2026/08/02

හැඩ සැර ටික්(කී)

 ෆොරස්ට් හයික් එකක් යන්නට සූදානම් වන, එහෙම නැත්නම් ඒ ගැන හිතන අපේ මිතුරන්ට උදව්වක් වෙනුවෙන් සහ දැනුවත්වීමක් වෙනුවෙන් ලියාගෙන යන ලිපි පෙළක , තවත් පියවරක් මේ. 

පහුගිය ලිපි තුලින් අප ලොකු ලොකු සතුන් සහ ඔවුන්ගෙන් විය හැකි අනතුරු ගැන කතා කළත්, අද කතා කරන්නේ, “ලොකු අනතුරක්” විය හැකි “පොඩි සතෙක්” ගැන.  ඒ තමයි Tick. අපි “කිණිතුල්ලා” කියල ලංකාවෙදි හදුන ගන්න, පුංචි ජීවියාට බොහෝ සමාන, අපි වගේ “සතෙක්”ගේ ඇඟට ඇමිණිලා, සමට හයිවෙන තරමට බැඳිලා, සම විඳගෙන ඒ කිට්ටුව තියෙන ලේ නහර වලින් උරා බොන ලේ වලින් පෝෂණය වන මේ කකුල් අටේ පුංචි ජීවියා , සමහර අවස්ථාවකදි තමන්ට බොන්නට ලේ දුන් තැනැත්තාට ජීවිත කාළය පුරාම විඳවන්නට, සමහර විට ජීවිතය පවා නැතිවන්නට හේතුවන “තෑගි” දෙන්නට ඉඩ තියෙනවා. ඒ එක, තෑග්ගකට සෞඛ්‍යය විද්‍යාත්මකව කියන නම තමයි ලයිම් ඩිසීස්, Lyme disease කියලා. සාමාන්‍ය උණකින් , ඇඟපත වේදනාවකින් පටන් ගෙන කෙටි කාළයක් පවතින  පේෂි වල තාවකාලික අප්‍රාණීක වීම් වල සිට, කාළයක් පවතින ‍හෝ ජීවිත කාළය පුරාම විඳවීමට හේතුවන සන්ධී, හෘද මෙන්ම ස්නායුමය ආබාධත් ඇති කරන්නට පුළුවන් මේ Lyme disease ඔස්සේ. විශේෂයෙන්ම මුලින්ම හඳුනාගෙන නිසි ප්‍රතිකාර ‍ලබා නොගත්තොත්.

🌳ලෙඩ දෙන ටික්(කෝ)

මේ Lyme disease වලට අමතරව, ටික්ස්ලා අපේ ඇඟට වෙනත් වයිරස , බැක්ටීරියා ඇතුළු කරන්නත් ඉඩ තියෙනවා. ඒ ඔස්සේ ඇඟ පුරා ලප දැමීම, අධික උණ, තෙහෙට්ටුව වගේ රෝග ලක්ෂණත් ඇති කරන්න පුළුවන්. 

මේ විදියට අපට (වගේම අපේ හුරතල් සතුන්ටත්) ලෙඩ දාන්න සමත්, ලේ උරා බොන ටික්ස්ලා වර්ග කීපයක් කැනඩාව පුරා වනාන්තර, වනාන්තර නිමාවන සීමාවන් වල ඉන්නවා. ඒ අතරින් හුඟක්ම අවදානම්, Lyme disease  ඇති කරන්නට පුළුවන්, ඉතාමත්ම කුඩා, “හිස් බඩට” ඉන්න වෙලාවක නම් මිලි මීටර දෙක තුනක් තරම් පුංචි , හැබැයි ලේ බීලා බඩපුරෝගත්තම, ඒ වගේ තුන් ගුණයක් විතර ලොකු වෙන Deer Tick (Blacklegged Tick) කියන අය වැඩිපුර ඉන්නේ, ඔන්ටාරියෝව, කබෙක් , ඇට්ලාන්ටික් පළාත් පැත්තට වෙන්න. මැනිටෝබා වලත් ඉන්න පුළුවන් හැබැයි වැඩිපුර ඉන්නේ, අර මුලින් කී පැති වල.මේ කළු කකුල් ටික්(කා)ගේ අවදානම හුඟක් වැඩි අප්‍රේල් , ඔක්තෝබර් වගේ කාළ අතරෙදි, මොකද පරිසර උශ්නත්වය සෙල්සියස් හතරට වගේ අඩුවුනාම මෙයාල වැඩිය වැඩ දාන්නේ නෑ.

අපේ , ඇල්බර්ටාව , බ්‍රිටිෂ් කොළොම්බියාව සහ සස්කචවාන් පැත්තෙත් වැඩිපුර ඉන්නේ, කණ කකුල් තියෙන අවට වඩා ලස්සන, රතු කකුල් තියෙන පස්ස දිස්නෙ ගහන අය. මේ රතු කකුල් එළියට දාගෙන පස්ස දිස්නෙ ගහන්න හැඩ කරගෙන ඉන්න ගමන් , අපේම ‍ලේ උරා බීලා, අපට උණ, ඇඟපත රුදා හදන මේ ටික්ස්ලා කාණ්ඩයට කියන්නේ, Rocky Mountain Wood Tick කියලා. මේ රතු කකුල් ඇති කඳු ටික්(කා) ඔස්සේත් විවිධ වෛරස සහ බැක්ටිරියා රෝග ඇතිකරවන්නට පුළුවන්. ලයිම් ඩීසීස් ඇති කරවන අවස්ථා අඩුවුනත්, Rocky Mountain spotted fever  වගේ උණ, ඇඟපත රුදා, කාළයක් පවතින “කියාගන්නට බැරි අමාරුකම්” ඇති කරවන රෝග මෙයා නිසා අපට ඇති වන්නට පුළුවන්. 

🌳ඇන නොපනින ටික්(කෝ)

හැබැයි දැන් මේ ටික්ස්ලා නිසා ලෙඩ ඇතිවෙනවා කිව්ව ගමන් බය වෙන්න එපා. මෙයාල, අර පොළොඟ වගේ පැනල දෂ්ඨ කරන්නේ නෑ. එහෙම නැත්නම් මේ පැත්තේ ඉන්න රාජකීය මදුරුවෝ වගේ ඇන්න පැන්න කරන්නෙත් නෑ. අප වනාන්තරේ ඇවිදගෙන යත්දි, උස තණකොළ, පඳුරු , දිරායන කොළරොඩු තියෙන, මෙයාලගේ රාජධානි හරහා යන්න ගියොත්, නැත්නම් ඒ රාජධානි වල රැඳිල ඉඳිමින් කාළෙ ගත කළොත් , කාටවත් නොදැනී, අපේ හමට ලංවෙලා, එයාලගේ චූටි “හොටෙන්” පුංචි සිදුරක් හදල, “ජීවිතේ ඇතිතුරා ඔයාව දාල යන්නේ නෑ” කියන තරමට ලංවෙලා ටිකෙන් ටික ලේ උරා බොන එක. ඒ බොත්දි, හංගන්න බැරි ඉඩ ලොකු වුනත්, අපට හොරා මේ ඔක්කොම වැඩ ටික කරගන්නට “ටික්”ට පුළුවන්. (අපට හොරා කිව්වේ, අප විමසිලිමත්ත නොවුනොත්). 

හැබැයි ඉතින් ආදරේට ලංවෙලා, ඇන්න ගමන්ම “ලෙඩ තෑගි” දෙන්න තරම් මෙයාල වංචනික නෑ හුඟක් වෙලාවට. අප‍ට ඔය ලෙඩ රෝග ඇති කරනව විෂබීජ තෑගි දෙන්නට සාමාන්‍යයෙන් පැය 24ක් 36ක් විතර ගන්නවා. (‍දළ වශයෙන් ටික්(කා) දවස් දෙකක් විතර ඇඟට ඇළිලා ලේ උරා බොමින් ඉන්න ඕන). 

ඒ කියන්නේ, ‍‍මේ ෆොරස්ට් හයික් එක යන ඔබ මේ කාළ සීමාව ගැන දැනුවත්ව සිටීම හරිම වැදගත්. ඒ කියන්නේ, හයික් එකක් අතරේදි යම් සැකයක් හෝ පුරුද්දක් විදියට වරින්වර විමසීමක් කරනවා වගේම, හයික් එක අවසන් වුනු ඉක්මණින්ම, ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න එක , ඒ කිව්වේ, වෛද්‍යවරයෙක් ලවා නොවෙයි, තමන්ගේ ඇඟපත හොඳින් පරික්ෂා කරල , ටික්ලා ඇලිලා ඉන්නවද කියලල බලන එක වැදගත්. 

🌳ටික්(කා) ගෙන් පරිස්සමට

මෙයාලගෙන් විය හැකි අනතුරු වලින් පරිස්සම් වෙන්න ගන්න පුළුවන් පියවර කීපයක් ඊළඟට කෙටියෙන් කතා කරමු. 

💡 හයික් එකක් යත්දි, අත්, පා හොඳින් ආවරණය වන ඇඳුම් අඳින්න. හිස, කොණ්ඩය ආවරණය විදියට තොප්පියක්, කැප් එකක් දාන්න. (සම එළියට අනාවරණය වන ප්‍රමාණය අඩු කරගන්න.) 

💡 දිගු කළිසම, මේස් වලට ඇතුළු කරලා, ෂර්ට් එක ඉනට හොඳට රිංගවලා අඳින්න. (ඔය කැලේ ඇතුලේ ඇඳුම ඇඳපු හැඩ බලන්න කවුරුවත් නෑ, මේ විදියට ඇන්දාම, ටික්ට, කකුල් ඔස්සේ ඇවිත් දේහයේ ඉහලට ඇවිත් හැංගෙන්න ඉඩ අඩු වෙනවා)

💡 කැලේට ඇතුළු වෙන්න ඉස්සර වෙලා නිරාවරණය වුනු හමට DEET (20%–30%) or Icaridin/Picaridin (20%) ඒවායේ ඇති උපදෙස් පරිදි ආලේප කරගන්න.

💡 හොඳ හයිකිං බූට්ස් පළදින්න, සහ ඒවා වටා 0.5% Permethrin ස්ප්‍රේ කරන්න හොඳට. 

💡 පුළුවන් නම් අඳුරු වර්ණ වල ඇඳුම් වලට වඩා මෘදු වර්ණ ඇති ඇඳුම් ඇඳගෙන යන්න. මොකද එතකොට ටික් කෙනෙක් නැග්ගොත් ඇහැට පේනවා( බැලුවොත්)

🌳හයික් එක යත්දී පරිස්සමට

දැන් ‍‍මේ විදියට ඇඟගෙන, කැලේ ඇතුලේ හයික් එක යත්දිත් පරිස්සම් වෙන්න ඕන පියවර කීපයක් තියෙනවා. (මේ උපදෙස් ,ඔබ ෆොරස්ට් හයික් එකක් යන ආරම්භකයෙක් විදියට , එහෙම නැතිව Bushwhacking  කරන කෙනෙක් වෙනුවෙන් නොවේ. Bushwhacking කියන්නේ, හයිකිං වල ටිකක් සංකීර්ණ සහ අවදානම් විය හැකි හොඳ දැනුමක් සහ පුහුණුවක් වගේම ප්‍රදේශය ගැන පෙර දැනුමක් සහිතව කළ හැකි හයිකිං එකක්. ඒවා ගැන පස්සේ කතා කරමු)

🌿 හයික් එක යන්න, ඒ වෙනුවෙන් සූදානම් කළ මංතීරුව (trail) එක ඔස්සේ සහ එහි මැදින්. (ලංකාවෙදි පොඩිත්තක් ස්ලෝ කළ බස්‍ එකට පැන ගන්න ක්‍රමේට, අපේ හමට එල්ලෙන්න බලං ඉන්න ටික්ස්ලා පාර අයිනේ උස තණකොළ වල ඉන්න බැරි නෑ ) 

🌿 හයික් එක අතරේ විවේක ගන්නවා නම් කොටං උඩ, පඳුරු අස්සේ, තණකොළ උඩ වාඩිවෙන්න, හාන්සි වෙන්න වගේ වීරක්‍රියා කරන්න එපා. කෙටි විවේකයන් සඳහා හදපු බංකු තියෙනවා නම් ඒ ව‍ගේ තැනක් එහෙම නැත්නම් විවේක ගන්නට වාඩි වෙන්න තනි වර්ණයේ හෝ හැඩ රටා ලා පැහැති වර්ණ ඇති ප්ලාස්ටික් මැට් එකක් අරගනෙ යන්න. (නෑ ඔය පං පැදුරු අරං යන්න එපා) 

🌿 හයික් එක අතරේත්, පඳුරු, තද කැලෑ ප්‍රදේශයෙන් පැහැදිලි එළිය වැටෙන ප්‍රදේශයකට ආවාම, (අපට පරිස්සම් නම්) පොඩි චෙකප් එකක් දාන්න. ඒ කිව්වේ, නිරාවරණය වුනු හම, සමහර විට ඇඳුම් යට , විශේෂයෙන්ම කකුලේ පහල ප්‍ර‍දේශ වල පොඩි චෙකප් එකක් දාන්න. ගෙදරින් එත්දි තිබුණාට වඩා වෙනස් යමක් තියෙනවාදැයි. 

🌳ගෙදර ආ ගමන්!

හරි, දැන් පරිස්සමට හයික් එක ගියා. ගමන ඉවරයි කියලා තවත් පැය ගාණක් සන්තොසේ බෙදාගන්න කයිවාරු ගහන එක හරි ලංකාවේ අයට වීඩියෝ කෝල් ගන්න එක හරි පැත්තකින් තියලා, ගෙදර ආ ගමන් (හෝ විවේක ගන්නා ස්ථානයට ආව ගමන්) හයික් එක ඇඳගෙන ගිය ඇඳුම් ඔක්කොම ගලවලා හොඳට සීල් වෙන පොලිතීන් බෑගයට දාල , මුළු ඇඟම පරික්ෂාවක් කරගන්න.  විශේෂයෙන්ම කොණ්ඩේ, බෙල්ල පිටුපස, අත් යට, කිහිල්ල,ඉකිළි,  කකුල් වල ඉහළ වගේ විශේෂ අවදානම් ප්‍ර‍දේශ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න.

ඊළඟ‍ට හොඳට නාගන්න, හයික් එකෙන් පැය දෙකක් ව‍ගේ ඇතුලත මේ විදියට හොඳට නාගෙන , නැවතත් සම පරික්ෂාවක් කරගන්න. මොකද, හයික් එකේ මඩ , දූවිලි නිසා මුලින් ඇහට නොපෙනුනු ටික්ලා , දැන් නාල ඉන්න නිසා පේන්න පුළුවන්. ඒ වගේම, හමේ රතු ලප, තුවාල වගේ ඇතිවෙලා තියෙනවා නම් ඒ ගැනත් අවදානය යොමු කරන්න

දැන් හොඳ ඇඳුමක් දාගෙන, අර හයික් එක ඇඳන් ගිය ඇඳුම් ටික, ඩ්‍රයර් එකට දාල හොඳ රස්නෙට විනාඩි දහයක් විතර කරකැවෙන්න හරින්න. (නෑ නෑ හෝදන්න ඉස්සර වෙලා, පස්සේ පුළුවන් හෝදන්න. මෙහෙම රත් කරන්නේ, වැරදිලාවත් ටික්ලා හිටියොත් එයාල “සීතලෙන් මුදවා ගන්න”) 

මේ ගමනේ කොතැනකදී හෝ නාන්න ඉස්සර වෙලා, නැත්නම් නෑවට පස්සේ හරි දැක්කොත් මුං ඇටයක් හමට ඇළිල වගේ තියෙනවා, ඒක මුං ඇටයක් වීමට වඩා “ටික්” කෙනෙක් වීමේ ඉඩ වැඩි නිසා, මෙන්න මේ විදියට එයාව හමෙන් අයින් කරලා දාන්න.

🌳ටික් ගලවන්න

⚠️ ඇඟිල්ලෙන් ඇදලා, ගලවල දාන්න හදන්න එපා. fine-tipped tweezers එකක් (මේක හයිකිං බෑග් එකේ තියෙන්නම ඕන ‍උපාංගයක්) මේ වෙනුවෙන් යොදා ගන්න.

⚠️ දැන් මේ ට්වීසර් එකේ අඬු දෙක, හමට ඇලිලා ඉන්න ටික්ගේ කටට පහළින්, පුළුවන් තරමට අපේ හමට ලංවෙන විදියට රඳව ගන්න. ( ටික්ගේ බංඩි‍ ගෙඩිය අල්ලන්න එපා මේ ට්වීසරෙන්, අපට ඕන මෙයාව සම්පුර්ණයෙන්ම හමෙන් අයින් කරන්න මිසක් පොඩි කරල වැඩි වැඩි කරගන්න නොවෙයි)

⚠️ ඊළගට, වැඩිය හොළවන්නේ කළබල කරන්නේ නැතිව ට්වීසරය ඉහළට අදින්න , ටික්ගේ කට, මූණ ඔක්කොම එක්ක හමෙන් ගැලවිලා එන විදියට.

⚠️ මේ ගලව ගත්ත ටික්, සුදුපාට කඩදාසි කොළයක් උඩ හරි, විනිවිද පේන පොලිතීන් බෑග් එකකට හරි දාල එයාගේ ක්ලොසප් පිංතූරයක් ගන්න. ෆෝන් එකේ කැමරාවෙන් සූම් කරලා, මෙයාගේ කකුල්, ඇඟපත වගේම මූණ කටත් පේන්න පිංතූරයක් අරගෙන තියා ගන්න එක පරිස්සමට හොඳයි. එයාගේ පිංතූරය ගන්න ගමන්ම, ඔයාගේ හමට එයා ඇලිල හිටිය තැනත් හොඳට පේන විදියට පිංතූරයක් ගන්න. සූම් කරල බලත්දි තාමත් ටික්ගේ අඬු එහෙම හමට ඇළිල වගේ තියෙනව පේනවා නම් හමට තුවාල නොවන විදියට ඒවා ට්වීසර් එක උදව් කරගෙන අයින් කරන්න බලන්න. බැරි නම් හම කඩාගෙන වැඩ වැඩි කරගන්න එපා.

⚠️ ටික්ව ඇලිල හිටිය, හම තුවාල වුනු ප්‍රදේශය හොඳට සබන්  සහ වතුරින් හොදල හරින්න. පුළුවන් නම්, rubbing alcohol හෝ සැනිටයිසර් ටිකක් දාල ඒ ප්‍රදේශය පිහිදල දාන්න.

⚠️ දැන් ඉතිරි දින තුන හතර තුල අසාමාන්‍ය ලප, රතු වීම් හමේ මතුවෙනවා නම් හෝ උණ, ඇඟපත රුදාව වගේ දැනෙනවා නම් වෛද්‍යවරයෙක් හමුවී, රෝග ලක්ෂණ වගේම , අර ටික් විද්ද කතාවත්, ගත්ත පිංතූරත් පෙන්වන්න. ‍මේ විමසිලිමත් බව මාසයක් වගේ යනකං තියා ගන්න එක පරිස්සම්. ඒ මාසේ ඇතුලත මේ වගේ ලක්ෂණ ආවොත්, හේතුව වෙන එකක් වෙන්න පුළුවන් වුනත් ටික්ගේ කතාව වෛද්‍යවරයාට කියන්න.

👀 අර ගලෝගත්ත ටික්ව හුරතලේට ඇති කරන්න තියා ගන්න එපා.

අදට ඇති, ලබන සතියේ හයික් කතාවෙන් , තවත් පාරිසරික “වියහැකි” අවදානමක් ගැන කතා කරමු. 

මේ ලිපි පෙළ වගේම තවත් වැදගත් විය හැකි ලිපි කිහිපයක්,  මගේ RecMike Chronicles  වෙබ් පිටුව තුලින් ඕනම කෙනෙක්ට කියවා ගන්නට ගන්න පුළුවන්. 

නැවත හමුවෙමු.

ලිව්වේ, මහේෂ්