2026/06/19

වනන්තරේ සංචාරේ - පළමු කොටස

කැනඩාව කියන්නේ, සොබා සෞන්දර්යය අතින් ඉහළ තැනක තියෙන රටක්. වනාන්තර, සතාසීපාවා, ගංඟා, දිය ඇළි , නිදහස් තැනිතලා ඕන තරම්. ලෝකයේ භූමි විශාලත්වය අනුව දෙවන ර‍ට නිසා වගේම, ජනඝණත්වය අතින් අඩු බව නිසාත්, ස්වභාවික පරිසරය ආරක්ෂා කරගන්නට සහ එය, පුරවැසියන්ගේ මානසික සෞඛ්‍යයයේ යහපතට යොදා ගන්නට ඇති රාජ්‍ය ප්‍රතිපත්ති නිසාත් මේ සුන්දර වාසිය අත්විඳින්නට කැනඩාව තුල ජීවත්වන ඕනම අයෙක්ට අවස්ථාව තිබෙනවා. මේ සොබා සුන්දරත්වය විඳින්නට තිබෙන ක්‍රම ගණනාවක් අතරේ අද මගේ මේ ලිපිය තුල කතා කරන්නට උත්සාහ කරන්නේ, කැනඩාවේ වනාන්තර ආශ්‍රිත ප්‍රදේශයක, එහෙම නැත්නම් වනාන්නතරයක් තුල සොබා සංචාරයක් කරන්නේ, එහෙම නැත්නම් ෆොරස්ට් හයික් එකක් යන්නේ කොහොමදැයි. මේ මාතෘකාව ගැන කතා කරන්නේ, මේ විෂය ගැන ලැබූ පුහුණු , දැනුවත් වීම් වගේම වසර ගණනාවක් තිස්සේ කැනඩාවේ බොහෝ සුන්දර වනාන්තර පරිසරය වල හයික් ගිය, යන ඒ ඔස්සේ විවිධ අවදානම්, අත්දැකීම් විඳි අයෙක් විදියට. මේ අදහස් ටික එකතු කරන්නේ, කැනඩාවට ළඟදි ආ අපේ මිතුරන් වෙනුවෙන් වගේම, මේ වගේ ෆොරස්ට් හයික් ගිහින් අත්දැකීම් ඇති අයටත් කියවන්නට අවස්ථාවක් ලබා දෙමින්. ම‍ගේ අරමුණ වෙන්නේ, දැනුම සහ අත්දැකීම් බෙදා දීමක් වගේම, හයිකිං ගැන ඇති සමහර වැරදි අදහස් , විශේෂයෙන්ම ලංකාවේ හයිකිං ලෙස කරන ක්‍රියාකාරකම් තුල මා දකින අවදානම් සහ පාරිසරික හානි ගැනත් මතක් කරන්නත් එක්ක. ඒ ඔස්සේ , වඩාත් පරිසරකාමී අයෙක් ලෙස මේ සුන්දර පරිසරයේ සුව විඳ, කායික මානසික සතුටක් ලබා ගන්නට උදව්වක් වන්නට.

වනන්තරේ වෙනස්කම්

කැනඩාව තුල ෆොරස්ට් හයික් එකක් කරන හිතන අයෙක් මුලින්ම දැනුවත් වෙන්නට අවශ්‍ය වැදගත් කාරණයක් තමයි, කැනඩාවේ විවිධ ප්‍රදේශ අනුව, ඒ වනාන්තර වල හැඩය, තත්ත්වයත් වෙනස්වන බව. එය පළාතෙන් පළාතට වගේම, සමහර විට එකම පළාත තුල ප්‍රදේශ දෙකකත්, තවත් සමහර විට එකම වනාන්තරයක් තුල කොටස් දෙකකත් මේ වෙනස්කම් තිබෙන්නට පුළුවන්. මේ “වෙනස්කම්” කියල කිව්වේ, වනාන්තරේ ඇති ගස් වර්ග, ඒ ඔස්සේ වනාන්තරය තුල ඇති අඳුර, තෙතමනය, කඳු බෑවුම් ස්වභාවයන්, පස,සීතල, හිම හෝ ගලායන ජලය සහිතබව, වියලි තැනිතලා , ඒ වගේම වනාන්තරය තුල ඇති වන ජීවීන් වර්ග වගේ කරුණු ඇතුලත්. ‍මේ දැනුවත්වීම වැදගත් වන්නේ, අදාල වනාන්තරය තුල හයික් එක යන්නට සූදානම් වන්නා , මේ වෙනස්වීම් වලට සූදානම්ව යාම තුල විය හැකි අපහසුතා සීමා කරන නිසා. ඒ නිසා ෆොරස්ට් හයික් එකක් යන්න සැලසුම් කරන ඕනම කෙනෙක් මුලින්ම කළ යුතුම දෙයක් වන්නේ, තමන් යන්නට සූදානම් වන වනාන්තරය “හදුනාගන්න” එක. ඒ සඳහා පළාත් රජ‍ේය වෙබ් අඩවි වගේම හයිකිං වෙනුවෙන් ඇති ඇප්ස් එහෙමත් උදව් කරගන්නට පුළුවන්.
ඒ නිසා “දැන වන වැදීම” අවදානම් අඩු කරාවි වගේම, සොබා ‍සුන්දරත්වය විඳ සුවයක් ලබන්නටත් උදව්වක් වේවි.

ගමන සැලසුම.

දැන්, ඊළඟ පියවර වෙන්නේ, තෝරා ගත් වනාන්තරය තුල ඇති trails එහෙම නැත්නම් පටු ගමන් මාර්ග අතරින්, තමන්ගේ මට්ටමට ගැලපෙන trail එකක් තෝරා ගැනීම. මේ තෝරා ගැනීමටත්, පෙර කී විදියටම පළාත් රජ‍යේ, වනාන්තර සහ පාර්ක් ගැන ඇති වෙබ් අඩවියෙන් ‍තොරතුරු ගන්නට පුළුවන්. එහෙම නැත්නම් ඇප් එකක් උදව් කරගන්නටත් පුළුවන්. හැබැයි, සමහර වෙලාවට මේ හයිකිං ඇප් වල තියෙන තොරතුරු නොගැලපෙන අවස්ථාත් තියෙනවා. උදාහරණයක් easy විදියට රේටිං වෙලා තියෙන හයික් එකක්, මේ විනෝදාංශයට අළුත්ම කෙනෙක්ට ඊසි නොවන්න පුළුවන්. මුලින්ම ෆොරස්ට් හයික් එකක් යන කෙනෙක්ට හොඳම තෝරා ගැනීමක් විදියට easy , elevation එක අඩු, 10 Km හෝ අඩු, circuit trail එකක් වගේ හයික් එකක් වඩා හොඳයි කියල මට හිතෙනවා.

මග විමසීම.

දැන් හයික් trail එක තෝරගත්තට පස්සේ කළ යුතුම වැදගත්ම පියවර තරම්, ඒ තෝරාගත් මාර්ගයේ මේ දිනවල තත්ත්වය ගැන සොයා බැලීම, දිය සීරා සහිත මඩ , එරෙන සුළු තත්ත්වයක් තිබෙනවාද, එහෙම නැත්නම් තද අව්වේ බලපෑමට ලක්වන මාර්ගයක්ද, වන සතුන්ගේ ගැවසීම් වැඩි, වන සතුන් පිළිබඳ අවදානම් ඇති මාර්ගයක්ද වගේ තොරතුරත් පෙරකී ක්‍රම ඔස්සේ දැන ගැනීම , පෙර සූදානම් වීමක්. මතක තියා ගන්න, කැනඩාවේ කාළගුණේ හරිම වෙනස්වන සුළුයි, මේ තද අව්ව තිබුණ හයික් එක තව ටිකක් වෙලා යත්දි හිමෙන් වැහිල තියෙන්නත් බැරි නෑ.ඒ නිසා මග ගැන දැන ගැනීම වැදගත්.

හිතවතෙක්ට කියන්න

ඊළඟ වැදගත් කරුණ තමයි , වනාන්තරයක් තුල හයික් එකක් යනවා නම්, ඒ ගැන තමන්ගේ හිතවතෙක්ට කියල තියන්න. විශේෂයෙන්ම බැක්කන්ට්‍රි හයික් එකක්, එහෙම නැත්නම් වනාන්තරේ හුඟක් ඇතුලට යන, සමහර විට දින කිහිපයක් ගත වන හයික් එකක් නම් මේ “දැනුවත් කිරීම” හරිම වැදගත්. ඒ දැනුවත් කිරීම වගේම, ඒ වගේ ටිකක් ගැඹූරට යන හයික් වල පටන් ගැන්මේ තියෙන පෙට්ටියේ තියෙන පොතේ ඔබේ නම, ගමනාන්තය වගේම නැවත එන්නට සැලසුම් කළ කාළය ගැන සටහනක් තබා යන්න විශේෂයෙන්ම, බැක්කන්ට්‍රි හයික්/කෑම්පිං යනවා නම් මේ දැනුවත් කිරීම හරිම වැදගත්.

ඇඳුම් පැළදුම්.

මේ ගමන තුල සතුට විඳින්නට වගේම ආරක්ෂාව වෙනුවෙනුත් ගන්නට ඕන ඊළඟ පියවර තමයි ගැලපෙන ඇඳුම් තෝරා ගැනීම. මෙතැනදී ඇඳුම් ලේයර්ස් ගැන දැනුම වැදගත්. මුලින්ම ඇතුලට පහසු , තෙතමනය උරා ගන්නා නමුත් “කපු රෙදි නොවන” ඇඳුමක් තෝරාගන්න. අර ලංකාවේ විදියට 100% කපු රෙදි වලින් ඇන්දාම සුවයි කියල හිතාගෙන කපු ඇඳුම් ඇඳගෙන යන්න එපා. මොකද, කපු රෙදි, දහදිය හෝ වැස්ස නිසා පෙඟුණාම සමට ඇති කරන්‍නේ සීතලක්, විශේෂයෙන්ම කැනඩාවේ වනාන්තර තුල පැවතිය හැකි අඩු උණූසුම තුල, මේ තත්ත්වය අවදානමකට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසාමයි, හයිකර්ස්ලා තුල "cotton kills" කියන අදහස පවතින්නේ.

ඊළඟට පහසු, තද නැති සැහැල්ලු ස්වෙටර් එකක් වගේ ඇඳුමක් සහ එයින් පිටතට, සැහැල්ලු waterproof ජැකට් එකක් තිබීම පරිස්සම්. දැන් මේ ලේයර් තුනම හැම තිස්සේම ඇඳගෙන ඉන්න ඕන නෑ, හිතමු තද උණූසුමක් තියෙන තැනකදි ජැකට් එක ගලවල ඉණ වටේ ගැටගහ ගන්න පුළුවන්, නැත්නම් පිටේ දාගෙන යන බෑග් එකට දාගන්න.

ඊළඟට සපත්තු, මේක හරිම වැදගත්. මොකද, මේ trails හැම එකක්ම හරියම සමතලා කරලා, සුව පහසු විදියට හදල නෑ, ගල්මුල් අස්සෙන්, වලවල් , මග වගුරු අස්සෙන් යන්න වෙන්නත් පුළුවන්. කඳු බෑව්ම් නඟින්නටත් වෙන්න පුළුවන්. ඒ ගමනකදි කකුල තුවාල වුනොත්, ඊටත් වඩා කකුලේ මැණික් කටු සන්ධිය ආශ්‍රිතව උලුක්කුවක් වුනොත් (Ankle sprains ) සමහර විට එය ජීවිත අවදානමක් ඇති කරන තත්ත්වයක් වෙන්න වුනත් පුළුවන්. ඒ නිසා හයිකිං යන්න ආසාවක් තියෙනවා නම් , හොඳ හයිකිං බූට් සෙට් එකකට මුදල් යෙදවීම වාසියක්. එතැනදී, හොද ankle support එකක් තියෙන හොඳ ග්‍රිප් එකක් තියෙන බූට් සෙට් එකක් ගන්න. ඒකට දාන්න හොඳ hiking socks දෙකක්, කඩේට යන්න දාත්දි පළඳින තුනී මේස් දාන්න එපා.

මේ ඇඳුම් පැළඳුම් එක්කම හොඳ හයිකිං පෝල් දෙකක් තියෙන එකත් වටිනවා. අනිවාර්යය නැතත්, මේ මගින් ටිකක් ගිරි දුර්ඝ සහිත හයික් එකකදි ගමනේ පහසුවට ලොකු උදව්වක්. ආ, ඒ වගේම හොඳ හිස් වැසුමක් තිබීමත් උදව්වක් , අවුවෙන් පරිස්සම් වෙන්න වගේම, මට නම් මදුරුවන්ගෙන් ඔළුව බේර ගන්නට.

අදට මේ ඇති, ඊළඟ සතියේ ලිපියෙන් කතා කරන්නම් තවත් වැදගත්ම කරුණූ කිහිපයක් ගැන