2011/06/16

16th Discussion - ඉස්සා උස්සා වෙන්නේ කටුස්සා...- කට පරිස්සම් කර ගන්න !....Food allergy වැඩියි..

ජීවිතයට ...ආදරේ.......වගේම රැකවරණයත් .....
තවත් සුන්දර දවසක උදාව .....හැමදාමත්  අපිව ඇහැරවන “දෙමලිච්චන් රෑන “  ඇවිත් අද උදේම , ජනේලය හිමීට ඇරිය ...


“ ෂ් ..ෂ් සද්දකරනනේ නැතිව බලන් ඉන්න“ මගේ බිරිඳගේ උපදෙස් ගත්ත අපේ සද්දපාල හෙවත් චූටි මිතිලි  කිසිම සද්දයක් නැතිව බලාගෙන ඉන්නව .....හරිම සුන්දර දසුනක් ...හිතට පුදුම සතුටක් දැනෙනනේ .....දෙමලිච්චන් රෑන අපේ කුරුළු තැටියේ කෑම කනවා ..පැටවුන්ට කවනවා  , ....බත් ඇට හැම තැනම හළලා ඒ අස්සේ අපේ මිතුරු කොණ්ඩ කුරුළු ජෝඩුව එහා ගෙදර රඹුටන් ගහේ ඉඳගෙන ලොකු කිචි බිචියක්...තව ටිකකින් එයාලත් මෙතැනට එනවා කෑමට .....


කෑම ගැන කීවම මතක් වුනේ ...අද අපට යන්න තියෙනවා , අපේ අධීක්ෂණ නිලධාරිතුමෙක්ගේ දුවගේ විවාහ උත්සවයකට....උත්සවේ තියෙන්නේ ...කතළුව ගඟ අසබඩ ලස්සන තැනක ....මඩොල් දූව පෙනෙනතෙක් මානයේ තියෙන තැනක් ....

සුන්දර කොග්ගල
මඟුල් ගෙදර යන්න ඕන කරන තෑගිබෝග,අඩුම කුඩුම ඔක්කොමත්  අරගෙන දැන් අපි මේ යන්නේ මගේ රෝද දෙකේ වාහනෙන් ....කතළුව දිහාවට .....“කතළුව “ මගේ ජීවිතේ වැදගත්ම සහ සුන්දරතම ප්‍රදේශය ..ඒ ඇයිද දන්නවද ...මගේ මුල් යොවුන් විය ගෙවුනේ මේ පරිසරයේ ...මගේ පාසල වුනේ කතළුව මධ්‍ය මහා විද්‍යාලය .....සමහර දිනක අපේ විවේකය ගෙවුනේ ...කොග්ගල මෝය කටේ ,මුහුදු රැළ එක්ක පොර බඳිමින් ...නැත්නම් අපේ මිතුරන් එක්ක මඩොල් දූවට ගිහින් කුරුම්බා දෙක තුනක රස බලමින් (අද ඒ මඩොල් දූවේ , තිබුණු හුදකළා සුන්දර බව තියේද කියල සැකයක් මට හිතෙනවා).....හරිම සුන්දර අතිතයක් .....මගේ හොඳම මිත්‍රය ඉන්දික ...අපි කිව්වේ ....ඉස්සා කියලා ....ටිකක් තරහ යනවා .,එයා තරහ ගස්ස ගන්න ඕන උනාම අපි කියන්නේ ..“ඉස්සා උස්සා වෙන්නේ කටුස්සා “  ඇහුනොත් ඇති ....“වහගන්නව කට ...! “  දත්මිටි කාගෙන නටපු හැටි තාමත් මැවිල පේනව වගේ .....

අපි වෙලාවට (එහෙම කිව්වට දවල් දොළහ මාරයි දැන්) නියම තැනට ආව .....Car park  එකේ අයිනකින් නවත්තපු මගේ අහිංසක බයික් එකෙන් බැහැ ගත්තු අම්මල, දූල හැඩ වැඩ දානවා ...මොකද එනකොට හුළං පාරට කොණ්ඩ “කැළේ ගිහින්ලු “ ..........මගේ  ඉතින් induced තට්ටෙනේ ...ජැකට්ටුව ගලවල දාල මමනම්  නිදහස් වුනා....ගිණිගහන මද්දහන වුනාට ...මුහුදු සුළගේ සිතලෙන් ඒ උණුසුම  මගහැරුනා .....

රස..ම රස ද?........
අපේ හෙද ,වෛද්‍ය නිලධාරින් වගේම සියළුම රෝහල් ක්ෂේත්‍ර නියෝජිතයන් ඇවිත් ...කවුරුත් එක්ක කතා බහ කරලා අපිත් ආවා ....කෑම බෙදා ගන්න......බාස්මතී බත් ...කැකුළු ...අල බැදුම් ...කජු මාළුවක් ....ඉස්සෝ බැදුමක් ...මාළු ..මස් ...අඩුවක් නැහැ ...හොඳට සුදානම් කරල තිබුනා .....අපි හතර දෙනා පිඟන් තුනක්ම බෙදා ගෙන මුහුද අයිනටම වෙන්න සූදානම් කරල තිබුණු මේසයකට ගියා....

කාළ බීල අපි තවත් බිරිඳගේ මිතුරියන් කිහිපදෙනෙක් එක්ක අර ලස්සන තැන තිබුණු මේසය වටේ කතාවක ....ඊට ටිකක් එහා පොඩි කලබලයක් වගේ ....“මහේෂ් , අර අපේ දම්මි ම්ස්ල නේද ? ....පොඩ්ඩක් බලන්න මොකද කියල ....“ බිරිඳ ගෙන් මට යෝජනාවක් ....“ ආ....ඔය ඉතින් ...අර සැර බීම දාගත්ත මහත්තයෙක් ගේ වැඩක් වෙන්න ඇති .... අපි ටිකක් බලමු මොකද වෙන්නෙ කියලා ...“ මට ටිකක් විවේකයෙන් ඉන්න ඕන නිසා එහේම කියල පුටුවෙ ටිකක් ඇළ වුනත් මගේ ඇහැ එතැන ....“මොකක් හරි සිද්ධියක් ..යන්න ඕන බලන්න ....“

ඇඟ පුරා රතු බිබිළි .......
අපේ මිතුරියක්ගේ පුංචි දුවෙකුට “food allergy“ තත්වයක් ඇති වෙලා...බලන කොට පුංචි එකා ඉස්සෝ ගොඩාක් කාළ.....පුංචි එකා රෝස පාට වෙලා ....ඇඟ පුරාම ලප ...අඬනවා ....පුංචි පැටික්කි හොඳටම බයවෙලා ...මට මතක් වුනේ අපේ කවිය “ඉස්සා උස්සා වෙන්නෙ කටුස්සා......“ , සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් නිසා ...අවශ්‍ය ප්‍රතිකාර වලට ඉක්මණට යොමු වුණා ...මට හිතුනා මේ ගැන සටහනක් බ්ලොග් එකේ තියන්නට... එතකොට අපිට ඉස්සෝ කාළ , කටුස්සො වෙන්න (ඇඟේ පාට වෙනස් කරගෙන , පළුදාගෙන ) ඕන නැහැනේ නේද?......

මේ තමයි “නරක අටදෙනා“.........
ඇත්තටම මොකක්ද මේ Food allergy  කියන්නේ , ඔබේ ආහාරයේ තිබෙන යම් සංඝටකයකට , විශේෂයෙන්ම ප්‍රෝටීනයකට විරුද්ධව ඔබේම ප්‍රතිශක්ති කරණ පද්ධතිය Immune system ක්‍රියාත්මකවිම , එහිදී පළු දැමීම , කැසීම වගේ සරළ ලක්ෂණ විතරක් නොවෙයි එහි උපරිම අවස්ථාව වන anaphylaxis තත්වයේදී ක්ෂණික ශ්වසන අපහසුතාවක් ඇවිත් මරණය පවා ළඟා වෙන්න පුළුවන් , අනෙක් කෑම කාළ විනාඩි දෙක තුනක් වුවත් ඇති මේ අනතුර සිදුවන්නට  (Food allergies are the body's abnormal responses to harmless foods; the reactions are caused by the immune system's reaction to some food proteins.)

මේකෙදි සිද්ද වෙන්නේ ආහාරයේ තියෙන යම් ප්‍රෝටීනයක් “අපේ තරහකාරයෙක් “ කියල අපේම ප්‍රතිශක්ති පද්ධතිය රැවටෙන එක , ඉතින් ඒ තරහ කාරයාව නැති කරල දාන්න IgE කියන අපේ ලේ වල ඉන්න ආරක්ෂකයත් , mast cell කියන ආරක්ෂකයත් එකතුවෙලා(තව කට්ටිය ගොඩක් උදව් කරනවා)   ....හිස්ටැමින් කියන සංයෝගයක් මුදා හරිනවා ....අන්න ඒ histamine  නිසා තමයි මේ සියලුම අසාත්මික ලක්ෂණ ඇති වන්නේ . මේ හිස්ටැමීන් වලට පුළුවන් ක්ෂණිකව රැධිර පීඩනය අඩාල කරන්න , ශ්වසන පද්ධතියේ ක්‍රියාව දුර්වල කරන්න පවා ....හිතා ගන්න පුළුවන් නේද වෙන්න පුළුවන් අනතුර......
බලාගෙනයි ඇලජික් වෙන්න  පුළුවන්.

මොනවගේ ආහාර වලටද ඇලජික් වෙන්න පුළුවන් ...“ඒක එක් එක්කෙනාට වෙන් වෙන දෙයක් හැබැයි ...පොදුවේ ගත්තොත් ඉස්සෝ , කකුළුවෝ වගේ මුහුදු ආහාර , සමහර දරුවන්ට බිත්තර ඇලජික් වෙන්න පුළුවන් , ඊට අමතරව කිරි (ඒ කිව්වේ මව් කිරි නොවෙයි ) , සෝයා ආහාර , කජු වැනි ඇට වර්ගත් අසාත්මික වෙන්න පුළුවන් කාණ්ඩයේ තියෙන්නේ ඒ වගේම කුකුළු මස් වලටත් තක්කාළි වලටත් (ඇත්තටම කිව්වොත් තක්කාළි ඇට වලටයි ඇලජික් වෙන්නේ ) අසාත්මික වෙන්න පුළුවන් ....

දැන් අපි බලමු මොනවද අසාත්මික ලක්ෂණ කියලා ...පුංචි පුංචි බිබිළි සම මතු පිට මතු ෙවනවා ..සමහර විට බලා ෙගන ඉඳිත්දි ෙම් ලප මතු ෙවනවා හරි ඉක්මණට ... එයත් එක්කම  ස ෙම් කැසීමක් , ඉදිමීමක් ඇති වෙනවා ...ඒත් එක්ක වමනය දියරමය ලෙස මළපහ පිටවීමත් වෙන්න පුළුවන් ...මේ ඔක්කොටම වඩා භයානක ...හුස්ම ගැනිම අපහසු වෙලා ක්ලාන්තය වගේ(anaphylaxis shock ) ඇතිවෙලා ජීවිතය ඉතා අනතුරුදායක තත්ත්වයකට ගෙන යන්නත් මේ පුංචි දේට පුළුවන්....

“ගණන් ගන්න“ මේක හදිස්සියක් .......
විශේෂයෙන්ම මෙහිදි හුස්ම ගැනීමේ අපහසුවක් ,ක්ලාන්ත වන බවක් දැනුනොත් අදාල පුද්ගලයා හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාරයට යොමු කරන්න ...කිසිම වෙලාවක “ඕක ඇරිළ යයි“  කියල ගණන් නොගෙන ඉන්න එපා....එවිට වෛද්‍යවරයා අවස්ථාවට අදාලව ඖෂධ , ඔක්සිජන් ආදිය භාවිතයන් ජීව්තය රැකදීමට කටයුතු කරාවි .....අපේ වගකීම තමයි මේ තතත්වය ගැන දැන ගන්න එක සහ අවශ්‍ය අවස්ථාවේ නියම ආකාරයෙන් ක්‍රියාත්මක වන එක ...

තව දෙයක් කියන්න ඕනෑ , අපි අත්දැකීමෙන් දකින දෙයක් තමයි ...දැන් දැන් මේ food allergy තත්ත්වයේ වැඩි විමක් ...හුඟක් පාසල් දරුවන් මෙම තත්ත්වයට ගොදුරු වෙනවා ...මට හිතෙනව ඒකට ප්‍රධානතම හේතුව වෙන්න ඇති , short eats මොකද බොහොම වෙලාවට ඒවට විවිධ රසකාරක දානවනේ...ඉතින් chemical allergies ඇතිවෙන්න ඉඩ වැඩියි.... 

හා.....ච් චෝං ං ං මේකත් ඇලජියක් ....
මම මෙතැන Food allergy  ගැන කතා කළේ අද සිද්ද වුනු දේ නිසානේ ....ආහාර වලට විතරක් නොවෙයි. ඔබගන්නා ඖෂධ වලට(Drug allergy) , ගාන ක්‍රීම් වලට ...දුහුවිලි වලට පවා allergies  ඇති වෙන්න පුළුවන් ...“පීනස“ කියන්නෙත් allergic condition  එකක් ...ඒ වගේම අපි හොඳට දන්න “හතිය“ කියන්නෙත් එවැන්නක් . ඒවගේම එක් allergy තත්ත්වයක් තියෙන අයට තවත් දෙයක් සඳහා මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානම තිබෙනවා.... 

අපිට කරන්නට තිබෙන හොඳමදේ තමයි තමන්ට allergic  මොනවාද කියල අඳුනගෙන ඉන් ඉවත්ව කටයුතු කරන එක .....අනික හදිසියේ හරි මෙහෙම තත්ත්වයක් ඇති වුනොත් නිසි ක්‍රියා මාර්ග ගන්න එක නේද ?  ...ඒත් මේ වෙනුවෙන් හදිසි ප්‍රතිකාර Emergency treatment වලට අමතරව Antihistamine කාණ්ඩයේ ඖෂධ Mast cell stabilizers වගේ ඖෂධ ගන්න පුළුවන් ඒත් හොඳට මතක ලියා ගන්න , මේ හැම ඖෂධයක්ම ගන්නට ඕනැ වෛද්‍ය උපදෙස් මත පමණයි ඒ වගේම mast cell stabilizers  ගන්න උපදෙස් දුන්නොත් වෛද්‍යවරයාගේ උපදෙස් අනුව එක දිගට මාස 3ක් හෝ 6ක් විතර වුනත් ගන්න වේවි.....(හරිම වැදගත් ඖෂධ වෛද්‍ය උපදෙස් මත නියමිත කාළ සීමාවම ගන්න එක ...මේ ගැන මගේ වෙනත් ලිපියක් ඇති ...කැමතිනම් කියවන්න මෙතැනින් යන්න , ලිපියේ කොටස් තුනක් ඇති

වාසනාවට මම මුලින් කී පුංචි කෙළි පැටික්කිට කරදරයක් නැහැ ...හැබැයි කවුරුත් හොඳටම බය වුනා....අපි ආයෙත් මුහුදු හුළං වැදි වැදි .......අතීත සුන්දර මතයකන් ගැන කුටු කුටු ගගා  ගෙදර ආවා ....



මෙම ලිපිය පිළිබද ඔබේ අදහස් යෝජනා මෙන්ම චෝදනාද මම ගරු පෙරදැරිම අපේක්ෂා කරමි , එය තවත් ලිපියක් ලියන්නට , ඔබෙන් ලැබෙන අමිල නොමසුරු දායකත්වයයි........