අළුත එක්වූ හෙද පහන් වෙනුවෙන්
අද ෆේස්බුක් ෆීඩ් එක පුරාවටම දකින්න ලැබුණේ, අද දවසේ අළුත් පත්වීම් ලබාගත් සතුට බෙදාගන්නා නවක හෙද නිලධාරීන්ගේ සතුටු මුහුණු. ඒ ඔස්සේ වසර විසි හයක අතීතයකට ගිය මගේ මතකය ඔස්සේ ඔවුන් වෙනුවෙන් යමක් ලියන්නට හිතුවා.
මුලින්ම,
🎉අද දවසේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය හෙද සේවාවට, ලියාපදිංචි හෙද නිලධාරීන් (registered nurses) ලෙස එක්වන නවක හෙද නිලධාරි, නිලධාරිනි දූලා පුතාලට ජයග්‍රාහී අනාගතයක් වෙනුවෙන් සුබ පැතුම් එක් කරනවා.🎉
ඒ, මෙයින් වසර විසි හයකට ඉස්සර වෙලා, ඔබ වගේම මුල්ම පත්වීම ලබාගත් හිටපු හෙද නිලධාරියෙක් ලෙසින්, එහෙම නැත්නම් සෞඛ්‍ය සේවය තුළ, රටවල් කිහිපයක ක්ෂේත්‍ර ගණනාවක අත්දැකීම් ලැබූ වැඩිහිටියෙක් ලෙසින්. එහෙම කිව්වේ, කයිවාරුවකට වඩා, ඔබටත් දවසක ඔබ ගැන සතුටින් ඒ වගේ, සමහර විට ඊට වඩා සතුට හිතෙන වැකියක් ලියන්නට දිරියක් වේවි කියලා හිතාගෙන.
ආ... මුලින්ම කියන්න ඕන අපට ඉතින් ඔයාලට වගේ රජ මාලිගාවට ආරාධනා කරලා පත්වීම් ලිපි (appointment letters) ලැබුණේ නෑ. මතක විදියට පියුං මාමාද කොහෙද ගෙනත් දුන්නේ, තව සතියක් ඇතුළත බෑග් මලු බැඳගෙන කොළඹ උතුර ශික්ෂණ රෝහලට වාර්තා කරන්න ඕන කියලා.
ඒ නිසාම, මුල් පත්වීම ලැබුණා කියන්නේ අපේ කණ්ඩායමේ හැමෝම රට පුරා බෙදිලා ගියා. හමුවෙන්න අවස්ථාවක් වුණේ නැහැ ඔයාලට වගේ. ඒ විදියට බැලුවම, අද අරලියගහ මන්දිරයේදී පත්වීම් ලිපි ගත්ත ඔයාලට අපට වඩා අපූරු අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒ වටිනා මොහොත සමරන්නට. ඒ වෙනුවෙන් සතුටක් දැනෙනවා.
අන්න ඒ සතුටත් එක්ක, අවුරුදු විසි හයක අතීතයකට ගිහින්, ආයේ එන අතරේ, මගේ හිතට ආ අදහස් ටිකක් අකුරු කරන්නට හිතුණා මේ විවේකී දවසේ. කවුරු හරි කියවාවි, තවත් මගේ හෙද මිතුරෙක්, මටත් මඟහැරුණු තවත් අදහස් එකතු කරාවි නේද කියලා හිතාගෙන.
💙අළුත් "වෙනස"
දැන්, තමන් ඉල්ලපු තැනම හම්බෙලා සන්තෝසෙන් ඉන්න අය වගේම, තමන්ට ලැබුණු තැන ගැන අකමැත්තෙන් ටිකක් දුකෙන් ඉන්න අයටත් කියන්න තියෙන්නේ, ඔයාලට ඔය පත්වීම ලැබෙන්නේ ලංකාවේ විතරක් නොවෙයි, ලෝකේ ඕනෑම රටක ඉන්න රෝගියෙක්ට (patient), සෞඛ්‍ය සේවාලාභියෙක්ට (healthcare service recipient or client) අවශ්‍ය කරන හෙද සත්කාර සේවය (nursing care) ලබා දෙන්නට ඔබට හැකියාව තියෙන නිසා.
ඒ නිසා, ගෙදර ගාවම රෝහල හම්බුණාද, අම්මා තාත්තාගෙන් ඈත් වෙලා ඈත රෝහලක සේවයට යන්නට වුණාද, බය නැතිව සැලසුම් කරලා ගමන පටන් ගන්න. ඔබට පුළුවන්.
අපේ රටේ රජයේ හෙද නිලධාරියෙක් කියන්නේ ඕනෑම දුෂ්කරතාවකට (challenges) මුහුණ දෙන්න, දරාගෙන හැඩගැහෙන්න පුළුවන් හයියක් තියෙන, ඒ වෙනුවෙන් ගැලපෙන විනයක් (discipline) තියෙන වෘත්තිකයන් (professionals) පිරිසක්.
ඔබ දැන් ඉන්නේ අන්න ඒ වෘත්තික කණ්ඩායම ඇතුළේ. ඒ නිසා හිතට හයිය ගන්න. සමහර විට මුලින්ම ගෙදරින් පිට ජීවිතයක් (independent living) ආරම්භ කරනවා වෙන්න පුළුවන්. නංගිලා මල්ලිලා, අයියා අක්කා, ඊටත් වඩා අම්මා තාත්තාගේ ආදරේ දාලා යන්න බැහැ වගේ හිතෙන්න පුළුවන්.
ඇත්ත, ඒ හැඟීම (emotional adjustment) බාර ගන්න. ඒත් ජීවිතේ අළුත් අභියෝගයට (new challenge) ධෛර්යයෙන් මුහුණ දෙන්න ගමන පටන් ගන්න.
💙පළමු "අත්දැකීම්"
හරි, දැන් කොහොමින් කොහොම හරි අළුත් පත්වීමෙන් ලැබුණු රෝහලට ගියා කියමුකෝ.
ඔන්න මුල්ම දවසේ ඒ රෝහලේ ඉන්න ප්‍රධාන හෙද නිලධාරීන් (chief nursing officers), ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරීන් (senior nursing officers) මූලික කරගෙන ඔබව පිළිගන්නට ඉඩ තියෙනවා. සමහර විට පොඩි පාටියක් එක්ක පින්තූර ටිකකුත් ගනීවි. හැමෝම හරිම හොඳ, ආදරණීය, හරිම කාරුණික පිරිසක් වගේ හඳුන්වා දේවි.
තවත් තැනක ඔය මුකුත් නැතිව, මේට්‍රන් ඔෆිස් එකෙන් කරන පුංචි හඳුන්වා දීමෙන් (orientation) පස්සේ, යන්න ඕන වාට්ටුව (ward) කියාවි. ඊළඟට ඉතින් ඒ වාට්ටුවේ ඉන්න සීනියර් අක්කලා, අයියලා පොඩි ඔරියන්ටේෂන් එකක් (ward orientation) දීලා, "වැඩ පටන් ගන්න" කියාවි.
කොහොම පටන් ගත්තත්, දවසක් දෙකක් යත්දි ඔබත් මේ යන රැල්ලට වැටෙන එක නවත්වන්න අමාරුයි. "රැල්ල" කිව්වේ නරක අදහසකින් නොවෙයි. කාර්යබහුල බව (workload), අවිවේකී බව, පීඩනය (workplace stress), කායික වගේම මානසිකව දැනෙන වෙහෙස (physical and mental fatigue) බලාපොරොත්තු වෙන්න පුළුවන්.
💙"අළුත්" සැප විඳින්න
පුහුණුවේ හිටියා වගේ නොවෙයි දැන්. ෂිෆ්ට් එක (shift) කරලා ගෙදර ආවම දැනෙන සනීපේ වෙනම සැපක්. ඒක විඳින්නම ඕන අපූරු අත්දැකීමක්.
දවසක් දෙකක් යත්දි වාට්ටුවේ ලොකු මිස්ලා, අයියලා වාට්ටුවේ වැඩ, රෝගීන්ගේ, සේවාලාභීන්ගේ කටයුතු සහ වගකීම් (responsibilities) ටික ටික පවරාවි. හෙවිල්ලෙනුත් ඉඳීවි. ඉඳලා හිටලා යමක් කියා දෙනවා වගේම, සමහර විට පොඩි නෝක්කාඩු පෙනුමකුත් පෙන්නාවි. ඒ හැමදේටම සතුටින් මුහුණ දෙන්න හිත ශක්තිමත් කරගන්න.
සීනියර් අයියලා, අක්කලා හරි කැමතියි අළුත් මිසීලා, මල්ලිලා එනවාට. මොකද ඒ අය "තරුණ ජවය" තියෙන අයනේ. ඉතින් ටිකක් වැඩ වැඩිපුර පවරන්නත් බැරි නෑ.
සමහර විට, ඔබ පුහුණුවන කාලයේදී කරන්න අකමැතිම වෙලා තිබුණු හෙද පිළිවෙත් (nursing procedures) ම වැඩිපුර කරන්න වෙන්නත් පුළුවන්.
හැබැයි මේ හැම අත්දැකීමක්ම දැන් වෘත්තීය අත්දැකීමක් (professional experience) ලෙස බාර ගන්න. ඒ නිසා හිත රිද්දගන්නවා වෙනුවට, මේ අත්දැකීම මගේ දැනුමට (knowledge), අතහුරුවට (practical experience), මගේ කුසලතාවයට (skills) එකතුවක් කරගන්න බලමු.
💙 රෑ තමයි "හොඳම"
ආ... ඊළඟ හරිම සනීප තෑග්ග නයිට් ෂිෆ්ට්ස් (night shifts). මොකද වාට්ටුවේ ඉන්න දරු පවුල් වෙච්ච සීනියර් මිස්ලා, සර්ලා, අයියලා අක්කලාට දරු පැටවු එක්ක ඉන්න, නෝනලා, මහත්තේලා එක්ක ටිකක් විවේක පාඩුවේ රෑ ගත කරන්න වෙන නිසා, අළුත ආපු අළුත් මිසීලා, මේල් නර්ස් මල්ලිලාට (male nurses) අදින්න ටිකක් වැඩිපුර නයිට් ෂිෆ්ට් වැටේවි.
බාර ගන්න. සල්ලි නිසාම නොවෙයි. එකක් ඒක මෙතෙක් බර ඇත්ත ජ්‍යෙෂ්ඨයන් වෙනුවෙන් යම් උදව්වක්. අනෙක මේ ෂිෆ්ට්ස් තමයි ඔබට ඒ වාට්ටුව ගැන, ඒකේ සිදුවන ප්‍රතිකාර සේවා (treatment services) ගැන, උපකරණ (medical equipment) ගැන ඉගෙන ගන්න තියෙන හොඳම වෙලාව.
ඒ විතරක් නොවෙයි, එහෙම ඉගෙන ගන්න අතරේ ඔබේ අළුත් අදහස් එක්ක යම් වෙනසක් කරන්න හිතනවා නම් අන්න ඒ සැලැස්ම පටන් ගන්නත් හොඳම මේ "රැය" තමයි.
ඒ විතරක්ද, රෝගීන් එක්ක ටිකක් කතාබහ කරලා, නොදන්න නොහඳුන අය එක්ක කතා කරන්න බයක් වගේ තියෙනවා නම් ඒක අඩු කරගන්නත්, තමන්ගේ චිකිත්සීය සන්නිවේදන හැකියාව (therapeutic communication skills) දියුණු කරගන්නත්, ඊටත් වඩා සේවා පරිසරය ඇතුළේ හොඳ මිනිස් සම්බන්ධතා (interpersonal relationships) පවත්වා ගන්නත් මේ කාලය හරිම වාසිදායකයි කියල මට හිතෙන්නේ.
දැන් මං කිව්වේ නෑ, කැෂුවල් නයිට් එක (casual night shift) අදින දවසේ, ලෙඩ්ඩු පෝලිමට එත්දි, පැත්තකට වෙලා කවුරු හරි අල්ලගෙන කයිවාරුවක් ගහගෙන ඉන්න කියලා හොඳද?
💙 "වැඩකාරයෙක්" බව දැනෙන්න
තව එකක්, ඔයාලා හයර් ඩිප්ලෝමා (higher diploma) එක්කද, බීඑස්සී (Bachelor of Science in Nursing) එක්කද ආවේ, එහෙම නැත්නං වෙන රටක ඉඳලා ආවද කියන එකට වඩා, ඔබ කොයිතරම් හෙද කුසලතාවයක් (nursing competency) ඇති කෙනෙක්ද, හෙද නිලධාරියෙක් විදියට ගැලපෙන පෞරුෂයක් (professional personality) ඇති කෙනෙක්ද, ඔබ කොයිතරම් විශ්වාසයෙන් (confidence) වැඩ කරනවාද කියන කාරණෙයි තමයි වාට්ටුවේ ඉන්න ලොකු මිස්ලට, අනෙක් සෞඛ්‍ය වෘත්තිකයන්ට වැදගත්.
ඒ නිසා ඒ අවශ්‍යතා දියුණු කරගන්න බලන්න.
ඒ අතරේම, ඔබේ දැනුම කොයිතරම් අළුත් වුණත්, වාට්ටුවේ අවුරුදු ගණනාවක් අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරියාගේ, නිලධාරිනියගේ හැකියාව පහළ දාලා, ඔබ "ලෝකෙට ලොක්කා" වෙන්න හදනවාට වඩා, ඒ ජ්‍යෙෂ්ඨයන්ගේ අත්දැකීම් එකතු කරගෙන ඔබේ හෙද වෘත්තීය අත්දැකීම් ගබඩාව (professional experience bank) දියුණු කරගන්න බලන්න.
අවශ්‍ය තැන ඔබේ දැනුම බෙදාගන්න. ඔබ අළුත උගත් දේ ඔවුන් සමඟත් බෙදාගන්න. එයාලගෙනුත් ප්‍රශ්න අහන්න. කොයිතරම් පාඩම මතක තිබුණත්, පොඩි හරි සැකයක් ඇත්නම් අහන්න ඔබේ ජ්‍යෙෂ්ඨ හෙදියගෙන්, හෙද නිලධාරියාගෙන්. සමහර විට ඒ කතාබහ වාට්ටුවේ සීනියර්ස්ලාගේ වුණත් දැනුම අළුත් කරන්නට ඉඩ තියෙනවා.
💙නොහිතූ දේ සිදුවේ නම්...
දැන් ඉතින් ඔබ ඉන්නේ නර්සිං ටියුටර්ස්ලාගේ (nursing tutors), ලෙක්චර්ස්ලාගේ (lecturers) අධීක්ෂණයක් යටතේ නොවෙයි. ඔබ දැන් ස්වාධීන වෘත්තිකයෙක් (independent professional). වාට්ටුවේදී, සේවා පරිසරයේදී ඔබ රජයේ වැටුප් ලබන තවත් රාජ්‍ය සේවකයෙක්, වෘත්තිකයෙක්.
ඒ නිසා, දැන් වෙනදාට වඩා වෙනස් අත්දැකීම්, වෙනස් අදහස්, වෙනස් පෞරුෂයන් (personalities), වගේම වෙනස් දුර්වලතා තියෙන විවිධාකාර පුද්ගලයන් හමුවෙන්න පුළුවන්. ඒ සමහර විට තමන්ගේම හෙද සේවාව තුළ වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනත් සෞඛ්‍ය වෘත්තික සේවාවක වෙන්නත් පුළුවන්. සමහර විට රෝගියෙක් හෝ ඥාතීන් ඔස්සේ වෙන්නත් පුළුවන්.
ඒ නිසාම ඔබ සහ තවත් අයෙක් අතර අදහස්, මත අතර වෙනස්වීම්, පරස්පරයන්, සමහර විට ගැටීම් ඇති වෙන්න පුළුවන්.
ඒ බව දැනගෙන, එවැනි අදහස් පරස්පර වීමක් "මත ගැටීමක්" (difference of opinion) නොවන ලෙස වගේම, "මත ගැටුමක්" (conflict) වුණොත් එය සාධාරණව සහ දෙපාර්ශවයේම හිත් නොරිදෙන විදියට විසඳා ගන්නට පුළුවන් ක්‍රම (conflict resolution strategies) පෙර හඳුනාගන්න.
හැබැයි, හැම වෙලාවෙම අනෙක් වෘත්තිකයාට, පුද්ගලයාට නිසි ගෞරවය ලබා දෙනවා නම්, නිවැරදිව සන්නිවේදනය කරනවා නම්, ගැටළුවකදී එය විසඳා ගන්නට කලබල නොවී අදහස් ප්‍රකාශ කරන්න හැකියාවක් තියෙන බව දැනෙන්නට දෙනවා නම් මේ වගේ අදහස් ගැටුම් මතු වෙන එකක් නෑ. නෑ, මං කිව්වේ නෑ වෙන්නේම නෑ කියලා ඔන්න.
මේ ඉතින් වටින් ගොඩින් කොටාගියේ. දැන් ඉතින් නොම්මර දාලම කොටන්නයි හදන්නේ. නැත්තං පෝස්ට් එක නවතිත්දි ඊළඟ බැච් එකත් අපොයින්මන්ට්ස් අරං තියේවි.
❤️1. ලෙඩා නොවෙයි, මනුස්සයා දකින්න
ඔව්, දැන් ඉතින් වාට්ටුවට ගියාම ලෙඩ්ඩු එක්ක තමයි වැඩ කරන්නේ. ඒත් ලෙඩ්ඩු වුණේත් ඔබ වගේම මනුස්සයෙක් නේද කියලා ටිකක් හිතන්න පුළුවන් නම්, ඒ හැඟීමෙන් උදව්, උපකාර, සත්කාර කරන්න පුළුවන් නම්, ඔබේ වෘත්තීය සීමාවන් (professional boundaries) තියාගෙන අන්න ඒකයි හරිම වැදගත්.
රටවල් කිහිපයක සෞඛ්‍ය සේවාවන්හි අත්දැකීම් තියෙන කෙනෙක් විදියට මට කියන්න පුළුවන්, අපේ නර්ස්ලාගේ ස්කිල්ස් (nursing skills), සත්කාර කුසලතාවයන් (competencies) ඉහළයි. ඒ ගැන තර්කයක් නෑ.
ඒත් සේවාලාභියා එක්ක කරන සන්නිවේදනය (communication), සහකම්පණය දැක්වීම (empathy) (අඩුම ගානේ පේන්නවත්) පැත්තෙන් ගත්තම යම් ගැටළු තියෙනවා කියලා හිතෙනවා.
ඇත්ත, වැඩ වැඩියි. අපට එයාලත් එක්ක හිනාවෙවී ඉන්න වෙලාවක් නෑ. එහෙම කියන අය ඇති.
ඒත් සේවාලාභියෙක්ට ඕන "හිනා වෙවී ඉන්න" බෝනික්කෙක් වගේ හෙද නිලධාරියෙක් නොවෙයි. තමන් වෙනුවෙන් සත්කාරයට පෙනී ඉන්න (patient advocacy), ඒ බව තමන්ට දැනෙන්න සන්නිවේදනය කරන, කියනවා වගේ කරන හෝ අඩුම තරමේ කරන්න උත්සාහ කරන හෙද නිලධාරියෙක්. සීමාවන් තියෙනවා. සමහර විට ඒ සීමාවන් ගැන සේවාලාභියා එක්ක හොඳින් සන්නිවේදනය කරන්නත් වෙන්න පුළුවන්. ඔබේ වෘත්තීය තත්ත්වය ගැන, යුනිෆෝම් එකෙන් දෙනවාට වඩා ගෞරවනීය හැඟීමක් සමාජයටම දැනෙන්න දෙන්න මේ ඔස්සේ පුළුවන් වේවි.
❤️2. චිකිත්සීය චින්තනය හදාගන්න
ඔය කිව්වේ අළුත් මොකක් හරි දේශපාලන හරි වෘත්තීය සමිති අදහසක් දාගන්න කියන එක නොවෙයි.
සේවාලාභියාට සාත්තු කරත්දි (providing nursing care), ප්‍රතිකාරයක් ලබා දෙත්දි (providing treatment), ඖෂධයක් ලබා දෙත්දි (medication administration), ඇඳ ඉහපතේ (BHT) පිටුවක ලියනවා හෝ චාට් එකේ ලකුණු කරනවා වගේම, අදාළව ඔබ ලබා දුන් සත්කාරය, ප්‍රතිකාරය ගැන සායනික හේතුව (clinical rationale) දැනගන්න, කියවන්න. අමතක නම් ඔය ෆෝන් එකෙන් ටිකක් සර්ච් කරලා දැනුම අළුත් කරගන්න.
සේවාලාභියාගේ රෝග විනිශ්චය (diagnosis), රෝග ලක්ෂණ (symptoms), ඔබ ලබා දෙන ඖෂධය ක්‍රියාත්මක වීම (medication action) ඔය වගේ විමසා බැලීම ඔස්සේ "චිකිත්සීය චින්තනයක්" (clinical thinking) හදාගන්න බලන්න.
එහෙම හිතන්න පුරුදු වුණාම, වෙනම පාඩම් කරන්න ඕන වෙන්නේ නැති තරම්. අනෙක, ඒ අළුත් වන දැනුම ඔබට සතුටක් වගේම පොඩි ආඩම්බරයකුත් එකතු කරාවි.
ඒ විතරක් නොවෙයි, ඒ ලබා ගන්නා, අළුත් කරගන්නා දැනුම බෙදාගන්න. තමන්ගේ කණ්ඩායමේ හෙද මිතුරන් වෙන්න පුළුවන්. සමහර විට රෝගීව වාට්ටුවේ නැවතී සිටින තාත්තා කෙනෙක්ගේ තත්ත්වය ගැන විමසීමක් කරන පුතෙක් වෙන්න පුළුවන්. ඔබේ වෘත්තීය සීමාව තුළ ඒ දැනුම තවත් කාටහරි බෙදාගන්නට පුළුවන් නම්, එය ඔබටම වාසියක් කවදාහරි.
❤️3. වහන්නෙපා පොත
දැන් ඉතින් පත්වීම හම්බුණානේ, ඔක්කොම ඉගෙනගෙන ඉවරයි කියලා හිතාගෙන අළුත් දැනුම එකතු කරගැනීම වහලා දාලා, පවුලක් පන්සලක් වෙලා, දරුවෙක් මල්ලෙක් හදාගෙන ඉන්නවා කියලා විතරක්ම හිතුවොත්, නර්සිං දිගේ සාර්ථක සහ හිතට සතුටක් දැනෙන ගමනක් යන්න ටිකක් විතර අමාරු වෙන්න පුළුවන්. මොකද නර්සිං (nursing) කියලා කියන්නේ දවස ගානේ අළුත් වන විෂයක්.
අළුත් බෙහෙත් (new medications), අළුත් ලෙඩ, අළුත් රෝග නිරීක්ෂණ පරීක්ෂණ (diagnostic investigations), අළුත් හැසිරීම්, දැනුම ඇති ජනතාව... ඔය වගේ විවිධාකාර විදියට හරි ඉක්මනින් අළුත් වන ක්ෂේත්රය ඇතුළේ එක තැනක "ගල් වෙලා" ඉන්න හැදුවොත්, මට හිතෙන්නේ ඒක ඔබට වගේම සෞඛ්‍ය වෘත්තිකයෙක් ලෙස ඔබෙන් සමාජයටත් කරන පාඩුවක්.
ඒ නිසා, දවස ගානේ දැනුම අළුත් කරගන්න. කියවන්න, අහන්න, අනෙක් සෞඛ්‍ය වෘත්තිකයන් එක්ක එකතු වෙන්න.
නර්ස්ලා වුණු පමණින් අප හැමදේම දන්න අය කියලා හිතන්න පටන් ගන්න එපා. ඔය බාර්රූම් එක සුද්ද කරන සහායක සේවකයා (support staff) දන්නවා අපට වඩා අපූරුවට ඒ විෂබීජනාශක දියර ටික හදාගන්න. ෆිසියෝතෙරපිස්ට් (physiotherapist) දන්නවා රෝගියෙක්ගේ උරහිස් වේදනාවට (shoulder pain) අදාළ චිකිත්සාව (therapy) දෙන විදිය. ඖෂධවේදියා (pharmacist) දන්නවා බෙහෙතක් තවත් බෙහෙතක් එක්ක නරක ප්‍රතික්‍රියාවක් (drug interaction) කරාවිද නැද්ද කියන එක. වාට්ටුවේ ඉන්න කණිෂ්ඨ වෛද්‍යවරයා (junior medical officer) දන්නවා රෝගියාගේ තත්ත්වය සහ ජානගත සම්බන්ධය (genetic factors) ගැන ඔබට වඩා සමහර විට.
ඒ නිසා, හැමෝගෙන්ම ගන්න පුළුවන් දැනුම ගන්න. ගත්ත පමණින්ම බාර ගන්නෙපා. අද දවසේ ඕනෑ තරම් ක්‍රම තියෙනවා ඒ ගැන තවත් විමසීම් කරන්නට, සොයා බැලීම් කරන්නට. ඒ විමසීම්වලින් පස්සේ නිවැරදි දේ ඔබේ දැනුමට එකතු කරගන්න.
❤️4. උඩ යන්න බලන්න
ආයේ කියන්න දෙයක්ද, එයාලා යන්නෙම උඩින් කියලා කියන අයත් නැතෑ. හැබැයි මං මේ කිව්වේ ඒ ගැන නොවෙයි.
මුල් පත්වීම් ලබපු ඔබ තව ටික දවසක් ගිහින්, තවත් අමතර පුහුණු (additional training), වෘත්තීය පුහුණු (professional training) වලට එකතු වෙන්න. පුළුවන් නම් උසස් අධ්‍යාපන පාඨමාලාවකට (higher education programme) ලියාපදිංචි වෙන්න. මොකද පහු පහු වෙත්දි... (එක්කෝ මක්කටෙයි).
ලංකාව ඇතුළේම, රාජ්‍ය සෞඛ්‍ය සේවාව ඇතුළේම විවිධාකාර පුහුණු තියෙනවා. ඒ අතර ඒකක විශේෂිත පුහුණු (unit-specific training), කුසලතා ඉලක්ක කළ පුහුණු (competency-based training) වගේම ඉන් පිටත් වැදගත් සෞඛ්‍ය පාඨමාලා (healthcare courses) තිබෙනවා.
ඒ ඔස්සේ ඔබේ ඒකකයට, ඔබේ වෘත්තීය සේවා මට්ටමට වැදගත් වන වගේම අනාගතයේදී වැදගත් විය හැකි දැනුමත් ලබාගන්න. උදාහරණයක් ලෙස, හොඳ ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් (English language course), සන්නිවේදන කුසලතාවය දියුණු කරන පාඨමාලාවක් (communication skills course) වුණත් වටිනාකමක් එක් කරාවි.
ඒ වගේම digital health skills කියන්නේ අද වගේම ඊටත් වඩා හෙට වෙද්දි සෞඛ්‍ය සේවය තුළ ඕනෑම දෙයක්. පුළුවන් නම් ඒ දැනුමත් එකතු කරගන්න.
❤️5. බෙදන්න, එකතු වෙන්න
මං කියන්න ගියේ, හෙද නිලධාරියෙක් විදියට ඔබෙන් සේවාලාභියාට ලැබිය යුතු සෞඛ්‍ය සේවාව (healthcare services) උපරිමයෙන් ලබා දෙන්නට, ඒ වගකීම වෙනුවෙන් සියළු සෞඛ්‍ය කණ්ඩායම් (multidisciplinary healthcare teams) සමඟ එක්ව, සහයෝගයෙන් කටයුතු කරන්නට අවශ්‍ය හැකියාව දියුණු කරගන්න.
විශේෂයෙන්ම, විවිධාකාර දේශපාලනය සහ සමාන බෙදීම් ඇති කරන වෘත්තීය සමිති බලපෑම් (trade union influences), වෘත්තීය බෙදීම් අස්සේ, සෞඛ්‍ය කණ්ඩායම් බෙදී වෙන්වන පරිසරයක් තුළ වුණත්, සේවාලාභියා වෙනුවෙන් එක්ව කටයුතු කරන්නට අවශ්‍ය සම්බන්ධතා, සන්නිවේදනයන් සහ වෘත්තීය සීමාවන් තුළ තිබිය යුතු "වෘත්තීය හිතවන්තකම්" (professional relationships) පවත්වා ගන්නට උත්සාහ කරන්න.
සමහර විට චක්‍රලේඛ හෝ උපදෙස් පත්‍රිකාවලට (circulars and guidelines) වඩා මේ බැඳීම් රෝගියා වෙනුවෙන් කටයුතු පහසු කරන අවස්ථා තිබෙනවා.
ඕං, මං කිව්වේ නීතියට හෝ වෘත්තීය සීමාවන් (professional boundaries) බිඳගෙන කටයුතු කරන්න කියලා නොවෙයි ඈ.
❤️6. ලෝකය තුළ නර්සිං දකින්න
පළමු පත්වීම හම්බුණු තැනම පැන්ෂන් යනවා කියලා හිතාගෙන වැඩේ පටන් ගන්නවාට වඩා, වෘත්තීය ඔස්සේ ඉහළට එන, වෘත්තීය මට්ටම් දියුණු කරගන්නා ගමන් සාර්ථක කරගන්න පුද්ගලික ජීවිතයක් (personal life) ඉලක්ක කරගෙන වැඩේ පටන් ගන්න.
එතැනදී "ලංකාව" කියන සීමාව තුල විතරක්ම හිර වෙන්න එපා, ලෝකයට, ගෝලීය සෞඛ්‍යය සේවාවේ හොයා ගැනීම්, දැනුම වගේම, අවස්ථා සඳහාත් විවෘත වෙන්න. රජයේ සෞඛ්‍ය සේවාවට ඇතුළු වුණු, ලියාපදිංචි හෙද නිලධාරියෙක් වුණු ඔබට, තවත් ටික කාලයක් ගියාම, තවත් අත්දැකීම්, දැනුම එකතු කරගත්තාම ලෝකයේ ඕනෑම රටක සත්කාර සේවා (healthcare services) ලබා දෙන්නට හැකියාව වගේම අවස්ථාවනුත් තියෙනවා.
ඒ ඔස්සේ, වසර කිහිපයකට වෙනත් රටක ටික කළකට හෝ හෙද සේවයට යන්න පුළුවන් නම් යන්න. එය ආර්ථිකව විතරක් නොවෙයි, අත්දැකීම් (professional experience), මානුෂීය සම්බන්ධතා (human relationships) වගේ විවිධාකාර පැතිවලින් වාසි ගේනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය පෞරුෂය (professional personality) හදාගන්න, දැනුම කුසලතා වැඩි කරගන්න, විමසිලිමත් වෙන්න.
දැන් කෙනෙක් කියන්න පුළුවන්, ලංකාවෙන් බදු සල්ලිවලින් (public funds) ඉගෙනගෙන වෙන රටවලට යන එක වැරදියි කියලා. ඒ අයත් එක්ක වාද කරන්න එපා. මොකද ඒ වෙලාවෙත් ඔබට අළුත් යමක් ඉගෙන ගන්න පුළුවන් වේවි. ඔබේ අනාගතය ඔබට කැමති විදියට සැලසුම් කරගන්න.
යම් කාල සීමාවකට පස්සේ, පාඨමාලාව සමඟ තිබුණු බැඳුම් සීමාවලින් (bonding period / service obligations) පස්සේ, ඔබ හිතනවා නම් වෙනත් රටක සෞඛ්‍ය සේවයට ඇතුළු වෙලා ඒ රටේම පදිංචි වෙනවා කියලා, ඒකටත් ඕනෑ තරම් අවස්ථා තියෙනවා. ඇත්ත, මේ කියන තරම් ලේසි නෑ. හැබැයි පුළුවන්.
ඒකටම හොඳම උත්තරේ මායි මගේ බිරින්දෑයි. ලොකු ලොකු දේවල් පස්සේ ගියේ නෑ. සැලසුමකට ගමන ආවා. දැන් ලෝකයේ දියුණුම රටක සේවාලාභීන් වෙනුවෙන් සෞඛ්‍ය සේවයේ වෙනම වෘත්තියක් ඔස්සේ සේවය ලබා දෙනවා.
ඔව්, ලංකාවේ ලියාපදිංචි හෙද නිලධාරීන් වුණු අපට ඕනෑම "කට්ටක්" කන්න පුළුවන්. ඒ හයිය අපේ පුහුණුව ඇතුළේදී ලැබෙනවා. ඒ නිසා මේ ඕනෑම රටකට ඇවිත් කැමති නම් නර්සිං කරන්න හරි, එහෙම නැත්නම් මං වගේ දරුවන් එක්කයි, කැලේ පනින්නයි වැඩි වෙලාවක් ඕන කරන කෙනෙක්ට තවත් සෞඛ්‍ය වෘත්තීන් වලට ඇතුළු වෙන්නටත් අපේ නර්සිං කෝස් එකම උදව් කරගන්න පුළුවන්.
ඒ ගැන කතා අවශ්‍ය නම් පස්සේ ලියන්නම්.
ඔන්න මං කිව්වේ නෑ, රට එන්නම ඕන කියලා, ලංකාව ඇතුලේ ඕන තරම් අවස්ථා තියෙනවා අධ්‍යාපන අවස්ථා, වෘත්තීය අවස්ථා දියුණූ කරගෙන ඉහළට යන්න, සාර්ථක වෘත්තීය සහ සාර්ථක පුද්ගලික ජීවිතයක් ගත කරන්නට අවස්ථා. ඔබේ අනාගතය තීරණය කළ යුත්තේ ඔබ, නමුත් ඒ සඳහා ඇති අවස්ථා පෙන්වා දීම අපෙත් යුතුකමක් කියල හිතුණ නිසා රට කතාව ලිව්වේ.
මං හිතන්නේ මේ හොඳටම ඇති දැන්. හැබැයි ලියන්න දේවල් නම් බෝමයි.
මේ කියවූ ඔබ හෙද පත්වීම් ලැබූ නවකයෙක් නම්, ඔබේ අනාගත වෘත්තීය සහ පුද්ගලික දියුණුව (professional and personal development) වෙනුවෙන්, ආදරයෙන්, මිත්‍රත්වයෙන් ඔබට මා සුබ පතනවා.🎉
අහන්න යමක් ඇත්නම් අහන්න. දන්න දෙයක් ඔබ වෙනුවෙන් කියන්නම්.
එන්න ඉස්සරහට. අපූරු අභියෝග බෝමයි. හැබැයි කවදා හරි ජීවිතේ රස කතාවක් වෙන්නේ මේ අපූරු අභියෝගයමයි. ඔබට මේ ලියන මා, මගේ ජීවිතේ "රස කතාවක්" ලියා නිමා කරමින් නිදහසේ සිටින්නෙක්. එහෙම කිව්වෙත් ඔබට හයියක් වනු පිණිසමයි.
මම, නිශාන්ත
ගාල්ල හෙද විදුහලේ
97-A කණ්ඩායමේ
අංක 46න්