2011/06/25

22nd Discussion - ගැහැණු ඇටේ කැඩෙන හැටේ-රැක ගත යුතුම තුන්පොළ Osteoporosis

අද 25 , සෙනසුරාදා  විශේෂ දවසක් , දන්නවද මොකක්ද කියලා ...? අද අපිට පඩි ගන්න පුළුවන් දවස..ඒ කියන්නේ මාසේ පඩිය කවද අපේ bank  account  එකට ගියත්  අපේ “අතට“ මුදල ගන්න පුළුවන් දවස ...ඒ නිසාද මන්ද අද හරි සනීපයි වගේ පරිසරයත් ....නැහැ ඒකම වෙන්න බැහැ ..පොඩි වැස්සක් වැටුනා ..ගස්කොළන් පණ ගහල ඇවිත් ...අපේ යාළු කුරුළු පවුල් ටිකත් සැපට නාල ....ඇඟ පුම්බගෙන උණුහුම් වෙනව....බලන්න ලස්සන දර්ශණයක් ...
අදත් සරුයි හෙටත් සරුයි..

“මහේෂ් ...අපි ගෙදර බඩු ටික ගේන්න යමුද ආයෙත් වහින්න කළින්....“ මගේ බිරිඳගේ හඬ ... “ඒක නෙවි ..අපි පොඩ්ඩක් town එක පැත්තට ගිහින් එමුද ...මට හොඳ Nozzle ටිකකුත් හොයා ගන්න තියෙනවා “ ඇය තවත් එක් කළා ...“ඇත්තමයි , ලොකූගේ උපන්දිනෙත් ළඟයිනේ , ... හරි කට්ටියම ලෑස්ති වෙන්න ..“

මෙන්න ප්‍රශ්න පත්තර දෙක ...

දඩුමොනරේ පණ ගැන්වුනා ..අර වෙනද වාගේම අපේ කැප්ටන් ඉස්සරහට දාගෙන ...අපි මේ යන්නේ ගාලු පුරේ බලා ...හතරමං හංදිය පහුකරළා අපි කුඹුර මැදින් හෙමින් සීරුවට යනව ...“ කොන්ද නමාගෙන .හැරමිටි ගහගෙන ...ලැසි ගමනින් එන්නේ ...“ චූටි මිතිලි දවසේ ගීතය පටන් ගත්ත ...වෙල අයිනෙම ගෙදර ඉන්න වයසක ආත්තම්ම කෙනෙක්  පාර දිගේ එනව ..“තාත්තේ ...මොකද වයසට යනකොට කොන්ද නැමෙන්නේ ...? , ඔහොම ගිහින් ඔළුව බිම ගෑවේද ? අපි දෙන්නගෙත් එහෙම වේවිද ....? “ පටන් ගත්ත දිනිති අක්කගේ ප්‍රශ්න පත්තරේ...දැන් ඉතින් දෙන්නකො උත්තර ...“පුතේ වයසට යනකොට කොඳු ඇට බුරුල් වෙනවා ...බුරුල් කොදු ඇට උඩට බරක් ආවම ....හරියට අර sponge  එකක් වගේ පොඩි වෙලා ඇකිලෙනවා .....මේ ආත්තම්මගෙත් වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක් ....“ ...පරිස්සමට ප්‍රධාන මාර්ගයට යතුරු පැදිය ඇතුළු කළා මම.

බඩු ටිකත් අරගෙන ගෙදර ඇවිත් වියදම් එහෙම බලලා ඉවර වෙලා මගේ “සොඳුරු සුව අසපුව“ බලන්නට අන්තර්ජාලෙට ඇතුල් වුනා  , මගේ මතකයට ආව අපට මුණගැහුණු ආත්තම්මා , ඒ එක්ක අපේ දෙන්නගේ ප්‍රශ්න ... තවත් දෙයක් මට මතකයට ආව , දිනක් මගේ ලිපියක් ලියවපු “ගිම්හානි“ නම් සාමාජිකාව ඉල්ලල තිබුණා ..ඔස්ටියොපොරෝසිස් ගැන කතා කරන්න කියලා ...එහෙම නම් අද ඒ ගැන කතා කරමු ,

ඔස්ටියෝපොරෝසිස් ගැන කතා කරන්න ඉස්සරවෙලා ඔස්ටියෝ ගැන එහෙම නැත්නම් අපේ අස්ථි ගැන දැන ගෙන ඉන්න එපායෑ නේද ? අපේ ඇට හැදිල තියෙන්නේ හරියට ගඩොල් , බදාම එක් වෙලා හැදුනු බිත්තියක්  වගේ ,ඒකේ කැල්සියම් , ෆොස්පේට් , එක්ක තවත් විවිධ සංයෝග එක්වෙලා , ඝණ වෙලා තමයි හැදෙන්නේ ...මේ බිත්තියේ පරිස්සමට , හොඳට කල්තියාගන්න ගාන whether proof paint එකක් වගේ ඇන්ඩ්‍රජන් , ඊස්ට්‍රජන්, කැල්සිටොනින් වගේ හෝමෝන වර්ගත් අපේ මේ ඇට වල ශක්තිමත් බව පවත්වා ගන්න දායක වෙනවා ....හොඳ තද ගඩොලෙන් බැන්දොත් බිත්තියෙ හයිය වැඩියිනේ ....හැබැයි නිසි පරිස්සමක් නැතිවුනොත් කාළයක් යනකොට ඔය ගඩොල් දිරන්න ඉඩ තියෙනවා ...වෙලාවට තිත්තගාල , පළුදු හදලා , තියාගත්තොත් බිත්තිය තියේවි අළුත් වගේම ...

ඔය වැඩේම වෙනවා අපේ ඇට වලටත් අවුරුදු විසි පහේදි විතර හොඳට ශක්තිමත්ම තියෙන අස්ථී , අර  මුලින් කීව වගේ නිසි රැක වරණයක් නැති වෙන කොට , පරණ වෙන කොට අස්ථීයේ ඝණත්වය අඩු වෙනවා (Bone density) ...අඩු වුනාම මොකද වෙන්නේ ..හරියට අර ගඩොල් බොල් වුනා වගේ තමා .බිත්තිය ලැඩෙන්න හදනවා ...ඒ වගේගම දුර්වල වෙච්ච මේ ඇටත් කැඩෙන්න බලනවා ...විශේෂයෙන්ම අපේ ඇඟේ වැඩිම බර දරන තැන් වල තියෙන අස්ථි බිඳෙනවා ...පාද , කොඳු ඇට ...වගේ තැන් හරිම අවදානම් , ඔන්න ඔය විදියට අස්ථිවල ඝණත්වට අඩුවෙලා , බිඳීමේ අවදානමකට ලක් වීම තමයි ඔස්ටියොපොරෝසිස් කියන්නේ ....

මෙන්න මං කොට වෙනවෝ .....
දැන් අපි බලමු මේ තත්ත්වයට අනතුරුදායක් වන්නන් කවුද , මොනවද කරන්නේ කියලා ...ප්‍රධානතම අනතුර ස්ත්‍රී බව කිව්වට තරහ වෙන්න එපා , ලෝකයේ කාන්තාවන් දෙන්නෙක් ගෙන් එක් අයෙකුට (ආසන්න වශයෙන්) මෙම තත්ත්වයට පත්වීමේ අවදානමේ ඉන්නේ ...පිරිමි අපිට නම් ටිකක් මේ අනතුර අඩුයි .. ඔන්න ...අනතුර අඩුයි කිව්ව පමණින්ම මේක ගණන් නොගෙන ඉන්න එපා , පිරිමි අට දෙනෙක් ගෙන් එක් අයෙකුටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් ..


.‘ඇයි අනේ මේ අපිටම .....!  “ කියල මේ කියවන අපේ සාමාජිකාවෝ ටික හිතාවි ...මොනවා කරන්නද ? ඔය හැඩේටයි , වැඩේටයි , අඩේටයි ඔක්කොම හේතුව ඊස්ට්‍රජන් කියන හොමෝනය ....කාන්තාවක්ගේ අස්ථි ඝණත්වය හොඳින් පවත්වා ගැනීමේ පළමු වගකීමක් ගන්නනේ ඊස්ට්‍රජන් ...ඒත් අවුරුදු 45-50 විතර වෙත්දි ආර්ථවාභාවය (Menopause) සිදු වුනාම , ඇඟේ තියෙන ඊස්ට්‍රජන් හෝමෝන ප්‍රමාණය එකපාරටම අඩු වෙනවා ...එතකොට අර අස්ථිවල ශක්තිමත්  බව පවත්වාගන්න බැරි වන නිසා ඒවායේ ඝණත්වය අඩුවෙන්නේ ....

තව අවදානමක් තමයි වයස් ගත වීම ...ඒ ගැන ඉතින් කියන්න ඕනම නැහැනේ ...කොහොමත් අපේ අස්ථි වියපත්වීමත් එක්ක , ඒවායේ ඝණත්වය අඩුවෙලා ,දුර්වල වෙනවා ..පොඩි වැටීමක් ඇති ඇට කැඩිලාම යන්න ...

තව හේතුවක් පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා , ආසියානු කළාපයේ රටවල ඉන්න අපේ කාන්තාවන්ට ඒ අනතුර තවත් වැඩියිළු ..හේතුව විදියට කියන්නේ කැල්සියම් බහුල කිරි ආහාර Diary products අඩු වශයෙන් ගැනීම කියල හඳුනාගෙන තිබෙනවා .... 

ඔව් ..ඔබයි වඩාත්ම අවදානම් ...(ලෙඩේට..)

අනෙක් පවුලේ කාට හරි මේ තත්ත්වය තිබුණොත් අනෙක් අය වෙනදට වැඩිය  පරිස්සම් වෙන්න ..මොකද මේ රෝග තත්ත්වය ආවේණිකව යාමේ හැකියාවකුත් තිබෙනවා...

තමන්ගේ ආර්තව චක්‍ර ක්‍රියාවලියේ යම් යම් අසාමාන්‍යතා තියෙන කාන්තාවනුත් ,ඒ වගේම කාළයක් තිස්සේ ඖෂධ ගන්නා අයත් විශේෂයෙන්ම ලේ කැටි ගැසීම අඩු කරවන හෙපරින් , අපස්මාරයට දෙන ඖෂධ වර්ග , ඒ වගේම කෝකටත් තෛලය වගේ දෙන ...සමහර වෙලාවට දොස්තර මහත්තය කියන්නේ නැතිවත් ගන්න ප්‍රෙඩ්නිසොලොන් ...ඒ වගේම පිළිකා නාශක ඖෂධ Chemotherapy drugs  , අර ගැස්ට්‍රයිටිස් වලට හපල කන Aludrox වගේ පෙති , උපත් පාලන හෝමෝන (ඩිපො ප්‍රොවේරා )  .....මේ වගේ ඖෂධ දිගු කාළීනව සහ වෛද්‍ය උපදෙස් රහිතව මම නැවතත් කියනවා “ඖෂධ දිගු කාළීනව සහ වෛද්‍ය උපදෙස් රහිතව“ භාවිත කිරීමත් ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයට හේතුවක් ...

කන්න බොන්න ..එන්න (පරිස්සමින් )
තව බය කරන්නද ...? ඔබේ ආහාර වේලේ නිතරම කැල්සියම් සහිත ආහාර ඒ කිව්වේ කිරි , මාළු , බෝංචි වගේ එළවළු ...ධාන්‍ය වර්ග දොඩම් වගේ පළතුරු අඩුනම් මෙන්න අවදානම් ...ඒ විතරක් නොවෙයි කෑම වල තියෙන කැල්සියම් ඇඟට උරාගන්න විටමින් ඩී ඕන , ලංකාවේ අපිට නම් නොමිළෙම හදාගන්න පුළුවන්නේ ..උදේ හරි එළියෙන් නේද ..එහෙම නැත්නම් අළුත් මාළු වලත් ප්‍රමාණවත් විටමින් ඩී තිබෙනවා ...

ඔබේ ඇඟෙ හැඩය කොහොමද ...ලස්සනට කොටට මහතටද ඉන්නේ ...පරිස්සමින් ..ඔය අවදානම් ලකුණක් ...අනෙක ඇඟට දැනෙන ව්‍යායාමයක් කරන්නේ නැතිව නිකම්ම ඉන්නවනම් ඔබ තව ලකුණක් දාගත්ත ..අවදානමට .....

සිගරට් සහ මධ්‍යසාර භාවික කර අපේ මහත්තුරු පොඩ්ඩක් හිතට ගන්න ...ටිකක් පාළනය නොවුනොත් පැන්ෂන් ගන්න කාළෙට කකුල් කඩාගෙන ඇඳට වෙලා ඉන්න වේවි .සමහර විට ඒක අන්තිම ඉඳිල්ලත් වේවි ..මොකද වයස් ගතවූවෙක් අස්ථී බිඳීමටකට , (විශේෂයෙන්ම පාදයේ , කොන්දේ වගේ තැන්වල ) ලක් වෙලා ඇඳට වෙන්න වුනොත් ...නිසි ප්‍රතිකාර නොලැබුනොත් Hypo static Pneumonia කියන තත්ත්වය ඇතිවෙලා මිය යන්න වුනත් පුළුවන් ... ටිකක් කටට සැරට ලිව්වේ අපෙ මහත්තුරු ගණන් ගන්නේ නෑනේ කිසිදෙයක් ....ඒකියි ..තරහ වෙන්න එපා ....

ඉන්න බෑ ෑ ෑ ෑ කොන්දෙ කැක්කුමයිඊඊඊ
මේ විතරක් නොවෙයි ඔබට කාළීන හන්දි අමාරු (Rheumatoid arthritis)  , දියවැඩියාව   , පිළිකා හෝ පිළිකා ආශ්‍රිත රෝග එහෙම නැත්නම් දිගු කාළිනව පවතින ආහාර දිරවීමේ අපහසුතා( Inflammatory bowel disease) වගේම බර අඩු කිරීමේ ශල්‍ය කර්ම කරගෙන තිබෙනවානම් gastric bypass surgery ... කියන්න ඕන නැහැනේ ඔබේ අනතුරු අවදානම ඉහළයි 

දැන් අපි අඳුන ගත්තනේ කාටද වැඩි අනතුරක් තියෙන්නේ කියලා ...ඒ අය විශේෂ අවධානයකුත් අනෙක් අපි හැමෝමත් සුවිශේෂී අවධානයකුත් (අන්තිමට අපි හැමෝම නේ...) මේ රෝගය ගැන යොදවන්නට ඕන ....මොකද අද ලෝකයේ වැඩිහිටි ජන ගහණය වැඩි වීමත් එක්ක මුහුණ දෙන ප්‍රධානතම ගැටළුවක් මේක ...

හයිවෙන්න ......ඇවිදින්න ...
“මේ තත්ත්වයේ රෝග ලක්ෂණ හඳුනගත්තොත් පරිස්සම් වෙන්න හැකිවේවි ....“ ඔබට හිතේවි ...වැඩක් නැහැ ..මොකද මේක silent disease එකක් , ඒ කියන්නේ අපේ ඇඟ ඇතුලේ හැංගිලා තියෙනවා අපට නොදැනෙන විදියට , අපිට හරියටම දැනගන්න හම්බවෙන්නේ අස්ථි බිඳීමක් වුනාම තමයි ...හැබැයි අත පයේ ඇති වන දිගු කාළීන වේදනාව (ඔන්න ඔන්න ..බය වෙනවා..) , විශේෂයෙන්ම කොන්ද , කකුල් ආශ්‍රිත ප්‍රදේශ , ඒවිතරක් නොවෙයි ඔබේ හැඩය වෙන් වෙන්න පටන් ගන්නවා ....ටිකක් කුදු වෙනවා ..ටිකක් උස අඩුවෙන්න වගේ පුළුවන් ...ඊට අමතරව බෙල්ලේ ...අත් දිගේ යන හිරිගතියක් එහෙමත් එන්න පුළුවන්  , නමුත් ගැටළුව මේ වෙනකොට ලෙඩේ නරක  තත්ත්වෙක ....

දැන් ඔබ මොකද කරන්නට ඕන ...මුලින්ම මේ තත්ත්වය ගැන දැනගන්න ...එතකොට තමයි අපි ටිකක් වෙනස් වෙන්නේ ...හොඳ පෝෂණ තත්ත්වයක් තියා ගන්න ..කෑම බීම සැලසුම් කරත්දි වෙනදට  වඩා දැනුවත්ව කරන්න ...අර මුලින් කී අනතුරු දායක සාධක වලින් ඉවත් වෙන්න බලන්න ...නිවැරදි ව්‍යායාම කරමින් ඔබේ අස්ථි වල ශක්තිමත් බව වැඩි කරගන්න ...ලොකු දේවල් එපා ...දවසට පැය භාගයක් විතර ඇවිදින්න ...පුළුවන්නම් පීනන්න ... මේ විදියට සතියකට අවමව දින 3ක් 5ක් කරන්න පුළුවන් නම් ඔබේ ඇට ශක්තිමත් වේවි .. වැදගත්ම දෙයක් කියන්න ඕන මේ විදියට ලැහැස්ති වෙන්න (අස්ථි ශක්තිමත් කර ගන්නට) ...වයසට යනකම්ම ඉන්න ඕන නැහැ ..විශේෂයෙන්ම අපේ දූල පාසල් කාළයේදීම මේ කටයුතු ආරම්භ කළොත් නිරෝගී , ශක්තිමත් අස්ථී ඔබට හිමි වෙනවාමයි ..එතකොට හිතේ බයක් නැතිව ..වයසට ගියාමත් සතුටින් ඉන්න පුළුවන් ....

හරියට දැනගෙනම බෙහෙත් ගන්න ...
Bone density scanකොහොම වුනත් සැක සහිත අවස්ථාවකදි ..වශේෂයෙන් වයස 45-50 වගේ සීමාවකදි මෙම රෝග තත්ත්වය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයක් කර ගත්තොත් හොඳයි ..එතැනදි Bone Density Test , X ray වගේම තවත් රුධිර පරීක්ෂණ ගණනාවක් කරාවි ..එවිට ඔබට මෙම රෝග තත්ත්වය ඇති බව තහවුරු විට ඔබට ඖෂධ වර්ග කිහිපයක් දේවි ..හොඳට මතක තියා ගන්න ..ඔබේ ඖෂධවේදියාගෙන් විමසිය යුතුයි ඔබ එම ඖෂධ ගත යුතු ආකාරය ..සමහර ඖෂධ ආහාර ගන්නට පෙර “හිස් බඩට “ ගන්න ඕන ..සමහර ඖෂධවල ටිකක් අප්‍රසන්න අතුරු ප්‍රතිපලත් Side effects තිබෙනවා ..මේවා ගැන දැන ගෙනම ඖෂධ පාවිච්චි තරන්න ගන්න... නැත්නම් හැමදාම වගේ බාගෙට බෙහෙත් අරගෙන නවතිවි .....

වැඩිය කැඩෙන නරක .....තැන් 
නවතීවි කියල ලියනකොට තමයි මතක් වුනේ මේ ලිපිය දිග වැඩිවගේද කියලා ..දැන් ඉතින් ජීවන රටාව ටිකක් වෙනස කර ගන්න ....තාමත් මේ ගැන හොයල බැළුවේ නැත්නම් ...වැටෙන්න එපා ..වැටෙන්න දෙන්න එපා ...තුන් පොළ පරිස්සම් කර ගන්න ...කොන්ද ප්‍රදේශය , පාදයේ අස්ථි සහ අතෙහි අස්ථි ....මොකද මේවා තමයි වැඩි වශයෙන්ම අනතුරකට ලක් වෙන්නේ ...

එහෙනම් ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න ....දන්නවනේ ගැහැණු ඇටේ කැඩෙන හැටේ ...