Trauma Bonding එහෙම නැත්නම් "කම්පන බන්ධනයක " යන යෙදුම ඔබ අසා තිබේද? සමහර විට අසා නැතිව ඇති. මේක කාළයක් තිස්සේ සමාජයන් තුල සිදුවුනු අදටත් සිදුවන සිදුවීමකට ආචාර්ය පැට්‍රික් කාර්න්ස් (Patrick J. Carnes, Ph.D) විසින් ලබා දුන් "අළුත් නමක්" .
ඔහු ලබා දෙන අර්ථ දැක්වීම අනුවම ගියොත් , Trauma bonding කියන්නේ " බිය, උද්දීපනය, ලිංගික හැඟීම් ඔස්සේ පුද්ගලයෙකු බඳවා තබා ගැනීම සඳහා වැරදි ලෙස භාවිතා කිරීමක්." the misuse of fear, excitement, sexual feelings, and sexual physiology to entangle another person. මේ අර්ථ දැක්වීම ටිකක් සංකීර්ණයි වගේ නේද? අපට සරළව තේරුම් ගන්න පුළුවන් විදියට කිව්වොත්,
මේක තවත් සම්බන්ධතාවයක්, බොහෝ දුරට විවාහයක්, ප්‍රේම සම්බන්ධතාවක් වන්නට පුළුවන්. (එයින් පිටත අවස්ථාත් තිබෙනවා) . මේ සම්බන්ධතාවයේ විශේෂත්වය වන්නේ, ඒ බැඳීමක් ලෙස පෙනුනත්, ඒ සම්බන්ධතාවය තුල පීඩාකරන්නෙක් සහ පීඩාවට ලක් වන්නෙක් බැඳී සිටීමයි. පීඩාකරන්නා, රිදවීම් කරන අතරේම , සතුට, ආදරය, බැඳීම වගේ බැඳීම පවත්වා ගැනීමට අවශ්‍ය දේ , "උපක්‍රමික" ලෙස දෙමින් , අනෙක් පුද්ගලයා පීඩාවට ලක් කරන අතර, පීඩාවට ලක්වන්නා සමාජමය හේතු, බිය, ආදරය ලෙස තේරුම් ගන්නා හැඟීම වැනි දේ තුල හිර වී මෙම පීඩාව විඳිමින්, එම රටාවට ඇබ්බැහිවී ගෙවන විෂම චක්‍රයක ජීවිතය ගත කරයි.
කායිකව, මානසිකව ඉතාමත් අවදානම් , හානිකර මෙම සම්බන්ධතාවය හඳුනාගැනීම තරමක් සංකීර්ණ නිසා,එහි පොදු ලක්ෂණ කිහිපයක් හඳුනගත්තොත් වඩා පහසුවෙන් Trauma bonding කියන බැඳීම ගැන වටහා ගන්නට පුළුවන් වේවි. ඒ නිසා, දැන් අපි යමු ඒ ලක්ෂණ මොනවාදැයි විමසන්නට.
කම්පන බන්ධනයක ලකුණු මෙන්න:
🔴1) අනපේක්ෂිත, අවිනිශ්චිත බැඳීම්.
මෙවන් සම්බන්ධතාවය තුල සිටින ඔහු හෝ ඇය, නිරන්තරයෙන් ඔබව කායිකව, මානසිකව පීඩාවට ලක් කරන අතරේම, හදිසියේ "ක්ෂණික ආදරයක්" පෙන්වීම (Love Bombing) නිසා, සම්බන්ධතාව තුල "වටහා ගත නොහැකි" අනපේක්ෂිත, අවිනිශ්චිත බවක් ඇති වෙනවා. මෙම නිසාම, නිතරම යම් අවදානමක්, නොසිතූ දෙයක් සිදුවීමක් වේදැයි දැනීමත්, ඔහු හෝ ඇය, ඔබට කෙසේ ප්‍රතිචාර දක්වයිද, ඔබ කෙසේ සළකයිද වටහා ගැනීමට අපහසුවීම තුල අවිශ්වාසදායී බව හේතු වෙන් අනෙක් පාර්ශවය සමඟ කටයුතු කිරීමට ඔබට බියක් දැනෙන්නට පුළුවන්. Trauma bond එකක ඇති අපහසුකාරී තත්ත්වය නම්, සම්බන්ධතාවය තුල සිටින අනෙක් පාර්ශවය, ඔබ වෙත දක්වන ආකල්පය, හැසිරීම් නිරන්තරයෙන් වෙනස්වීමයි. මේ නිසාම, ඔබට පීඩාවක් වන අවස්ථාවෙදී, "අද එයාගේ නරක දවසක් වෙන්න ඇති?" , "මගෙන් වුනු වැරැද්ද නිසා එයාට තරහ යන්න ඇති" ලෙස ඔබට හිතෙන්නට ඔබේ හිත බලකරන්නට පුළුවන්, ඒ වගේම , සිදුවූ පීඩාවට හේතුව "ඔබේ වරදක්" ලෙස ඒත්තු ගන්වන්නට , ඔහු හෝ ඇය උත්සාහ කරනවා. මේ නිසාම, "අද මෙහෙම වුනත් හොඳ දවසට එයා මට හරිම ආදරෙයි" වගේ හැඟීමක් ඔබට දැනීමත්, මේ හොඳ , නරක දවස් අතරේ දිගින් දිගටම ඔබව පීඩාවට, අපහරණයට පත්වීම නිරන්තරයෙන් සිදුවීම අවධානයට යොමු විය යුත්තක්.🔴2) හිත රවටන කැඩෙන බිදෙන බොරු පොරොන්දු
ඔහු හෝ ඇය නිතරම බොරු පොරොන්දු දීමක් කරනවා,"මම පොරොන්දු වෙනවා ආයේ මෙහෙම වෙන්‍නෙ නෑ" වගේ වාක්‍යය ඔබේ සම්බන්ධතාව තුල හුරු පුරුදු , නමුත් පිළිගන්නට බැරි තරම් බිදුනු වාක්‍යයන් බවට පත් වෙනවා. මෙලෙස දෙන පොරොන්දු, ඔබට දැනෙන, රිදෙන ලෙස බිඳීගිය මුත් ඔබ හැම විටම ඔහුට හෝ ඇයට තවත් අවස්ථාවක් ලබා දෙනවා. මෙලෙස, ඔහු හෝ ඇය බොහෝ වාරයක් තම පොරොන්දු කඩ කරමින් විශ්වාසය නැවත ලබා ගන්නට උත්සාහ කරනවා , ඔබ මේ සිරවී සිටින්නේ කම්පන බන්ධනයක විය. හිතට සතුටක් දෙන මේ පොරොන්දු බිඳ වැටීමකදි, "තවත් අවස්ථාවක්" ලබා දීම සාමාන්‍ය දෙයක් වුනත්, අවස්ථාව ලබා දීම "අන්ධ හා විනාශකාරී වන විට", එවැනි සම්බන්ධතාවය තවදුරටත් සෞඛ්ය සම්පන්න නොවේ.🔴3) ඔබේ සැප (පමණක්) මගේ සතුටයි!
ඔබේ සම්බන්ධතාවය සාර්ථක කර ගැනීම සඳහා ඕනෑම දෙයක් කැප කිරීමට ඔබ සූදානම්ද? ඔහු හෝ ඇය තෘප්තිමත් කිරීම පමණක් අරමුණූ කරගෙන, ඔබ ඔබේම කැමැත්ත සහ ආශාව නැති කරනවාද? ඔබේ සතුට, ඔබේ වටිනාකම නැතිවී ගියද, මෙම සම්බන්ධතාවය තුල තවත් රැදී සිටීමට "හේතු" සොයන්නට ඔබ පෙළබේද? ඔබට මේ අත්දැකීම තිබේ නම්, මේ ඔබ, trauma bond එකක් තුල හිරිවී සිටීමක් විය හැක. මෙම පීඩාකාරී බැඳීම් තුලද යම් අවස්ථාවක, සතුට, ආදරය වැනි තත්ත්වයන් මතුවන නිසා, ඒ "සතුටුදායක" අවස්ථා විශ්වාස කරමින් , ඔබට සිදුවන පීඩාවන්, අසාධාරණයන් යටපත් කරගැනීමට උත්සාහ කරයි නම්, ඔබේ සතුට, හිතේ නිදහස නැති කරගනිමින්, ඔහුට හෝ ඇයට තවත් වැඩි සතුටක් ලබා දෙන්නට දරන උත්සාහය කරයි නම් ඔබ තවත් පීඩාකාරී, වේදනාකාරී අවස්ථාවකට පත්වීමක් සිදුවන අතර එය ඔබේ කායික , මානසික සෞඛ්‍යයට දැඩි අවදානමක් වනු ඇත.🔴4) සම්බන්ධතාවය පීඩාකාරී වුවත් එය ආරක්ෂා කරයි.
ඔබේ සම්බන්ධතාවයේ පීඩාකාරී, අසහනකාරීබව , ඔබේ විශ්වාසදායක මිතුරන් ඔබට පෙන්වා දෙත්දී එම තත්ත්වය පිළිගැනීම ඔබට අපහසුද? ඔබේ සම්බන්ධතාවය අන් අය තේරුම් නොගන්නා බව ඔබ සිතනවාද? ඔබ Trauma bonding තුල සිටින විට, ඔබේ තත්වය අපවාදාත්මක , කම්පන සහගත , පීඩාකාරීබව බවට පැහැදිලි කරුණු තිබුණද, ඒවා පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍ය දෙයකි. ඔබට ඔබේ සම්බන්ධතාවය සමඟ බැඳී ඇති බවක් ඔබට හැගෙන අතර එය අත්හැරිය නොහැකි බව විශ්වාස කරයි. එබැවින් ඔබ පෙර කී "දැනෙන ඇත්ත තත්ත්වය" ප්‍රතික්ෂේප කිරීමට කරමින්, මෙම පීඩාකාරී සම්බන්ධතාවය "රැක ගැනීමට" උත්සාහ කරනු ඇත.🔴5) වේදනාවට ඇබ්බැහිවීම
"ඇයි ඔයා ඔය සම්බන්ධතාවයෙන් අයින් නොවෙන්නේ?" මෙය trauma bond තුල සිටින කෙනෙකුට පිළිතුරු දීමට සංකීර්ණ ප්‍රශ්නයක් වන අතර එයට හේතු කිහිපයක් තිබේ. කම්පන බන්ධනයක ලක්ෂණයක් නම්, කොතරම් පීඩාකාරී, හානිකර වුවද එම රටාවට ඇබ්බැහි වීමයි. හානිකර බව හඳුනාගෙන අදාල trauma boding සහිත සම්බන්ධතාවය බිඳ දැමීමට තුල , ඔබට පීඩාකළ අනෙක් පුද්ගලයා අහිමි වීම, චිත්තවේගීයව හා ශාරීරිකව ඔබට දැඩිව බලපානු ඇත. මෙම "ඇබ්බැහි වීම" තුල , ඔබේම තත්වය හඳුනා ගැනීම ඔබට අපහසු නිසා ඔබට මෙම "හානිකර සම්බන්ධතාවයෙන්" පිටව යාමද අපහසු විය හැක. මෙම හේතු නිසා,ඔබ කම්පන බන්ධනයක සිටින කෙනෙකුව හඳුනනවා නම්, සංවේදීව සහ අවබෝධයෙන් සිටීම වැදගත් වන්නේ ඔවුන් පත්ව ඇති, ඔවුන් ගිලී ඇති තත්ත්වය අදාල පුද්ගලයාට ඔබට මෙන් නොදැනෙන හෝ පිළිගැනීමට අකමැති බැවිනි. ඔබ එවැනි තත්වයකට පත්වුවහොත්, ඔබ තනි නොවන බවත්,මෙම පීඩාකාරී චක්‍රයෙන් ඔබ මිදීය යුතු බවත්, ඔබට සුවය ලැබීමට උපකාර වන සම්පත් ඇති බවත් දැන ගන්න.
මෙවැනි තත්ත්වයක් තුල සිටී නම් ඔබ කළ යුත්තේ කුමක්ද?
🔸1) හඳුනාගන්න Recognise and Acknowledge:
ඔබ, trauma bond එකක් තුල සිර වී ඇත්තදැයි හඳුනාගැනීමත්, ඒ සඳහා සම්බන්ධතාවය නිරන්තරයෙන් සිදුවන, පීඩාකාරී රටාවන් හඳුනාගැනීමත් වැදගත් වෙනවා.🔸2) දැනුවත් වන්න Educate Yourself:
මෙවැනි අවස්ථාවක අනෙක් ලක්ෂණ, සාධක මෙන්ම, මෙවැනි බැඳීමක සිර වී සිටීම තුල ඔබට විය හැකි හානි ගැනත්, මෙම හානිකර බැඳීම කඩා දැමීමට ඔබට කළ හැකිදේ ගැනත් දැනුවත්වන්න. ඒ තුල, මෙවන් අත්දැකීම් විඳින අනෙක් පුද්ගලයන්ගේ සිදුවීම් ගැන මෙන්ම ඔබට ගත හැකි උපකාරයන් , සේවාවන් ගැනද විමසීමක් කළ යුතුවේ.🔸3) උදව් ගන්න Reach Out for Support:
තමන් සිර වී ඇති තත්ත්වය ගැන ඉතාමත් විශ්වාසවන්ත මිත්‍රයෙක් දැනුවත් කිරීම මෙන්ම , මනෝ උපදේශණ , පවුල් උපදේශණ සේවාවක් වෙත යොමු වීමද මෙතැනදී වැදගත් වේ. මෙවන් අවස්ථාවක "තනිවීම" අවදානම වැඩි කරන අතර, මෙවැනි යොමු වීම් තුලින් , ඔබේ තත්ත්වය ගැන හඳුනාගැනීමට මෙන්ම ඔබට නොපෙනෙන තවත් අවස්ථාවන් හඳුනාගැනීමටත්, ඒ ඔස්සේ මෙම හානිකර තත්ත්වය බිඳීමට අවශ්‍ය දැනුම සහ උපකාරය ලබා ගැනීමටත් හැකිවනු ඇත. මෙම උපකාර ලබා ගැනීම යනු හැම විටම "දික්කසාද වීම" හෝ "ප්‍රේම සම්බන්ධය" බිඳ දැමීම ලෙසම සඳහන් කළ නොහැකි අතර, සම්බන්ධතාවය තුල සිටින දෙපාර්ශවයම , වෘත්තීමය පහසුකම් දෙන තුන්වන පාර්ශවයක් ඔස්සේ සිදුවන දැනුවත් වීම, තම අඩුපාඩු හඳුනාගැනීම් සහ ඒ ඔස්සේ නිවැරදි වීම් තුල සම්බන්ධතාවය යහපත් ලෙස පවත්වා ගැනීමට උත්සාහ කිරීම තුල , නැවතත් විශ්වාසවන්ත, යහපත් බැඳීමක් ආරම්භ කිරීමට ද අවස්ථාව ඇත. එසේ නොකළ හැකි අවස්ථාවකදී , අදාල හානිකර බැඳීමෙන් ඉවත්වීම සියළු පාර්ශව වලට වාසියක් ලබා දෙනු ඇත.🔸4) ඔබේ ආරක්ෂාව සූදානම් කරගන්න Safety Planning:
මෙම "හානිකර සම්බන්ධතාවය" බිඳීමට දරන උත්සාහය තුල ඔබ, ඔබේ දරුවන් , පවුලේ සාමාජිකයන් අවදානමකට ලක්වීමේ ඉඩක් ඇත්නම් , ඒ සඳහා සූදානම් වන්න. එය ආර්ථිකව, කායිකව හෝ මානසිකවද විය හැකි අතර, ඒ සඳහා ලබා ගත හැකි වෘත්තිමය සහයෝගයන්, නීතිමය සහයෝගයන් ලබා ගෙන , විය හැකි අවදානමකදි ඔබේ ආරක්ෂාව වෙනුවෙන් සැලසුමක් හදාගන්න.🔸5) සීමා තනන්න Set Boundaries:
ඔබ රැදී සිටින සම්බන්ධතාවය තුල , ඔබේ සීමාව හදා ගන්න, එය අනෙක් පාර්ශවයට පෙන්වා දෙන්න. ඔබට ලැබිය යුතු තත්ත්වය, පවුල තුල ගෞරවය, විශ්වාසය මෙන්ම ඔබේ දරා ගන්නා සීමාව පැහැදිලිව පෙන්වා දෙන්න. එමෙන්ම, එම සීමා බිඳීම තුල ඔහුට/ඇයට, සම්බන්ධතාවයට විය හැකි තත්ත්වයන් ගැන දැනුවත්කරන්න.🔸6) බිඳින්න හෝ නිදහස් වෙන්න Break or Leave :
ඔබට මෙම අවස්ථාවේ ගත හැකි උත්සාහයන් දෙකකි. පෙර කී දැනුවත් වී, පවුල් උපදේශණය වැනි වෘත්තිමය මැදිහත් වීම්, සීමා පවත්වා ගැනීම් ඔස්සේ සම්බන්ධතාවය තුල තව දුරටත් රැදෙමින් මෙම "හානිකර රටාව" බිඳ දැමීමට උත්සාහ කළ හැකිවේවි (Breaking the Trauma Bond While Staying) හෝ, එසේ නොහැකි තැන, නීතිමය ලෙස හෝ , සමාජය පිළිගන්නා ලෙස අදාල "හානිකර බැඳීමෙන්" ඉවත්වී ( Breaking the Trauma Bond by Leaving) ඔබේ යහපැවැත්ම තහවුරු කරගත හැක.මේ කියාගෙන ගියේ, අද දවසේත් අපේ සමාජය තුල , ඔබ, ඔබේ හිතවතා , ඥාතියා විඳවන තවත් අවදානම් තත්ත්වයක් ගැන. මෙහි මනෝ විද්‍යාත්මක ගැඹුරට වඩා, ප්‍රායෝගිකව සමාජය තුල දකින අවස්ථාවන් ගැන කතා කරන්නයි මෙම ලිපිය තුලින් උත්සාහ කළේ. මේ පිළිබඳ අත්දැකීම් (ඔබේ හෝ වෙනත් අයෙකුගේ) වගේම ලිපියට තවත් එක්විය යුතු දේ ඇත්නම් එක් කරන්නටත් ඔබට ආරාධනා කරනවා.