම ප්‍රෝටීන , සහිත සාමානය ආහාර වෙලක් ලබා ගැනීමත් හරිම වැදගත් ..
ටිකක් සෙවිල්ලෙන් සහ අවබෝධයෙන් ඉන්න , සොරයිසස් තත්තවයෙන් පෙළෙන කෙනෙකුට තව ටික කළකදි හන්දි ආශ්‍රිතව වේදනාකාරී තත්ත්වයන්ට , සන්ධී ප්‍රදාහ , Psoriatic Arthritis වලට මුහුණ දෙන්නට ඉඩ තියෙනවා , මෙහෙම කිව්වේ බය කරන්න නොවෙයි , වෙන්න කළින් එය පාළනයට අවශ්‍ය උපදෙස් , ප්‍රතිකාර පිළිබඳ ඔබේ අවධානනය යොමු කරවන්න විතරයි .
එහෙම නම් අදට මගේ කතාව මෙතනින් අවසන් කරන්නම් , ගෙරද family party එකක් තියෙනවා තව ටික මොහොතකින් , මොකද දන්නවද , මගේ පුංචි කෙළි පැටික්කි , “චූටි මිතිලි“ එයාගේ “හත් වැනි ජීවන සැතපුමට“ ළඟා වුනා අද , ඉතින් හිතේ සතුටට , සැර බීම නැති , රස කෑම ඇති පුංචි සාදයක් ...ලංකාවේ හිටියනම් මේ වෙලාවට අද අපි “බටගන්විල බෝධිය ගාව “ නිසංසලේ සුව විඳිනව ,
එහෙම නම් අදට සමුගන්නම් ,
මෙන්න මෙතන ක්ලික් කළොත් ඔබට පුළුවන් මේ ගැන විස්තරාත්මක වීඩියෝවක් බලන්න ...
මෙන්න අපේ පුංචි සාදයේ අවස්ථා ...
---
මේ ලිපියට අදාල නොවන කරුණක් ...මෙතෙක් මේ බ්ලොග් පිටුවේ තිබුණු , Blog list එක ඉවත් කළා ..ඒ වෙනුවට වැඩි බ්ලොග් ගණනක් ගැන සොයාගන්න පුළුවන් වෙන විදියට “බ්ලොග් මල්ල‘‘ පිටුව එක් කළා .
