වෙනද තරම් සෞඛ්‍යය කාරණා ගැන පෝස්ට් නොලිව්වත්, පහුගිය මාස කිහිපය පුරාම හිතේ කරකැවෙන සිදුවීමක් නිසා මේ ලිපිය ලියන්න හිතුණා. ඒ සිදුවීම නම්, පුද්ගලිකව මා දැන සිටි, මා දන්නා 35-45 වගේ වයස් සීමාවේ පිරිමි මිතුරන් කිහිපදෙනෙක් හදිසි හෘදයාබාධ නිසා ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ තුලත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, එයින් වැඩි පිරිසක් එම හදිසි අවස්ථාවට පෙර කිසිදු අවස්ථාවක රෝග ලක්ෂණ මතු නොවූ (හෝ මතුවී ගණන් නොගෙන හිටි වෙන්නත් පුළුවන්), අධිරුධිර පීඩනය, හෘද රෝග සඳහා ප්‍රතිකාර නොගත් අය. තවත් මිතුරන් පිරිසක් හෘද රෝග සඳහා ප්‍රතිකාර , ශල්‍යකර්ම වලට යොමු වෙනවා. ඇත්තටම මේ ලිපිය ලියන්නට හිතට උනන්දුවක් ඇති කළෙත් තවත් මගේ මිතුරෙක් හෘද ශල්‍යකර්මයකට මුහුණදී සුවවෙමින් ඉන්නා බව දැන ගන්නට ලැබීම.
ඉස්සර නම් හාර්ට් ඇටෑක් එකක් , නැත්නම් හෘදයාබාධයක් ගැන කියවෙන වයස් සීමාව වුනේ මීට වඩා තවත් දශකයක් දෙකක් එහාට ගියාම වගේ මතක. මෙන්න මේ නිසා, ලංකාවේ තරුණ සහ මැදි වියපත් සීමාවේ ඉන්න පුද්ගලයන්, විශේෂයෙන්ම පිරිමි පාර්ශවය හෘදයාබාධ සඳහා ඇති, වැඩිවන ප්‍රවණතාවය ගැන ටිකක් කතා කරන්නට හිතුවා.
මේ “දැනෙන වෙනස” ගැන සොයා බැලීමක් කළාම මෙය හුදෙක් හිතලුවක් නොව ඇත්තටම සිදුවන අවදානම් සහිත වෙනසක් බව කොළඹ ජාතික රෝහලේ හෘද විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ ප්‍රකාශයකින් යම් තහවුරු වීමක් කරගන්නට පුළුවන් වුනා. ඔහුට අනුව, හෘදයාබාධ හේතුවෙන් රෝහල් ගත වන රෝගීන්ගෙන් 40-50%ක් වයස 40 හෝ අඩු සීමාවේ අය බව සඳහන් වෙනවා. මේ ප්‍රකාශයන් වගේම පහුගිය වසර වල කළ පර්යේෂණ ඔස්සේත් ලංකාවේ සිදුවන මරණ වලින් 40%ක පමණ ප්‍රමාණයකට හේතු හෘදයාබාධ සහ ඒ ආශ්‍රිත රෝග බව හදුනාගන්නවා.
මේ ඔස්සේ යමින්, මුලින්ම ටිකක් කතා කරමු, මෙහෙම වෙන්නට “විය හැකි” හේතු මොනවාදැයි, ඊට පස්සේ බලමු,මෙම අවදානම හමුවේ අප මොන විදියට විමසිලිමත් විය යුතුදැයි.
1.ලෙඩ දෙන ජාන තෑගි
මේ ගැන කතා කරත්දි ලංකාවෙන් ටිකක් පිටතට ඇවිත් බැලුවොත්, ආසියාවේ, ලංකාවේ අපි හෘදයාබාධ සඳහා වැඩි අවදානමක් සහිතවම උපදින බවම තේරුම් ගන්න පුළුවන් වේවි. ඒ කියන්නේ, බටහිර රටවලට සාපේක්ෂව, ආසියාතික, විශේෂයෙන්ම දකුණූ ආසියාතික, ඉන්දීය ජාන බැඳිමක් සහිත අපි උපදින්නෙම, හෘදයාබාධ සහ හෘදයාබාධ සඳහා උපකාර වන හේතු ඇති කරන, නැත්නම් වැඩි කරන “ජාන” මිශ්‍රණයක් එක්කම. උදාහරණ කීපයක් විදියට හෘදයේ පේෂි මහත් කරලා ඒ ඔස්‍සේ හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන තත්ත්වයක් ඇති කරන hypertrophic cardiomyopathy කියන හෘද රෝග තත්ත්වය සමඟ සෘජුවම සම්බන්ධ වන MYBPC3 වගේ ජාන, කිසිදු හෘද රෝග ලක්ෂණයක් නැතිව ඉඳලා, හදිසියේම, ක්ෂණිකව හෘදයාබාධයකින් මියයන්නට හේතුවන SCN5A වගේ ජානත්, හෘදරෝග සඳහා ලොකු උදව්වක් දෙන, දියවැඩියාව ඇති කිරීම සඳහා උදව්වන TCF7L2 ජාන වගේ (මේක ගැන ලංකාවට අදාලවම පර්යේෂණ කෙරිලා තිබුණා) හෘදරෝග අවදානම සඳහා උදව්වන ජාන රැසක් අප උපදිත්දිම පරම්පරාවෙන්ම අපට ලැබෙනවා.මේ හේතු ඔස්සේම, දකුණූ ආසියාතික අපේ ඇඟ ඇතුළෙ මේද තැන්පත් වන රටාවේ පවා විශේෂත්වයක් තියෙනවා. පිටින් හොඳට කෙට්ටුවට ඉන්න අපට වුනත්, ඇඟ ඇතුලේ විශේෂයෙන්ම ජීව ඉන්දියන් වටා වැඩි තෙල් තැන්පතුවක් රැඳිලා තිබෙන්න පුළුවන්. මේ තත්ත්වයත්, හෘද රෝග, රුධිර වාහිනීමයට රෝග සහ දියවැඩියාව සඳහා උදව් වෙනවා. ඒ විතරක් නොවෙයි, මේ හේතු නිසාම රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වීම, විශේෂයෙන්ම නරක කොලෙස්ටරෝල් වැඩි වෙලා හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුවන තත්ත්වයනුත් ඇති වෙනවා. ඒ කියන්නේ, මේ හැමදේකම ලොකු බලපෑමක් අපේ හෘදයේ ක්‍රියාකාරීත්වයට තිබෙනවා. අවාසනාව වෙන්නේ, ඒ බලපෑම හොඳ පැත්තට වඩා නරක පැත්තට නැඹූරුවන වී තිබීමයි.
2.ලං කරගන්නා හද රිද්දන්නෝ
දැන් ඔය පෙර ඡේදයේ කිව්ව, කෙළින්ම හෘදයට කරදර ඇති කරන තත්ත්ව වල වගේම, හෘදයට බලපෑම් ඇති කරන තවත් රෝග ගණනාවක අයිතිවාසිකම් කියන්න අපට සිදුවෙනවා. ඒ අතරින් දියවැඩියාව ඉහළම තැනක තිබෙනවා. මේ පිළිබඳව කළ පර්යේෂණ ඔස්සේ හදුනාගන්නවා සිරි ලංකාවේ සමස්ථ ජනගහණයෙන් බාගයකට වඩා දියවැඩියාව හෝ දියවැඩියාවට යන පාරේ ඉන්න බව(diabetes and pre-diabetes). දියවැඩියාව නම් කළක් ගිහිල්ල හරි හොයා ගත්ත කියමුකෝ , ඒත් ප්‍රෙෂර්, එහෙම නැත්නම් හයිබ්ලඩ්ප්‍රෙෂර්, අධිරුධිර පීඩනය හැංගිලා ජීවිත අවදානම කරා ගෙනයන සැඟවුනු මාරයෙක්. ලෙඩ වුනාම විතරක් බෙහෙත් ගන්න දොස්තර මහත්තයා ගාවට යන්න හුරු වුනු සංස්කෘතියක ඉන්න සිරි ලාංකික අප අතරේ සෑහෙන පිරිසක්, හඳුනා නොගත් අධිරුධිර පීඩනය සමඟ ජීවත්වන බව මේ පිළිබඳව කෙරෙන පර්යේෂණ ඔස්සේ හදුනාගන්නවා. ඒ නිසා, ලෙඩක් ඇතත්, නැතත් අඩුම තරමේ අවුරුද්දකට වතාවක්වත් තමන්ගේ රුධිර පීඩනය පරික්ෂා කරවාගෙන, තමන්ගේ වයස, අවදානම් සාධක ආදිය එක්ක සැසඳීමක් කරගන්න එක වටිනවා. අනෙක් අවදානම් ඇති කරවන සාධකය අපේ “ලුණූ කෑම”. ලෝක හෘද සංසදය (World Heart Federation) කියන විදියට ලංකාවේ අපි වැඩියෙන්ම ලුණු කන ජාතියක්ලු. ඒ කියන්නේ, මේ කන වැඩි ලුණූ අධිරුධිර පීඩනයට වගේම, රුධිරවාහිනී තුවාල කරලා, හෘදයට කරදර කරන්නත් හේතු සාධකයක් වෙනවා.
3. හද රිද්දන කම්මැලිකම
අද දවස වෙත්දි කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියා දක්වා ශාරීරිකව වෙහෙස වන ප්‍රමාණය සීග්‍ර ලෙස අඩුවන බවත්, ඒ අඩුවීම සෞඛ්‍යය ගැටළුව ගණනාවකට හේතුවන බවත් හදුනාගන්නවා. ඇවිදින, කය වෙහෙසන රැකියා, කටයුතු වලට වඩා එක තැනක සිට කරන, වාඩිවී කරන රැකියා සඳහා ඇති වැඩි ඉල්ලුම, ජංගම දුරකථන වෙත ඇති ඇබ්බැහිය ඔස්සේ, ඉඩ ඇති අවස්ථාවක පවා කය වෙහෙසවන්නට පෙළඹවීමක් ඇති නොවීම වගේ සාධක , අද දවසේ හෘද රෝග, දියවැඩියාව, තරබාරුව වගේ සෞඛ්‍යය ගැටළු ගණනාවකට හේතුවක් වෙනවා.
4. හද රිදවන කෑම රටා
රළුව ඉවත් නොකළ සහලෙන් කළ බත්, එළවලු , ඇටවර්ග සහිතව ගනිමින් තිබුණූ ශ්‍රි ලාංකික ආහාර රටාවෙන්, අද දවසට ගැලපෙන හෝ අවශ්‍යතාවය මත ඉක්මණින් සකසා ගත හැකි පිරිසිදු කළ පිටි වර්ග , අධික සීනි , සැකසු ආහාර වැඩි ලෙස ගැනීමේ රටාවත්, ඒ සමඟම එක්වන අධික ලුණූ භාවිතයත් සෘජුවම හෝ වක්‍රාකාරව හෘදයාබාධ සදහා ලොකු බලපෑමක් කරනවා.
5. මත්පැන සහ දුම්වැටි
මේ ගැන විස්තර කරන්න දෙයක් නෑනේ. මේ දෙවර්ගයම සෘජුවම හෘදයේ ක්‍රියාකාරීත්වය අහිතිකර ලෙස බලපාන දේවල්.
6. ලෙඩ දෙන පවුඩර්
තරුණයන් අතර ප්‍රවණතාවයක් බවට පත් වෙමින් තිබෙන කායවර්ධණය සදහා අතිරේක කෘතිම ප්‍රෝටීන් වර්ග ගැනීම තුලත් අවදානම් අවස්ථා හදුනාගනිමින් තිබෙනවා. නිසි වෛද්‍ය සොයා බැලීමක් නොමැතිව ලබා ගන්නා කායවර්ධන රසායනික තුල ඇති ස්ටීරෝයිඩ වර්ග අධිරුධිර පීඩනය වගේම හෘද රිද්මය බිඳ වැටීම හෝ ඒ ඔස්සේ හෘදය නතර වීමට පවා හේතුවක් වන්නට පුළුවන්.7. අඩු නින්ද හද රිද්දයි
පවතින ආර්ථික ගැටළු හෝ රැකියා පරිසරයේ වෙනස්වීම්, ජංගම දුරකථන වෙත ඇති ඇබ්බැහිය හෝ පවතින දැඩි මානසික පීඩනයන් නිසා ප්‍රමාණවත්, සුවදායී නින්දක් නොලැබීමත් ක්‍රම ගණනාවක් ඔස්සේ, හෘදයට පීඩා කරනවා.ඒ තුලම, ලංකාවේ තවමත් ඒ තරම්ම සැලකිල්ලට භාජනය නොවන තවත් නිදි ගැටළුවක් තිබෙනවා. ඒ තමයි Sleep Apnea කියන අවස්ථාව. නින්දේදී තදින් ගොරවන, ඒ අතරේ හුස්ම හිරවීමක් සිදුවන මේ තත්ත්වය සෘජුවම හෘදයට වගේම තවත් සෞඛ්‍යය ගැටළු ගණනාවක් කෙරේ හේතු වෙනවා. මේ අවස්ථා වගේම, මානසික පීඩනය කියන එකත් මෙතැනදී විශේෂ තැනක් ගන්නවා, මොකද එය ක්‍රම ගණනාවකින් හානි කරන නිසා. ඒ වගේම, අපේ සංස්කෘතිය ඇතුලේ “පිරිමි” වගේ ඉන්න දරන උත්සාහය තුලත් මානසික පීඩාවන් සඟවාගෙන , නිසි ප්‍රතිකාර වෙත යොමු නොවී කල්ගත කිරීම මේ අවදානම තවත් ඉහළ නංවනවා.8. කෝවිඩ් බලපෑමත් තියෙනවා.
විශේෂයෙන්ම කෝවිඩ් පැතිරෙන කාළේ එම ආසාදන තත්ත්වය ඇති වුනා නම්, සමහර විට ලොකු රෝග ලක්ෂණ නැතිව වුනත්, කෝවිඩ් ආසාදනය නිසා හෘදයට ක්‍රම කිහිපයකින් හානි වන්නට පුළුවන් බව හදුනාගන්නවා. විශේෂයෙන්ම ඒ කාළයේ තමන්ට කෝවිඩ් ආසාදනය ඇති වුනත්, “පිරිමිකමට” ගණන් නොගෙන හිටියා නම්, කෝකටත් පරිස්සම් ඒ ගැනත් කියලා ටිකක් හෘදය ගැන වෛද්‍ය පරීක්ෂාවක් කරගත්තා නම්.
දැන් ඔය කියාගෙන ගියේ මුලින් කීආකාරයේ හෘදයාබාධයක් හෝ හෘද රෝගයක් සඳහා බලපාන සාධක කිහිපයක් නේ. මේ ටික දැනගෙන, අපට ඇති අවදානම අඩු කරගන්න මොනවද කරන්න පුළුවන් කියල දැන් කෙටියෙන් කතා කරමු.
- වාර්ෂික වෛද්‍ය පරික්ෂණය- ලෙඩ වුනාම විතරක් බෙහෙත් ගන්න පුරුදු වෙලා ඉන්න අපට, අළුත් පුරුද්දක් ජීවිතය වෙනුවෙන් එකතු කරගන්න වෙනවා. ඒ තමයි වාර්ෂික වෛද්‍ය පරික්ෂාවක්. ලෙඩක් ඇතත් නැතත්, අවුරුද්දකට වතාවක් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් ඔස්සේ සම්පුර්ණ කායික පරික්ෂාවක් සමඟ ලේවල නිරාහාර සීනි මට්ටම, ඒ සමඟම යන HbA1c පරික්ෂාව, lipid panel, රුධිර පීඩනය, , උස/බර ඇඟ වට ප්‍රමාණය වගේ කරුණූ ගැන විමසීමක් කරන සම්පුර්ණ විමසීමක් කරගැනීම, තමන්ගේ ජීවිතය වෙනුවෙන් කරන ආයෝජනයක් වෙනවා. ඒ වගේම, වාර්ෂීකව ගන්නා ඒ තොරතුරු පරිස්සම් කර තබාගෙන, සිදුවන වෙනස්වීම් ගැන හදුනාගන්නට කටයුතු කිරීමත් වැදගත් වෙනවා.
- කෑම බීම - එළවළු, කොළවර්ග, ධාන්‍ය, අළුත් මාළු සහිත පිටි අඩු ගෙදරදී හදා ගන්නා කෑම වේලකට හුරු වීම වගේම, ඒ සැකසීම් වලදී භාවිත කරන අතිරේක ලුණූ , සීනි ප්‍රමාණයන් අඩු කරගැනීමට පුරුදු වීමත් උදව්වක් වේවි.
- දුම්පානය සම්පුර්ණයෙන්ම නවත්තන තරමට වගේම මත්පැන් සීමා කිරීමත් සුවදායී ජීවිතේකට උදව්වක් වේවි.
- දවසකට අඩුම ගානේ පැය බාගයක්වත් , වේගයෙන් ඇවිදින්නවත් පුළුවන් නම්, ඒක පුරුද්දක් කරගන්න පුළුවන් නම් හදවතට එය උදව්වක්.
- ඊළඟ වැදගත්ම දේ , “පිරිමිකමට” ගණන් නොගෙන ඉන්නේ නැතිව පපුවේ ඇතිවන කැක්කුමක්, අපහසුතාවයක්, හුස්ම ගැනීමේ අපහසුබවක් හෝ අසාමාන්‍ය වෙහෙසක් ඇති බව දැනෙනවා නම් “ප්‍රමාද නොකර, ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාරයකට යොමු වෙන්න.