මහාභාරතය, ග්‍රීක , ස්කැන්ඩිනේවියානු පුරාවෘත්ත වල සිට, කෘතිම බුද්ධිය සමඟ තරඟ කරන අද දවසට දක්වාම මිනිස් සමාජය තුල පවතින බව පොදුවේ හඳුනාගන්නා විරසකයක් තමයි නැන්දම්මා-ලේලි ගැටුම. විටක එය පවුල් විරසක වන පුපුරා යන ගැටුමක් වෙත්දි , තවත් තැනකදි හීන් සැරයෙන් විඳෙව්වත්, ලොකු ගැටුම් ඇති නොවන ලෙස පවත්වා ගන්නටත් පුළුවන් වෙනවා. තවත් අවස්ථාවක, ගැටුම් නැති නැන්දම්ම-ලේලි බැඳීම්තුත් නැතිවා නොවේ. කොහොම වුනත්, මේ නැන්දම්ම-ලේලි ගැටුම ගැන කතා කරන්න සමාජ, මනෝවිද්‍යාත්මක වගේ පැති ගණනාවක් තිබෙන නිසා සංකීර්ණව ඒ තුලට නොගියත්, පොදුවේ හේතුවිය හැකි කරුණු කිහිපයක් ගැන කතා කරල, එතැනින් පස්සේ, අප හුඟ දෙනෙක් නොහිතන, එහෙම නැත්නම් හිතන්නට , අවධානය යොමු කරන්නට අවශ්‍ය දැනුම අඩු, තවත් සංකීර්ණ ගැටළුවක් ගැන විස්තරාත්මකව කතා කරන්නත් උත්සාහ කරනවා මේ ලිපිය තුල.
විරසකේ ඇරඹුම
මුලින්ම අපි දන්න තැනින් පටන් ගනිමු. සමාජය තුල දකින්න ලැබෙන පොදු , නැන්දම්ම-ලේලි ගැටුම් සඳහා හේතුවන සාධක අතරේ, දෙපාර්ශවය අතරේ ඇති අපේක්ෂාවන්/ඒකාකෘතියන්, සීමාවන් බිඳීම් හෝ සීමාවට ඇතුළු වීම්, අවධානය පවත්වා ගැනීම හෝ හිමිකරගැනීම වෙනුවෙන් , තවත් අවස්ථාවකදි වගකීම් , පාලන සීමාවන් අවහිර වීම, එකිනෙකාගේ පෞරුෂමය ගැටීම්, වගේම ආර්ථිකමය හේතු, අනාගතය ගැන ඇතිවන අවිනිශ්චිත තත්ත්වයන්, සහ පරණ කුණු නැවත ඇද ගැනීම වගේ අවස්ථා බහුලව දකින්නට පුළුවන් වේවි.
නමුත්, මේ ලිපිය තුල අප උත්සාහ කරන්නේ මේ බහුලව දකින්නට ලැබෙන, පහසුවෙන් හඳුනාගත හැකි සහ වටහා ගත හැකි , නැන්දම්ම-ලේලි ගැටුමේ සාධක ගැන කතා කරන්න නොවේ. මේ ලිපිය තුල කතා කරන්නේ මෙවන් ගැටුම් සඳහා හේතු විය හැකි කායිකව සිදුවන සෞඛ්‍ය ගැටළුවක් ගැනයි. ඉතා විමසීමෙන් නොසිටියහොත් සහ උදව් ලබා නොගතහොත් හඳුනාගැනීමට අපහසු , විශේෂයෙන්ම "වයස", "එයාගේ හැටි", "නැන්දම්මනේ" වගේ ලේබල් වලින් වැසී යා හැකි මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ ඩිමෙන්ෂියාව (Dementia) කියල.
ඩිමෙන්ෂියාව සමඟ නැන්දම්මා
දැන් මේ ඩිමෙන්ෂියා කියන සෞඛ්‍ය ගැටළුව ඇති වෙන්නේ නැන්දම්ම-ලේලි ගැටුමෙදිද? මෙහෙම වෙන්න පුළුවන් නැන්දම්මට විතරද? ඔය වගේ නානාප්‍රකාර ප්‍රශ්න එන්න පුළුවන් නේ. ඒ නිසා මෙන්න මෙහෙම අපි කතාවට ඇතුළු වෙමු.
"ඩිමෙන්ෂියාව" යනු!
ඩිමෙන්ෂියාව කියල කියන්නේ, මොළයේ සෛල වල, මොළයේ සෛල අතර ඇති සන්නිවේදන පථ වලට සිදුවන , නැවත නිවැරදි කළ නොහැකි හානියක් නිසා සිදුවන අමතක වීම සහ තවත් ගැටළු ගණනාවක් ඇති කරන , සුව කළ නොහැකි, නමුත් ප්‍රතිකාර මත පාලනය සහ තත්ත්වය අවදානම් තැනට පත්වීමේ වේගය පාලනය කළ හැකි , වයස දොළහේ දරුවාට වගේම අසූනමයේ නැන්දම්මාටත් ඇතිවිය හැකි තවත් , අපේ සමාජය තුල එතරම් කතා බහට ලක්නොවන, නමුත් සමාජය තුල ඇති සහ වැඩිවන තවත් සෞඛ්‍ය ගැටළුවක්. මෙය "මානසික රෝගයක්" නොව, තවත් කායික රෝගයක් බව විශේෂයෙන්ම මතක් කරන්නේ, මානසික රෝගය යනු "පිස්සුවක්" ලෙස සමාජගත වී ඇති තත්ත්වයකදී විය හැකි අවාසිය අඩුකරගන්නටමයි.ලේලිට වඩා ලොකු නැන්දම්මා
ඩිමෙන්ෂියා තත්ත්වය ඕනෑම වයසක අයෙකුට ඇතිවිය හැකි වුනත්, වියපත් වීම සමඟ මෙම තත්ත්වය සමඟ ජීවත්වන්නට වන අවස්ථාව ක්‍රමයෙන් වැඩිවන බව හඳුනාගෙන තිබෙනවා. ඒ කියන්නේ , වයස අවුරුදු දොළහේ ඩිමෙන්ෂියා දරුවන්ට වඩා, අවුරුදු හැටේ නැන්දම්මලාට ඩිමෙන්ෂියා තත්ත්වය තිබෙන්නට වැඩි ඉඩක් තිබෙනවා.දැන් නැන්දම්මට විතරද මේක හැදෙන්නේ? නෑ, මුලින් කීව වගේ ඕනම කෙනෙක්ට මෙම තත්ත්වය ඇති වන්නට පුළුවන්. නමුත් මේ කතාබහ නැන්දම්ම-ලේලි නිසා, මේ දෙන්න අතරින් වයස වැඩි කවුද කියල හඳුනගත්තොත් ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන නැන්දම්මලා , ලේලිලාට වඩා ඇති කියල උපකල්පනයක් කරන්න පුළුවන් නේ.
සැමට විය හැක
අනෙක, මේ ප්රශ්නය නැන්දම්මටම දාන්න එපා, මේ ගැටළුව ඔබේ අම්මට, තාත්තට සමහර විට වැඩිමහල් සහෝදරයට , සමහර විට ඔබේ සැමියා, බිරිඳට වුනත් තිබෙන්න පුළුවන්. ඒ නිසා, අපි නැන්දම්ම-ලේලි කතාවෙන් මේ ලිපියේ ඉදිරියට යන අතරේ, මෙම සෞඛ්‍ය තත්ත්වය පොදු දෙයක් බව මතකයේ රඳවා ගැනීම වටී.ඩිමෙන්ෂියාව සහ පවුලේ විරසකය
ඩිමෙන්ෂියා තත්ත්වයේ මෙන්න මේ ලක්ෂණ, නැන්දම්ම-ලේලි ගැටුම ඇති කරවන්න හේතු වේවි කියල පුද්ගලිකව මා විශ්වාස කරනවා. මේ ගැන සිදුවුනු පර්යේෂණ වාර්තාවක් හෙව්වත්, අපේ රටේ සංස්කෘතියට අදාලව එවැන්නක් සොයා ගන්නට බැරි වුනා. මේ කියවන ඔබ , ඔබේ අධ්‍යාපන කටයුතු තුල සමාජ පර්යේෂණ කරනවා නම් ටිකක් හිතල බලන්න.
හේතු විය හැකි ප්‍රධාන ලක්ෂණ:
- මතකයේ ගැටළු: ඩිමෙන්ෂියා තත්ත්වයේදි සිදුවන ප්‍රධාන ගැටළුවක් වන්නේ මෙය. විශේෂයෙන්ම කෙටි කාලීන මතකය ඉක්මණින් අඩුවන මේ අයට පරණ මතකයන් හොඳින් එළියට ගන්නට පුළුවන්. මේ නිසා, ලේලි අද දවල් කන්න දුන්නත්, හවස් යාමේ වෙත්දි "අපේ ලේලි මට කන්න දෙන්නේ නෑ" කියමින්, අල්ලපු ගෙදරට යන නැන්දම්මා කෙනෙක් , මෙම හේතුව නිසා ඇති වෙන්න පුළුවන්. අනෙක් දේ, ලේලි කොයිතරම් හොඳින් සාත්තු සප්පායම් දැන් කළත්, ඊට වඩා අතීතයේ "මගේ පුතාව අල්ල ගන්න දඟලපු කාලේ" වුනු දේවල් හොඳින් මතක තිබීම නිසා, දැන් කරන හොඳ අමතක වී, පරණ කුණු නැවත ගෙනැවිත් මුළු පවුලටම ගැටළු ඇති කරන්නත් බැරි නැහැ. ඒ වගේම තමන්ට සිදුවන අමතක වීම තුල ඇති වන අපහසුව, ලැජ්ජාව වෙනත් ආකාරයකින් පිට කරන්නට මේ අම්මාට හිතෙන්නත් ඉඩක් තිබෙනවා.
- චිත්තවේග පාලනය කරගැනීමේ අපහසුව සහ ආවේගශීලී වීම: "මාත් එක්ක හොඳට කතා කරන අම්ම, අපේ හාමිනේ එක්ක කතා කරන්නේ හරිම තරහෙන් වගේ" කියන පුතාට මේ හේතුව තේරුම් ගන්න පුළුවන් නම් එතැනම ගැටුමේ හේතුව හොයා ගන්න පුළුවන් වේවි. ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ සිටින අයෙක්ගේ චිත්තවේග, මූඩ් එක විවිධ හේතු නිසා ක්ෂණිකව වෙනස් වෙන්න පුළුවන් (දවසේ වෙලාව, බඩගින්න, ශාරීරික වේදනාවන්, අධික ශබ්දය, නුහුරු පරිසරය ආදිය). අළුත ගෙනා ලේලිය නිසා මෙතෙක් නිවසේ තිබුණු පිළිවෙල වෙනස්වීම වැනි හේතු නිසා නැන්දම්මාගේ මූඩ් එක වෙනස්වීමත්, ආවේගශීලී කතාබහක් ඇතිවන්නටත් පුළුවන්.
- හැඟීම් හඳුනාගැනීම අපහසුවීම: ඩිමෙන්ෂියාවේ එක් අවස්ථාවකදි , අනෙක් පුද්ගලයාගේ හැඟීම් නිවැරදි ලෙස හඳුනාගන්නට සහ තීරණය කරගන්නට නොහැකිව යනවා. එතැනදි, තමන් සමඟ හිනාවෙමින් ආදරයෙන් කතා කරන ලේලිය හෝ පුතා "තමන්ට බැනවදිනවා" හෝ "අපහාස කරනවා" ලෙස වැරදියට වටහා ගෙන ගැටුම් ඇති කරගන්න ඉඩ තියෙනවා.
- තීරණ ගැනීමේ අපහසුව: මෙතෙක් නිවසේ පාලනය කරමින් , තීරණ ගත් අම්මාට දැන් වෙනදා කළ කටයුත්තක් ගැන තීරණයක් ගන්නට නොහැකිවීම නිසා ඇතිවන පීඩනය, නිවසේ තනිවීමට දරන උත්සාහයක්, මහ රෑ මැද අවදි වී නිවස අස්පස් කරන්නට ගැනීමක්, හෝ ලේලිගේ වැරදි අසල්වැසියන්ට කියා පෑමක් වගේ විවිධ අසාමාන්‍ය ප්‍රතිචාර ලෙස පිටවන්න පුළුවන්.
- මායාවන් තුල රැඳීම (Hallucinations & Delusions): ඩිමෙන්ෂියාවේ තවත් පොදු ලක්ෂණයක් වන, විවිධ රූප, ශබ්ද දැනීම් වගේම අවට තිබෙන දෑ පිළිබඳ "වැරදි" සංකල්පයන් මතුවීම නැන්දම්ම-ලේලි ගැටුමට සාධක ඇති කරන්නට පුළුවන්. "උඹ ගෙදර නැති වෙලේ අරකි අල්ලපු ගෙදර එක්ක කුටු කුටු ගෑවා", "මාව වට්ටන්න උගුලක් අටවලා" වැනි මායාවන් ඇයට සම්පූර්ණ ඇත්තක් ලෙස දැනෙන නිසා, එය බොරුවක් බව ඔප්පු කරන්නට වාද කිරීම ගැටුම ගිනි අවුලවන්න හේතුවක් වේවි.
- ව්‍යාකූල වීම (Disorientation): වෙලාව, දවස, ඉන්න තැන, සහ බඩු මුට්ටු තිබෙන තැන ගැන අපැහැදිලි බවක් ඇති වීම. කුස්සියේ තිබිය යුතු තේ කෝප්පය වැසිකිළියේ තිබීම හෝ සාලයේ දුරස්ථ පාලකය ඇඳ අස්සේ සඟවා "ඔය මම නෙවි , උඹේ භාර්යාවගේ වැඩ" යැයි පැවසීම මෙවැනි ව්‍යාකූලත්වයක ප්‍රතිඵලයක් විය හැකිය.
- වෙනස්වන අම්මා (Apathy & Loss of Motivation): වෙනදා නිවසේ වැඩකටයුතු හොඳින් කරගෙන සිටි අම්මා, දැන් ඒ කිසිවක් නොකර කාමරයකට වී තනිව අලසව සිටින විට, ලේලි එය "මට කියලා ඔක්කොම වැඩ කරගන්න දරන උත්සාහයක්" ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ තිබේ.
- පවිත්‍රතාව අඩුවීම: මෙතෙක් පිළිවෙලට සිටි අම්මා තමන්ගේ පවිත්‍රතාව ගැන නොසැලකිලිමත් වෙමින් කිළිටි ඇඳුම් ඇඳීම සහ කන බොන දේ පිරිසිදු නොකිරීම ඩිමෙන්ෂියාවේ ලක්ෂණයක් විය හැකිය.
- කතාබහේ වෙනස (Communication Breakdown): සන්නිවේදන හැකියාව සහ වචන ගලායාම බිඳ වැටීම නිසා "නැන්දම්මා දැන් මාත් එක්ක කතා කරන්නේ නෑ, මට අකමැති ඇති" කියා ලේලිය වරදවා සිතිය හැක.
- සැකය සහ විශ්වාසය බිඳ වැටීම (Paranoia): "මේ තේ එකට ඒකි වහ දාලද දන්නෑ", "උඹ ගන්න පඩිය එහෙම්පිටින්ම අරකිගේ අම්මට දෙනවා නේද" වැනි දැඩි සැකයන් හා බියවීම් ඇතිවීම.
- වෙන්වීම සහ එපා වීම: මෙතෙක් එක්ව සිටි පවුලෙන් ඈත් වෙන නැන්දම්මා, ලේලියගෙන් ලැබෙන සාත්තු සප්පායම් පවා තමන්ට අනතුරක් යැයි සිතා බියවීම සහ ප්‍රතික්ෂේප කිරීම.
පවුලේ වගකීම
වඩාත් සංවේදී කාරණය වන්නේ, මෙම රෝග තත්ත්වය ගැන නිවැරදි අවබෝධයක් නොතිබීම තුල, "වයසට ගියාම එන කරදර" , "නැන්දම්මනේ" , "වයසට ගියාම වද දෙන්න හදනවා" ලෙස ලේබල් කරමින් මෙම ලක්ෂණ හඳුනානොගෙන, එම නිසාම විඳවමින් ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්නට වන අම්මලා මෙන්ම, මෙම පීඩනය නිසා මානසිකව පීඩාවට ලක්වන පුතාලා, ලේලිලා සහ බිඳ වැටෙන අළුත් පවුල් අපේ සමාජය තුල බහුල වීමයි.
වඩාත් වැදගත් වන්නේ, තම ආදරණීයයන් ගැන වඩාත් හොඳ අවධානයකින් සිටීමත්, සිදුවන වෙනසක් "ගණන් නොගෙන" ඉන්නවාට වඩා, විමසිලිමත්ව යම් කායික හෝ මානසික ගැටළුවක් නිසා මතුවනවාදැයි නිසි වෛද්‍ය විමසුමකින් තහවුරු කරගැනීමයි.
අද දවස වෙත්දි ශ්‍රී ලාංකික සමාජය තුල හඳුනානොගත් ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන සෑහෙන පිරිසක් සිටින බව ඔබ දැන ගන්නවා නම්, පෙර කී ලෙස ඔබේ "පවුලේ වගකීම" ඉටු කරනවා නම්, නැන්දම්මා-ලේලි ගැටුම් සහ ඒ සමඟ ඇතිවන පවුල් ආරවුල් සෑහෙන ප්‍රමාණයක් අවම කරගන්නට පුළුවන් වේවි.