2026/10/17

එදා රෑ තමයි රෑ... 🎬🎵

ලංකාවෙන් පිටත ජීවත්වන්නට ගත් තීරණය තුළ අපෙන් මගහැරෙන ප්‍රධානම රස දෙක වන්නේ, ලංකාවේ කෑම බීම වල රසය සහ ලංකාවේ කලා නිර්මාණවල (Artistic creations) ඇති අනන්‍ය රසය යැයි මට සිතේ. මෙයින් පළමුවැන්න කෙසේ හෝ ඊට ආසන්න තැනකට සකසාගෙන රස වින්දත්, ලංකාවේ කලා නිර්මාණ බිහිවූ අලුතම, එනම් "උණු උණුවේම" රස විඳීමේ (Real-time viewing experience) අවස්ථාව එදා ලංකාවේ ජීවත් වූ කාලයේ තරම් ඉක්මනින් අද ජීවත් වන රට තුළදී ලබාගැනීමට නොහැකි තරම්ය. අන්තර්ජාලය ඔස්සේ සජීවීව මුදාහැරි (Live stream) නිර්මාණයක් හැරුණු විට, අලුත් වේදිකා නාට්‍යයක හෝ අලුත් සිනමා නිර්මාණයක රස එලෙසම විඳින්නට යම් සීමා මායිම් (Limitations) තිබේ.

බොහෝ අවස්ථාවලදී යම් නිර්මාණයක් ලංකාවේ ප්‍රේක්ෂකයාට යොමුවී යම් කාලයකට පසුව මෙවැනි රටවලට එන නිසා, අර "උණු උණු රසය" ටිකක් අඩුවන බව දැනේ. ඊට ප්‍රධානම හේතුව අද පවතින සමාජ මාධ්‍ය සක්‍රියතාව (Social Media engagement) හේතුවෙන් ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ අදහස්, විචාර (Reviews), මෙන්ම සමහර වීඩියෝ දර්ශන පවා ෂෙයාර් (Share) වීමයි. එමගින් අදාළ සිනමා නිර්මාණය සැබෑ සිනමා ශාලාවකදී (Cinematic experience) "රස විඳින්නට" පෙර එහි අලුත් බව නැතිවී (Spoiler effect) ඉඳුල් වූ අවස්ථා එමටය.

එවන් පරිසරයක් තුළ, "එදා රෑ" සිනමා සිත්තම "උණු උණුවේම" රස විඳින්නට කැනඩාවේ කැල්ගරි (Calgary) නගරයේ සිටින අපට ලැබීම එක්තරා වාසනාවකි. ඒ වෙනුවෙන් සම්බන්ධීකරණය කළ සංවිධායකයින් ඇතුළු ඊට කැපවූ සියලු ශ්‍රී ලාංකිකයන්ට ස්තූතිවන්ත වෙමින් කැල්ගරියේ, ග්ලෝබල් සිනමා Globe Cinema ශාලාවේ මුල්ලකට වී, අපේ හොඳම කාලයේ අපේ දෙසවන් මෙන්ම හදවත් සුවපත් කළ, ප්‍රේමය මෙන්ම විරහවේ රස පවා තදින්ම දැනෙන්නට දුන් ගායක මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිතය සමඟ සිනමා තිරයක් ඔස්සේ ඒකාත්මික වන්නට දැරූ උත්සාහයක කතාවයි මේ.

අතීතාවර්ජනය සහ රංගනය (Nostalgia & Performance)

"එදා රෑ" ඇරඹෙන මුල් තත්පර කිහිපය තුළදීම ක්ෂණයකින් මගේ සිත අතීතයට අරන් ගියේය. එදා අප ආදරය කළ "කරු අයියා" ලෙසින් ගුවන් විදුලිය ඔස්සේ හඬ ඇසුණු, විජය, මිහිර මෙන්ම සරසවිය, නවයුගය පත්තර ඔස්සේ දැක තිබුණු කරුණාරත්න අබේසේකරයන් එලෙසින්ම තිරය මත දැකීම ඊට හේතුවයි. එතැන් සිට, රොෂාන් රඟපෑවාදැයි සැක හිතෙන තරමට "මිල්ටන්" තිරය මත දකිද්දී, වරින්වර එකතු වූ ගීත මගේ සිත ඒ සුන්දර අතීතයේම රඳවා තැබූවාක් මෙන් දැනුණි. කැල්ගරියේ පැරණි සිනමා ශාලාවක් වූ ග්ලෝබල් හි ශබ්ද පද්ධතිය මීට වඩා හොඳ මට්ටමක තිබුණා නම්, ඒ ගීත මීටත් වඩා රස විඳින්නට සහ දැනෙන්නට තිබුණු බව අප දෙදෙනාටම හිතුණි. ඒ තාක්ෂණික අඩුපාඩුව (Technical flaw) අතරේ වුවද, "මිල්ටන්" දකින්නට සහ ඒ හඬ අසන්නට සිනමා සිත්තම සමඟ තවත් කාලයක් රැඳී හිටියා.

තාක්ෂණික පැත්ත සහ නිර්මාණශීලී උත්සාහය (Technical Aspects & Execution)

සිනමා විචාරකයෙකු නොවන මට පවා දැනෙන යම් තාක්ෂණික අඩුපාඩු (Technical shortcomings), දෙබස් හිස් තැන් (Gaps in dialogue delivery) මෙන්ම හදිසියේ කළ කපා පෑස්සුම් (Abrupt editing) දැනුණත්, මිල්ටන්ගේ ඊළඟ ගී හඬ ඇසෙද්දී ඒ සියලු අඩුපාඩු අමතක කර දමන්නට අපට පුළුවන් වුනා. එතැනදී රොෂාන් රවීන්ද්‍ර "මිල්ටන්" බවට පත්වූ ආකාරය මනරම්ය. විශේෂයෙන්ම, මිල්ටන් වේදිකාවේ ගී ගයද්දී මුහුණේ රඳවාගත් සැබෑ හැඟීම් (Facial expressions) ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමට (Replicate) අපේ කාලයේ නිර්මාණශීලී කලාකරුවෙකු වන රොෂාන් රවීන්ද්‍ර ගත් උත්සාහය අගය කළ යුතුමය.

කතාවේ ගැලීම සහ වෙළඳ දැන්වීම් (Narrative Flow & Product Placement)

සිනමා කතාවේ ගලායාම (Narrative rhythm / Pacing) තුළ යම් බිඳවැටීම් වරින්වර දැනුණි. ඒ අස්සේ Lux සබන් වෙනුවෙන් කළ "අමු වෙළඳ දැන්වීම" හේතුවෙන්, පෙර කී බිඳවැටීම් නිසා යම් තරමකට බිඳවැටුනු මනෝභාවය (Spoiled mood) තවත් රිදෙන්නටම පෑරුණු බව කිව යුතුමය. ඕනෑම සිනමා නිර්මාණයක යම් වෙළඳ වටිනාකමක් (Commercial value) හෝ ප්‍රචාරණයක් (Sponsorship/Promotion) තිබිය හැකි නමුත් මේ තරම් "අමු අමුවේ" සබන් ගාන තරම් දුර්වල ලෙස වෙළඳ දැන්වීමක් ඇතුළු කිරීම, සිනමා නිර්මාණය රස විඳින්නට උත්සාහ කළ ප්‍රේක්ෂකයාට කළ අසාධාරණයකි. අදාළ සිනමා සම්මාන උළෙල තුළ එම වෙළඳනාමය ප්‍රදර්ශනය වීම ගැටලුවක් නැත; නමුත් චිත්‍රපටය මැදදී අර විදියට "සබන් ගාන්නට" යාම නම් නොගැලපේ යැයි මට හිතේ.

ඇඳුම්, වේශ නිරූපණය සහ නර්තන සැලසුම් (Costume, Makeup & Choreography)

සිනමා නිර්මාණයේ වේශ නිරූපණ ශිල්පියාගේ (Makeup artist) මෙන්ම ඇඳුම් නිර්මාණ ශිල්පියාගේද (Costumes designer) දක්ෂතාවයන් නිසා නැවතත් 70 සහ 80 දශකවල ජීවිතයට ගමන් කිරීමට හැකිවීම ගැන සතුටු විය යුතුය. නමුත් නර්තන සැලසුම් (Choreography) ගැන මීට වඩා සිතුවා නම් "මිල්ටන්" මීටත් වඩා අපට දැනෙන්නට තිබුණි. සමහර නර්තන අංග, ඊට භාවිත කළ කැමරා කෝණ (Camera angles) සහ සංස්කරණය (Editing) තුළ යම් අඩුවක් දැනුණි. සමහර ගීතවල නර්තනයන් "අලුතින් බලෙන් ඇලවූ" (Forced insertions) ස්වභාවයක් දැනුණේ, මීට මාස කිහිපයකට පෙර බලන ලද "ජැක්සන්" (Michael) චිත්‍රපටය තුළ නර්තනය, ගීතය සහ කාලය එකිනෙක සමබර කර (Balanced choreography and pacing) තිබූ අපූර්වත්වය සිතේ තිබුණු බැවිනි.

සංගීතය සහ රංගනය (Music & Performances)

සමස්ත නිර්මාණය තුළ වූ සංගීතය, ශබ්ද පරිපාලනය (Sound design) සහ ගායනා වල රසය ප්‍රේක්ෂකයාට උපරිම සාධාරණයක් ඉටුකර ඇත. මෙම නිර්මාණය වඩාත් නවීන ශබ්ද පද්ධතියක් (Modern Surround Sound System) සහිත සිනමා ශාලාවකදී රස විඳින, ගීතයට ආදරය කරන අයෙකු මටත් වඩා ඉහළ ගී රසයක් විඳිනු ඇතැයි විශ්වාසයි. රංගනය තුළදී රොෂාන් රවීන්ද්‍ර මෙන්ම, නෙත්මි රොෂෙල් සහ සෙනාලි ෆොන්සේකා ගේ හැකියාව සහ චරිත සඳහා ලබා දුන් දායකත්වය උපරිම විය. අනෙක් චරිත, විශේෂයෙන්ම මිල්ටන්ගේ මිතුරන් ලෙස රඟපෑ කණ්ඩායමද හොඳ උත්සාහයක් දරා තිබුණි.

අවසාන අදහස (Conclusion & Verdict)

අවසානයේ, පැය දෙකයි විනාඩි හත-අටක් වන තැන, සිනමාව තුළ බහුලව දැකිය හැකි පොදු ආකෘතියක් (Common cinematic trope) ලෙස වුවද, "එදා රෑ" තුළ වූ යම් නිර්මාණශීලී විනාඩි කිහිපයක දර්ශනයක් මගින් නැගුණු කඳුළු බිංදු පිසදමමින් අප දෙදෙනා ග්ලෝබල් සිනමා ශාලාවෙන් එළියට ආවේ, එදා හදවතට දැනුණු, කවදාවත් හදවතින් නොමැකෙන මිල්ටන්ගේ අපූරු හඬින්, මිල්ටන්ගෙන්ම සින්දු 23ක්ම ඔහුගේම සජීවී ප්‍රසංගයකදී (Live concert experience) ඇසුවා සේ දැනුණු අප්‍රමාණ සතුටක් සිතේ රඳවාගෙනය.

ලංකාවේ biopic සිනමා නිර්මාණයක් තුල, සිනමා තාක්ෂණික පැත්තෙන් "එල්විස්" (Elvis), "රොකට්මෑන්" (Rocketman), "බොහීමියන් රැප්සඩි" (Bohemian Rhapsody) හෝ "ජැක්සන්" (Michael) තරම් ඉහළ මට්ටමක් බලාපොරොත්තු නොවූවත්, ලංකාවේ අපට අපේ සංගීත ලෝකය තුළ මිල්ටන්ගේ ඇති වටිනාකම නැවත විඳගන්නට පැය දෙකයි විනාඩි විස්සක් දෙන්නට "එදා රෑ" සමත්වී ඇති බව නම්, ලිපිය අවසානයේ හෝ නොකියාම බැරිය.