මගේ මතකය නිවැරදි නම්, මං කතළුව ඉස්කෝලේ හතේ පන්තියේ විතර ඉන්න කාළේ, ටිකක් වෙනස් විෂයයක් පරීක්ෂණ මට්ටමින් හදුන්වා දී තිබුණා. විෂයෙ නම “ජීවන කුසලතා”.
බයිසිකල් වලට පැච්දාන හැටි, සැන්විච් එකක් හදන හැටි, මැටි බඩු හදන්න වගේම පොකුණූ හදන්න වගේ විවිධාකාර ක්‍රියාකාරම් මේ විෂය ඔස්සේ අපට ඉගෙන ගන්නට ලැබුණා. අපට හිටියේ, දයාරත්න වල්ගම කියන ගුරුතුමා, ඔහු නාට්‍ය කළාව ගැනත් ප්‍රවීණයෙක්.
මේ විෂයත් එක්කම, මට මේ “ජීවන කුසලතා” කියන වචන දෙක හුඟක් ලංවුනා වගේ දැනෙනවා.ඒ නිසාම , මගේ උගැන්වූම් කතාබහ තුලදී හුඟක් වෙලාවට මේ වචන යොදා ගත්තා.
ඒ ඔස්සේම යමින්, අද දවසේ දරුවන්ට (වගේම සමහර වැඩිහිටියන්ටත්) වැදගත් විය හැකි ජීවන කුසලතා කීපයක් ගැන කතා කරන ලිපි පෙළක් පටන් ගන්නට හිතුණේ, රැකියාවෙන් පස්සේ ගෙදර ඇවිත් ගෙවන විවේක කාළයෙන් කොටසක් මගේ විනෝදාංශය වන ලියවිල්ල වෙනුවෙන් යොදවන්නට. ඒ ලියවෙන අකුරු වලින් කවුරුන් හෝ ප්‍රයෝජනයක් ගනීවි කියන අදහසත් මගේ හිතේ තියාගෙන , අද මාතෘකාවට එන්නයි හදන්නේ.
අද “ජීවන කුසලතාවය” - Fact-Checking (මෙව්වට සුද්ධ සිංහල වචන හොයනවාට වඩා මෙහෙම ලේසියි කියල හිතුණා)
එහෙම නම් කතාව පටන් ගනිමු.
අද අපි ජීවත්වන්නේ, මානව ඉතිහාසයේ “තොරතුරු” වලින් පිරී ඉතිරී ගිය කාළ පරිච්ඡේයක. ඒ වගේම, මේ අපි ජීවත්වන්නේ, රැවටීම් වලින්, වංචා වලින් පොහොසත්ම කාළයක. ඒ පරිසරය තුල මේ වෙලාවෙත් තවත් ලක්ෂ ගණනක් මිනිසුන් කිසිදු සොයා බැලීමකින් තොරව මේ වංචාවලට හසු වෙනවා ඇති. ඒක විව්ස් ලබා ගන්නට අනුන්ගෙන් හොරා ගෙන පළ කරන ෆේස්බුක් පෝස්ට් එකක සිට, ඩොලර් මිලියන ගණනක රජ වංචාවක් දක්වා වෙන්නට පුළුවන්. මේ නිසාමයි, තොරතුරු වලින්, වංචා, රැවටීම් වලින් පිරී ඉතිරී ගිය අද දවසේ ජීවත් වෙත්දි මේ Fact-Checking කියන හැකියාව, පුරුද්ද, නැත්නම් කුසලතාවය “ජීවන කුසලතාවයක්” ලෙස මා දකින්නේ.
මගේ මතකය මේ ඉන්ටනෙට් අවධියෙන් එහාට යනවා. ඒ දවස් වල බොරු ප්‍රචාරයක් ඇති කරන්න, ගෙනියන්න, පවත්වාගෙන යන්න සෑහෙන මහන්සියක් ගන්න වෙනවා. කෑලෑ පත්තර ගහන්න, එහෙම නැත්නම් පත්තරේකට ඒ බොරුව ඇත්ත වගේ ලියන්න, කටකතා ඔස්සේ ගෙනියන්න වුනත් මහන්සියක් වගේම, කාළයක් යනවා ඒ ඇත්ත වගේ බොරු පැතිරෙන්න. ඒත් අද, තත්පර කිහිපයකදී ඕනම බොරුවක්, ඇත්ත වගේම පේන්න, දැනෙන්න හදාගන්න වගේම , තවත් තත්පර කිහිපයකදි ඒ ඇත්ත වගේ බොරුව ලක්ෂ ගණනක් අන්තර්ජාල භාවිත කරන්නන්ට, සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට එහෙම නැත්නම් මාධ්‍යය සවන් දෙන්නන් බෙදා දෙන්නට පුළුවන්.
මේ ඔස්සේ මා, අද දවසේ ඇති කෘතිම බුද්ධි තාක්ෂණය, අන්තර්ජාල වේගය, සමාජ මාධ්‍යය වගේ “දියුණූවීම්” වලට හෝ ඒවා භාවිත කිරීම ගැන දොස් නගන්නේ නැහැ. ඒ සියල්ල, අද දවසේ අවශ්‍යතාවයන්. නමුත්, වැදගත් වන්නේ, ඒ ලැබෙන තොරතුරු, පණිවිඩ, තොරතුරු නිවැරදි ඒවාදැයි තහවුරු කරගැනීමක් සමඟ, විමසා බැලීමකට පසුව බාර ගැනීමයි, බෙදාහදා ගැනීමයි.
සමහර විට, මේ කියවන ඔබේ සමාජ මාධ්‍යය තුල බෙදා ගත් සමහර පෝස්ට් ගැන තව ටිකක් විමසා බැලුවොත් ඒවා වැරදි හෝ ව්‍යාජ තොරුතුරු බව ඔබටම තහවුරු කරගන්නට පුළුවන් වේවි. ඒසේ වුවා නම් එයට හේතුව ඔබේ Fact-Checking “ජීවන කුසලතාවයේ” හිඟකමක් බව තවත් සුළු මොහොතකින් ඔබට වැටහේවි.
දැන් මේ Fact-Checking කියන්නේ දකින හැමදේම, අහන හැමදේම සැක කරන්න කියන එකම නොවෙයි.ඊට වඩා පහසු දෙයක්, මොකක්ද ? යම් කිසි දෙයක්, ලිපියක්, මාධ්‍යය ඔස්සේ ලැබෙන දෙයක්, සමාජ මාධ්‍යය ඔස්සේ දකින , අහන දෙයක්, වෙළඳ දැන්වීමක්, ආදරෙයි කියාගෙන එන කෙනෙක්ගේ ආදරණීය කතාවක් එකපාරම බාර නොගෙන, එක පාරටම පිළිනොගෙන, දැක්ක ගමන් අනෙක් අය එක්ක බෙදා නොගෙන, මොහොතක් නැවතී පොඩි නැවත හිතා බලන්නට පුරුදු වෙන එක. මොහොතක් නැවතී, මේ ඇහෙන, මේ දකින, මේ කියන කතාව, දර්ශණය ඇත්තටම විය හැකිදැයි, ඇත්තටම වුනාදැයි ටිකක් හොයා බලන එක.
විශේෂයෙන්ම ප්‍රවෘත්තියක්, අළුත් දැනුමට යමක් වගේ දෙයක් ලැබුණූ ගමන් , දැක්ක ගමන් බෙදා ගන්නේ , බාර ගන්නේ සහ පිළිගන්නේ නැතිව ,ඒ කතාබහ, මාතෘකාව ගැන ඇති වෙනත් පිළිගැනීමක් ඇති සංවිධානයක, ආයතනයක හෝ අධ්‍යාපනය, වෘත්තීය සුදුසුකම් ඇති අයෙක් ඒ ගැන දක්වා ඇති අදහස් සමඟ ගලපා බලා බාර ගන්නට කටයුතු කරන එකත් මීට අයත් .
මෙහෙම දිගට ලියාගෙන යනවාට වඩා මේ වැඩේ මතක තියා ගන්න පුළුවන් කෙටි ක්‍රමයක් කියන්නම්. ඒක කෙටියෙන් SIFT කියන කෙටි හැඳින්වීම ඔස්සේ එන,Stop. Investigate. Find other sources. Trace the origin.
මෙතැන Stop කියන්නේ,
යම් අදහසක්, ලිපියක්, ෆේස්බුක් පෝස්ට් එකක් දැක්ක ගමන් සම්පුර්ණයෙන්ම ගිලිලා කියවන්නේ, පිළිගන්නේ, බෙදා ගන්නේ නැතිව මොහොතක් නැවතිලා ටිකක් හිතල බලන්න මෙන්න මේ කරුණූ ගැන,✅ මේ පිළිගත හැකි වෙබ් අඩවියක්, ෆේස්බුක් පිටුවක් එහෙම නැත්නම් මාධ්‍යයක්ද?
✅ මට දැනෙන හැඟීම මොන වගේද මේ වෙලාවේ? (මේක කියවන්නම, බෙදාගන්නම හෝ පිළිගන්නම හිත කියනවාද?)
✅ක්ෂණිකව මෙය පිළිගන්නවාද නැත්නම් මේ ගැන ටිකක් හොයනවාද?
Investigate පියවරට ආවම,
රහස් පරික්ෂකයෙක් වගේ හොයන්න ඕන මේ කරුණූ ගැනවත්,✅ මේ ලිපිය, වීඩියෝව හෝ ඉදිරිපත් කිරිම කරන්නාගේ සුදුසුකම් සහ එය මේ ඉදිරිපත් කිරීමට ඇති ගැලපීමක් ඇත්ද? (මොකද සුදුසුකම් කියන වචනේ විතරක් මදි, මතකනේ අර වෛද්‍ය විශේෂඥයෝ , පොහොර ගැන කළ කතා)
✅ මේ පුද්ගලයා, ආයතනය යම් පක්ෂයකට, මතයකට පක්ෂපාතී බවක් දක්වනවාද? (මොකක් හරි වෙනත් අරමුණක් ඇත්ද?)
✅ මේ ලේඛකයා හෝ ආයතනය ගැන වෙනත් පිළිගත් ආයතන හෝ පුද්ගලයන් දක්වන්නේ මොනවගේ අදහසක්ද?
Find වලට ගියාම,
අපට හොයන්න වෙනවා. මොනවද හොයන්නේ, මේ කියවන්නට හදන අදහස, ලිපිය, ඉදිරිපත් කිරීම ගැන✅ වෙනත් පිළිගත හැකි ආයතන, පුද්ගලයන් දක්වා ඇති අදහස්, තොරතුරු මොනවාද?
✅ professional fact-checker සොයා බැලීමක් කර තිබෙනවාද ?
✅ මට ඇති වන්නේ මේ ලිපිය හෝ ඉදිරිපත් කිරීම මතම වූ පිළිගැනීමක්ද නැත්නම් පුළුල් විමසීමක් ඇතිව ගන්නා වටහාගැනීමක්ද?
Trace කියන අවසාන පියවරට ගියාම,
අපට ටිකක් හොයන්න වෙනවා , මේ වෙලාවේ මම කියවන හෝ දකින, අහන අදහස ගැන මුල් ලිපි, පිළිගත හැකි සාක්ෂි තිබේදැයි.මෙන්න මේ ටිකවත් කරගන්න පුළුවන් නම්,
අඩුම තරමේ දැක්ක ගමන් පිළිගන්නේ නැතිව ,ටිකක් විමසා බලා, තොරතුරු ඇතුලු කරගන්න පුළුවන් නම් ඒක තමන්ට වගේම තවත් සෑහෙන පිරිසකට උදව්වක් වේවි.මේ සෝෂල් මීඩියා වලදි පරිස්සම් විය යුතු කරුණූ කිහිපයක් ගැන පෙර ලියූ ලිපියක් මේ. මං හිතන්නේ එදාට වඩා අද මේ කරුණූ වැදගත් වේවි, මොකද අද වෙත්දි ෆේස්බුක් එකෙන් මුදල් ඉපැයීමේ උත්සාහය නිසා, වැරදි තොරතුරු, අනුන්ගේ ලිපි, වංචනික ලෙස වෙනස් කළ අදහස්, හිතට ඇලෙන බොරු සෑහෙන්න පැතිරෙන බව පේනවා. ඒ නිසා විමසිලිමත් වීම, කාටත් සුබයි.
මෙන්න ඒ ලිපියට ලිංක් එක ඔබ ,වගකීම් සහගත ඩිජිටල් පුරවැසියෙක්ද?