2026/07/11

💖අළුත් රටේ ආදරේ 💔

“අයියා, මට ටිකක් ඔයත් එක්ක කතා කරන්න පුළුවන්ද?”
 
රැකියාවේ වගකීම් වෙනුවෙන් නගරය පුරා එහෙ මෙහෙ යන අතරේ මැසෙන්ජරය ඔස්සේ ආ පණිවිඩයක් ෆෝන් එක් තිර‍යේ මතුවුනා. රාජකාරි වෙලාව ඇතුලේ සමාජ මාධ්‍යය එක්ක වැඩිය නොගැවසෙන නිසා, දවසේ වැඩකටයුතු හමාර කරලා ගෙදර ඇවිත් ඒ මතුවුනු පණිවිඩය ගැන ටිකක් හොයා බැලුවා.
 
කාළෙකට ඉස්සර වෙලා එක්තරා රටකට සංක්‍රමණය වුනු, ඒ සතුට මාත් එක්කත් බෙදාගත්ත තරුණ දරුවෙක්ගෙන් ලැබුණූ පණිවිඩයක්. වයසින් ගත්තොත් මගේ දරුවෙක්ගේ වයස් සීමාවේ කිට්ටුව හිටියත් ,”අයියේ” කියන්න ඇත්තේ තිබුණූ හිතවත්කම නිසා කියල හිතාගෙන පමාවට හේතුවත් එක්ක අවශ්‍ය නම් කතාබහ කරන්නට අවස්ථාවක් දෙමින් උත්තරයක් දැම්මා. 

විනාඩි කිහිපයකදි ලොකු කතාවකට ආරම්භයක් දුන්නා. පැයකට කිට්ටුව කාළයක් පුරා ඔහුගේ කතාවට සවන් දුන්නේ, එකක් ඔහුට “කියා හිත නිදහස් කරගන්නට” යමක් තිබුණූ බව හැඟුණූ නිසා, අනෙක කුමක් හෝ අදහසක් මගෙන් බලාපොරොත්තු වන බව දැනුනු නිසා.

කතාවේ සාරාංශය වුනේ, අළුත විවාහ වුනු , තරුණූ යුවලක් විදියට, කාළයත් තිස්සේ සැලසුම් කර අභීයෝග ගනිමින් සාර්ථක කරගත් “වෙනත් රටක පදිංචිවීමේ” සිහිනය ජයගෙන, ඒ සතුට විඳින අතරේම මතුවන සංකීර්ණ අභියෝගයක් ගැන. “අයියේ, මටත් දැන් එයා ‍එපා වෙන තරමට, මං හිතන්නේ එයාටත් දැන් මගෙන් වැඩක් නෑ වගේ” තවත් හුඟක් දේ කියාගෙන ගියා. 

ඒ එක්කට ඔහු කී කතාවේ , ‍නොකියා දැනෙන්නට දුන් කතාවේ සහ නොකියා සඟවා ගත් කතාවේ බර දැනුනු නිසා, සහ මේ සමාන කතාවක් අහන පළමු අවස්ථාවත මෙය නොවන නිසා ඔහුට කළ හැකි දේ ගැන යෝජනා කිහිපයක් ලබා දීලා, මේ ගැටළුව ගැන අපේ ෆේස්බුක් ගෲප්ස් වලට යමක් ලියන්න හිතුණා. ඒ, පහුගිය අවුරුදු කිහිපය පුරා, මීට සමාන අවස්ථා ගැන අහන්නට ලැබීම වගේම, ඒ සිදුවීම වල නිමාවන් තුල වූ අවාසනාවන්ත තත්ත්වයන් ගැන දැන ගන්නට ලැබීමත් නිසා.
 
දැන් බලමු මොකක්ද මේ , මෙතෙක් පැහැදිලි‍ නොකළ කතාව කියලා.

-