2026/09/05

රැකියා මග Single-Track ද Multi-Track Model ද?

“හරි වැඩේනේ , මගේ කාර් එක ස්ටාර්ට් වෙන්නේ නෑනේ. මොකද කරන්නේ?” දවල් විවේකයෙන් පස්සේ ආයෙත් ප්‍රජාවේ සේවා කටයුත්තකට යන්න සූදානම් වුනු මගේ සේවක මිතුරිය කළබලනේ වගේ ඇවිත් කියනවා.

“මොකක්ද වෙන්නේ ස්ටාර්ට් කරන්න හැදුවම , මුකුත් සද්දයක් එනවද?” වින්ටරේදි හුඟක් වෙලාවට බැටරියේ බලය හීන වීම නිසා මෙවන් අවස්ථා වලට උදව් වෙලා තියෙන පුරුද්දටම ඇහුවත්, මේ ගිණි රස්නේ , ගිම්හානයේ ඒ වගේ අකරතැබ්බයක් වෙන්න ඉඩ ටිකක් අඩුයි. අනෙක, මෙයාගේ වාහනෙත් තරක්ම අළුත් එකක්නේ.

“හරියටම දන්නෑ, ඒත් ස්ටාර්ට් වෙන්න ට්‍රයි කරනවා වගේ තමයි දැනෙන්නේ” ඇය කියන අතරේ කාටද ඇමතුමක් ගන්නවා.

“යං, මං ගාව ඇති බූස්ටර් එකක්, බලමු ට්‍රයි එකක් දාල” මං කීවා.

“අනේ ඇත්තද මං මේ AMA එකට කතා කරනවද කියල බැලුවේ” ඇය ඇමතුම අතරමග නැවැත්තුවේ ඉක්මණින් මේ අකරතැබ්බයෙන් නිදහස් වෙන්න.

රයන්ගේ මිකැනික් හැකියාව

“හේයි, සැලී, ඔයා දැන් ටිකකට ඉස්සර වෙලානෙ ඇවිත් වාහනේ නැවැත්තුවේ, වෙන මොකක් හරි අවුලක්ද? මොකද බැටරිය බහින්න තරං හේතුවක් නෑනේ. ඉන්න මයිකි, මාත් එන්නං බලමු අපි එකතු වෙලා” මගේ කියුබිකල් එකට එහා පැත්තේ හිටිය ,හැමදාමත් ඕනම මිකැනිකල් ප්‍රශ්නෙකදි උදව්වට පැනල එන, රයන් තුත් අපේ කතාවට එකතු වුනා.

අපි තුන්දෙනාම වාහනේට ගියා, රයන් වාහනේ එන්ජිම, බැටරිය ගැන එහෙම ටිකක් පරික්ෂා කරලා, ස්ටාර්ට් කරන්න උත්සාහයක් දැරුවා. හරියන්නෑ. එයා තව මොනවදෝ හොල්ලල, ගලවල හයිකරලා , ආයෙත් ට්‍රයි කළා.

“හරි, දැන් අපි බූස්ට් එකක් දීල බලමු”

ඊළඟ මොහොතේ වාහනේ ස්ටාර්ට්. ගැටළුවට හේතුව සහ නඩත්තුව කරගත යුතු විදිය සැලීට කියල දීලා එයාගේ ඊළඟ වගකීම වෙනුවෙන් යන්න උදව් කරලා, මාත් රයනුත් ආයෙත් කාර්‍යාලයට එන්නට ආව.

රයන්ගේ තවත් පැත්තක්

“රයන් හොඳ මිකැනික් කෙනෙක්නේ?”

මං මේ කතා කරන්නේ, අපේ ප්‍රජා සෞඛ්‍යය ඒකකයේ එකට සේවය කරල, ඇබ්බැහිවීම් සහ මානසික සෞඛ්‍යය පිළිබඳ ප්‍රතිකාර වගකීම් බාර වෛද්‍යවරයාත් එක්ක.

“හොඳක් නම් දන්නෑ මයික්, හැබැයි ඔය මිකැනික් වැඩ ටිකක් පුළුවන්. මොකද, මං මෙඩිකල් ස්කූල් ඉන්න කාලේ දිගටම වැඩ කළේ වාහන අළුත්වැඩියා කරන තැන්වල. ඒකෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා”

කාර්‍යාලයට එන ගමනේ ඔහු කීවේ, නමයේ පන්තියෙන් පටන්ගත්ත රස්සා ජීවිතේ, පත්තර විකුණන්නෙක්, වෙළඳ ආයතනයක බඩු අහුරන්නෙක්, අතිරේක ඉගැන්වීම් කරන ටියුටර් කෙනෙක්, වාහන වල තෙල් මාරු කරන තැන් වල වලේ බැහැල තෙල් අස් කරන්න උදව් කරන්නෙක්, සහ ඉන් පස්සේ දිගටම වාහන අළුත්වැඩියා කරන ආයතන වල කටයුතු කර තිබුණා.

එකම රැකියාවද, රැකියා කිහිපයක්ද?

මේ වගේ රස්සාවල් ගණනාවක් කරපු වෘත්තිකයන් ගැන පළමු කතාබහ මේ නොවේ මට. විශේෂයෙන්ම මගේ ක්ෂේත්‍රය තුල දවසේ වැඩිපුරම හමුවෙන්නේ වැඩිහිටි සහ වියපත් සේවාලාභීන් නිසා, මේ වගේ කතාබහ ඕන තරම් අහල තියෙනවා. හැබැයි ඒ, කතා බහ අතරේ සිරි ලාංකිකයන් නම් ඉන්නේ අතලොස්සක්. ඒ අපේ අය හුඟක් වෙලාවට ,

“ඔව්, යුනියෙන් පස්සේ මේකට ආව, දිගටම ඒකෙන්ම ඉහළට ආවා “ , ලංකාවේ ප්‍රධාන පාසල උප විදුහල්පතිනියක් වූ ඇය, කැනඩාවෙදිත් “ගුරු” රස්සාවක්ම හොයන්න දරන උත්සාහය තුලදි වුනු කතාබහකදි කීවා.

“නර්සිං ස්කූල් එකෙන් පස්සේ වෙන රස්සාවකට හිත ගියේම නෑ, නැත්තං ටීචිං අතට ආව, ගියේ නෑ අනේ” . මේත්, මේ රටට ආපු තවත් හෙද නිලධාරිනියකගේ කතාවේ එක තැනක්.

මේ රටේදි විතරක් නොවෙයි, ලංකාවේ ජීවත්වන කාළයේදී පවා මට අත්දකින්න ලැබුණේ, හමුවුනේ එකම රස්සාවක්, එහෙම නැත්නම් එකම රැකියා ක්ෂේත්‍රයක් “ජීවිතය පුරාම” පවත්වා ගත්ත මිත්‍රයන්, සේවාලාභීන් වගේම හිතවතුන්.

Single-Track Model සහ Multi-Track Model

මේ අපූරු වෙනස්කම, ඒ කිව්වේ

“ලංකාවේ රැකියා කරන්නන් තුල බහුලව හමුවන Single-Track Model “ එකයි, “කැනඩාව වගේ රටවලදී හමුවන “Multi-Track Model “ එකත් අතර දකින පැහැදිලි වෙනස තුල මට පෙනෙන කරුණු කිහිපයක් සාරාංශ කරන්න හිතුණා. ඒ , මේ එක් ක්‍රමයක් “ඉතා හොඳයි” අනෙක් ක්‍රමය ඉතා නරකයි කියල ලේබල් කරන්න නොවෙයි. නමුත් මේ අදහස් ඔස්සේ සහ ඔබ කරන වැඩිදුර සොයා ගැනීම් ඔස්සේ, හෙට දවසට වඩාත් සුබදායී ක්‍රමයක් ගැන අදහසක් ගන්නටත්, විශේෂයෙන්ම තම දරුවන්ට ඒ මග පෙන්වීම කරන්නට උනන්දු කරන්නයි.

මේ රටවල රැකියා වෙනසට හේතු “විය හැකි යැයි මට හිතෙන”

  • වයස අවුරුදු දහ හතර වෙත්දීම, “පිළිගන්නා” රැකියා පරිසරය ඇතුළු වීමට ඇති අවස්ථාව සහ ඒ වෙනුවෙන් සමාජීය වශයෙන් ඇති පිළිගැනීම සහ අවස්ථා.
  • නම්‍යශීලී අධ්‍යාපන ක්‍රමය, තම අවශ්‍යතා, වගේම රටේ වෘත්තීය/රැකියා අවශ්‍යතා, ආර්ථික තත්ත්වයන් අනුව වෙනස් කරගත හැකි, ඇතුළු විය හැකි , ඉවත් වී නැවත එකතු විය හැකි , නවත්වා රැකියාවක් කර නැවත වැඩි දියුණු කරගත හැකි අධ්‍යාපන ක්‍රමය.
  • උපයා මුදල් ගෙවා පශ්චාත් ද්වීතීත සහ වෘත්තීය අධ්‍යාපනය ලැබීම වීම.
  • සංක්‍රමණිකයන්ගේ එක්වීම තුල , තව වෘත්තීය සුදුසුකම් ගැලපෙන තුරු හෝ වෙනත් හේතු නිසා කරගෙන ආ රැකියා රටාවෙන් වෙනස් රැකියාවන් වලට ඇතුළු වීමේ ‘අවශ්‍යතාවය’
  • රටේ ආර්ථිකයේ සිදුවන වෙනස්වීම සහ ඒ වෙනුවෙන් සංවේදීව අනුගත වන්නට කැමැත්තක් සහ ඇති පුරවැසියන්.

ලංකාවේ ක්‍රමයට “විය හැකි” ලෙස මට හිතෙන හේතු

  • අධ්‍යාපනය ලබන කාළය “අධ්‍යාපනයටම” වෙන් කළ යුතුය, “රැකියා කිරීම අධ්‍යාපනයට බාධාවක්” වැනි අදහස් ඔස්සේ පවතින සමාජීය පිළීගැනීම් සහ බලපෑම්.
  • මොන්ටිසෝරියේ සිට පහේ පන්තිය හරහා විභාග ඉලක්ක කරගත් ගමනක යෙදෙන, සාම්ප්‍රදායික, ඉලක්කය හමුවන තුරු හෝ ඉලක්කය අතහරින තුරු විධිමත් අධ්‍යාපන/පාසල් රටාවෙන් ඉවත්වීමට නොහැකි රටාව.
  • එක විභාගයකින් පමණක් තීරණය වන වෘත්තීය මඟට යාහැකි විශ්ව විද්‍යාලයීය සහ අධ්‍යාපනයට යන මාර්ගය , පොදු සහ බහුලව භාවිත වන ක්‍රමය වීම. ( අද වෙත්දී වෙනත් ක්‍රම දියුණු වෙමින් තිබුණත්)
  • සමහර විශේෂීත වෘත්තීන්, රැකියා සඳහා “වැඩි වටිනාකම්” දෙන පිළිගැනීම් සමාජයේ බහුල වීම.

Multi-Track Model එකේ වාසි

මේ දෙපැත්ත අතරේ වාසි විදියට මං දැක්කේ,

Multi-Track Model එකේදී:

  • පාසල් කාළයේදීම ( අවුරුදු 14 වගේ සිට) ආර්ථික පරිසරය ගැන ප්‍රායෝගික අත්දැකීම් ලබන්නට පුළුවන් වීම, සහ ආර්ථික ස්වාධීනත්වය ගැන අදහසක් ලැබීමට හැකිවීම.
  • එක් ක්ෂේත්‍රයක දැනුම සහ අත්දැකීමට සීමා නොවී, විවිධ ක්ෂේත්‍ර පිළිබඳව දැනුම, අත්දැකීම සහිත පිරිපුන් බහු අත්දැකීම් සහිත වැඩිහිටියෙක් බවට පත්වීම.
  • රැකියා අහිමිවීමකදී, වෙනත් රැකියාවකට හැඩගැසීමට ඇති ඉක්මණක් හැකියාව සහ රටේ ආර්ථිකය සමඟ ගැලපෙමින් ජීවිතය ගෙනයාමට හැකිවීම.
  • ඕනෑම වයසකදී , අවුරුදු 30, 40 හෝ හැට වුනත් රැකියා අත්දැකීම්, අධ්‍යාපනය අළුත් කරගැනීමේ, නැවත ඉගෙනීම ආරම්භ කිරීම ගැන සමාජීය ලෙස “නරක ලේබල්” නොලැබීම සහ එසේ “නැවත ආරම්භ කිරීම” සමාජය තුල සාමාන්‍යයක් වීම.

Single-Track Model එකේ වාසි

Single-Track Model ඇති වාසි විදියට:

  • එක් රැකියා හෝ වෘත්තීය ක්ෂේත්‍රයක් වෙනුවෙන් දීර්ඝ කාළයක් එක දිගටම ලැබූ අධ්‍යාපන, අත්දැකීම් ඔස්සේ එම “තනි ක්ෂේත්‍රයක්” ගැන ඉහළ පරිණතබවක් ලැබීම.
  • එකම ක්ෂේත්‍රයක ඉදිරියට යාමට හැකිවීම නිසා, වෙනත් ක්ෂේත්‍ර ගැන නැවත ඉගෙනීමට, ඒ වෙනුවෙන් වැය කිරීමට අවශ්‍ය නොවීම.
  • පුද්ගලයා, කාළයක් තිස්සේ රැදී සිටින රැකියා හෝ වෘත්තීය ක්ෂේත්‍රය ඔස්සේ “විශේෂිත පිළිගැනීමකට” ලක්වීම.

“මගේ කතාව” මෙතැනින්

මං හිතන්නේ මේ මාතෘකාව ගැන “මගේ කතාව” මේ ඇති. හැබැයි අන්තිමට මෙම ක්‍රම දෙක ඔස්සේම අත්දැකීම් ලැබූ මගේ වෘත්තීය, රැකියා මග ගැන කතාව “සිත් සුව අරණ” තුලට එකතු කරමින් මේ ලිපිය නිමා කරන්නේ, කියවූ ඔබට යමක් හිතන්නට අවස්ථාවක් දෙමින්.

ඔබට මේ ලිපිය ගැන යම් අදහස් ඇත්නම් Reader Feedback ලිංක් එක ඔස්සේ ඒවා මා වෙත එවන්නට. ඒ අදහස් ඉදිරි කතාබහට එකතු කරන්නට සූදානම්.