2014/05/17

161) හැමදාමත් ලෙඩවෙන මේ සෞඛ්‍යය

දොස්තර මහත්වරු 
හැමදාමත් ලෙඩ ගැනම කතා කර මේ පිටුව පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්නයි අද හදන්නේ . ඒකත් හැබැයි ලෙඩක් ගැන , නිකං ලෙඩක් නොවෙයි , ඔඩු දුවපු , කුණූ කරවපු , පැතිරිලා ගඳ ගස්වන , සැරින් සැරේ වේදනාව දෙන ලෙඩක් .

 කොහොම වුනත් මේ ලෙඩේ ගැන කතා කරත්දි ටිකක් දේශපාලනමය මත වගේම , ජාතිමාමක , දේශප්‍රේමී නොවන , ඒත් යථාර්ථයේ පවතින කරුණු කිහිපයකුත් මුසු කරන්නට වෙනවාමයි . නමුත් මේ ලියන මමත් මේ තුවාලය තුලම කළක් සිටි අයෙක් නිසා , මේ ලියැවිල්ල සර්ව සාධාරණ එකක්ම වේයැයි මම කියන්න යන්නේ නැහැ , ඒත් අද මේ ඔඩුදුවපු තුවාලයෙන් බැහැරව සිටින නිසා , තරමක් දුරට හෝ සමබරව කතා කරන්න ලොකු උත්සාහයක් දරනවා , වැරදි ඇතොත් සමාවන්න , සමා වී පමණකින් නොනැවති , වැරදුනු තැනට ඔබේ අදහසින් නිවැරදි කරමින් යම් කතා බහක් ඇති වේ  නම් එයය සතුට .


එහෙම නම් අටුවා ටීකා නිමා කරලා මාතෘකාවට බහිමු .

අද කතා කරන ලෙඩේ තමයි .... සිරි ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගැටළු සහ වර්ජන  , මේ නම අහපු ගමන් ඉතින් කවුරුත් චිත්තරපටියේ අඟ කොටහ කොහොමද කියල හිතාගනිවි, කමක් නැහැ , එන්න අපි ටිකක් කතා කරමු .

මේ කතා සාගරේ ඇතුලේ මෙන්න මේ ප්‍රධාන කාරණා  ගැන , මගේ නැණ පමණ අකුරු ටිකක් කරන්නේ , කියවන ඔබ , තම තම ණැන පමණ තෙරුම් ගනිවි කියල හිතනව.


 “මගේ පණ “ .. ඇයි මේ තරං ගනං  !

මේක ඉතින් අහන්නත් දෙයක්ද නේ ? මේ ලෝකෙ බිහිවන හැම කෙනෙක්ගේම වඩාත්ම වටින දේ මොකක්ද කියල හිතුවොත් , ඒ මිල මුදල් රත්තරං නොවෙයි , තමන්ගේ ජීවිතේ , තමන්ගේ සෞඛ්‍යය . කෙටියෙන්ම කීවොත් වැඩියෙන්ම වටින්නෙ “මගේ පණ“ , ඉතින් මගේ පණ රැක ගන්න උදව්වෙන ළඟම සේවාව තමයි සෞඛ්‍යය , ඉතින් ආයෙත් ඕකේ වැදගත්කම ගැන කතා කරන්න ඕනද ?

ලෙඩා මැදි කළ  දැළ 

මේ තරම් වටින පණ රැක දෙන සෞඛ්‍යය සේවය සැකසෙන්නෙ වෘත්තීකයන් , සේවාවන් ගණනාවක එක් විමක් වෙලා , ඇත්තටම කීවොත් නිකංම එක් වෙලා නොවෙයි , එකිනෙකට බැඳිලා හරියට දැළක් වගේ . ඒ දැලේ උපදේශන සේවාවන් , සනීපාරක්ෂණ පහසුකම් සපයන  සේවාවවන් , වෛද්‍ය ඉංජිනේරු සහ වෛද්‍ය තාක්ෂණික සේවාවන් , වෛද්‍ය සේවාව , හෙද සේවාව , ඖෂධවේදී සේවාවන් , භෞත චිකිත්සක , වෘත්තීය චිකිත්සක සෙවාවන් , මේ හැම තැනකම ඉන්න සහායක සේවාවන් , ප්‍රජා සෞඛ්‍ය සේවාවන් , පරිපාලනමය සේවාවන් ...... 

ඔය වගේ පුරුක් ගණනාවක් එකිනෙක අතරේ බැඳුනට පස්සෙ , ඔය දැලට මැදි වෙලා මැදි වෙලා ඉන්නේ කවුද ? ... අන්න එයා තමා ,සේවාව ලබන්නා , අපි දැනට රෝගියා කියල කියමු , හැබැයි මේ සේවාව ලබන්නා හැම තිස්සේම රෝගියෙක් වෙන්නේ නැහැ , සරළම උදාහරණයක් මාතෘ සායනයට යන සෞඛ්‍ය සම්පන්න ගැබිණි මවක් රෝගියෙක් නොවෙයි , ඇයි යන්නේ , විය හැකි අවදානමක් වලක්වා ගන්න , එහෙම නැත්නම් සාමාන්‍ය අගැයුමකට වෙන්න පුළුවන් .

කෙසේ වෙතත් මෙතන වැදගත්ම දේ මේ කියන පුරුක් වලින් හැදෙන  “සෞඛ්‍යය සේවාව කියන දැල“ ඇයි මේ විදියට ලෙඩාව වට කරගෙන ඉන්නේ ? .
.. පඩි වැඩි කරගන්න , 
...ඉල්ලීම් දිනා ගන්න , 
...රට පෙරලන්න , 
...ළකුණු දාගන්න , 
....ඡන්දේ දිනා ගන්න .
                                    ........... නැහැ , මෙහෙම මැදි කරගෙන ඉන්න ඔහු හෝ ඇය මේ සෞඛ්‍යය සේවාවේ “වැදගත්ම පුද්ගලයා නිසා“ , වටින දේ පරිස්සම් කරගන්නනේ මැදි කරගෙන ඉන්නේ .ඔය නිසාම අද සෞඛ්‍යය සේවාව ගැන කතා කරත්දි භාවිත වන පදයක් තමයි " Patient centered Heath System" කියන අදහස . 


කවුද... කවුද.... දැන් ලොක්කෝ ?  

මේක මහ අණ්ඩර දෙමළ කතාවක්නේ කියල දැන් ඔබ කියාවි , ලෙඩා කොහොමද වැදගත්ම පුද්ගලයා වෙන්නේ , “ලෙඩා කියන්නේ මේකේ අන්තිමයා , එයාට බැරි නිසානේ මෙතැනට යන්නේ “ ...කියලා . ඒත් සමස්ථ සෞඛ්‍ය සේවාවම වැටුප් ගන්නෙ , ජීවත් වෙන්නේ , ඔය  යාන වාහන වල යන්නේ , කෙටියෙන්ම කීවෝත නොමැරි ජීවත්  වෙන්නේ , රෝගියාට සේවාව ලබා දීමෙන් ලැබෙන වැටුපෙන් , දීමනාවෙන් . කවද හරි දවසක රටේ සියල්ලන්ම කිසිම රෝගයක් නොහැදෙන නිරෝගීම පිරිසක් වුනොත් ඔය හැමෝටම රස්සාවල් ටික දාල යන්න වෙනවා . මොකද එදාට සෞඛ්‍ය සේවයක් ඕන නැහැ . මේ කිව්වේ රෝගියාගේ වැදගත්කම  පෙන්වන්න ගත්ත උදාහරණයක් මිසක කවදාවත් සිදුවන දෙයක් නොවෙයි . 

දෙයියෝ දේවාලේද , ඉස්පිරිතාලෙද ? 

මේක හරිම ප්‍රශ්නයක් නේ ?  අපේ තියෙන මනුස්සකම , භක්තිමත් බව එක්ක කියැවෙන මේ “මගේ දෙයියෝ“  ගැන පොඩ්ඩක් කතා කරමු මෙන්න මේ විදියට .



ක්ලිනින් මහත්වරු 
“බබා  හම්බනවෙන්න ගිහිල්ල මම මැරෙන්න ගිය වෙලාවේ මාව  බේරගත්ත මහ ඉස්පිරිතාලේ ලොකු දොස්තර මහත්තයා දෙයියෙක් ! “  ,  අවදානම් ගර්භණිත්වයකින් පස්සේ නිරෝගි දරුවෙක් බිිහි කරපු අම්ම කෙනෙක් මෙහෙම කියනවා මට ඇහුණ . හැබැයි මේ දරු පැටිය  සහ අම්ම බේර ගත්ත කර්තව්‍යයේ ඉන්නේ  එක දෙයියෙක් විතරද ? .. මෙහෙම හිතමු ? 


ඇති කතාව

මේ අම්ම ගැබිණී බව දැන ගත්තට පස්සේ ළඟම තියෙන පවුල් සෞඛ්‍යය සායනේට යන්න ඇති , එතැනදි පවුල් සෞඛ්‍ය නිලධාරිනිය සහ පවුල් සෞඛ්‍ය හෙද සොයුරිය මව පිළිබඳ තොරතුරු විමසීම් , දත්ත රැස් කිරීම් මඟින් හඳුනගන්න ඇති අැය “අවදානම් තත්ත්වයේ ඇති මවක්“ බවට . කාඩ් එකේ රතු ලේබල් එක එහෙම ගහල යොමු කරන්න ඇති ගමේ රෝහලට . 

ඊට පස්සෙන්ම මහත්තයා ත්‍රීවීල් එකක්වත් හයර් කරගෙන ඇවිත් බොහොම පරිස්සමට ගමේ ඉස්පිරිතාලෙට මේ අම්මව කැන්දගෙන යන්න ඇති . ඕපීඩි කාමරේදි ලෙඩා බලපු දොස්තර මහත්තයා   “ළමයා , මේ ලෙඩාව ට්‍රොලියෙන් එක්කරගෙන යන්න පහේ වාට්ටුවට “ කියල ලියන්න ඇති . රෝහලේ කණිෂ්ඨ සේවක මහත්තයා , අම්මව ට්‍රොලියට දාගන පරිස්සමට වාට්ටුවට එක් කරගෙන ගියා.

 වාට්ටුවේ හෙද නිලධාරිනිය  , ලෙඩාව වාට්ටුවට අරගෙන , ලියාපදිංචි කරල , ඕන කියන ලියකියැවිලි ලේස්ති කරලා , රැධිර පීඩනේ නාඩි වේගේ , උණ , වෙනත් හදිසි අවදානම් ලක්ෂණ ඇත්ද කියල බලල දොස්තර මහත්තයට දාන්න ඇති , දොස්තර මහත්තයා අම්මව බලල , අවදානම හඳුනගෙන, රෝග විනිශ්චය  , “අනිවාර්ය ඇඳ විවේකය“ නියම කරල , බෙහෙතක් නියම කරල යන්න ඇති . 

ඊට පස්සේ වාට්ටුවේ හෙද නිලධාරිනිය , ඉස්පිරිතාලේ ෆාමසි එකේ ඖෂධවේදිනියගේ මැදිහත් වීමෙන්  වෙලාවට හම්බවුනු බෙහෙත් වලින් අවශ්‍ය බෙහෙත , නියමිත මාත්‍රාව දීල අම්මට විවේක ගන්න දෙන්න ඇති , පැය බාගෙන බාගෙට , පැයෙන පැයට අම්මගේ ප්‍රෙෂර් බල බල සටහන් තියෙන්න මේ  හෙද නිලධාරිනියයි , රෑ වුනා , වාටුටුවේ පැය විසි හතර පුරාම රැඳෙන හෙද සේවය , මේ අම්මව තනි නොකර ඉන්නවා . 

අම්මගේ තත්ත්වේ හොඳ නැහැ වගේ හදිසියක් ! හෙද නිලධාරිනිය  ඉස්පිරිතාලේ එක්ස්චේන්ජ් එකට කෝල් එකක්  අරන් ඩොක්ටර්ට කතා කරන්න ඇති , එක්සිචේන්ජ් එකේ අද නයිට් ෂිෆ්ට් එක කරන දුරකථන මෙහෙයුමේ මහත්තයා කොහොම හරි දොස්තර මහත්තයට පණිවිඩේ දෙන්න ඇති , අම්මට ටිකක් අමාරුයි ‍, ඇඳ පුරාම අපවිත්‍ර වෙන්න ඇති , වාට්ටුවේ ඉන්න කණ්ෂ්ඨ සේවිකාව , ඒ සියල්ල පිරිසිදු කරගන්න ඇයට උදව් වෙන්න ඇති . 

සැරින් සැරේ ලෙඩ දෙන ස්කෑනිං මැෂිම ,  ජෛව ඉංජිනේරු එකේ මහත්තය හදල දීල ඇති.  මහ රෑම ආපු දොස්තර මහත්තයා අර ඉංජිනේරු මහත්තරු හදපු ස්කෑනිං මැෂීමෙන් අම්මගේ “බඩ බලන්න “ ඇති , තත්ත්වේ හොඳනැති බව පැහැදිලිවම පේන්න ඇති .  “ මිස් ඉක්මනට , ඇම්බියුලන්ස් එකකට කොල් කරන්න , සෙලයින් දාන්න , ඊ සී ජී එකකුත් දාගෙන , මහ ඉස්පිරිතාලෙට යමු “ දොස්තර මහත්තය හෙද නිලධාරිනියට කියන්න ඇති ,  ඊ.සී.ජී එකේ නෝනා “පපුවේ පටිය “ ගන්න කම් මිසී “කටුවක් දාල , සේලයින් පටන් ගන්න ඇති “ , දොස්තර මහත්තයා මහ ඉස්පිරිතාලෙට කතා කරන අතරෙම වෙලාවට ඇම්බියුලන්ස් එක ආව නිසා , කම්කරු සේවක මහත්තයගේ උදව්වත් ඇති ව අම්මව ඇම්බියුලන්ස් එකට දා ගන්න ඇති , තත්තවේ හොඳ නැහැ නිසාම දොස්තර මහත්තයත් , නර්ස් නෝනත් ලෙඩා ගාව . 
ඇම්බියුලන්ස් එකනේ රියදුරු මහත්තයා ‍, නලාව පිඹගෙන   පුළුවන් තරම් ඉක්මණට  , පරිස්සමින් , ලෙඩාව මහ ඉස්පිරිතාලෙට ගෙනියන්න ඇති , 

මහ ඉස්පිරිතාලෙ ඔපරේෂන් කාමරේ භාර හෙද සොයුරිය , “හදිසි සැත්කමට“ අවශ්‍ය සියල්ල සූදානම් කරල ඇති , ලොකු දොස්තර මහත්තය , නිර්වින්දන වෛද්‍යවරයා , ශල්‍යාගාර හෙදියන් , උපස්ථායක , සනිපාරක්ෂක කම්කරුවන් සීරුවෙන් , ලෙඩා ගෙනාව , ලොකු දොස්තර මහත්තයා ඔපරේෂන් එක කරනවා , කණ්ෂ්ඨ සේවක මහත්තරු දොස්තර මහත්තයට වැඩේ හොඳට  කරගන්න ලයිට් එක සකසල  දෙනවා , හෙදිය , කැපෙන හැම පටකයයකට අනුව ඊළඟට දොස්තර මහත්තයාට ඕන කරන විෂබීජ මරපු  , උපකරණ , විශේෂීත ලෙස සූදානම් කරගෙන ඉන්නවා , 

පැටිය ගත්ත එළියට , පැටිය අතට ගත්ත  මිසී ,  කළින් ලැබිල තිබුණ උපදේස් අනුවම පැටියව යොමු කළා “ළදරු දැඩි සාත්කර එකකේට “ , ඔපරේෂන් එක ඉවරයි , අම්මව යැව්ව වාට්ටුවට ,  පැටියා ළදරු දැඩි සත්කාර් , කරදරයක් නැහැ , සනීපෙට ඉන්නව , “චුට්ටක් විතර බර අඩු නිසා දවසක් දෙකක් එහේ ඉන්න අරිමු , “ දොස්තර මහත්තය අම්මට කිව්ව . 

උදෙ පාන්දරම අම්මව බලනන්න පවුලේ කට්ටියම ආව ... අම්ම කියනවා “බබා  හම්බනවෙන්න ගිහිල්ල මම මැරෙන්න ගිය වෙලාවේ මාව  බේරගත්ත මහ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා දෙයියෙක් ! “
මම කියන්නේ නැහැ මේ අම්ම වැරදිකාරියක් කියල , මේ අපේ මනුස්සකම , ඒත් අද අම්මයි දරුවයි මෙහෙම ඉන්නේ එකම එක සේවාවක් නිසාද ?  , මේ “ඇති කතාවේ“ දෙව්වරු කීදෙනක් ඉන්නවාද කියල ගනන් කරල බලමුද ?  මේ අය දෙවිවරු නම් , මේ අම්ම දරුව බේර ගත්ත දේව කාර්යයේදි , සමස්ථ දේව සභාවම ඊට මැදිහත් වුනා , මෙ එක තැනක හරි අඩුවක් , ප්‍රමාදයක් , වැරදි තීරණයක් වුනා නම් , දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ එහෙනම් !


ලොකුකම සහ වගකීම 

මේ “ඇති කතාව “ කියන්න ඕන වුනේ අපි හුඟක් දෙනෙක් සංවේදී නොවන කාර්යභාරයක් රෝහල් පසුබිම තුල සිදුවෙන බව කියන්න . සෞඛ්‍ය සේවාව කියන පද්ධතිය හැදිල තියෙන්නේ ක්ෂේත්‍ර ගණනාවක එක්වීමකින් , සනීපාරක්ෂණ කම්කරුවාගේ ඉඳළ , විශේෂඥ වෛද්‍යවරයා දක්වා ඒ බැඳීම පැවතිය යුතු වෙනව. මේ හැම කණ්ඩායමකටම නිශ්චිත වුනු කාර්ය භාරයක් තිබෙනවා , ඒ කාර්යාවලිය ඔස්සේ ඒ හැම කෙනෙක්ම වැදගත් පුරුකක් මේ සේවාව තුල. උදාහරණයක් , සනීපාරක්ෂණ කම්කරුවන් , රෝහල , වාට්ටු වල පවිත්‍රතාව පිළිබඳ කාර්යමය වගකීමක් දරනවා , එය නිසි ලෙස ඉටු නොවුනොත් මුළු පද්ධතියම අඩාලයි , අනෙක් කෙළවර විශේෂඥ වෛද්‍යවරයා , රෝග නීර්ණය , ප්‍රතිකාර පිළිබඳ තීරණ ගැනීමේදි ඔහුට ඉහළ වගකීමක් තිබෙනවා , ඒ අතර ඉන්න අනෙක් සෑම නිලධාරියෙක්ම , තමන්ට අදාල වූ නිශ්චිත කාර්ය මාලාවක් තුල වගකීමක් දරනවා. 

හෙද සේවාව රෝගීන්ගේ සාත්තුව , හෙද විනිශ්චයන් , සහ වාට්ටු පරිපාලනය , කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පරිපාලනමය කටයුතු කරත්දි , ඖෂධවේදීන් රෝගීන්ට ලබා දෙන ඖෂධ ලබා දීම , ඒ පිළිබඳ උපදෙස් ලබා දීම, රෝහලට අවශ්‍ය ඖෂධ , රසායනික ද්‍රව්‍ය ආදිය පිළීබඳව කටයුතු කරනවා . පවුල් සෞඛ්‍ය සේවිකාවන් මාතෘ සහ ළඳරු උපත් ආශ්‍රිතව සායන , උපදෙස් ලබා දීම වගේ ,  ඔය විදියට මේ හැම අතුරු සේවාවක්ම සෞඛ්‍ය සේවයේ වැදගත් කර්තව්‍යයක් ඉටු කරමින් තිබෙනවා. මේ එක් කණ්ඩායමක හෝ බිඳ වැටීම රෝගියාට විඳවන්නනට වන සිදුවීමක් , මේ ගැන අපේ රටේ ජනතාවට කියන්න ඕන නැති තරම් .




අපිමයි අපිමයි දැන් ලොක්කෝ

ලෙඩාටමයි අපි හැමෝම 
 රෝග විනිශ්චය කිරීම , ප්‍රතිකාර තීරණය කිරීම අතින් වෛද්‍ය කණ්ඩායමේ වගකීම ඉහළයි  , 

 රෝහලේ පැය විසි හතර පුරාම පවත්වා ගත යුතු හෙද සේවාව පරිපාලනය කිරීම , සේවා පහසුකම් අගැයුම් කිරීම වගේ කටයුත්තෙදි රෝහලේ ප්‍රධාන හෙද නිලධාරියාගේ වගකීම ඉහළයි .

 වාට්ටුවේ රෝගීනගෙ සියළුම සෞඛ්‍යය සේවාවන් නිසි ලෙස  සම්බන්ධ කිරීම  , පැය විසි හතර පුරාම රෝගීන් සමඟ සිටිමින් ඔවුන් රැක බලාගැනීම  කියන වගකීමෙදි වාට්ටුවේ හෙදියගේ වගකීම ඉහළයි.

  ප්‍රජාවේ ඉන්න ගර්භනී මව්වරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම , සෞඛ්‍ය තොරතුරු රැස් කිරීම කියන තත්ත්වයෙදි පවුල් සෞඛ්‍ය නිළධාරිනියගේ වගකීම ඉහළයි . 

මේ විදියට ඒ ඒ සේවාවට අනුකූලවු , රෝගියාට අදාල වූ වගකීම් පවතිනවා , මේ නිසා එක සේවාවක් අනෙක් සේවාවට වඩා ඉහළයි කියන “පරපීඩක මතය“  කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් . දොස්තර හෙදියට ලොක්කෙක් වීම හෝ හෙදිය මිඩ්වයිෆ්ට ලොක්කියෙක් වීම නොවෙයි විය යුතු දේ , විය යුතු දේ මේ හැමෝගෙම ලොකු කම්  ලෙඩාගේ දිසාවට යොමු වීම ....ඕක කියන්න දෙයක්ද ? දැන් වෙන්නෙත් ඕකමනේ ? ... නැහැ නැහැ , මම මෙතන “ලොකු කම්“ කියල අදහස් කළේ , ඒ ඒ කණ්ඩායම් වල ඇති වෘත්තීය වගකීම් , දක්ෂකම් හැකියාවන් කියන එක. මොකද මේක කණ්ඩායම් වැඩක් . 

එසේ නැතිව   වසර පහක් වෛද්‍ය විද්‍යාල දැනුමක් ලැබූ පමණින් ඔහු හෝ ඇය  “සියළු තීරණ ගත යුතු ලොක්කෙක්“ බවට පත්  කරන මානසිකත්වය ගැලපෙනවාද කියන එක ප්‍රශ්නයක් . නමුත් අද දවසේ වාට්ටුවේ බිත්තිටය ගාන පාට වර්ගය තීරණය කිරීම  , ඉඳළ අනෙක් පාර්ශවයේ උපාධීයේ කාළ සීමාව තීරණය කිරීම දක්වා වගකීම ගන්නේ / ගන්න වෙලා තිබෙන්නේ / ගන්නට පොළඹවන්නේ එකම කණ්ඩායමකට. මේ එක් එක් විෂය සඳහා විශේෂ පුහුණුවක් අධ්‍යාපනයක් ලැබූ කණ්ඩායම් හිටියත් ඔවුන්ට අදාල තිරණ ගැනීම සඳහා ඉඩක් ලැබෙනවාද කියන එක ප්‍රශ්නයක් . 

එහෙම නම් කළ යුත්තේ කුමක්ද ? උත්තරේ සියල්ලන්ම “ලොක්කන් කිරීම“  නැත්නම් එසේ වීමට ඉඩකඩ ලබා දිීම, ඒ කිවේ අදාල වෘත්තියට අනුකූල අධ්‍යාපනය , පුහුණුව ,අත්දැකීම් අතින් ඔවුන් ඉහළ තත්ත්වයකට නැංවීම . එසේ ලොක්කන් වූ සෞඛ්‍ය සේවයකදි “රෝගියා“ ඉහළම පුද්ගලයා බවට පත්වෙන එක , යහපත් සෞඛ්‍ය සේවයක් රටට ලැබෙන අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්.

නොකැපිය යුතු දීමනාව

එසේ නම් කළ යුත්තේ ඒ ඒ වෘත්තීන් වල අධ්‍යාපන අවස්ථා , උපාධි මට්ටම් කප්පාදු කරන එක නොවෙයි අවුරුදු හතරේ උපාධිය , තුනක් විය යුතු බවට බල කරන එක නොවෙයි , වගකීම් වල ස්වභාවය අනුව ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම් ඉහළ නංවා ගන්නට අවස්ථාව ලබා දීම . 

මේ කතාව හෙද උපාධි සඳහා පමණක් නොවෙයි , සමසෞඛ්‍ය , පෝෂණවේදී උපාධි , ඖෂධවේදී වැනි උපාධි මෙන්න අනෙක් චිකිත්සකීය වගකීම් දරන සියළු වෘත්තීන්ට අදාලයි . තමන්ගේ පෝෂණ ගැටළුවට අදාල පිළිතුරක් , පෝෂණය පිළිබඳවම උපාධියක් ඇති පෝෂණවේදියෙකුගෙන් ලබා ගන්නට පුළුවන් නම් එහි වටිනාකම , ඵලදායි බව වැඩියි . විය යුත්තේ මෙයයි , එසේ නැතිව සියල්ලගේම රාජකාරි කවලම් කරගෙන , තනියම කරන්නට ගොස් කැඳ හැලියක් හදාගන්නවාට වඩා. 

ලොව පුරා සෞඛ්‍ය සේවාවන් බැලුවොත් , ඉහළ සෞඛ්‍ය දර්ශක ඇති රටවල වෛද්‍ය සේවාවට අමතරව , මෙන්න මේ වගේ  වෘත්තීන් සඳහා ඇතුළු විමේ මුලික සුදුසුකම විෂයට අදාල උපාධියක් තිබිම . අනෙක මේ බොහෝ උපාධි මුලික උපාධීයකින් නතර නොවී  Msc , PhD දක්වා ගමන් කළ හැකි පියවරයන් සහිත සංකීර්ණ විෂයයන් .  නමුත් අපේ රටේ මේ කාටවත් අවුරුදු හතරක  උපාධීයක් , Msc  උපාධියක් කරන්නට , එහෙම කෙනෙක් වෘත්තියට බඳවා ගන්නට ගියොත් , ටිකක් කරදරයි  , හොඳම උදාහරණය අද ලංකාවේ පෝෂණවේදී උපාධීධාරින්ට සිදුවී ඇති දේ .    ඒ විතරද සම සෞඛ්‍ය උපාධිධාරින්

  • හෙද සේවාව (අවුරුදු 4-6) 
  • වින්නඹු සේවාව (අවුරුදු 4-6) 
  • ඖෂධවේදී සේවාව‍ (අවුරුදු 4-5) 
  • පෝෂණවේදී (අවුරුදු 4) 
  • වෘත්තීය චිකිත්සක (අවුරුදු 4) 
  • භෞත චිකිත්සක (අවුරුදු 4) 
  • ජෛව තොරතුරු තාක්ෂණවේදය (අවුරුදු 4) 
  • (තවත් ගණනාවක් ඇත)


අපේ රටේදි වසර පහක වෛද්‍ය විද්‍යාල උපාධියක් ලැබු පමණින්ම ඔහු හෝ ඇය මැරෙන තුරාවටම දොස්තර කෙනෙක් බවට පත්වෙනවා , ඒ හෙදියක් වසර තුනක ඩිප්ලෝමාව කළ පමණින්ම අවුරුදු හැට පහවෙනකම්ම රැකියාව කළ හැකි කෙනෙක් බවට පත්වෙනවා (ඒ කීවේ තව දුරටත් දැනුම වැඩි කරගත්තත්  යාවත්කාළීන කරගත්තත් නැතත් ) , 

 නමුත් සෞඛ්‍ය දර්ශක ඉහළ මට්ටමේ පවතින රටවල මේ තත්ත්වය නැහැ , මේ රටවල වෛද්‍යවරයෙක් ලෙස සේවයට බැඳෙන්න අවම වශයෙන් වසර අටක , නමයක විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් හදාරන්නට වෙනවා , ලියාපදිංචි හෙදියක වන්නට නම් අවම වශයෙන් වසර හතරක හෙද උපාධිය සම්පුර්ණ කළ යුතු වෙනවා , ලියාපදිංචි වින්නඹූ නිලධාරිනියක් වන්නට වසර හතරක උපාධියක් අවශ්‍යමයි , ඖෂධවේදියෙක් විදියට රැකියාවට බැඳෙන්න වසර හතරක ඖෂධවේදි උපාධිය අනිවාර්යයි . 

කෙටියෙන්ම කීවොත් මේ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේ , රෝගියා සමඟ සෘජුවම ගැටෙන , තීරණ ගැනීමේ වගකීම ඉහළ හැම වෘත්තිකයෙක්ම අදාල වෘත්තිය පිළිබඳව උපාධිධාරියෙක් . සහායක සේවාවලදි අවම වශයෙන් අවුරුද්දකවත් අදාල සේවාව පිළිබඳ ඩිප්ලෝමාවක් වත් තිබිය යුුතු වෙනවා.   ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය මට්ටමේ ගත් තීරණ අභීබවා යන්නට අනෙක් කණ්ඩායම මාන බලන්නේ නැහැ. ඒ වෙනුවෙනට ඔවුන් කරන්නෙ ඊළඟ අවුරුද්දේ තමන්ගේ රස්සාව කරගෙන යන්න ඕන කරන අමතර දැනුම එකතු කරගැනීම  , නැත්නම් තමන්ගේ වෘත්තිය බලපත්‍රය අළුත් කිරීමේ විභාගයට සූදානම් වීම , මොකද ඊළඟ අවුරුද්දේ බලපත්‍රය අළුත් නොකරගත්තොත් රස්සාවට දෙවි පිහිටයි . ඒකයි තත්ත්වේ.

ඒ වගේම අවුරුද්දේ  ඩිප්ලෝමාවක අරන් රෝහල් සේවයට ඇතුළු වන කෙනාට ,  රැකියාව කරන ගමන්ම , තමන් කැමති නම් වෛද්‍ය උපාධීය හදාරලා , වෛද්‍යවරයෙක් වෙන්නට , නැත්නම් හෙද උපාධිය හදාරලා ලියාපදිංචි හෙදියක වන්නට අවස්ථාව තිබෙනවා කිසිම කණ්ඩායමක් මේ ඉහළ යාමේ ගමන් මගට බාධා කරන්නේ නැහැ. 

මේ තත්ත්වයන් නිසාම රෝගියාට ලැබිය යුතු උපරිම සේවාව ලැබෙන වගෙම , එසේ ලැබිය යුතු සේවාව නිසි මට්ටිමන් නොලැබුණොත් තරතිරම නොබලා අදාල නිලධාරියාට එරෙහිව නීතිය ඉදිරියට ගිහින් තමන්ට වුනු අසාධාරණයට වන්දි ලබා ගන්නත් හැකියාව තිබෙනවා. 
මේ නීතිමය දැනුම , හැකියාව නිසාම , සේවාව ලබා දෙන වෘත්තිකයනුත් තම සේවාව , අඩුවක් නැතිව ලබා දෙන්නට පෙළඹෙනවා , මොකද ඔවුන් දන්නවා අඩුවක් වුනොත් ඩොලර් දහස් ගණනක වන්දියක් ගෙවන්නට වන බව .


Registered Nurse සහ  Nurse Practitioner රෝගී පරික්ෂාවක  
අපි මේ රටවල (කැනඩාව සහ අමෙරිකානු  )  හෙද සේවාව ගත්තොත් , ඇය ඉතා ඉහළ වගකීමක් ඇති කාර්යයක කරන්නේ , රෝගියා සම්බන්ධ , සියළුම මුලික පරික්ෂණ , හෙද විනිශ්චයන් ලබා දීම ,සම්පුර්ණ හෙද සාත්තුව , ඖෂධ , නික්ෂේපන ලබා දීම , උපදේශන කටයුතු , ඒ විතරක් නොවෙයි ඖෂධ වර්ග නියම කිරීම , පරික්ෂණ නියම කිරීම , වගේ තීරණ ගැනීමත් කෙරෙනවා.  ඒ සඳහා හෙද නිලධාරියාට මුලික උපාධියෙන් පසුව PhD දක්වා තම දැනුම ඉහළට ගෙන යාමට Nurse Practitioner බවට  පත්වීමට අවස්ථාව ලබා දී තිබෙනවා . මේ දවස් වල හෙදියට Prescribe කළ හැකි ඖෂධ වල ප්‍රමාණයන් තවත් වැඩි කිරීමටත් ,  රෝගීන්ගේ මුලික රෝග විනිශ්චයන් පිළිබඳ ගත හැකි තීරණ වල ස්වාභවය වැඩි කිරිමටත් කටයුතු කෙරෙමින් යනවා . හැබැයි ඒ තීරණ වලට කිසිම කෙනෙක් ස්ට්‍රයික් කරන්නටවත් , බාධා කරන්නටවත් ගියේ නැහැ , සියල්ලෝම සතුටින් තමන්ගේ කාර්යයන් කරගෙන යනවා පමණයි .



මේව මෙහෙම වෙත්දි , අපේ රටෙත් මේ අන්තිම ඡේදය තුල කීව වගේ යහපත් මට්ටමේ සෞඛ්‍ය සේවාවක ලබා ගන්නට නම් මොනවද කරන්නට  පුළුවන් කියල බලමු . නමුත් මේ ටික කරන්නට විය යුතු ආකල්පමය වෙනස සිදුවේද කියන එකනම් ප්‍රශ්නයක් තමයි.

  • ප්‍රජාව , තම සෞඛ්‍ය කණ්ඩායම සහ ඔවුන්ගෙන් ඉටු විය යුතු  සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම , ඒ වගේම තමන්ට ලැබිය යුතු සේවාව නොලැබුණානම් ගත හැකි නීතිමය පිළිසරණ , දැනුවත් කිරීම කළ යුතුමයි . අයාලේ යන තත්ත්වයකට පත්වෙමින් තිබෙන දේ නැවතත් හරි මගට ගන්නට මේ පියවර අත්‍යවශ්‍යම බවයි මගේ හැඟිම. මේ තැනදි , සියළු සෞඛ්‍ය වෘත්තික / සහායක සේවා වලට අදාල අධ්‍යාපන සුදුසුකම් , වගකීම් , බැඳීම් සහ වැටුප්  / දීමනා පිළිබඳව තොරතුරු සාමාන්‍ය ජනතාවට පවා ලබා ගත හැකි ලෙස ප්‍රජාව/ මහජනතාව දැනුවත් කරන්න පුළුවන් නම් , වෙබ් පිටුවකට (සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේම) එක් කරන්නට පුළුවන් නම් උපකාරයක් වේවි සියල්ලන්ටම. 


  • සැරින් සැරේ පාට වෙනස් නොකරන , රාජ්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය වීම , එය නිර්මාණය කිරීමේදි එක් සෞඛ්‍ය වෘත්තික කණ්ඩායමක අදහස් ගන්නවාට වඩා , රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීම පිළිබඳව විද්වත් මණ්ඩලයක මූලිකත්වයට  සියළු සෞඛ්‍ය වෘත්තිකයන් / සේවාවන් සහ ප්‍රජාව නියෝජනයෙන් යුත් කණ්ඩායමක අදහස් ලබා ගැනීම. 


  • රෝගියාගේ ජිවිතයේ තීරණාත්මක මැදිහත් වීම වන වෛද්‍ය නොවන අනෙක් කණ්ඩායම් , හෙද සේවාව , පවුල් සෞඛ්‍ය සේවාව , ඖෂධවේදී , අනෙකුත් චිකිත්සක සේවාවන් වලට අවම වශයෙන් වසර හතරක උපාධිය හැදරීමට අවස්ථාව ලබා දීම සහ එම උපාධි , පුහුණු , සේවාවන් ට අනුව වැටුප්තල සකසා දීම .


  • මේ සේවාවන් වලට උපාධි ලබා දීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල , විවෘත විශ්ව විද්‍යාල පහසුකම් ඉහළ නැංවීම සහ , ජාත්‍ය්තනරව පිිළිගත් ප්‍රමිතියේ පුද්ගලික විශ්ව විද්‍යාල පහසුකම් ආරම්භ කිරීම . 
    • මෙහිිිදි කුමන විශ්ව විද්‍යාලයෙන් උපාධිය ගත්තත් , ජාතික මට්ටමේ එකම අවසන් විභාගයකින් සෞඛ්‍ය සේවයේ වෛද්‍ය , හෙද , ඖෂධවේදී , චිකිත්සක වැනි ඉහළ කී සේවාවන් වෙත බඳවා ගන්නවා නම් එය ගැටළුවක් වන්නේ නැහැ. මක් නිසාද එම ජාතික මට්ටමේ  පරික්ෂණය සමත් වීමට නම් අදාල පුහුණුව , දැනුම සම්පුර්ණ කර , එය සනාථ කළ යුතුමයි .  උසස් පෙළින් ඒ හතරම අරගෙන වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ගත් වෛද්‍යවරු එක්ක වගේම  , උසස් පෙළින් බී හතර අරගෙන විදේශ වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍ය උපාධිය ගත් , විශේෂඥ වෛද්‍යවරුන් රැසක් සමඟ මගේ සේවා කාළය තුල කටයුතු කිරීමෙන් මේ නොවෙනස් පිළිබඳ වැටහීමත් ලැබුණා .


  • මේ වෘත්තීන් සඳහා මැරෙණා තුරු ලබා දෙන වෘත්තිය බලපත්‍රයක් වෙනුවට , දැනුම යාවත්කාළීන වීම , අළුත් පුහුණු ලබා ගැනිම වැනි විභාග , පරික්ෂණ ඔස්සේ නැවත අළුත් කළ යුතු වෘත්තිය බලපත්‍ර ලබා දීමේ ක්‍රමයක් හඳුන්වා දීම , 


  • තමන්ගේ සෞඛ්‍ය සේවකයාගෙන් (වෛද්‍යවරයා , හෙදිය , වෘත්තිය චිකිත්සක වරයා වැනි )  තමන්ට ලැබුණු සේවාවේ පල - අපල පිළීබඳව දැනුම් දිය හැකි  සහ ලැබෙන අදහස් , චෝදනා විග්‍රහකොට තීරණ ගත හැකි මධ්‍යගත ආයතනයක් පිහිටු වීමත් , එම ආයතනය වෙත එම අදහස් යොමු කිරීමට ප්‍රජාවට අවස්ථාව ලබා දීමත් . 


  • සෞඛ්‍ය පිළිබඳ තීන්දු තීරණ ගැනීමෙදි , දේශපාලනික පක්ෂපාතී භාවයට වඩා , දේශීය සහ විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් සේවාව පිළිබඳ දැනුමක් ඇති , හැම වෘත්තික කණ්ඩායමක්ම නියෝජනය වන නියෝජිත මඩුල්ලක් පවත්වා ගැනීම .


  • වෘත්තීය සමිති , තම වෘත්තීයේ සහ වෘත්තිකයන්ගේ තත්ත්වය ඉහළ නැංවීම වගේම , ඔවුන්ගෙන් ප්‍රජාවට ලැබෙන සේවාවේ ඵලදායි බව වැඩි කිරීමට කටයුතු කිරීම. විශේෂයෙන්ම ප්‍රජාවත් එක්ක වෘත්තිය සම්බන්ධතාවක්  පවත්වාගෙන යන ආකාරය , යහපත් සන්නිවේදනයක් පවත්වා ගන්නා ආකාරයවත් පුහුණු කිරීම , උනන්දු කිරීම.


  • ප්‍රජා සෞඛ්‍ය සේවාව ප්‍රළුල් කිරීම , ප්‍රජා සෞඛ්‍ය හෙද සේවාව , ප්‍රජා සෞඛ්‍ය මානසික / උපදේශන සේවා වැනි වෘත්තීන් රටට හඳුන්වා දීම 


  • අවසානය , එක වෘත්තියක අනෙක් වෘත්තියට බලපෑම් , අභීයෝග නොකර , සැමගේම ඵලදායි සේවාවන් වලට ගරු කරමින් සියළු වෘත්තියන්ට තම වෘත්තීන් , අදාල සීමාවන් තුල ගෞරවයක් සහිතව කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් ලබා දීම .

මේ දවස් වල ලංකාවේ පත්තර කියවත්දි දැකපු ප්‍රවෘත්ති නිසා , වගේම මමත් අවුරුදු දහතුනක් විතර ලංකාවේ සෞඛ්‍ය සේවාව තුල විවිධ වෘත්තිකයන් සමඟ වෘත්තිය සමිති සමඟ කටයුතු කළ නිසා , මේ මාතෘතාව ගැන ලියන්න හිතුනා මිසක කිසිම වෘත්තික කණ්ඩායමක් සමඟ වෛරී ආකල්පයකින් මෙය ලියැවුනා නොවෙයි මොකද පුද්ගලිකව මගේ සේවා කාළය තුල මනුස්සකම් පිරි , ඇත්තෙන්ම මහත්වරු කියන්නට පුළුවන් විිශේෂඥ වෛද්‍යවරු වගේම , උපාධි සහිත  සනීපාරක්ෂක කම්කරු මිත්‍රයන්  එක්කත් මට කටයුතු කරන්නට ලැබිල තිබෙනවා . ඒ නිසා ඒ අතරේ සියළුම වෘත්තික / සහායක කණ්ඩායම් මට හෘදයාංගමයි . ඉන් බොහොමයක් මෙ ලිපිය කියවන බවත් මම දන්නවා.  නමුත් උදහරණ ගනිත්දි හෙද සේවාව පිළිබඳ ගන්නට සිදුවුනේ එය මට වඩාත් දැනෙන නිසා . කියන්නනම් තවත් දේවල් බොහොමයි , ඒත් ඉතින් මේ කියන දේ නිසි තැන්වලට යොමු වේද කියන එක ප්‍රශ්නයක් , අඩුම තරමේ සිංහල බ්ලොග් කියවන කිහිප දෙනෙක් හරි කියවාවිනේ , ඒක සතුටක් .

මේ ලිපිය තුලට එක කළ යුතු අදහසක් වේනම් ඔබට අවස්ථාව තිබෙනවා ඒ වගේම යොමු කළ යුතු තැනකට යොමු කරනවා නම් ඊටත් අවස්ථාව . 

නැවත හමුවෙමු සුව සතුට සමඟින්!