ගහෙන් ගහට පැන පැන ගිය වඳුරො ටිකක්, ගස් කොළං ටික නියඟයට අහුවෙලා විනාශ වෙලා ගිය වෙලාවේ, ජීවිතේ පවත්වා ගන්නට ගහෙන් බැහැල බිම දිගේ ඇවිදින්න “දියුණූ” වුනත්, මීට අවුරුදු 400,000කට විතර එහා කාළෙදි, එතෙක් දැකපු ගින්දර, තමන්ටම හදාගන්න පුළුවන් කියල අත්දැකීම් ලබන්නට “දියුණූ” වුනු, ඒ ගින්දර නිසා , වෙනද කළුවර වෙත්දි පණ බයේ නින්දට ගිය කණ්ඩායම, ගින්දර කියල අළුත් දේ වටා එක්වෙමින් , රැයේ කාළයක් ගෙවා දමත්දි, කතන්දර කියත්දි, ගින්දරෙන් පිසූ මස් පහසුවෙන් දිරවන නිසා, ඉතිරි කරගන්නට පුළුවන් වන කැලරි ටිකත් මොලේ පාවිච්චියට ගන්නට පුළුවන් වීම නිසා, සිංදු කියන්නට, රඟන්නට හැකියාවන් ලැබෙත්දි, පරිසරේ සිදුවන තමන්ට තේරුම් ගත නොහැකි දේ ගැන “හිතන්නට” , මරණය ගැන වෙනස් හැඩයකින් දකින්නට පටන් ගත්ත, “දියුණුව” ඔස්සේ ඇවිත්, එදා කාළයේ සමාජීය වෙනසක් කළ, වෙනස් විදියකට හිතූ පුද්ගලයෙකු මුල් කරගෙන, “ආගම” නම්, කණ්ඩායම් සංස්කෘතිය ඔස්සේ එන “දියුණූ මිනිසා” නම් පුද්ගලයා, උපන් දා සිට නොමිලේ ලැබෙන පුරුදු කිරීම්, කතන්දර ඇසීම් සමඟ යම් සීමා සහිත සහ තමන්ට අවශ්‍ය සීමාව ගැන පමණක් විමසා ලබා ගත් “තමන් අදහන ආගමේ” නාමයෙන්, එයම පමණක් “පරම සත්‍යය” ලෙස පණ සළකමින්, අන් මතය නොඉවසමින්, අන් අදහස් තුල ඇති “සත්‍යයයක්” දැක්කත් නොදැක්කා සේ, මනැස වසා හැසිරෙන, නියුරෝන බිලියන අනූවක් විතර ඇති නමුත්, බිලියන විස්සක් නියුරෝන ඇත්තවුන් මෙන් පැන පැන කළබල කරන අතරේ, ඊළඟ “ආත්මයක, හෝ උපතක” ලැබිය හැකි ජයක් වෙනුවෙන් ලැබූ ජීවිතය විඳවන හෝමෝ සේපියන්ස්ලා පිරිසකගේ කතා අසා බලා සිටිමින්, නොඇලීමේ සතුට විඳිමි.