මං හැත්තෑවේ මුල් කාලේ උපන්නේ. ඒ නිසා අසූව කියන්නේ මගේ ජීවිතේ ලස්සනම කාලය. මුල් යොවුන් විය, විවිධ සමාජයීය වෙනස්වීම්, කලාව, සංගීතය වගේ දේවල් තුළත් හැරවුම් සිද්ධ වුණු, ඒ වගේම අවදානම් සහ අභාග්ය එකතු වුණු අත්දැකීම්ද ජීවිතේට එකතු වුණු "අපූරු" කාලයක්.
මේ ලියන්නේ ඒ කාලේ "මං" ගැන නෙවෙයි. මේ ලිපිය ලියවෙන්නේ, මේ දවස්වල සමාජ මාධ්ය තුළ රැල්ලක් වගේ හැදෙන අසූවේ කාලේ පින්තූර ජවනිකාව ගැන. නමුත් මං මේ කරුණු එකතු කරන්නේ ඒ රැල්ලට විරෝධීව නෙවෙයි. අසූවේ AI පින්තූරයක් හදාගන්න ඒ තරම් හිතක් නොදුන්නත්, මාත් ෆේස්බුක් එක පුරා මතුවෙන අසූවේ පින්තූරවලින් සතුටක්, රසයක් ලබනවා. ඒ වගේම මගේ අතීත මතකයන්වලින් සමහරක් නැවත ස්මරණය කරගන්නටත් අවස්ථාවක් ලැබෙනවා.
මේ රැල්ල ගැන මේ ලිපිය ලියන්නේ, AI ඇතුළු නවීන තාක්ෂණය සමඟ එකට යන, ඒ පහසුකම් උදව් කරගන්නා, කායික/මානසික සෞඛ්යය සහ නව තාක්ෂණය තුළ ආරක්ෂාව ගැන ටිකක් වැඩිපුර හිතන, අසූවට පෙර ඉපදුණු වැඩිහිටියෙක් විදියට. ඒ නිසා, ඔබ මේ රැල්ලට රිසි කෙනෙක් වුණත්, නොරිසි කෙනෙක් වුණත්, මේ ලිපියෙන් යමක් ගන්නට වගේම ඔබේ අදහසත් එකතු කරන්නට අවස්ථාවක් ලැබේවි.
ඇයි මේ අසූවේ රැල්ලක්?
යම් AI ඇප් එකක් ලබාදුන් ප්රොම්ප්ට් එකක් ඔස්සේ, අසූවේ පින්තූර සකසාගැනීමේ ආකෘතිය ලැබුණාට පස්සේ, මේ රැල්ල හැදෙන්නට හේතුව "විනෝදය" විතරක්ම නෙවෙයි. ඒ තුළ නොස්ටැල්ජික් රසයක් තිබෙනවා කියලත් මට හිතෙනවා. විශේෂයෙන්ම අසූවේ කාලය අත්දැක්ක අයෙක්ට නම්, නොස්ටැල්ජියාව කියන්නේ හුදෙක් පහුගිය අතීතයේ රසය විතරක් නෙවෙයි. ඒ හැඟීම, තමන් ගැන, තමන් ආ ගමන ගැන, තමන්ගේ බැඳීම් ගැන මතක් කරදීමක් කරනවා.
අලුත් එකයි පරණ ක්රමෙයි
ඉස්සර වගේම අද දවසේත්, පරණ පින්තූර ඇල්බමයක් බලලා, ඉස්සර වෙළඳ ප්රචාරයක ගිය සිංදුවක් අහලා විඳින රසය, දැන් මේ AI නිර්මාණයන් නිසා නවීන, පහසු ක්රමයකින් ලබාගන්නට පුළුවන් වෙනවා කියල මට හිතෙනවා. ඒත් මේ අවස්ථා දෙක අතරේ වෙනස්කම් තිබෙනවා.
අර පරණ පින්තූර ඇල්බමයේ ඉරුණු, වර්ණ හේදිගිය ඡායාරූපය, මේ AI පින්තූරයට වඩා කාලය සමඟ බැඳුණු ලොකු, "ඇත්තම" කතාවක් කියනවා. ඒ කතාව නියම ආත්මයට බැඳුණු හැඟීමක්, රසයක්. ඒත් අලුත් ක්රමයට හදාගත් පින්තූරය තුළ මුහුණ තවත් හැඩගැන්විලා, සම මුදු සුමුදු කරලා මතුවෙද්දි, ඒ තුළත් වෙනස් සතුටක් තියෙනවා. සමහර විට පරණ මතකයන් ගැන අලුත් මතකයන් ගේනවත් වෙන්නත් පුළුවන්.
ඒ නිසා, ඔබත් අසූවේ අත්දැකීම් ලැබූ කෙනෙක් නම්, හුදෙක් තමන්ගේ ෆේස්බුක් ප්රොෆයිල් එකට පින්තූරය අප්ලෝඩ් කරලා නිකං ඉන්නවාට වඩා, ඒ අත්දැකීම් ලැබූ තවත් කෙනෙක් සමඟ ඒ අතීත සත්ය අත්දැකීම් බෙදාහදාගන්න, මතක් කරගන්න, ඒ ඔස්සේ අතීතය සමරලා සතුටක් විඳින්න පුළුවන් නම්, එතන ලැබෙන්නේ සරළ විනෝදයකට වඩා මානසික සෞඛ්යයමය වාසියක්.
රැල්ලේ සැර
කෙසේ වුණත්, මේ රැල්ල තුළ මා දකින "විය හැකි" අවදානම් කිහිපයක් තිබෙනවා.
එකක්, මේ AI පින්තූර තුළ නිර්මාණය වන මුදු සුමුදු, හැඩකාර මුහුණ, දඟකාර කෙහෙරැල්ල, ඇත්ත පුද්ගලයා සමඟ සසඳමින්, තමන්ගේ වයස සමඟ සිද්ධවන ස්වභාවික වෙනස්කම් ගැන කාටවත් නොකියා සැඟවී විඳින මානසික පීඩාවකට යම් කෙනෙක් ලක්වෙනවා නම්, එතන මානසික සෞඛ්යයමය අවදානමක් තිබෙනවා. ඒ වගේම, ඒ අසූවේ පසුබිම තුළ ජීවත් වුණු කෙනෙක් මුහුණදුන් සැබෑ මානසික පීඩාවන්, වේදනාවන් රැල්ල තුළ නැවත මතුවී රැඳුණොත්, එතනත් අවදානමක් තිබෙනවා. ඒ නිසා තමයි, Reminiscence Therapy නම් චිකිත්සක ක්රමය ලබාදෙන්නට විශේෂිත පුහුණුවක් සහිත Recreation Therapist වරු සිටින්නේ.
අනෙක් අවදානම, තමන්ගේ පෞද්ගලිකත්වය සහ biometrics, ඒ කිව්වේ තමන්ගේම දේහ හැඩරුව, මුහුණේ ප්රමාණය වගේ තමන්ට "සුවිශේෂ" වූ තොරතුරු, බාහිර පුද්ගලයන් අතට, තාක්ෂණයන් තුළට පත්වීම. පාස්වර්ඩ් එකක් ඉක්මණින් වෙනස් කරගන්න පුළුවන් වුණත්, මුහුණේ හැඩය, ඇස් අතර පරතරය වගේ biometrics එහෙම හදිසියේ වෙනස් කරගන්න බැහැ. මේ ගැන වඩාත් සංකීර්ණ කතාබහක්, AI තාක්ෂණයේ අනාගතය ගැන කතා කරද්දි වෙනම ලිපියකින් කරමු.
මේ මට මතක් වුණු අවදානම් දෙක විතරයි. නමුත් මේ අවදානම් තියෙන නිසා අසූවේ රැල්ල වැරදියි, එය නොකළ යුතුයි කියලා මම කියන්නේ නැහැ. එය රසවිඳින්න, සෞඛ්යයමත්ව, අඩු අවදානමකින්.