.
.
.
.
![]() |
| Daylight Saving Time (DST) |
ඒ මොකවත් නිසා නෙවෙයි , අද රෑට ජීවිත කාළෙන් එක් පැයක් අඩු වෙන දවසක. ඒ වස්සානය උදාවන්නට ආසන්න වෙත්දි හිරු එළිය ලැබෙන කාළ සීමාව ආයත් වැඩිවන නිසා ඔරලෝසුවෙ කටුව පැයක් ඉස්සරහට දාමින් Daylight Saving Time (DST) සඳහා එක්වන නිසා.ඒ කියන්නෙ අද රෑට පැය එකොළහක් වැඩ කරලා පැය දොළහක පඩිය ගන්න පුළුවන් දවසක් (අද දවස “එක“ මිස “දෙක“ නැති දවස ) . වාසනාවට හරි අයාසනාවට හරි මගේ රාජකාරිය සතියේ දිනවල 9-5 නිසා මේ රාජකාරිය අතරේ වෙලාව වෙනස් වීමේ “සුවය“ ලබා ගන්න බැහැ. හැබැයි මට දැන් අර පෙර ලිපියක කිව්ව වගේ , කිලෝමීටර් එකසිය තිහක දුර , විනාඩි විස්සෙන් එන්න බැරිවෙනවා. මේ කිව්ව කතාව “අණ්ඩර දෙමළයක්“ වගේනම් මෙන්න මෙතැනින් ගිහින් 207 වන ලිපිය කියවල බලන්න.
අද ලියන්න හිතෙන කතාවත් අද දවසට සම්බන්ධවුනේ මෙහෙම.කැනඩාවට ඇවිත් අදාල වෘත්තීය අධ්‍යාපන කටයුතු නිමා කළාට පස්සෙ මනෝජට මුල්ම රැකියාව ලැබුණේ , ඖෂධ පිළිබඳ පර්යේෂණ කරන ආයතනයක , වෛද්‍ය පර්යේෂණ ශිල්පිනියක් විදියට. මේ ආයතන වල කෙරෙන්නේ අළුතින් හඳුනාගත් , නිශ්පාදනය කළ ඖෂධ වෙළඳපලට නිකුත් කිරීමට පෙර අදාල අවසරය ලබා ගැනීමවෙනුවෙන් කරන සායනික පරික්ෂණ කිරීම.ඇත්තටම එතැනදි කෙරෙන්නේ , ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයන් හට මේ අළුත් ඖෂධය ලබා දී , නියමිත කාළ සිමාවක් තුල නිරික්ෂණයට ලක් කිරීම.පුද්ගලයන්ගේ උස , බර වයසට අනුව “අළුත් ඖෂධය “ දේහ ගත කරලා , නියමිත කාළ අන්තරයන් අතරේ රැධීර සාම්පල, ඊසීජී සටහන් ආදිය ලබා ගනිමින් , ඖෂධය පිළිබඳ දත්ත එක්කිරීමයි ඔවුන්ගේ රාජකාරිය වුනේ.රාජකාරිමය අතින් පහසු , වෙහෙසකර නැති රැකියාවක්. ඒත් මෙන්න මේ දවස ටිකක් කළබලකාරීයි. ඒ සමහර ඖෂධ දේහ ගත කළ කාළය ගණනයේදි අදාල පරිගණක දත්තමය කාළය සහ පුද්ගලයාගේ දේහල තුල ඖෂධය රැඳුනු කාළය අතර පැයක පරතරයක් තිබීම. උදහරණයක් මෙන්න මෙහෙම කියමු , අපි හිතමු කෙනෙක්ට රෑ හතට මේ ඖෂධය ඇතුළු කරන්නේ , පැය දොළහක කාළයක් තුල රැධීරයේ ඖෂධීය මට්ටම් විමර්ශනය කරන්නට , වෙනද විදියට නම් රෑ හතට දුන්න ඖෂධයේ අවසන් ප්‍රතිපල ගන්නේ හරියටම උදේ හතට ගන්න සාම්පලයෙන්. නමුත් අද රෑ පැයක් ඉස්සරහට යන නිසා හෙට උදේ හත වෙත්දි ඖෂධය ඇඟේ රැඳිල තියෙන්නේ පැය එකොළහක් විතරයි. මේ නිසා ඔවුනගේ ලිඛිත දත්ත වගු සහ පරිගණක දත්ත නිසි ලෙස ගැලපීමකට අමතර වෙහෙසෙක් වීම ඇයට අළුත් දෙයක්වුනා මතකයි. (මොකද අපේ රටේ මෙ කරදරයක් නැහැනේ)
කෙසේ වෙතත් මේ ඔස්සේ ආ , ඖෂධ සායකින පර්යේෂණ ආයතන තුල සිදුවන්නේ මොනවාදැයි කතා කරල , ඒ ඔස්සේ අළුතින් ඖෂධයක් වෙළඳපලට එත්දි එන ගමන් මග ගැන සටහනක් ලියන්නටයි අද මේ උත්සාහය.
දැන් අහන්න මොකක්ද මේ කතාවයි , ලිපියේ මාතෘකාවයි අතර සම්බන්ධෙ ..
![]() |
| දැන්වීම් පලකරනවා |
මෙහෙමයි , මේ වගේ අළුත් ඖෂධයක් පිළිබඳව සායනික පර්යේෂණ කරන්නට ඕන වුනාම අදාල පර්යේෂණ ආයතනය ඒ සඳහා දායකවන්න කැමැති අය පිළිබඳව විමසල පුවත්පත් වල රූපවාහිනි චැනල වල දැන්වීම් පලකරනවා.ඊට පස්සේ ලැබෙන ඉල්ලුම්පත් වලින් අදාල සුදුසුකම් සපුරන අය තොරල වෛද්‍ය පරීක්ෂණයක් කෙරෙනවා. දැනුයි මනෝජා සහ කණ්ඩායමේ රාජකාරිය ඇරඹෙන්නේ, ඔවුන් අදාල සුදුසුකම් සපුරාගත් අයගේ (ස්වෙච්ඡා රෝගින් කියමු එයාලට ) මූලික කායික පරික්ෂණ , රැධීර පරික්ෂණ කටයුතු නිසා කරල එක් අයෙකුට සියළු පහසුකම් සහිත කාමර බැගින් ලබා දීල , අදාල ඖෂධ නියමිත මාත්‍රාව ලබා දෙනවා. ඊට පස්සේ නියමිත කාළාන්තර වල අවශ්‍ය පරික්ෂණ කරමින් දත්ත සටහන් කරගනිමන් නිරික්ෂණ තත්ත්වයේ තබා ගන්නවා. පරික්ෂණයට යොමුවන්නාට සතියක් , නැත්නම් දෙයකක් මේ නිරක්ෂණ යටතේ ඔහුගේ කාමරය තුල “සැපට“ ඉන්න ලැබෙනවා. ඔහුට/ඇයට අවශ්‍ය කෑම බීම , ඇඳුම් , ඇතුළු සියළු පහසුකම් ලබා දීල පර්යේෂණය නිමාවන දවසේ ඩොලර් වලින් තුන් හාරදාහකුත් ලබා දෙනවා. සමහර ඖෂධවලට මීට වඩා අධික මුදලක් දෙන අවස්ථා තිබුණා. මට මතකයි ඇය කීව විදියට මානසික අවපීඩන ඖෂධ පර්යේෂණයකදි ඔවුන් , අදාල සහභාගීවූවන්ට ඩොලර් හත්දහස ගණනේ ලබා දුන් අවස්ථාවක්.ලොකු මුදලක් , රැපියල් වලින් නම් ලක්ෂ හත අටක් , සතියකින්. ඔව් , ඒත් සමහර ඖෂධ පර්යේෂණ වලදි ඊට දායක වන්නන්ගේ චර්යාවන් වෙනස්වන ආකාරය දුටුවිට සිතට දුකක් නැගෙන බව ඇය පැවසූ අයුරු මට මතකයි. කෙසේ නමුත් මෙවන් පර්යේෂණවලට දායක වෙමින් මුදල් හම්බකරගැනීමටම හුරු වුනු , එයම රැකියාව කරගත් පුද්ගලයන් පවා ඇයට හමුවුනු ඒ සේවය කළ කාළය තුල.
මේ අතීතකතාවට පස්සෙ අපි ටිකක් කෙටියෙන් කතා කරල බලමු ඇත්තටම බෙහෙත් පෙත්තක් ඔබේ අතර එන්නට පෙර පසුකරන ගමන් මග ගැන. මේ පියවර ගැන දැන ගත්තට පස්සේ ඔබටම පුළුවන් වේවි තීරණයක් ගන්න ඔය මුහුණුපොතේ පළවල , නැත්නම් ටීවි එකේ උදා වැඩසටහන් වලට එන “අමුතු“ දොස්තරල , වෙද්දු කියන , ඔවුන් සොයාගත්තාය උජාරැවෙන් පවසන පිළිකා සුව කරන , ඒඩ්ස් සුව කරන බෙහෙත් ගුලි වල ආරක්ෂාකරීබව ගැන. (මේ කිව්වේ , අවුරුදු දහස් ගණනක් ඔස්සේ එන, රෝගීනට සුවය ලබා දුන් ආයුර්වේදීය ඖෂධ වල තත්ත්වය හෝ ආරක්ෂාකාරීබව පිළිබඳව නොවේ, හතුපිපෙන්නා සේ මතුවන ක්ෂණීක ගුලි සහ පෙති කාරයන් පිළිබඳවයි)
රෝගයක් සඳහා අළුත් ඖෂධයක් හඳුනාගැනීම , නිශ්පාදනයේ සිට වෙළඳපලට පැමිණීම දක්වා ලොකු පියවර ගණනාවක් , සෑහෙන කාළයක් ගත කරන්නට වෙනවා. බොහෝ වෙලාවට මේ ක්‍රියාදාමයට අවුරුදු දහයක් පහලොවක් වගේ කාළයක් යනවා. වියදමත් ලොකුයි , හැබැයි ඊට පස්සේ ආදායමත් කොම්පැනියට වැඩියි.
මේ පියවර පටන් ගන්නේ , පරියේෂණාගාරයක , රෝගයට අදාල ව්‍යුහවේදීය වෙනස්කම් , සෛලීය සහ ජෛව රසායනික වෙනස්කම් හඳුනාගත්තට පස්සේ , ඊට බලපෑම් කළ හැකි රසායනික /සංයෝග වල බලපෑම් අධ්‍යයනය කරන පර්යේෂකයන් , ගැටළුවට වඩාත්ම සාර්ථක ලෙස පිළිතුරු දෙන රසායනික හෝ සංයෝග වෙන කර හඳුනාගන්නවා. මෙහෙම වෙන්කර හඳුනාගත්තට පස්සේ ඒවායේ අණුක ව්‍යුහයන් වඩාත් සාර්ථක “ඖෂධයක්“ සඳහා වෙනස්කරමින් වඩාත්ම කාර්යක්ෂම සහ අතුරු ප්‍රතිපල අඩු සංයෝගය හඳුනාගන්නවා. දැන් ඊළඟ කටයුත්ත , අදාල “අළුත් බෙහෙත“ දේහ ගත කරන ක්‍රමය හඳුනාගැනීම , මෙය මුඛයෙන් දෙනවාද , නැත්නම් ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් දීම වඩාත්සාර්ථකද , වයසට බරට අනුව කොපමන දිය යුතුද වෙන බෙහෙත් එක්ක අනවශ්‍ය ප්‍රතික්‍රියාකරාවිද වගේ කරුණූ මේ පර්යේෂණාගාර තුල දීම හඳුනාගන්නවා. මේ මුල් පියවර ඖෂධ නිශ්පාදනයේ Discovery & Development stage ලෙස හඳුන්වනවා.
![]() |
| ඔබ වෙනුවෙන් අප |
මේ පියවරට පසුව , අළුත හඳුනාගත් “ඖෂධය“ සතුන්ට ලබා දීමයි කෙරෙන්නේ. මේ සඳහා ඖෂධය සහ ක්‍රියාකාරිත්වය අනුව , ඌරන් , බල්ලන් , හාවුන් හෝ වඳුරු වර්ගයේ සතුනුත් යොදා ගන්නවා. අදාල ඖෂධ බරට අනුව විවිධ මාත්‍රා දේහ ගත කරමින් ඒවා ඔවුන් මත ක්‍රියාකාරීවන ආකාරය සහ ඒවායේ ධුලක හැකියාවන් පිළබඳව තොරතුරු වසර කිහිපයක් තිස්සේ ලබා ගන්නවා. මේ කාළසීමා ඖෂධයේ PreClinic Research/Testing stage ලෙස හඳුන්වනවා.
දැන් මේ ‘‘අළුත් ඖෂධය“ මිනිසාගේ දේහය තුල අත්හදා බලන්නට සූදානම් Clinical Trial stage ලෙසයිනම් කරන්නේ, මෙන්න මේ පර්යේෂණ ආයතනයක් ගැන තමයි අපි මුලින් කතා කළේ. මෙහිදී පෙර කී විදියට විස්සක විසි පහක විතර , කැමැත්තෙන් සහභාගී වන “මිනිසුන්“ තුල හඳුනාගත් , ධූලක නොවන මාත්‍රාවන් ඇතුළු කරමින් මුලින් කී ආකාරයට තොරතුරු රැස් කරනවා.මෙහිදි උස බර වයස අනුව පුද්ගලයෙකුට ලබා දිය හැකි ඖෂධ මාත්‍රාවන් , සහ එහි ආරක්ෂාකාරී බව පිළිබද තහවුරු කරගැනීමෙන් පස්සේ , මෙම පියවරේම ඊළඟ අවස්ථාවට යොමු කෙරෙනවා . එතැනදි අදාල රෝගය ඇති ස්වේච්ඡා “රෝගීන්“ සියයක වගේ ප්‍රමාණයකට ඖෂධය ලබා දී එහි අතුරු පල සහ පලදායකබව පිළිබඳව දත්ත රැස් කරනවා. මාස කිහිපයක් තුල කෙරෙන අදාල විමසා බැලීම වලින් යහපත් ප්‍රතිපල ලැබුණු පසු , නැවතත් එම “අළුත් ඖෂධය“ රෝගීන් දහසක් , හෝ වැඩි පිරිසකට ලබා දී වෙනත් ඖෂධ සමඟ ප්‍රතික්‍රිකා කරන්නේ කෙසේද , අවදානම් ඇත්ද වගේ කරුණූ ගැන සොයා බලනවා. පියවර හතරක් ඔස්සේ පර්යේෂණයට යොදා ගන්නා රෝගීන් සංඛ්‍යාව සහ කාළය ක්‍රමයෙන් වැඩිකරමින් සිදුකරන මේ පියවරෙන් පසුව , “අළුත් ඖෂධය “ අදාල රෝගයට ඵලදායී ලෙස ප්‍රතිකාර කිරීමට සුදුසු ලෙස හඳුනාගත් පසුවයි ඊළඟ පියවරට යොමු වෙන්නේ.
ඒ New Drug Application stage එක. මෙහිදි මෙතෙක් කල් රැස් කරගත් සියළු දත්ත සමඟින් අදාල “අළුත් ඖෂධය“ , ඖෂධයක් ලෙස පිළිගන්නා ලෙස සහ වාණිජව බෙදා හැරීමට අවසරය ලබා ගැනීම සඳහා , රට තුල ඇති මෙයට වගකියන ආයතනව වෙත අයදුමපතක් යොමු කෙරෙනවා. දැන් මාස කිහිපයක් ගත කරමින් අදාල අවසර දීමේ අධීකාරිය ඇති ආයතනය ලැබුණූ සියළු දත්ත , පර්යේෂණ සහ අදාල පර්යේෂණ වලට සහාභාගී වූ පුද්ගලයන් , සතුන්ට පහසුකම් ලබා දුන් ආකාරය පවා විමසීමක් කරමින් , සුදුසුකම් සපුරා ඇති බව තහවුරු කළ විට “අළුත් ඖෂධය“ ප්‍රතිකාර සඳහා සුදුසු ඖෂධයක් ලෙස ප්‍රසිද්ධියට පත් කර වෙළඳපල නිකුත් කිරීමේ අවසරය ලබා දෙනවා. දැන් ඖෂධය “ඖෂධීය“ නාමයක් සහිතව වෙළඳපලේ හෝ රෝහලින් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.හැබැයි දැන් ඔක්කොම හරි කියන නිකං ඉන්නෙ නැහැ, වෙළඳ පලට නිකුත් කරා පසුවත් වරින් වර අදාල ඔෟෂධය ගැන පසු ඇගැයුම් විමර්ෂණ කෙරෙනවා , වෛද්‍යවරුන් ඔස්සේ රෝහල් දත්ත ඔස්සේ ඖෂධයේ ප්‍රතිපලදායක බව , අහිතකර පලවිපාක පිළිබඳ සොයාබලනවා. ඒ යම් අවදානම් අවස්ථාවක , ඖෂධය වෙළඳපලින් ඉවත් කිරීමේ හැකියාවද එම ආයතනයන්ට තිබෙන නිසා.
ඔන්න ඔහොමයි එය කටට වැටෙන පෙත්ත ඔබ ළඟට ආවේ , වියදම කාළය වගේම අර පර්යේෂණ කාළය තුල “විඳවන“ සතුන් සහ පර්යේෂණ වලට දායක වන “ස්වේච්ඡා රෝගීන්“ අදාල පර්යේෂණ කාළය තුල විඳින වේදනාවන් , අපහසුතා , විඳිවීම් සියල්ලත් ඔය බෙහෙතේ ඉතිහාසය තුල තිබෙනවා.
දැන් මේ ලිපිය කියවපු කෙනෙක් ලේසියට සල්ලි හොයන්න Clinical research වල ස්වෙච්ඡා රෝගියෙක් වෙන්න අපේක්ෂා කරනවා නම් එහෙම සම්බන්ධ වෙන්නට හැකියාවක් අපේ රට තුල තිබෙනවාදැයි මම දන්නේ නැහැ. ඒ වගේම සමහර ඖෂධ පර්යේෂණ වලට සම්බන්ධ වුනා කියල මුදල් ලැබෙන්නෙත් නැහැ . කැමැති කෙනෙක්ට ඒ ගැන හොයල බලන්න දැන් පුළුවන්. හැබැයි මේ රටේ නම් සමහර ක්ලිනිකල් රිස්ර්ච් වලට එන කොළු ගැටයන් සතියකට පස්සෙ ගෙදර යන්නෙ අළුත්ම වගේ කාර් එකක් අරගෙනමයි.
එහෙමනම් ලැබුණූ වෙලාවේ , ලෙඩ නැති ලිපියක් ලියන්න පුළුවන් වුනා. දැන් ඉතින් රෑ එකයි වෙලාව (මතකයිනේ අද අපට එක මිස දෙක නැති “ විශේෂ දවස තව පැයකින් උදේ තුනයි වෙලාව.) එළියේ නම් ටිකක් හිම වැටෙනව , උශ්නත්වය සෘණ දහසයයි සෙල්සියස් වලින් . ගේ ඇතුලේ දවල්ට සේල්සියස් විස්සක තිබුනට රෑ වෙත්දි 15 අඩුකරනව , මොකද සීතලට සැපට නිදාගන්න. එහෙම නම් ලිපිය කියවන ඔබට සුබ දවසක් , අපට සුබ රාත්‍රියක කියාගෙනම සමුගන්නවා , නැවත දවසක හමුවන බලාපොරොත්තුවෙන්.
සුව සතුට පිරි දිනයක් ඔබට !




