2026/10/14

රැළි, රෙදි සහ අන්ධ පෙළපාලි

ලංකාවේ දේශපාලනයේ රැළි ගැන, “අරගලය” කාළයේ ලිව්වාට පස්සේ, ඒ කිට්ටුව යන මාතෘකාවක් ගැන නැවතත් ලියන්නට හේතු වුනේ, මේ දවස්වල ෆේස්බුක් ෆීඩ් එක ඔස්සේ යත්දි ලංකාව ගැන දකින පෝස්ට් අතරේ, වැඩියෙන්ම දකින්නට ලැබෙන පුංචි "පා ගමන්" රැල්ල නිසාවෙන්. කා බී, දුක කියමින්, සැප විඳිමින් නිකං ඉන්නවාට වඩා, පාගමන් ශාරිරික සෞඛ්‍යයට සුවදායී වුවත්, මාධ්‍යය වෙනුවෙන් පෙනී සිටිමින් කරන "අධි අතාත්වික රංගයන්" දකිත්දි, හිතට දැනෙන යමක් නොලියාම බැරි යැයි හිතුණා.

එසේ ලියන්නේ, “ආගමික” යැයි ලේබල් කරගනිමින් එන අන්ධ පුද්ගල ඇදහීම් උමතුව සහ අන්ත ජාතිවාදී බලපෑම් , රටක පිළිගන්නා නීතියට, රාජ්‍ය පරිපාලනයට බලපෑම් එල්ල කරන විට, ඒ රට තුල සිදුවන දුර්වලවීම, බිඳ වැටීම් ගැන සෘජු අත්දැකිම්, හැත්තෑ ගණන් වල සිට මුහුණදුන් අයෙක් ලෙස මෙන්ම, ලෝක ඉතිහාසය දෙස බලත්දී ද, යම් ආගමකට, ඇදහීමකට ජනවර්ගයකට “සුවිශේෂී” තැනක් දීම සහ ඒ ඔස්සේ රටේ පරිපාලනයට, රටේ නීතියට බලපෑම් සිදුවීම තුල වූ විනාශයන් ගැන විමසුම් ඇසින් බලන අයෙක් ලෙසිනි.

සිවුර, දේශපාලනය සහ නීතිය

රටේ පිළිගන්නා නීතිය තුල, “වරදකරුවෙකු” වූ පූජකයෙක්ට, දණ්ඩ නීති සංග්‍රහය තුල ලබා දුන් තීන්දුවක් සහ ඒ තුල ක්‍රියාත්මක වන, බන්ධනාගාර අණ පනත් වල නියෝග පවතින අවස්ථාවේ ඇති පරිදි ක්‍රියාත්මක කිරීම තුල අදාල පූජකයාගේ පටු දේශපාලනික අරමුණූ, ආගම හෝ “ජාතියේ” නාමයෙන් “රැල්ල චූන්” කළ කතා, රැස්වීම්, තර්ජන ගර්ජන ඔස්සේ, එම පුද්ගලයා වෙත “පුද්ගල වන්දනාවක” යෙදෙන, සහ ඒ ඔස්සේ පුද්ගලික දේශපාලනික වාසි අරමුණූ කරගත් පිරිසක්, සහ තම සමාන ඇඳුම් අඳින වර්ගය වෙනුවෙන් පෙනී සිටින, ආගමික යැයි කියමින්, මිනිසුන් අන්ධකර, දුක් විඳින මිනිසුන් මතින් සැප සම්පත් විඳින තවත් රැළී පූජක පිරිසකගේ තර්ජන, ගර්ජන සහිත කතාබහ, දේශනා සහ පුංචි පාගමන් ගැන, විමසුම් ඇසින් බැලුවහොත්, මේ ආවේගකාරී රැල්ලේ “වරදට” , රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා ඇඟිල්ල දිගු වන්නේ නිතැතිනි.

මෙම සිදුවීමේදී , අදාල භික්ෂුව යැයි කියන පුද්ගලයාගේ ආගමික තිරපටය, එහෙම නැත්නම් සිවුර ගැලවීමම , මේ කළබලයට හේතුවන සේ පෙනුනත්, මේ පසුපස ඇත්තේ, තම පැවැත්ම වෙනුවෙන්, තමන් වෙත ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් දේශපාලකයන්ම කළ කී, සහ සනාථ කළ හේතු සාධකයන්මය.

නීතිය ඉදිරියේ සියල්ලෝම සමානය

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය ඔස්සේ, “නීතිය ඉදිරියේ සියල්ල සමානය” ලෙස පිළිගන්නා රටක, යම් අපරාධයකට වැරදිකරු වන පුද්ගලයාගේ තනතුර, රට තුල ඇති ජනප්‍රිය බව හෝ ඇඳ සිටින ඇඳුමට වෙනස්ව සැලකිය නොහැකි වන බව තේරුම්ගත හැක. සරම බැනියම හැඳ , තමන් හෙල සිංහලයෙන් ලෙස හදුන්වා දෙන වැරදිකරුට මෙන්ම, “ආගමක නාමයෙන්” යම් වර්ණවත් හෝ යම් වෙනසක් ඇති ඇඳුමක් හැදි පුද්ගලයාටද සමානව නීතිය ඉදිරියේ අවස්ථාව, සැලකීම මෙන්ම දඬුවම් ලැබීමද විය යුතුය. එය, රටේ නීතියයි. එසේ නොවන තැන, රටේ නීතිය වල්වැදී, රට වල් වැදී යාමේ අත්දැකීම් ලංකාව තුලම සිදුවූ අවස්ථා අපේ මතකයේ ඇත.

අදාල නීතිය ඔස්සේ, නියමිත වූ දඩුවමක් ඇත්නම්, එම දඩුවම ලබාදෙන්නේ “වරද කළ පුද්ගලයාට” මිස, එම පුද්ගලයා ඇඳ සිටින ඇඳුමට හෝ ඇඳුමේ පරම්පරාවට නොවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ආගමික ප්‍රමුඛස්ථානය

නමුත්, ආණ්ඩුම ව්‍යවස්ථාවේම, දෙවන පරිච්ඡේදයේ නමවන වගන්තියෙන් “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුත්තේය.” කියත්දී (ඊට පස්සේ අනෙක් ආගම් වල සුරක්ෂිත බවක් ගැන කීවද) ආගමේ නාමයෙන් වාසි සොයන්නන්ට මෙන්ම, වැඩි දුර විමසීමක් කර තිරණ නොගන්නා රැළි කළබලකාරයන්ටද , එම වගන්තිය දැනෙන්නේ රාජ්‍ය පරිපාලනය, ජාත්‍යන්තර සම්බන්ධතා, රටේ නීතිය වැනි හැම තැනකදීම “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුත්තේය. “ වගේ අදහසක්.

තවත් විදියකින් කිව්වොත්, තමන් අදාල ආගමේ ලෙස පෙනී සිටියහොත්, තමන්ට ඕනෑ දෙයක් කරන්නට පුළුවන් වගේ අදහසක් වෙන්නත් බැරි නෑ කියල සමහර පුද්ගලය‍න්ගේ ප්‍රකාශ ගැන බලත්දි හිතෙනවා.

ඒ හයිය තවත් වැඩි වන්නේ, එම ආගමේ පුජක නියෝජිතයෙක් බව සමාජයට ඇඟවෙන, ආගමේ “නිල ඇඳුම්” හැද සිටින පුද්ගලයෙක්ට යම් බලපෑමක් වූ විටය. එවන් අවස්ථාවක, තමන්ගේ ආගම, රට “විනාශ” වන පෙන්නමින්, විමර්ශණ බුද්ධියක අඩු, අන්ධ වන්දනාවේ යෙදෙන තමන්ගේ පසුපස එන්නන්, වන්දනා කරනනන් කුළප්පු කරන්නට පෙළඹුනේ මේ අවස්ථාවේ විතරක්ම නොවේ. එවන් “කුලප්පු” වීම් ඔස්සේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වයන් වල අඳුරු සේයාවන් තවමත් අපේ හිත්වල මැකී ගියේ නැත. මේ ලියන්නේද එවන් අවාසනාවන්ත තත්ත්ව තවත් අපේ , මගේ රට තුල ඇති නොවේවයි පතමින්, හිතන්නට පුළුවන් කිහිප දෙනෙක්වත් යමක් හිතන්නට පෙළඹවීමට පමණි.

ශ්‍රී ලංකාව කාගේ රටද?

අපේ රට “බුදුන්ගේ රටවත්” , “සිංහල බෞද්‍යන්ගේ රට” ලෙසවත් ලෝකය පිළිගන්නේ නැත. ශ්‍රී ලංකාව යනු ජනවර්ග කිහිපයක්, ජන සංස්කෘති කිහිපයක් , ආගම් බැතිමතුන් සහ ආගමික සංස්කෘතීන් කිහිපයක් එක්ව, මිශ්‍රව ජීවත්වන පාරිසරික වශයෙන් සුන්දර වූ තවත් රටක් ලෙසයි ලෝකය දකින්නේ. ඒ වගේමය, එයයි “ප්‍රායෝගික ඇත්ත” වන්නෙත්. දැන් මෙය කියවන, අන්ධ භක්තික, සහ ලංකා තුලින් ලෝකය දකින්නට උත්සාහ කරන , විමර්ශණ බුද්ධිය භාවිත නොකරන යම් අයෙකු කුලප්පු වී , මගේ දෙමාපියන් මතක් කළද, ඒ ඇත්ත අපට පිළිගන්නට සිදුවෙනවා.

1948, 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

කෙසේ වෙතත්, මේ පුම්බාගැනීම් සහ කුලප්පු වීම් වෙනුවෙන් පාදක වන එක් “නෛතික” පෙළඹවීම මතුවන්නේ, 1972 ජනරජ ව්‍යවස්ථාව තුලට “බුද්ධාගම” ලෙස තනි ආගමක නමක් ඇතුළු කිරීම සහ එයට “ප්‍රමුඛස්ථානය” ලබා දීම ගැන එක් කිරීමත් සමඟය. (එම වෙනස් කිරීම පමණක් නොවූවත්)

එතෙක් ආ, 1948 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල කිසිදු ආගමකට “සුවිශේෂී” තැනක් ලබා නොදීමට කටයුතු කළත්, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් එහි ආගම් පිළිබඳ ව්‍යාවස්ථාපිත වගන්ති සැකසීම වෙනුවෙන් පත් කළ, අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණීය මූලික වූ කමිටුවේදී, “ශ්‍රී ලංකා ජනරජය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දී සැලකිය යුතුය” ලෙස එකතු වන්නේ, සිංහල බෞද්ධ “බහුතර ඡන්ද පදනම” සහ එයින් වූ බලපෑම නිසාවෙනි. එම වගන්තීන්ම, 1978දී, තවත් ශක්තිමත් වෙත්දි “මේක සිංහල බෞද්ධයන්ගේ” රට ලෙස වූ හැඟීම තවත් උත්තේජනය වුනා විය හැක.

ජාත්‍යන්තර ප්‍රතිරූපය සහ ආගමික අන්තවාදය

මේ පසුබිම තුල, ප්‍රමුඛස්ථානය ලැබෙන ආගමේ නාමයෙන්, හෝ එහි පූජක නියෝජිතයෙක් ලෙස පෙනී සිටින අයෙක් යම් වරදක් කර නීතියට ඉදිරියට ගෙන ඒම ‍ලෝක විනාසයක් ලෙස දකින්නට තරම් පුංචි හිත් ඇති වන්දනාකරුවෝ, කළබලවී කරන නාඩගම් රට ඇතුලේ පමණක් හිරවී පවතින්නේ නැත. ඒවා ජාත්‍යන්තරයටද යන්නේ තත්ත්පර ගණනකදීය. එතැනදි, මෙවන් පුංචි පාගමන්, පූජක චණ්ඩිකම්, කුළප්පු වීම් දකින ජාත්‍යන්තර ප්‍රජාව, ලංකාව තුල අද තත්ත්වය ගැන මෙන්ම, ඒ ඔස්සේම “එදා වන්නට ඇත්තේ ?” යන ප්‍රශ්නය ඔස්සේද හිතා බලන බව නම් විශ්වාසය.

ඥානසාර සහ නීතිය ක්‍රියාත්මක කිරීම

ඒතැනදී, අපට මොකද ජාත්‍යන්තරේ ‍මොකක් කිව්වත්, මේ අපේ රට” ලෙස හිස් උදම් අනන්නවුන් සහ ඒ වෙනුවෙන් හුරේ දෙන්නන්ට කියන්නට ඇත්‍තේ, ගලබොඩ අත්තේ ඥාණසාර නමින් පෙනී සිටින පුද්ගලයා (මා මොහු දකින්නේ, භික්ෂුවක් ලෙස නොව, භික්ෂුවක් ලෙස පෙනී සිටින ආගම, ජාතිය නාමයෙන් අන්ධවී සිටින, ඒ අන්ධබව ඔස්සේ තම වන්දනාකරුවන්ද අන්ධකර, වාසි ගන්නට බලා සිටින සිරි ලාංකික පුරවැසියෙක් ලෙසිනි) නීතිය ඉදිරියේ වැරදිකරු වී ඇත්නම්, අදාල නීති ප්‍රකාරව කටයුතු කිරීමට, රටේ නීතියට ඉ‍ඩ දෙන්න.

ඒ තුල දැනට පවතින නීතියේ හැටියට සිවුර ගලවා, සිරකුරු ඇඳුම ඇන්දවූවා නම් ඒ තුල මා දකින්නේ, වරද කළ “පුද්ගලයාට දඩුවම්” කිරීම සහ රටේ නීතියට අනුව “නීතිය ඉදිරියේ සැමට සමාන” තත්ත්වය ලබා දීම මිස, බුදුන්ට අපහාසයක්, පීඩාවක්, ආගමට පීඩාවක් කිරීම්ක නොවේ. (මා දන්නා පරිදි, බොහෝ රටවල නීතියට අනුව සිර දඬුවම් විඳින පූජකයෙක්ට පවා, තම ආගමික කටයුතු වල යෙදෙත්දී පමණක්, අදාල ආගමික ඇඳුම පැළඳිය හැක.)

ඇත්තටම, බුදුන් වහන්සේගේ ධර්මයට පීඩා කරන්නේ, එම ආගමේ නාමයෙන් සිවුරු පැළඳ සිටින මෙවන් පුද්ගලයන්, කුඩා දරුවන් දුෂණය කර පූජකයන්‍ය.

සමාජයේ වගකීම

මේ ඔස්සේම, අධිකරණ නීති, සිරකරුවන් වෙනුවෙන් ඇති නීති තුල යම් සංශෝධණයන් විය යුතුව, නීතිගත වූ කරුණූ ලෙස තිබිය යුතු නීති වැකි තිබිය යුතු බව (වෙනත් රටවල නීති පද්ධති වල මෙන්ම) මෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් සමාජ ගත කළ අපැහැදිලි තැන්ද නිවැරදි විය යුතුමය.

නමුත්, මෙවන් රටාවක හිතන පිරිසක්, ඡන්ද දායකයන් වන පරිසරයකට, එවන් සරු වෙනසක් “සිරි ලංකාව” තුල වේදෝ තවමත් සැක සහිතය.