මෙහෙමයි, මුලින්ම මේකට PSW කියන පළාත් වගේම, තවත් ප්‍රදේශයකදි HCA තවත් තැනකදි Nurse Assistant වගේ නම් වලිනුත් හදුන්වන්නට ඉඩ තිබෙනවා. තනිව තම දවසේ කටයුතු කරගත නොහැකි, එහෙම නැත්නම් තමන්ගේ දෛනික කටයුතු කරගැනීමට උදව් අවශ්‍ය අය වෙනුවෙන් උදව් ලබා දීම තමයි මේ රැකියාව තුල ප්‍රධාන වගකීම වන්නේ. ඒ තුල වියපත් අය, ඩිමෙන්ෂියාව හෝ වෙනත් සංකීර්ණ සෞඛ්‍යය ගැටළු සමග ජීවත්වන්නන්, රෝහල් ගතවී ප්‍රතිකාර ලබන්නන් වැනි කණ්ඩායම ගණනාවක් වෙත “සාත්තුව” ලබා දීමට මේ රැකියා කාණ්ඩය තුලදී අවස්ථාව ලැබෙනවා. මේ තුල වැඩි වශයෙන් වියපත් හෝ වැඩිහිටි වයස් කණ්ඩායම් වල සේවා ලබන්නන් හමුවුනත්, ළමා , ළඳරු සිට, වියපත් වයස් සීමාවන් දක්වා ඕනෑම අයෙක්ට සාත්තුව ලබා දීමට ඉඩ තිබෙනවා.
මොනවද කරන්නට තියෙන වගකීම්, රාජකාරි?
මේ තුල ප්‍රධානව තිබෙන්නේ ඒ පුද්ගලයා පිරිසිදු කිරීම, පිරිසිදු වීමට උදව් වීම, ඇඳුම් හැඳපැලඳ අළුත් දවසකට සූදානම්වීමට උදව් වීම, ඇවිදීමට, ඇවිදීමට, තැනකින් තැනකට මාරුවීමට උදව් වීම (යන්ත්‍ර උදව් කරගෙන හෝ නැතිව) , සමහර විට සරළ , පහසු ආහාරයක් සකසා දිම, ආහාර ගැනීමට උදව් කිරීම , ඖෂධ ලබා දීම හෝ ලබා ගැනීමට උදව්වීම, තනිව ජීවත්වන සේවාලාභියෙක්ගේ තනියට රැදීම වගේම සමහර අවස්ථා වල විශේෂිත පුහුණු ඔස්සේ පැවරෙන තවත් අමතර වගකීම් වෙන්නට පුළුවන්කොහෙද වැඩ කරන්නේ?
ප්‍රජාවේ , සේවාලාභියාගේ නිවසේ, රෝහල්, LTC වැනි සාත්තු සේවා පහසුකම් ලබා දෙන සෞඛ්‍යය ආයතන, විශ්‍රාම සුවයෙන් කාළය ගෙවීමට පහසුකම් ඇති ආයතන තුල වගේම පාසල්, ළමුන් වෙනුවෙන් පහසුකම් සලසන ආයතන තුලත් රැකියා අවස්ථා තිබෙනවා.රස්සාවේ තත්තවේ?
මේ ප්‍රශ්නෙට එත්දි පැති ගණනාවක් ගැන කතා කරන්න වෙනවා. එකක්, මේක කායිකව වගේම මානසිකවත් දැඩි වෙහෙසක් විය හැකි, යුතු රැකියාවක් වෙන්නට පුළුවන්. ඒ වගේම “සාත්තුව” කියන්නේ, හොඳ මානුෂීය බැඳීම් හදා ගන්නට, පවත්වා ගන්නට පුළුවන්කම තිබෙන, ඒ වෙනුවේන කැමැත්තක් තිබෙන කෙනෙක්ට කරන්නට පුළුවන් රාජකාරියක්. මොකද, මේක “යාන්ත්‍රික” නොවී මානුෂීය වන තරමට තමයි සාත්තුව ලබන්නාට අපේක්ෂිත සුවය, පහසුව වගේම වටිනාකම ලැබෙන්නේ. ඒ නිසා, මගේ අදහස නම්, මිනිසුත් එක්ක ළං වෙලා වැඩ කරන්න පුළුවන්, අනෙක් පුද්ගලයා ගැන සහකම්පණයක් දැනෙන, අනෙක් මනුස්සයා තවත් “මිනිසෙක්” විදියට දකින්න පිළීගන්න පුළුවන් කෙනෙක් බාර ගත යුතු රස්සාවක් මේක. එහෙම නැතිව “රස්සාවක්” නිසා, ෆුල් ටයිම් ලැබෙන නිසා, සමහර විට රේට් එක වැඩි නිසා කියල මේ රස්සාවට ඇවිත්, තමන් වගේම සේවය ලබන්නාත් විඳවන්න වුනොත් ලොකු ආසාධාරණයක් දෙන්නාටම.මේ පැත්ත වගේම, මෙම රැකියාව තුල දැඩි කායික වෙහෙසක් , සහ විශේෂයෙන්ම මානසිකව බරක් දරන්නට ඉඩ තිබෙනවා. මේ තත්ත්වයන් වෙනස් කරගන්නට පුළුවන්, අදාල සේවකයා සහ සේවා ලබන්නා අතර ඇති දැනුවත් බව, දැනුම, අවශ්‍ය උපකරණ භාවිත කිරීම , සේවා මුර බෙදා ගැනීම වගේ ක්‍රම ඔස්සේ, නමුත් පොදුවේ මෙය “බර” වගකීමක්.
ගෙවීම් වශයෙන් ගත්තොත් පැයට ඩොලර් 23-35 වගේ අතරේ වැටුපක් (කැනඩාව තුල), පළාත කරන රැකියාවේ වගකීම්, රැකියාව කරන ආයතන, රැකියාව සඳහා රිය පැදවීමේ අවශ්‍යතාවය, විශේෂිත උපකරණ භාවිත කිරීමේ වගකීම් වගේ තත්ත්ව එක්ක වෙනස් වෙන්නට පුළුවන්.
කොහොම වුනත්, රැකියා අවස්ථා ගැන කිව්වොත් නම් හැමදාමත් “නැති වෙන්නේ නැති” රස්සාවක් මේක. මොන AI ආවත්, මොන දේශපාලනේ වෙනස් වුනත් මේ රැකියාවට ඇති ඉල්ලුම තව තවත් වැඩි වෙනවා මිසක අඩු වීමක් නොවෙන තරම්. විශේෂයෙන්ම කැනඩාව වගේ වියපත් ජනගහණය වැඩි වන රටක මේ අවශ්‍යතාවය තවත් වැඩියි. ඒ නිසා, නිසි පුහුණුවක්, ප්‍රමාණවත් පළපුරුද්දක් වගේම, සම්මුඛ පරික්ෂණයකදී “තමන් ඒ ආයතනයට අවශ්‍යම පුද්ගලයෙක්” බවට පෙන්වාදීමේ ජීවන කුසලතාවයත් එක්ක ඉක්මණින් රැකියාවක් හොයා ගන්න වගේම, ආයතනික රැකියා වලට අමතරව අවශ්‍ය නම් පුද්ගලිකව තමන්ගේ කාළය අවශ්‍ය පරිදි යොදා ගනිමින් අමතර ආදායමක් හොයා ගන්නටත් අවස්ථාවන් තිබෙනවා.
ඉහළට යන්න පුළුවන්ද ?
මෙන්න මේක ගැන කියන්නම ඕන. පුද්ගලිකව මගේ අදහසනම් , කැනඩාව තුල ආරම්භයක් ගන්නට මේ රැකියාව පහසු සහ හොඳ මුලක්, වැඩේට කැමැත්ත ඇත්නම්. හැබැයි, ජීවිත කාළෙම මේ රැකියාවේම ඉන්නවද කියන තැනදි මගේ අදහස නම්, එහෙම ඉන්නවාට වඩා, රැකියාව තුල හෝ රැකියාව ඔස්සේ වෙනත් දිශාවකට ඉහළකට යාමයි වඩාත් සුදුසු. හේතුව මේකයි, මේ සාත්තු කිරීම් වල කාලය ගත කරත්දි එක්තරා කාළයකදි “තමන්ටත් සාත්තුව” අවශ්‍ය වන තරමේ කායික පීඩාවන් එන්නට ඉඩ තියෙනවා. අන්න ඒ අවස්ථාවට ආවම, රැකියාව විදියට තවත් අයෙක්ට සාත්තු කිරීම ලේසි නැහැ.අන්න ඒ වගේ හේතු නිසා, ආරම්භයක් විදියට මේ රැකියාව ගත්තත්, ඊට පස්සේ ඒ තුලින් ඉහළ පියවර වලට එන්න බලන්න. ඒක සමහර විට PSW supervisor, Scheduler , Community coordinator වගේ යම් පුහුණුවක් සමඟ ලබා ගත හැකි තත්ත්වයක් හෝ , එහෙම නැත්නම් PSW to LPN වගේ bridging program එකක් ඔස්සේ LPN ඊට පස්සේ RN තවත් එහාට ගිහින් NP වගේ වුනත් ඉස්සරහට යන්න බැරි නෑ. ඔව්, තවත් ඉගෙන ගන්න වෙනවා, නමුත් ඒ වෙත්දි PSW විදියට වැඩ කරල ගත්ත අත්දැකීම් ලොකු උදව්වක් ඒ ගමන තුලදි.
නර්සිං පැත්තෙන්ම යන්න අකමැති නම් , තෙරපි පැත්තෙන් ටිකක් “ඇගට බර අඩු” රැකියාවකට එන්නත් බැරි නෑ, අනෙක් වැදගත්ම දේ ඉස්සරහට යන්න ඇති කැමැත්ත. එහෙම තියෙනවා නම් PSW විදියට රැකියාව කරන ආයතනය තුලින්ම අතිරේක පුහුණුවීම් ලබා ගෙන වෙනත් වෘත්තීන් වලට මාරුවෙන්නත් අවස්ථා වගේම පහසුකම් තිබෙනවා.
කොහෙද පුහුණවෙන්න හොඳම ?
මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න සාධක ගණනාවක් බලපානවා. එකක් ඉන්න පළාත , අනෙක ඒ සඳහා වැය කරන්නට කැමති වියදම, ගත කරන්නට පුළුවන් කාළය වගේ සාධක. මේ සඳහා විධිමත් පුහුණූවීම් ලබා ගන්නට පුළුවන් Publicly funded colleges වගේම Private colleges වලිනුත්, ප්‍රයිවෙට් කොලේජ් වලින් කරන්න ගියොත් වියදම වැඩියි, හැබැයි අපේ අනෙක් වැඩරාජකාරි එක්ක ගලපගෙන කරන්න පහසුකම් තියේවි , ඒ වගේම සමහර ආයතන කමියුනිටි කොලේජ් වලින් ගන්නා පුහුණුවට වැඩි තැනක් දෙනවා. ඒ වගේම , වෙනත් රටක හෙද හෝ සමාන පුහුණුවක් අත්දැකීමක් තියෙනවා නම් කෙටි කාළීන පාඨමාලා ඔස්සේ අදාල සහතික ලබා ගන්නටත් පුළුවන්. හැබැයි ඉතින් 100% ඔන්ලයින්‍ම දෙනවා කියන පුහුණ ගැන නම් කතා කරන්න යන්නේ නෑ මොකද, පීනන්න වතුරට බහින්නම ඕන නිසා.මේ ගැන තවත් අහන්න දේවල් වගේම ඒ ඔස්සේ කියන්නත් දේවල් ඇති. ඒත් මේ වෙලාවේ මතකයට එන්නේ මේ කරුණු ටික. ආ..සංක්‍රමණයට අදාලව කිව්වොත් මේ රැකියාව කැනඩාව තුල වගේම තවත් සමහර රටවල සංක්‍රමණ ක්‍රම තුල වාසිදායක වන තැන් තිබෙන්නට පුළුවන්.
ලංකාවෙ හෝ වෙනත් රටක ලියාපදිංචි හෙද නිලධාරියෙක් විදියට සේවය කරල, කැනඩාව වගේ රටකට එනවා නම් , ආපු ගමන් කළබලේට PSW හෝ HCA කෝස් කරන්න ඉස්සර වෙලා , මුලින්ම මේ රට තුල නර්සිං බලපත්‍රය ගන්න කටයුතු කරගන්න. මීට අවුරුදු දහයකට පහළොවකට සාපේක්ෂව ගත්තොත් අද ඒ කටයුතු "වඩාත් පහසුවෙන් සහ ඉක්මණින්" කරගන්නට ක්‍රම තිබෙනවා. ඒ නිසා, ඒ වැඩේ කරගන්න බලන්න.
(මේ කෂේත්‍රය ගැන යම් දැනුමක් ලබා දෙන්නට, හයිබ්‍රඩ් මෝඩල් එකකින් කරන පුහුණූ පාඨමාලාවක් , ලංකාවේ මිතුරන් වෙනුවෙන් නොමිලේ ලබා දෙමින් තිබෙනවා. ඒ ගැන තොරතුරු ReCare360 අවශ්‍ය අයෙක්ට දැන ගන්නට පුළුවන්)