2026/09/04

අනේ! දරුවන් බිඳින්න එපා!!

"කොහාමද ඉතින් අළුත් ජීවිතේ?"

"කොහාමද ඉතින් අළුත් ජීවිතේ? "

"අවුලක් නෑ අයියා, වැඩ වැඩ වැඩ තමා. වයිෆ්ටත් ජොබ් එකක් සෙට් වුනානේ. ටිකක් බිසි වුනා"

"ඉක්මණටම රස්සාවක් ලැබුණූ එක කොයිතරම් හොඳද? ඉතින් කොහොමද පුතා එහෙම අපි එයාව අන්තිමට දැක්කේ දෙකේ පන්තියේ වගේනේ. ෆොටෝස් වලින් නම් දකිනවා"

"ඔය ඉන්නේ, දැන් නම් කාමරේ, අනේ මන්ද කොයිවෙලාවෙත් අස්සමයි. අපි එක්කවත් වැඩි කතාවක් නෑ. යාළුවෙක් එක්කවත් කතා කරනවද මන්ද?, පුතා...මේ ගාල්ලේ අංකල් ඇවිත්. එන්න මෙහෙට"

ටික වෙලාවක් ගියා. උස මහත ලොකු ඉලංදාරියෙක් කාමරේකින් ආව.

"එන්න මෙහෙට. මෙතැනින් වාඩි වෙන්න, කතා කරන්න අංකල් එක්ක"

කොළුව බිම බලාගත්වනම ආව, වාඩි වුනා , බිම බලාගෙනම.

"කොහාමද පුතේ, ඔයාට මාව මතක ඇති කියල හිතනවා, අපි ඒ දවස් වල කොටුවේ යන්නේ නාන්න. අක්ක, නංගි ආන්ටි හැමෝම ඔයාව මතක් කරනවා"

"හ්ම්.."

"කොහාමද ඉස්කෝලේ එහෙම, අළුත් යාළුවෝ ඇතිනේ?"

"වරදක් නෑ අංකල් , ටිකක් ඉන්නවා"

"මේ, ඔයාගේ හොඳ යාළුව සමී මතකද, එයාල ළඟදි ඔස්ට්‍රේලියා ගියා. යන්න කිට්ටුව දවසක මාත් එක්ක කතා කරත්දි පන්තියේ යාළුවෝ ඔක්කොමල ගැන කතා කළා"

"ඇත්තද"

පොඩි එකා තනි වචනෙන්ම උත්තරේ දෙනවා. වෙනද ගෙදර ආවම නැවතිල්ලක් නැතිව කියවන කොලුව , දැන් ටිකක් ලොකු වුනාට චර්‍යාව නම් හුඟක් වෙනස් වෙලා.

විනාඩි දෙක තුනක කතාවකින් පස්සේ කොලුවා කාමරේට වැදුනා.

මාත්, මගේ මිත්‍රයත් ආගිය තැන් කතා කරල පැය කිහිපයක් ගත කරල ගෙද ආව. ඒ කතාබහ ඇතුලෙත් දරුවගේ වෙනස්වීම් ගැන ඔහු අවස්ථා කීපෙකදි කතා කළා. වීමට ඇති අවස්ථා, තත්ත්වයන් සහ ගත හැකි උදව් සහ ඒ උදව් ගන්නා ආකාරයන් ගැනත් තොරතුරු බෙදා ගන්නට ඒ කතාබහ තුල පුළුවන් වුනා..



මේ එක සිදුවීමක් පමණයි

මේ එක සිදුවීමක් පමණයි. පහුගිය කාළය පුරාවට ලංකාවේ සිට පැමිණි හිතවතුන් කිහිප දෙනෙක් හමුවීමේදි මේ වෙනස් වීම දකින්නට ලැබුණා.

ලංකාවේ ඉන්න කාළේ,හොඳ ඉදිරිපත් වීමක් ඇති, සතුටින් පිරි සිටි, කියවිල්ලක් නැතිව හුරුබුහුටිකමට කෙළිදෙලෙන් හිටි දරුවන්, මේ අළුත් රටට ඇවිත් ටික කාළයක් යත්දි සම්පුර්ණ වෙනස් චර්‍යාවක් පෙන්වන්නට පටන් අරන් තිබුණා.

අධ්‍යාපන කටයුතු හොඳින් කළත්, පෞරුෂය මට්ටමින්, ඉදිරිපත් වීම්, සම්බන්ධතා පවත්වා ගැනීම නොහැකියාව, කළකිරුණු ස්වභාවය, පොදුවේ, සාමාන්‍ය එම වයසේ දරුවෙක් තුල තිබිය යුතු සහ පෙර තිබුණු චර්‍යාත්මක ලක්ෂණ වල ලොකු වෙනස්වීමක් දකින්නට පුළුවන් වුනා.

කෙටියන්ම කිව්වොත් බිඳුණු පෞරුෂයන් සහිත දරුවන් බවට පත්වෙමින් තිබෙනවාදෝයැයි සැක කරන්නට පුළුවන් තරමේ හැසිරීම දකින්නට ලැබුණා.

(මේ ගැන දවසක් තවත් මිතුරෙක් එක්ක කතා කරත්දි කී දෙයක් මේ වෙලාවෙ මතක් වුනා "වැඩක් නෑ අයියා ඔය ගැන කියල, ලංකාවේ හොඳට හිටපු කොල්ලෝ මෙහේ ඇවිත් ංංංංංංං වෙලා වගේ, ආසාවට හොඳ කොල්ලෙක් කියන්න පුළුවන් පුතෙක් දැක්කේ නෑ කාළෙකින්" (මේ මගේ මිත්‍රයාගේ අදහස මිස, මගේ පුද්ගලික අදහසක් නොවුනත්, එතැන පොඩි කතාවක් තියෙන බව නම් ඇත්තක්.)

දරුවන්ගේ වෙනස්වීමට බලපාන හේතු

මේ සඳහා හේතු බොහොමයක් ඇති. වයසින් වැඩිවීමත් එක්ක සිදුවන වෙනස්වීම්, රට, සංස්කෘතිය වෙනස්වීම තුල සිදුවන බලපෑම්, හිටපු හොඳම යාළුවන්ගෙන් වෙන්වීම්, අළුත් රටක් තුල , පැවති නිදහස නැතිවුනා වැනි හැඟීමක් ඇතිවීමේ හැකියාව සහ ඒ තුල විය හැකි පීඩනයන්.

ඔය වෙග් තවත් හේතු ගණනාවක් ඇති.

නමුත්, මා මේ සිදුවීම් එක්ක අදාල දෙමාපියන් , සහ නිවස තුල පැවැත්ම ගැන කළ සරළ විමසීම් ඔස්සේ ලැබුණූ "පොදු ලක්ෂණ" කිහිපයක් හඳුනගන්න පුළුවන් වුනා.

මම මෙයින් කියන්නේ නෑ, මේ හේතුමයි දරුවන්ගේ වෙනසට හේතුව කියල. නමුත් මේ පොදු ලක්ෂණ මට දකින්න ලැබුණා.

මොනවද ඒ?

1) සාම්ප්‍රදායික සංස්කෘතික හැසිරීම්

අළුත් රට තුල, අළුත් නිවස තුල වෙනදා තිබුණාටත් වඩා සාම්ප්‍රදායික සංස්කෘතික හැසිරීම් පවත්වා ගන්නට "පීඩනයක් දෙමින්" උත්සාහ කරමින් තිබුණා.

නිවස තුල පවා, සිංහලෙන්ම (එහෙම නැත්නම් තමන්ගේ මව් බසින්ම) කතා කරන්නට බලකීරීම්, දෙමාපියන්ගේ ආගමික ඇදහිලි බලෙන් දරුවා මත පටවා තැබීම්, තර්කානුකූල විමසීම් කරන්නට කැමති දරුවන්ට ඒ අවස්ථාව "තාත්ගේ හෝ අම්මාගේ සැර" යොදා ගනිමින් වසා , හිර කර, දෙමාපියන් පිළිගන්නා ආගමික,සංස්කෘතික මතයෙන් පිට කිසිවක් නැතැයි කියන තැන "බලෙන්" හිරකර තබා ගන්නා පවුල් පරිසරයක් තිබුණා.

2) මිතුරන් තෝරා දීම

තවත් තැනකදි ,දරුවා ආශ්‍රය කළ යුතු මිතුරන් සහ "සම්බන්ධතා නොපැවැත්විය යුතු ළමයින්" වෙන්කර දෙමාපියන් විසින් තීරණය කරදී තිබුණා.

(උසස් පාසල් වයසේ දරුවෙක් මේ අත්දැකීමට මුහුණූ දුන්නේ)

3) විෂයබාහිර ක්‍රියාකාරකම් සීමා කිරීම

තවත් අවස්ථාවකදි, තම දරුවාට , පාසල විසින් සංවිධානය කරන විෂයබාහරි වැඩසටහන්, අතිරේක ක්‍රියාකාරකම්, විශේෂයෙන්ම රාත්‍රී වැඩමුළු , පරිසර චාරිකා, වැනි විෂයබාහිර සමාජීය ක්‍රියාකාරකම් වලට සම්බන්ධවීම තහනම් කර තිබුණේ "ඕවට ගියාම ළමයි නරක් වෙනවා" කියන ලේබලයත් සහිතව.

4) දරුවාගේ අනාගතය බලෙන් තීරණය කිරීම

ඊටත් වඩා කණගාටුදායක අවස්ථා කිහිපයක් අපට අත්දකින්නට ලැබුණා.

ඒ දරුවා ------- කෙනෙක් විය යුතුමය, දෙමාපියන් මේ "දුක් විඳින්නේ" එම තත්ත්වට දරුවා ගෙන ඒමටය කියන "බලපෑම" යොමු කර තිබුණා.

සමහර දරුවන්ගේ කාමර වල බිත්ති වල "මම අනාගතයේ ---------- වෙමි" කියල පෝස්ටර් අලවන තරමට දෙමාපියන් යොමු වෙලා තිබුණා.

(මම කියන්නේ නෑ දරුවට අනාගත සැලසුමක් ගැන අදහස් දීම වරදක් කියල ,නමුත් ගැටළු වෙන්නේ දරුවාට ඒ ගැන අදහසක්වත් , කැමැත්තක්වත් නැති තැන බලෙන් කරන පැටවීමයි)

මේ සිදුවීමේ අවාසනාවන්තම තත්ත්වක සිදුවීමක් වුනේ, චිත්‍රකරණය, නිර්මාණකරණය තුල සහජ හැකියාවක් තිබුණු , ඒ වෙනුවෙන්ම ආසාව තිබුණූ එක්තරා දියණියක්, තාත්තාගේ "කැමැත්ත" ඉටු කිරීම වෙනුවෙන් අම්මාගේ බලෑම නිසා වෙනස්ම විෂය ක්ෂේත්‍රයක් සඳහා විශ්ව විද්‍යාලගත වූ අවස්ථාවක්.

"මං ආසම ඩිසයින් පැත්තට යන්න අංකල්, ඒත් කොහෙද මේ අම්මට ඕන මාව ---------- කෙනෙක් කරන්නනේ. මට නං දැන් එපා වෙලා " විශ්ව විද්‍යාලයේ පළමු වසර අවසාන කාළයේ දවසක සිදුවූ හමුවීමකදි කෙල්ල මාත් එක්ක කිව්වා.

ඊට වසර දෙකකට පස්සේ, ඒ කියන්නේ උපාධිය අවසන් කරන්නට වසරක් තියෙත්දි කෙල්ලට අධ්‍යාපනය "තිත්ත වෙනවා" උපාධීය අතැහැර දාල නගරයේ තියෙන ග්‍රොසරි කඩේක කැෂීයර් කෙනෙක් විදියට අනාගතය තෝරා ගන්නවා.

මම කියන්නේ නෑ, ඒ රැකියාවේ වරදක්, නමුත් ඒ දරුවාට , දරුවාගේ කැමැත්ත සහ ලෝකයේ අවශ්‍යතාවය අනුව මග තෝරා ගන්නට දෙමාපියන් අවස්ථාව දුන්නා නම් අද ඇය සමහර විය ජාත්‍යන්තරව මට්ටමේ නිර්මාණශිල්පිනියක් , කළාකාරියක් වෙලා.

5) අධික සීමා සහ පාලනය

මේ අතරේ බොහෝ අවස්ථාවල, අනෙක් දරුවන් නරක නිසා, මගේ දරුවා නරක් වීම වලක්වා ගන්නට විවිධාකාර බලපෑම් , සීමා බන්ධන යොදාගත් අවස්ථා දකින්නට ලැබුණා.

ඒ අතරේ ,මත්ද්‍රව්‍ය, ආදර සම්බන්ධතා, ලිංගික හැසිරීම්, මෝස්තර, ඇඳුම් පැළදුම් වගේ මාතෘකා ගැන "දරුණූ, ආදි කල්පිත" නීති යොදා තිබුණූ අවස්ථාත් දකින්නට ලැබුණා.

සෙල්ලම් කරන්නට යාළුවන් සමඟ පිට්ටනියට යත්දි, ඒ පස්සෙන් යන අම්මලාත්, ටියුෂන් ක්ලාස් එක ළඟම නැවතී ඉන්න තාත්තාත් ඔය අතරේ දකින්නට ලැබුණා.

බිඳුණු පෞරුෂයන් සහිත දරුවන්?

මේ බොහෝ අවස්ථාවල දරුවා තුල , දරුණූ ලෙස පෞරුෂය කඩා වැටීමක් දකින්නට ලැබුණා.

වෙනදා සක්‍රියව , හොඳ ඉදිරිපත්වීමක් සහිත, හොඳ සන්නිවේදන හැකියාවක්, හොඳ සම්බන්ධා පවත්වාගැනීමේ හැකියාවක් තිබුණූ දරුවන් , තමන්ගේ වටිනාකම ගැනවත් හැඟීමක් නැති, කිසිදු සතුටු හැසරීමක් නොදක්වන, ඉදිරිපත් වීමක් නැති කඩා වැටුනු, තනි වුනු, සමාජයෙන් වෙන්වුනු චර්‍යාවන් ඔවුන් තුල දකින්නට ලැබුණා.

ඇත්තම කිව්වොත් , දරුවන්ට විවෘත වන්නට , ඔවුන්ගේ අනාගත අවස්ථා ගැන විමසා දැනුවත්වන්නට, අද ලෝකය සමඟ එක්වන්නට වැඩි අවස්ථෘවක් ඇති මේ රටවල දී, දරුවා ආරක්ෂා කරන නියාවෙන් ,"දරුවා තවත් වසා දමන්නට" කරන උත්සාහයන් මම නම් දකින්නේ ලොකු හානියක් විදියට.

මොකද , මේ රටවල පොත , සහතිකය මොනතරම් ලස්සන වුනත්, ඉදිරිපත්වීමේ හැකියාව, පෞරුෂය , ගැටළු වලට මුහුණ දීමේ සහ විසඳා ගැනීමේ හැකියාව වගේ හැකියාවන් වලට ලොකු වටිනාකමක් ලැබෙනවා.

මේ සටහන ලියන්නේ ඇයි?

මෙන්න මේ නිසා, ලංකාවෙන් පිට වෙලා "දරුවන් සමඟ" , විශේෂයෙන්ම ලංකාව තුල යම් කාළයක් අධ්‍යාපනය ලැබූ, සමාජගත වූ දරුවන් සමඟ තවත් රටක පදිංචියට එන දෙමාපියන්ට යමක් සටහන් කරන්න හිතුවා.

ඒ , ළමා අධ්‍යාපන විශේෂඥයෙක් ලෙස නොවෙයි. මගේ දරුවා ගැන වගේම අපේ රටෙන් ආ තවත් දරුවෙකුත් මේ රටතුල, ලෝකය තුල සාර්ථක මිනිසෙක් විය යුතුය කියල අපේක්ෂාව සහිතව "විමසිලිමත්වන තාත්ත කෙනෙක් හැටියට".

ඒ නිසා මේ ඉදිරිපත් කරන කරුණූ වලට තවත් එක්වීම් විය යුතුව ඇති, එකඟවීම් නොවීම් ඇති.

ඒ නිසාම, ඔබට ආරාධනා කරනවා ඒ එක්වීම් , එකඟවීම් නොවීම් ගැන කතා කරන්න එන්න කියල.

ළමා මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව වගේ විෂයානුබද්ධ ප්‍රවීණයන් ඉන්නවා නම් එන්න ඔබේ දැනුමත් එකතු කරන්න.

මේ සියල්ලේ එකතුව , තවත් දෙමාපිය පවුලකට තම දරුවා අළුත් රට තුල සාර්ථක කරගන්නට උදව්වක් වේවි.

දරුවන් සමඟ අළුත් රටකට ආවා නම්

දරුවන් එක්කම , අළුත් රටකට ආවා නම් , මෙන්න මේ කරුණූ ගැන "වෙනදාට වඩා " සිතා බලන්න, ක්‍රියාත්මක වෙන්න.

1) Open communication

ලංකාවෙදි, තාත්ත එහෙම නැත්නම් අම්ම ටිකක් සැර, එහෙමත් නැත්නම් වැඩ නිසා දරුවන් එක්ක කතා බහ කරන්න වෙලාවක් නැති වුනත්, අළුත් රටේදි "මොන තරම් කළබලකාරී වුනත්" දරුවා වෙනුවෙන් ආදරණීය ලෙස කතාබහකට එක්වන්නට කාළය වෙන් කර ගත යුතුමයි.

ඒ කතාබහ විවෘත, දරුවාට ලං වූ, දරුවාගේ දැනුම මට්මටම තුල පිළිගත හැකි පැහැදිලි කිරීම් සහිත සන්නිවේදනයක් විය යුතුමයි.

වෙනත් රටක "පොසිල වූ සංස්කෘතික" සීමා තුල කතා බහ කරගෙන ගියත්, අළුත් රට තුලදී, දරුවාට අළුත් රටේ , අළුත් සංස්කෘතික නිදහස් වීම් තුල කතාබහ පවත්වාගෙන යන්නටම ඕන.

විශේෂයෙන්ම අපේ රටවල "හංගාගත්" මාතෘකා වන යොවුන් ආදරය, ලිංගිකත්වය, ලිංගික කැමැත්ත, අන්තර්ජාල තුල ගත හැකි වාසි වගේම විය හැකි ඇබ්බැහිවීම් , මත් ද්‍රව්‍යය, වගේ මාතෘකා වගේම දරුවාගේ හොඳම යාළුවන් ගැන, පන්තියේ සිදුවන දේ ගැන, දරුවාගේ අනාගත බලාපොරොත්තු ගැන නිදහස්ව, බියකින් තොරව කතා කළ හැකි පරිසරයක් නිවස තුල ඇති කිරීම දෙමාපියන්ගේ ලොකුම වගකීමක්.

ඇත්ත, ලංකාවට වඩා මේ රටවල දෙමාපියන් කාර්‍ය බහුලයි, ලොකු පීඩනයක ඉන්නවා වෙන්නත් පුළුවන්. නමුත් හැමදාම සුළු වේලාවක් හෝ දරුවා/දරුවන් වෙනුවෙන් යොදා ගන්න.

ඒ ආදරය "දරුවාට , දැනෙන්න දෙන්න". දෙමාපිය ගරුත්වය තියාගෙන, දරුවාට හොඳ මිත්‍රයෙක් වෙන්න.

2) Cultural exploration

මේ අළුත් රටක්, අළුත් සංස්කෘතියක්.

ලංකාවේ අත්දැකීම් ලබමින් සිට අළුත් රටට ආ දරුවාට , අළුත් සංස්කෘතිය "බිල්ලෙක්" ලෙස බය නොකර, ඒ අළුත් අත්දැකීම් විදින්නට අවස්ථාව දෙන්න.

විශේෂයෙන්ම බහු සංස්කෘතිත්වයට වැඩි වටිනාකමක්, පිළිගැනීමක් දෙන රටකදි, දරුවාට අවස්ථාව දෙන්න අනෙක් සංස්කෘතින් වල රස විඳින්න, ඒවාට ලබා දිය යුතු ගරුත්වය ලබා දෙමින්, එම සමාජය සමඟ එක්ව රැදී සිටින්නට.

ඒ සඳහා දරුවාට පාසල තුල සිටින විවිධ සංස්කෘතින් සහිත, විවිධ සම්භවයන් සහිත වෙනස් ජනවර්ග වල දරුවන්, මිතුරන් ආශ්‍රයට අවස්ථාව දෙන්න.

"මේ රටේ අය හොඳ නෑ" ලෙස වැරදි ලේබල් දරුවාගේ මොළය තුල ඇලවීමම, අපරාධයක් විදියටයි මට දැනෙන්නේ.

ඒ වෙනුවෙන් නගරයේ, ප්‍රදේශයේ තිබෙන වෙනස් සංස්කෘතික වැඩසටහන්, උත්සව ආදිය සඳහා එක්වෙන්න.

දරුවට එම වැඩසටහන් සමඟ , මිශ්‍ර සංස්කෘතීන් එක්ක වැඩකටයුතු කරන්න, අධ්‍යාපනය ලබන්න අවස්ථාව දෙන්න.

වැදගත්ම දේ, ලංකාව තුල සිටින කාළයේ සමහර ජනවර්ග වලට "ලේබල් ඇලවූ නම්" ඒ වරද නැවත දරුවන් ඉදිරියේදී අළුත් රටේදි නම් කරන්නට එපා.

මක්නිසාද, එදා ලේබල් ගත කළ ජනවර්ග වල "සුන්දර මිනිසුන්", දරුවන් මේ රට තුල ඔබේ දරුවාගේ හොඳම මිතුරා වෙන්න පුළුවන්.

3) Language learning

--- තමයි අපේ මව්බස , ඒකනම් අමතක නොකළ යුතුමැයි කියමින් "බලෙන්" හිර කරන්නට යනවාට වඩා, දරුවාට නිදහසේ කැමති හුරු බසකින් කතා කරන්නට "නිදහස" ලබා දීමත් නිවස තුලදී , අවශ්‍ය නම් දෙමාපියන් තම මවු බස භාවිත කරමින් කතා බහේ යෙදීම තුල එම බාසාව දරුවන්ගෙන් සම්පුර්ණයෙන්ම ඉවත්වීමක් නොවීමකට නොදැනෙන ලෙස කටයුතු කරන්න පුළුවන්.

මවුබස අමතක කළ යුතු නැහැ, නමුත් කාළයත් ගත වීමත් සමඟ , අළුත් පරිසරය තුල එදා මව්බස භාවිත කළ හුරුවටම දරුවා කතා නොකරන්නට ඉඩ තිබෙනවා.

එය "වරදක්" ලෙස දකින්නට එය "හානියක් " ලෙස දකින්නටත් අවශ්‍ය නැහැ.

සංස්කෘතික වූ මිනිසෙක්ට භාෂාව මූලිකව වැදගත් වන්නේ සන්නිවේදනය සඳහායි, එහෙම නැතිව ලේබලයක් ගසා ගැනීමට නොවේ.

මේ අතරේ, හැකියාවක් ඇත්නම් තවත් ජාත්‍යන්තරව වටිනාකමක් ඇති භාෂාවන්, භාවිත කිරීමට අවස්ථාව ලබා දෙන්න.

එම භාෂාමය හැකියාවන් තම මිතුරු කණ්ඩායම් සමඟ එක්ව රැදී සිටිමට දරුවාට ලොකු උදව්වක් වෙනවා.

4) Encourage friendships

දරුවාට මිතුරන් සමඟ එක්වන්නට , අළුත් මිතුරන් හඳුනාගන්නට දිරිමත් කරන්න, අවස්ථාවන් ලබා දෙන්න.

එය ගැහැණු, පිරිමි ලෙස හෝ ආගම, ජනවර්ගය ලෙස බෙදා වෙන්කරන්නට බලපෑම් කරන්නට එපා.

විවෘත සංස්කෘතික පරිසරයකදි වටිනාකම ඇත්තේ "මිනිසා" කියන වටිනාකමට විතරයි, විශේෂයෙන්ම දරුවනට තවත් යාළුවෙක් මිසක, මේ වර්ගයේ, අර ජාතියේ , මේ ආගමේ ලෙස ලේබලයක වන්නේ නැහැ.

ඒ වගේම ඒ වගේ ලේබල් අලවා, වෙන්කිරීම තුල සමාජයෙන් , මිතුරු කණ්ඩායමෙන් "වෙන්වන්නේ ඔබේ දරුවා වෙන්නට පුළුවන්".

ලංකාවේ පාසල් පද්ධිය තුල දරුවන්ට වඩා ආර්ථිකව, ගෝලීය සංස්කෘතිය තුල දියුණූ රටවල දරුවන් ආදරය, ප්‍රේමය, මිත්‍රත්වය, ලිංගික කැමැත්ත, කැමැත්ත දීම හෝ නොදීම, බලහත්කාරය වගේ දේ ගැන ප්‍රමාණාත්මකව දැනුවත්.

එවන් අවස්ථාවක දෙමාපියන් හොඳ සන්නිවේදනයක් පවත්වා ගන්නවා නම්, හොඳ මිත්‍රශීලි විමසිලිමත් බවක් පවත්වා ගන්නවා නම්, දෙමාපියන් ,දරුවා සහ මිතුරන්ගේ සමාජය තුල ඒ අවට පරිසරය තුල සක්‍රිය පුරවැසියන් ලෙස කටයුතු කරනවා නම් , දරුවාට ගැටළුවක් වීමට ඇති අවස්ථාව ඉතා සීමිතයි.

5) Maintain connections

අළුත් රටකට ආවත්, මවුරට ගැන, සංස්කෘතිය ගැන, හිතවතුන් නෑදෑයන් ගැන දරුවාට සම්බන්ධ වෙන්නට අවස්ථාව දෙන්න.

එය අත්තම්මා සීයා සමඟ වීඩියෝ ඇමතුමක් ඔස්සේ හෝ , අළුත් අවුරුදු සජීවී වැඩසටහනක් දරුවා සමඟ නැරඹීම වෙන්නට පුළුවන්.

ඒ අතරේ, මව් සංස්කෘතිය තුල ආවේණික වූ රස,ගුණ මතුවන "ලංකාවේ කෑමවේලක්" ඔස්සේ දරුවාට වෙනස් රසයක් වගේම නැවත මතක් කිරීමක් එක් කරන්නටත් කටයුතු කිරීම තුල , දරුවා සංස්කෘතීන් දෙකක් තුල "අතරමං වූ ඒලියන් කෙනෙක්වීම" වැලකෙනවා කියල මට හිතෙනවා.

6) Support their education

දෙමාපියන්ගේ වගකීමක් දරුවා ගේ අනාගතය වෙනුවෙන් උදව්වීම.

එතැනදී දරුවාගේ අධ්‍යාපනය , අනාගත තෝරා ගැනීම වගේ තැන්වලදි ලොකු වගකීමක් දෙමාපියන් සතු වෙනවා.

නමුත් එයින් කියවෙන්නේ නෑ "අම්මට තාත්තට ඕනම දේ" දරුවා විසින් ඉටු කළ යුතු යැයි.

පාසල් විෂය කටයුතු වලදී දෙමාපියන්ට උදව් වෙන්න පුළුවන් වේවි.

විෂයන් තෝරා ගැනීම් වලදි, දරුවා සමඟ සාකච්ඡා කරන එක හරිම වැදගත්, මොකද මේ රටවල අධ්‍යාපන ක්‍රමය දෙමාපිය අපි ඉගෙන ගත් රටාවලට වඩා වෙනස්.

ඒ නිසා දරුවාගේ දැනුවත් බවට විශ්වාස කරමින්, ඊට පිළිගැනීමක් දෙමින් දරුවා සමඟ "එක්ව එම තෝරා ගැනීම් කරනවා " නම් විය හැකි අවාසි අඩු කරන්නට පුළුවන්.

සමහර විට පාසලේ ගුරුවරයාගෙන් උදව් ගන්නට සිදුවන අවස්ථා ඇති. ඒ උදව් ගන්න.

කෙසේ වෙතත්, දරුවාගේ අධ්‍යාපනය උදව් කිරීම යනු "කිසිදු හේතුවක් නොමැතිව, දරුවාගේ කැමැත්තක් නැතිව" බලෙන් ටියුෂන් තුල හිර කිරීම නොවන බව නම් කියන්නටම ඕන.

සමහර විට, සමහර විෂය සඳහා අමතර උදව් ඕන වේවි, එතැනදි පාසලේ ගුරුවරයාගේ අමතර උදව් ලබා ගන්නට පුළුවන් නම් එය ලබා ගැනීමත් , එසේ අපහසුනම් අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැකි පහසුකම් හෝ මුදලට ඉගැන්වීම් කරන කෙනෙකුගේ උදව්ව ලබා ගැනීමත් කළ හැකිවේවි.

7) Foster a sense of belonging

දරුවා ජීවත්වන පරිසරයට, නගරය තමන්ගේ ලෙස හැඟීමට, තමන්ට වටිනාකමක් දෙන ප්‍රදේශයක් බව දරුවාට හැඟීමට අවස්ථාව ලබා දෙන්න.

ඒ සඳහා දරුවා නිවස තුල "හිර කර පරිස්සම් කරනවාට වඩා" , ගමේ, නගරයේ ක්‍රියාකාරම් සමඟ එක්වන්නට දිරි දෙන්න.

නගරයේ උත්සවයක්, ක්‍රීඩා තරඟයක් සමඟ එක් කරන්න, කඩේට බඩු ගේනන යාමේද වුනත් දරුවාට එක්වන්නට අවස්ථාව දෙන්න, ඒ ගමනේදි හමුවන හඳුනන, නොහඳුනන මිතුරන් සමඟ වාචික හෝ නිර්වාචික සන්නිවේදනය පවත්වා ගනිමින්, බැඳීම් ඇති කරගන්නා ආකාරය, එකිනෙකාට පිළිගැනීම් ලබා දෙන ආකාරය දෙමාපියන්ගේ ක්‍රියාකාරකම් ඔස්සේ ඉගෙනීමට අවස්ථාව ලබා දෙන්න .හැකියාවක් ඇත්නම්, ගමේ, නගරයේ සංවිධාන වල, ආයතන වල සවේච්ඡා සේවයට එක්වීමට අවස්ථාව දෙමින්, තමන් ගම/නගරය තුල තමන්ට වටිනාකමක් ඇති අයෙක් බවට පත්වීමට උදව් කරන්න.

8) Be patient and empathetic

මේ සියළු වෙනස්කම්, වෙනස්වීම් තුල දරුවාගේ යම් වෙනස්වීමක් දැක්කොත් දුටු සැණින් කුලප්පු වී, දරුවා නාස්ති වී ඇති ලෙස කළබල නොවී ඉවසීමෙන් , සිදුවූ වෙනස ගැන විමසීමට තරම් ගෞරවාන්විත දෙමාපියභූමිකාවකට දෙමාපියන් හුරුවිය යුතුමය.

එය, පන්තියේදී යමක් අළුත් භාෂාවෙන් පැහැදිලි කරදීමට නොහැකිවීම නිසා, තමන්ටම දුක හිතුනු දරුවෙක්ගේ කණගාටුවේ සිට, යාළුවන් අතර පොදු වචනයක් , (නමුත් පැවති සංස්කෘති රටාව තුල නරක වචනයක් ) නිවස තුලදී කියවුනු අවස්ථාවක ඇතිවන තිගැස්ම වන්නටත් පුළුවන්.

මේ ආකාරයේ විවධ වෙනස්වීම්, අළුත් හැසිරීම් දරුවන් තුලින් අපේක්ෂා කළ හැකි අතර, එවන් අවස්ථාවකදි "කුලප්පු නොවී, විමසිලිමත්වන" දෙමාපියෙකුගේ වටිනාකම ඔබ තේරුම් ගත යුතුමය.

අවසානයේ මතක තබා ගත යුතු දේ

අවසානයේ මතක තබා ගත යුතුම දේ, අළුත් රට තුල "වෙනස්වීම්" අපේක්ෂා කරන්න, ඒ වෙනස්වීම් වෙනුවෙන් "සංවේදී සහ විමසිලිමත් වෙන්න" , නමුත් "හිර කිරීම හෝ මැජික් පෙන්වීම, පදනමක් නැති සුරංගනා කතා කීම" තුලින් පමණක් දරුවා යහපත් පුරවැසියෙක් කරගත නොහැකි බව මතකයේ තබා ගන්න.

ඒ වගේම "විකෘති, අධි පරිස්සම් කිරීමට" වඩා , විමසිලිමත්, සුහද විවෘත වීම තුල වඩාත් සමාජශීලි, පරිණත දරුවෙක් සමාජ ගත කරන්නට හැකිවේවි මක්නිසාද ඔවුන්ට විවෘත වන්නේ, අප හැඩගැසුනු පරිසරය, සංස්කෘතියට වඩා නිදහස්, විවෘත අළුත් ලෝකයකටයි.

තවත් කතාබහකට ඉඩක්

තවත් කියාගෙන යන්න පුළුවන් අවස්ථා, කරුණූ බොහොමයක් ඇතත්, කියවන ඔබට එක් කරන්නට ඇති කරුණු, අවස්ථා උදහරණ වලට ඉඩක් තිබිය යුතු නිසාත් ලිපිය මෙතැකින් නිමා කරනවා.

ලිව්වේ තවත් තාත්ත කෙනෙක්!