2014/03/09

158) සැලෙන සිතුවම් - එමලිගේ තෑග්ග

වයස අවුරුදු හතට , අටක  විතර ලස්සන කෙළි පැටියෙක් , රෝස පාට මල් වැටිච්ච ගවුම් පොඩියක් ඇඳළ , කොන්ඩේ ලස්සනට ගොතල, රෝස පාට කටුවක් ගහල ,රෝස මලක් වගේ ....හැබැයි   ටිකක් බය වෙලා , කොණ්ඩ කරල් අස්සේ ඇඟිළි යවමින් අම්මගේ අස්සට තුරුල් වෙලා ඉන්නවා , තාත්තත් කොළ වගයක් එහෙට මෙහෙට පෙරළ පෙරළ මොනවදෝ හොයනවා.


“මේ වික්‍රමසුන්දර මහත්තය ?“... පුංචි පවුල හිට තැනට මමත් එකතු වුනා .
“ලොකු මහත්තයා ඔයාලට කතා කරන්න ඇති කියල හිතෙනවා , ?“ ...
“ඔව් , දැන් මේ ක්ලිනික් එකේදි බැලුව , තව විස්තර අහගන්න කීව “ . තාත්ත ටිකක් නුරුස්සන ගතියක් එක්ක කතා කළේ .
කතාවට එකපාරටම ඇතුළු වෙන එක ඒතරම්ම හොඳ නැහැ වගේ නිසා , ටිකක් ගම්පළාත ගැන කතා කළා , 
“ඇත්තට ? මහත්තයලත් හුංගමද ? .., අපි හාතගල ., පිරිවෙන දන්නවයැ ?“ .. වික්‍රමසුන්දර මහත්තයා කුතුහලයෙන් .
“ඔව් , මම පොඩි කාළේ හිටියේ හාතගල , එහෙම නම් අපේ අම්මල එහෙම දන්නවත් ඇති ..“...
මමත් , වික්‍රමසූන්දර පවුලත් ටිකක් විතර බැඳීමක වගේ දැනුන , දැන් හොඳවෙලාවට මගේ පොයින්ට් එකට එන්න .

“දරුවගේ කරපු රිපෝට්ස් තුනම ටිකක් හොඳමදි කියල කියන්න ඇතිනේ , ඒ දෙකකම ලියුකේමියාව කියන පිළිකා වර්ගයේ සෛල තියෙනව කියල හඳුනගෙන තියෙනවා , මහත්තයල .........ප්‍රයිවේට් ලැබ්  එකෙන් කළ රිපෝට් එකත් ඒ විදියමයි . ඒ නිසා අපේ ලොකු දොස්තරමහත්තයා කියන්නේ නම් ඉක්මණට බෙහෙත් පටන් ගන්න එක හොඳයි කියන එක “ . 

අම්ම කිසිම කතාවක් නැහැ , පොඩිකෙළිගේ ඔළුව අතගගා , කඳුළු පුරවපු ඇස්දෙනෙක් මා දිහා බලාන උන්න විතරයි . 
මේ විදියට පටන් ගන්න කතාවේ , එක තැනකදි ..
“...විතර යත්දි කොන්ඩේ ගැලවිලා යන්න පුළුවන් , ටික ටික , සති හයක් විතර වෙත්දි ඔක්කොම කොණ්ඩේ හැලෙන්න ඉඩ වැඩියි , ඒකට හේතුව මේ විදින බෙහෙත වැඩ කරන නිසා  .“
“අනේ ඒක ඇත්තටම වෙනවාද මහත්තයා ? “ මෙතුවක් වෙලා කතාබහක් නැතිව හිටි අම්මගෙන් ප්‍රශ්නයක් , කෙළි පොඩි පටන් ගත්ත අඬන්න .. 

 “ඔව් පැටියෝ කොණ්ඩෙ නම් යනවා , හැබැයි බෙහෙත් ඉවර වෙලා ටික දවසක් යත්දි ආයෙත් කොණ්ඩේ එනවා , දන්නවද සමහර අයට තිබුණ කොණ්ඩෙට වඩා ලස්සන , කොණ්ඩයක් ආව  , බොරුනෙවි මේ බලන්න “  අපෙන් ප්‍රතිකාර අරගෙන සුව වෙලා ගිය පැටවු කීපදෙනෙක්ගේ පිංතූර ටිකක් ඇයට පෙන්නුවෙන් ඇත්ත තත්ත්වය පෙන්වන්න .

මේ කතාව මේ විදියට පැය දෙකක් විතර ගියා , අවසානයේ දෙමවුපියෝ කැමති වුනා දරුවට ප්‍රතිකාරය ආරම්භ කරන්න .අත්සන තැබුණා පැටියගේ ජීවිතයේ ලොකු තීරණයකට .


එදා අපේ රාජකාරියේ කොටසක් 
“නිශාන්තයියා , මොකද අද අපට පුළුවන්ද කුමාරිට සීටි පටන් ගන්න ? මං දැන් අන්තිම සීටි එක දානගමන් , ඕනනම් මට ඒක ටිකක් පරක්කු කරන්න පුළුවන් තාම සේලයින් යන නිසා .“ කාමරේට ඇතුළු වුනු සොයුරු හෙදියක් අපේ කතාවට මැදිහත් වුනා අවසානයේ ..

“ඔව් , කළං අපට පුළුවන් පටන් ගන්න  , එහෙම නම් කුමාරි , ඔයාට අද මේ බෙහෙත  දෙන්නේ මෙන්න මේ කළං ඇන්ටි , ඔයාට මොනව හරි ඕන නං මේ ඇන්ටිට කියන්න , ..... මේ මතක ඇතිව කළං ඇන්ටිගෙන් බෝනික්කෙක් ඉල්ල ගන්න , එයාගාව බබාලට දෙන්න සෙල්ලම් බඩු ගොඩයි ...“ කඳුළු පිරිච්ච ඇස් දෙක මගේ දිහාවට යොමු කළා ඇය පුංචි හිනාවකුත් එක්කම

ප්‍රතිකාරය ඇරඹුනා, මාස කිහිපයක් ගියා , ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල , පිළිකා ඒකකය කියන තැනට සමුදීලා ඇය යන්න ගියා .. හැබැයි සතුටින් , සම්පුර්ණයෙන්ම සුවයක් ඇති නිරෝගී දරු පැටියෙක් විදියට .  
රටවල් අතර මාරුව වෙන්න සති කිහිපයකට ඉස්සර වෙලා නිවසට දුරකථන ඇමතුමක් !

“හලෝ .... මම කුමාරි මතකද වාට්ටුවේ බෙහෙත් ගත්තෙ , තංගල්ලෙ!  , වාට්ටුවේ ලොකු මිස්ට කතා කළාම කීව දැන් අංකලුයි ඇන්ටිය දැන් ඒකෙ වැඩ නැහැ කියල ...මං කතා කළේ ලොකු පණිවිඩයක් කියන්න , මම ශිෂ්‍යත්වේ පාස් අදයි ලකුණූ ආවේ . මං දැං ගොඩාක් ලොකුයි , උසයි , කොණ්ඩේ දිගයි , අංකල් තව දෙයක් දැන් අපට චූටි මල්ලියෙකුත් ඉන්නවා ........“ ....

කතාව බොහොම සුන්දර විදියට නිමාවුනා , 
-----------------------------------------------------

එද මේ කතාව මතක් කරන්නට හේතුවුනේ එක කාරණයක්  , ඒ තමයි පිළිකා ප්‍රතිකාරයේ එක් අතුරුපලයක් වන කෙස් ගැලවීයාමේ සීග්‍රතාව වැඩි වීම ගැන යමක් කියන්නට .  අපි මොනවිදියට පැහැදිලි කළත් හුඟක් රෝගීන්ට විශේෂයෙන්ම කාන්තා පාර්ශවයේ අයට , පොඩි පැටවුන්ට මේ ගැටළුව , බෙහෙත ගැන තීරණය වෙනස්කරන තරම් ප්‍රබල වුනු අවස්ථාත් නොතිබුණා නොවෙයි . 

දැන් මම මෙතැන කතා කරන්න යන්නේ නැහැ මෙයට හේතුව , මොකද දන්නවද මේ සිදුවීම් වලට හේතුව මීට ඉස්සර වෙලා කතා කරල තිබෙන නිසා . (මෙන්න මෙතන ක්ලික් කළාම ඒ ලිපි මාලාවට යන්න පුළුවන් )

හැබැයි මේ විදියට හිසකෙස් ගැලවිලා තට්ටේ පෑදුනාම විඳවන හැටි මතක් වෙත්දි “විග් එකකින් “ ලැබෙන තාවකාළික හෝ සුවය මිල කරන්නට බැරි තරම් , අපේ සල්ලි අතේ ඇති අය නම් වැඩි මිලට හොඳ විග් එකක් දාගෙන පෑදුනු තට්ටෙ වහගනිත්දි , ඒ වගෙ වියදමක් දරා ගන්න බැරි උදවිය ඔළුව වැහෙන්න රෙදි කෑල්ලක් ඔතාගෙන යන හැටි තවමත් මතකයි වගේ . 

 මේ වගේ  බලාපොරොත්තු නැති අවස්ථාවක මතුවෙන “තට්ටය ‘ නම් ලොකු වේදනාවක් ඇති කරන දෙයක් බව නොකියාම බැහැ. මේ වේදනාව ගැන මතක් වෙත්දි , යම් අයෙක්ට පුළුවන් නම් මේ අයට  “විග් එකක් “ හදල පරිත්‍යාග කරන්න , ඒකත් තාවකාළිකව හරි සතුටක් ගෙනදේවි ඔවුන්ට. 

(සමහර විට මෙය කියවන මේ අත්දැකීම ගැන කිසිම දෙයක් නොදත් කෙනෙක් හිතන්න පුළුවන් “මොන විහිළුවක් ද මේ “ කියල , . විහිළුවක් නොවෙයි , ඇත්තටම මේ සිදුවීමෙන් “විඳවන වේදනාව , විඳපු කෙනෙක් විතරක් නොවෙයි , ඒ අවස්ථාවන් ඇසින් දුටු අයෙක්ගේ වුනත් හිත රිදනෙවා මට හිතෙන විදියට . හැමදාම උදෙට වාට්ටුවේ රවුමක් යත්දි , කොණ්ඩේ පීරළ , පනාව වැහෙන්න තරම් ගැලවිලා ඇවිත් තිබෙන කෙස්ගස් ටික දිහා බලාගෙන හූල්ලන ඔවුන් දකිනවා නම් ඔබ .....)


මේ පරිත්‍යාගමය කටයුත්ත මුල්‍යමය වාසි බලාගෙන කරනවාට වඩා , පිනක් විදියට කරන්නට කැමති පිරිසක් එකතුවෙනවා නම් මොන තරම් සුන්දර නිර්මාණයක් කරන්නට පුළුවන් වේවිද ? මේ වන විටත් එවන් නිර්මාණයන් , පරිත්‍යාගයන් ලෙස කෙරෙනවාද මම දන්නේ නැහැ , හැබැයි 2011 වසර වන තුරුම මා සේවය කළ රෝහලේ රෝගීන් වෙත විවිධ පරිත්‍යාග , කෑම බීම , කොට්ට මෙට්ට ලැබුණත් , මෙවන් පරිත්‍යාගයක් නම් දුටුවේ නැහැ.

මේ රටවල නම් ඒ වෙනුවෙන් ස්වෙච්චාවෙන් විග් හදල දෙනවා , (http://www.acvf.ca/ )පරිත්‍යාග කරන කොණ්ඩා එකතු කරලා එක එක වයසට ගැලපෙන “විග්“ හදලා පිළිකා රෝහලේ ප්‍රතිකාර ගන්න රෝගීනට දරුවන්ට පරිත්‍යාග කරනවා . නැත්නම් ඉතාම සුළු මුදලකට ලබා දීල ඒ මුදල තවත් පුණ්‍ය කටයුත්තකට යොදවනවා. ඒ කටයුත්තට අවශ්‍ය ශ්‍රමදායකත්වය “ස්වෙච්ඡාවෙන්“ ලබා දෙන්නටත් මාස කිහිපයක් පොරොත්තු ලේඛණයක ඉන්න ඕන , ඒතරම්ම සංවිධානගත වෙලා කරන කර්තව්‍යයක්. 

මේ ලිපිය කියවන ඔබ , ඔබේ මිතුරන් , මිතුරියන් පිරිසකට පුළුවන්කමක් ඇත්නම් මෙවන් එකමුතු වීමක් කරන්නට  , මෙවන් නිර්මාණයන් කරන්නට , ඔබේ විවේකය “සුන්දර පරිත්‍යාගයක“ නිර්මාණකරුවෙක් වෙන්නට කොයි තරම් අපුරුද ? , නිසි අයුරින් කෙරෙනවා නම් , එයම ලොකු පිංකමක් වේවි . 

සොඳුරු සුව අසපුව තුල ලියැවෙන හැම  “කතාවකදිම“ රෝගීන් සහ පවුලේ අය වෙනුවෙන් යොදා ගත් නම් හැරෙන්නට අනෙක් සියළුම කාරණා සත්‍ය වගේම , මගේ වෘත්තීය ජීවිතය තුල ලද අත්දැකීම් බවත් කියන්නටම ඕන ,  

මේ බලන්න මේ රටවල පිළිකාරෝගීන් සඳහා සැකසෙන කොණ්ඩා මොස්තර  , 
http://www.acvf.ca/index.php/our-programs/angel-hair-for-kids/ 

මේ ලිපිය ලියන්නට හේතු වුනු සුන්දර වීඩියෝව . මොහොතක් වැය කළාට , මෙගාබයිට් කිහිපයක් වැය කළාට පාඩුවක් වෙන එකක් නැහැ , නරඹන්න .