2023/06/02

I felt like myself again

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය සායනික පරිසරය තුළ දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගනිමින් ප්‍රජා දැනුවත්භාවය සහ ධෛර්යය ලබා දීමටයි.)

අඟහරුවාදා දිනය අපේ "මධ්‍යස්ථ සිට උග්‍ර ඩිමෙන්ෂියා" තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන් වෙනුවෙන් වෙන්වූ විශේෂ දිනයකි. විවිධ සංජානන මට්ටම් සහ චර්යාත්මක වෙනස්කම් සහිත මේ කණ්ඩායම පැය හයක් පුරා රැකබලා ගනිමින් චිකිත්සාවන් මෙහෙයවීමට මා සහ මගේ සහයක මිතුරියට අමතරව ස්වේච්ඡා සේවකයෙකුගේ (Volunteer) සහාය අත්‍යවශ්‍ය වේ.

නමුත් එදින අපට ස්වේච්ඡා සහාය නොමැතිව කටයුතු කිරීමට සිදුවිය. එදින මාසිකව අප වෙත පැමිණෙන විශ්‍රාමික පාසල් ගුරුවරියක මෙන්ම සුදුසුකම්ලත් Art Therapist වරියක වන මේරි (Mary) අපේ සේවාලාභීන් සමඟ එක්ව අපූරු ඇබ්ස්ට්‍රැක්ට් චිත්‍ර (Abstract Art) වැඩසටහනක් මෙහෙයවූවාය.

චිත්‍ර ඇඳීම සරල වුවද, එම නිර්මාණ නිසි ප්‍රමාණයට කපා, වර්ණවලට ගැළපෙන කාඩ්පත්වල අලවා සකස් කිරීමේ පසු සැකසුම (Post-processing & Framing) තරමක් සංකීර්ණ කටයුත්තකි.

"මේරි, දැන් මේකේ ඊළඟ පියවර කරන්න ඔයාට උදව් වෙන්න අද කවුරුත් නෑනේ, මොකද කරන්නේ?" මා ඇසුවෙමි.
"කමක් නෑ මහේෂ්, මම කාමරේට වෙලා මේ ටික හදලා යන්නම්." මේරි කාරුණිකව පැවසුවාය.

නගරයේ සිට තමන්ගේ කාලය හා ඉන්ධන වැයකරගෙන පැමිණි ඇයට තනිවම ඒ බර දැරීමට ඉඩදීම මගේ සිතට එකඟ නොවීය. මට හදිසි උපක්‍රමයක් සිහිවිය.



විශ්‍රාමික විදුහල්පති ජේ (Jay)

ජේ යනු කැනඩාවේ පළාත් කිහිපයක සේවය කර විදුහල්පතිවරයෙකු ලෙස විශ්‍රාම ගිය, අද වන විට මධ්‍යස්ථ ඩිමෙන්ෂියා තත්ත්වයක පසුවන ගෞරවනීය මහත්මයෙකි. ගුවන් නියමුවෙකු සහ ඉංජිනේරුවෙකු වන සාර්ථක පුතුන් දෙදෙනෙකුගේ පියෙකු වන ඔහු, අද වන විට පැය 24 පුරා පෞද්ගලික සාත්තු සේවකයන් සහිත අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරයි.

"ජේ, මට උදව්වක් කරන්න පුළුවන්ද?" මා ඇසුවෙමි.
"කියන්න මහේෂ්, ඕන දෙයක්!" ජේගේ දෙනෙතේ අමුතු බලාපොරොත්තුවක් හා සතුටක් දිලිසුණි.
"අද මොආනා නැති නිසා, ඔයාට පුළුවන්ද මේරිට උදව් වෙන්න මේ චිත්‍ර ටික එකලස් කරගන්න? මං දන්නවා ජේ හරිම පිළිවෙලට වැඩ කරන, නිර්මාණශීලී ඇසක් තියෙන කෙනෙක් කියලා. හැබැයි ඔයාට අද ව්‍යායාම සැසිය මඟහැරෙනවා."
"මහේෂ්, මම එක පයින් කැමතියි! මම හැමදාම ගෙදරදී ව්‍යායාම කරනවා. මම එන්නම් මේරිට උදව් වෙන්න!"

රෝද පුටුව පස්සට ගත් ජේ, චිත්‍ර කාමරය වෙත ගියේ මහත් උද්යෝගයෙනි.



චිත්‍ර කාමරයේ අපූරු හැරවුම

මගේ රාජකාරි අතරතුර පරිගණක තිරයෙන් මා දුටුවේ මේරි සහ ජේ ඉතාම කඩිසරව හා සිනහමුසුව චිත්‍ර සැකසීමේ නිරත වන ආකාරයයි. ජේ කාමරය පුරා ඇවිදිමින් අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරමින්, කඩදාසි පෙන්වමින් වෙනදාට වඩා අතිශය ක්‍රියාශීලීව වැඩෙහි නිරත විය.

සවස තුනට වැඩසටහන නිමාවී අනෙක් සියලු දෙනා පිටව ගිය පසු, ජේගේ පෞද්ගලික සාත්තු සේවිකාව පැමිණෙන තෙක් මා ජේ සමඟ කතාබහට එක්වුණෙමි.

"ඉතින් ජේ, අද දවස හොඳින් ගතවුණාද?"
"අද නම් නියමයි මහේෂ්! ඒ සේරටම වඩා මට හරිම සතුටුයි... අද කාලෙකට පස්සේ මට මගේ ජීවිතය ආයෙත් දැනුණා මහේෂ්! (I felt like myself again)"
ජේ මගේ අත අල්ලාගත්තේ පුදුමාකාර ආදරණීය හැඟීමකිනි.

"මට මගේ ජීවිතය ආයේ දැනුණා..."

*"වෙනදා මේරි කරන්නේ චිත්‍ර ටික කාඩ්බෝඩ්වල අලවන එක. ඒත් අද මම යෝජනා කළා ඒ ටික කපලා Scrapbook එකක් හදමු කියලා. මට මතකයි මම උගන්වන කාලේ මගේ ඉස්කෝලේ දරුවන්ට විද්‍යා පාඩම්වලට Scrapbooks හදන්න පුරුදු කළා.
ඒ පින්තූරවල දාර කතුරෙන් කැපෙද්දී මම හිටියේ මෙතැන නෙවෙයි මහේෂ්... මම හිටියේ මගේ ඉස්කෝලේ! මගේ ගාව හිටියේ මේරි නෙවෙයි, හිනා කටවල් පුරෝගත්ත දඟකාර පොඩි පැටවු මගේ වටේ කරකැවෙනවා මට දැනුණා!
මට මාව ආයේ දැනුණා මහේෂ්... I felt like myself again!"*

ජේගේ ඇස් කෙළවරින් සතුටු කඳුළක් ගලා ගියේය.

"මට ගෙදර හැම සැප සම්පතක්ම තියෙනවා මහේෂ්. ඒත් මාව පරිස්සම් කරනවා වැඩියි. කතුරක්, ග්ලූ ස්ටික් (Glue stick) එකක් අල්ලපු කාලයක් මතක නෑ. ඒ අලුත් කොළවල සුවඳ, ග්ලූ ස්ටික් එක ගෑවෙද්දී දැනෙන ඒ හැඟීම මගේ ජීවිතේ කොටසක්. ඒත් ගෙදරදී හැමදේම ඩිජිටල්. මගේ දරුවෝ මං ගැන පරිස්සමට එහෙම කරන බව මම දන්නවා. ඒත් මම ආසයි මට දැනෙන, මට හුරු ඒ අතීත හැඟීම් විඳින්න. ඒක තමයි මගේ ජීවිතේ!"

සායනික හා මානුෂීය පණිවිඩය (Sense of Purpose & Overprotection)

ඩිමෙන්ෂියාව සහිත පුද්ගලයන් රැකබලා ගැනීමේදී පවුලේ අය සහ සමාජය බොහෝවිට ඔවුන්ව අධික ලෙස ආරක්ෂා කිරීමට (Overprotection) යාමෙන් ඔවුන්ගේ ස්වාධීනත්වය සහ අතීත අනන්‍යතාවය නොදැනුවත්වම උදුරා ගනී.

  1. අර්ථවත් වගකීමක් පැවරීම (Sense of Purpose): ඔවුන්ට සුළු හෝ සැබෑ වගකීමක් (උදා: කෙනෙකුට උදව් කිරීම, අලැවීම, කැපීම) පැවරූ විට ඔවුන් තමන් තවමත් වටිනා මිනිසෙකු බව අත්විඳිති.
  2. හුරුපුරුදු සංවේදනයන් (Sensory Familiarity): කඩදාසි සුවඳ, කතුර, ග්ලූ ස්ටික් වැනි ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් මොළයේ යටපත් වූ ධනාත්මක මතකයන් හා හැඟීම් (Procedural & Emotional Memory) නැවත අවදි වේ.
  3. "මට මාව ආයේ දැනුණා": සුපිරි සැප පහසුකම්වලට වඩා පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ තමාගේ ආත්ම අභිමානය සහ තමා තවමත් 'තමාම' බව දැනෙන සැබෑ මොහොතවල්ය.