2026/08/30

271) පාන් පිටි දෙන ලෙඩ

“ඉස්සර ‍වගේ නොවෙයි අනේ, දැන් කෑම කාපු ගමන් බඩපුරෝලා දාල වගේත ඇඟපතත් රිදෙනවා, ඔළුවත් බරයි වගේ හරිම කරදරයක් මේක”
සමහර විට මේ ඔ‍බේ කතාව වෙන්න පුළුවන්, නැත්නම් මේ වගේ කතාබහට ඔබ එකතු වෙලා ඇති.

විශේෂයෙන්ම පාන්, සැන්විච් හෝ පාං පිටි වලින් හදපු කෑම කාළ ටික වෙලාවක් යත්දි බඩ පුරෝල දාල, හරියට අර pufferfish වගේ බඩගෙඩිය පිම්බිලා ඇවිත්, කරමින් හිටිය වැඩකටයුතු කරන්න තියා, හුස්ම ගන්නත් බැරි තද ගතියක් එන්නත් බැරි නෑ. ඇඟපත රිදෙන, බඩේ කැක්කුම් එක්ක ඊළඟ පැය ගණනාවම ගත කරන්නට වන මේ තත්ත්වයට හේතු ගණනාවක් තියෙන්න පුළුවන් වුනත්, ඒ අතරින් ගැටළු කිහිපයක් ඇති කරන්න පුළුවන් ප්‍රධාන හේතුකාරකයා අ‍පේ කෑම එකේ ඉන්න පාං පිටි වෙන්නත් පුළුවන්.

ඔව්, පාං පිටි කියල අප පොදුවේ කියන, තිරිඟු පිටි වල (තිරිඟු විතරක් නොවේ, බාර්ලි, රයිල් වගේ සමාන ධාන්‍ය වර්ග වල) තියෙන එක්තරා ප්‍රෝටීනයක් ඔබට මේ අපහසුතා ඇති කරනවා වෙන්නත් බැරි නෑ. තිරිඟු ඇටේට , අවශ්‍ය කරන ශක්තිය, බැඳීම් පවත්වා ගන්න වගේම, තිරිගු ඇටේ කවද හරි ලොකු වෙන්න , තිරිඟු පැළයක් වෙත්දි අවශ්‍ය උදව් කරන්නට ඉන්න මේ ග්ලූටන් කියල‍ ප්‍රෝටීනට, තිරිඟු පිටි, එහෙම නැත්නම් පාංපිටි එක්ක ඇවිත් අපටත් “උදව්” කරනවා බේකිං වලදි.

පිටි මෝලියේ ග්ලූටන්

ඔබ ගෙදරදි බේකිං කරනවා නම් පාං පිටි වලට වතුර දාල අනත්දි පිටි මෝලියේ එන ඇදෙනසුළු ගතිය ඇති කරන්න උදව් වෙන්නේ මේ ග්ලූටන්මයි. ඒ විතරක් නොවෙයි, පිටි ඇනිල්ලේ ඊළඟ පියවරට ගිහින්, යීස්ට් ටිකක් එහෙම දාල ටික වෙලාවක් තියත්දි, යීස්ට් හදන කාබන් ඩයොක්සයිඩ් , වායු බුබුලු විදියට පිටි මෝලිය අස්ස රඳවගෙන, කුහර හදල, බේක් කරන කේක් එකේ, එහෙම නැත්තම් පාං ගෙඩියේ මෘදු වගේම රසවත් බව වැඩි කරන්නත් මේ කියන ග්ලූටන් ප්‍රෝටීනය උදව් වෙනවා. දැන් මතක් කරගන්නකෝ, සාම්ප්‍රදායික විදියට හාල් පිටි වලින් කළ බේකිං එකකුයි, මේ පාං පිටි වලින් කළ බේකිං එකකයි වෙනස. පාං පිටි බේකිං එකේ එන මෘදු බව, සවිවර බව ඇති කරන්නේ මෙයාගේ උදව්වෙන්.

මේ කියන ග්ලුටන් ප්‍රෝටීන් අප හුඟක් අයට ලොකු ප්‍රශ්නයක් නො‍වේ. එය, අනෙක් ප්‍රෝටීන වගේම ජීරණය වෙලා, ඇමයිනෝ අම්ල විදියට දේහයට උරා‍ගන්නව. හැබැයි සමහරෙක්ට, මේ ග්ලූටන් ප්‍රෝටීනට සම්පුර්ණයෙන් දිරවා ගැනීම අපහසු වෙන්න පුළුවන්. අන්න එතැනදි, හැදෙන බාගෙට දිරවූ ග්ලුටන් ( ග්ලූටන් පෙප්ටයිඩ) වල බලපෑමෙන් තමයි පෙර කී ලක්ෂණ වගේම පහත කියන්නට හදන සෞඛ්‍යය ගැටළු හෝ රෝග ඇති වන්නේ.

ග්ලූටන් සමඟ සම්බන්ධ ප්‍රධාන සෞඛ්‍ය තත්ත්ව තුනක්

මේ ඔස්සේ ඇතිවිය හැකි රෝග/සෞඛ්‍යය ගැටළු ප්‍රධාන කාණ්ඩ තුනක් බහුලව හදුනගන්නට පුළුවන්. ඒ තමයි
සීලියැක් රෝගය , ග්ලූටන් අසාත්මිකතාවය, සීලියැක් නොවන ග්ලූටන් අතිසංවේදීතාවය. අපි දැන් මේ එක් එක් තත්ත්වය ගැන බොහොම කෙටියෙන්, සාමාන්‍ය ප්‍රජාව විදියට පොදුවේ දැනගන්නට අවශ්‍ය කරුණූ කිහිපයක් කතා කරමු.

සීලියැක් රෝගය. Celiac Disease

මෙතැනදි වෙන්නේ, පෙර කිව්ව විදියට, ග්ලුටින් ප්‍රෝටීනය සම්පුර්ණයෙන්ම දිරවා ගන්න බැරිව හැදෙන අතුරුඵල gluten peptides ආහාර මාර්ගයේ පටක තුලට ඇතුළු වෙත්දි තවත් වෙනස් වෙලා, (ඒ වෙනස් කිරිල්ල කරන්නේ, tTG කියන එන්සයිමය) අමුතු දෙයක් ඇඟට ඇතුළු වුනා කියල පණිවිඩය ප්‍රතිශක්තිකරණ පද්ධතියට ගියාම යුද්දේ පටන් ගන්නවා. ඒ කියන්නේ, මේ “අමුතු ප්‍රෝටීන කෑල්ල” අවදානමක් විය හැකි කෙනෙක් කියල , දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒ “අමුතු කෑල්ලට” පහර දෙන්න පටන් ගන්නවා. අන්න එතැනදි තමයි ඔය ඇඟපත අමාරුකං, බඩ පුරොදාපු ගතිය , ඔළුවෙ බර ගතිය වගේ විවිධාකාර ලක්ෂණ මතු වෙන්නේ. දැන් මෙතැන යුද්දයක් වෙන නිසා, මේ පහර දීම් වල හානි, ආහාර මාර්ගයේ බිත්ති වලටත් වෙනවා. ඒවත් තුවාල වෙනවා. ඔබට මතක නම් විද්‍යාව පාඩම, කුඩා අන්ත්‍රයේ ඇතුලේ තියෙන, පෝෂක උරාගන්න උදව් වෙන ඇගිලි වගේ විලයි වලටත් මේ පහරදීම් වදිනවා. ඒව තුවාල වෙනවා, කාලයක් යත්දි විලයි වලට බැරිව යනවා එයාල සාමාන්‍යයෙන් කරන පෝශක උරාගැනීම හරියට කරන්නට . අන්න එතැනදි පෙර කී ලක්ෂණ වලට වඩා අවදානම් ඔස්ටියෝපොරෝසියාව, නිරක්තිය, ස්නායු රෝග, අක්මා එන්සයිම ඉහළ යාම් වගේම තවත් අවදානම් ගැටළු , ඔව් පිළිකා වර්ග ගණනාවක් සඳහා මෙය හේතුකාරකයක් වෙන්නට පුළුවන්.

සීලියැක් රෝගය හඳුනාගැනීම සහ පාලනය

මෙම තත්ත්වය වෛද්‍ය පරික්ෂණයක්, රුධිර පරික්ෂණ කිහිපයක් සහ ආහාර මාර්ගයේ පටක පරික්ෂාවක් ඔස්සේ හදුනාගන්නට පුළුවන්. දැනට, සියයට සියයක්ම සාර්ථක ඖෂධ මෙම තත්ත්වය “සුව” කිරීම සඳහා නැතත්, ග්ලූටන් සහිත ආහාර වලින් ඉවත්විම තමයි කරන්නට පුළුවන් හොඳම වලක්වාගැනීමේ ක්‍රමය.

මේ තත්ත්වය අප හිතනවාට වඩා බහුල, වගේම පුංචි කාළේ නොතිබී, ටිකක් වයසට ගියාම ඇති වෙන්නත් පුළුවන්. ඔව්, ටිකක් මැදි වයසට එත්දි එන දැඩි මානසික පීඩනයන්, වගේම ආහාර රටාවන්ගේ වෙනස්වීම් , වෙනත් ඖෂධ ඔස්සේ ආහාර මාර්ගයේ බැක්ටීරියාවන් ගහණයේ වෙනස්වීමත් මෙයට විය හැකි හේතු වෙනවා.

ග්ලූටන් අසාත්මිකතතාවය Gluten & Wheat Allergy

නමේ හැටියටම මේක “අසාත්මිකතාවයක්”. මේ තත්ත්වය තියෙන අයට, පාං පිටි සහිත කෑම ගත්තම ඇඟ පත කසන්න අරගෙන පළු දාල , රතු වෙලා සමහර විට හුස්ම ගැනීම අපහසු වෙන්න පුළුවන්. කළාතුරකින් ජීවිත අවදානමට පත්වන තරමේ අතිසංවේදීතාවයට පත් වෙලා ශ්වසන මාර්ගය ඉදිමිලා, අවහිර වෙලා හුස්ම ගැනීම නවතින තැනට යන්නත් බැරි නෑ.

මේක අසාත්මික තත්ත්වයක් නිසා, කෙනෙක්ට සමහර විට ලක්ෂණ නොදැනෙන තරමේ අඩු ලක්ෂණ මතුවීමක් වගේම, පාංපිටි වලදි අසාත්මික වුනත්, බාර්ලි පිටි වලට අසාත්මික නොවන වගේ වෙනස්කම් මෙතැනදි ඇති වෙන්නට පුළුවන්.

අසාත්මිකතාව හඳුනාගැනීම සහ ආරක්ෂාව

හොඳම දේ ලක්ෂණ මතුවීම ඔස්සේ, Skin prick tests එකක් කරල, හරියටම අසාත්මික මොනවාටද කියල දැනගෙන ඒවායෙන් ඉවත්වී ඉන්න එක. ඒ වගේම මේ අයට අවදානම් මට්ටමේ අසාත්මිකතාවයක් ආවොත් එතැනදී ජීවිත ආරක්ෂාව සඳහා ඉක්මණින් භාවිතයට ගත හැකි එපිපෙන් එකක් හැම තිස්සේම තියා ගන්නවා නම් වටිනවා.

මේ තත්ත්වය නම් හුඟක් දුරට ඒ පුද්ගලයා පොඩි කාළෙ ඉඳලම තියෙන්න පුළුවන් වුනත්, සමහර වෙනස්වීම් වැඩිහිටි වයසෙදි මුලින්ම මතු වෙන්නත් පුළුවන්.

සීලියැක් නොවන ග්ලූටන් අතිසංවේදීතාවය Non-Celiac Gluten Sensitivity (NCGS)

මෙතැනදිත් පෙර කී ලක්ෂණ වගේම, ඊට අමතරව බ්‍රේන් ‍ෆොග් එන්න පුළුවන්. ඒ කිව්වේ, සුළු මොහාතකට හැමදේම අමතක වෙලා යනවා වගේ දැනෙන කෙටි කාළින අමතක වීම් සහිත අපහසුතා මතු වෙන්නට පුළුවන්. මේක අදාල ප්‍රෝටීනයේ ‍කොටස් වලට ඇතිවන සංවේදීතාවයක් වුනත්, මෙය ඕනැම වයසකදි මතු වෙන්නට පුළුවන්. ඒ කියන්නේ, පොඩි කාළේ පාංපිටි කෑම කෑවට කිසි ප්‍රශ්නයක් වුනේ නැති අයෙක්ට, තරුණ වයසේදි, එහෙම නැත්නම් මැදි වයසෙදි වුනත් මතු වෙන්නට පුළුවන්.

ග්ලූටන් ආශ්‍රිත ගැටළු හඳුනාගැනීම

මේ හුඟක් අවස්ථා වලදි කරන්න පුළුවන් හොඳම දේ තමයි, ප්‍රමාද නොකර රෝගය හෝ සෞඛ්‍යය ගැටළුව හරියට හදුනාගෙන, අදාල ගැටළු ඇති කරන ග්ලූටන් රහිත ආහාර රටාවකට ක්‍රමයෙන් හුරු ‍වීම.

ඔබටත් පෙර කී විදියේ, ආහාරය සමඟ උදරාබාධ, ඒ ආශ්‍රිත අපහසුතා, මළපහ කිරීමේ වගේම මළපහ වල වෙනස්වීම් ඇති වුනොත් , ඒ ලක්ෂණ පාං පිටි හෝ ඒ ආශ්‍රිත ආහාර වර්ග සමඟ මතුවන බව හදුනාගත්තොත් ප්‍රමාද නොකර වෛද්‍යවරයෙක් හමුවෙලා පරික්ෂණ සහ උපදෙස් වලට යොමු වෙන්න.

සීලියැක් තත්ත්වය සමඟ ජීවත්වීම

ඔබ, සීලියැක් තත්ත්වය සමඟ ජීවත්වන්නෙක් බව වෛද්‍ය නිර්දේශය ලෙ
ස ලැබුණොත්, ඒ සෞඛ්‍යය උපදෙස් අනුව ආහාර රටාව වෙනස් කරගන්න. මේ තත්ත්වයත් එක්ක “සෙල්ලම් කරන්න” එපා. මොකද, කල්ගත වෙත්දි අවදානම් ගණනාවකට මේ පුංචි ප්‍රෝටීනය හේතු වෙන්න පුළුවන්. ඒ වගේම, ඔබේ ආහාර වලට ග්ලූටන් මිශ්‍ර නොවීමට වග බලාගැනීම තමයි අමාරුම දේ වෙන්නේ. විශේෂයෙන්ම ගෙදර උයත්දි අනෙක් අයගේ ආහාර ඔස්සේ, ආහාර සැකසීම් ඔස්සේ මේ මිශ්‍රවීම වෙන්නට පුළුවන්. ඒවගේම ආපනශාලාවකින් ආහාර ගැනීමෙදිත් , තමන් සීලියැක් තත්ත්වය සමඟ ජීවත්වනවා නම් අදාල ආහාර සකසන්නන් දැනුවත් කර, තම ආහාරය සමඟ පාං පිටි හෝ සමාන ක්‍රමයක් ඔස්සේ ග්ලූටන් එකතු වීම වලක්වා ගන්නට උත්සාහ කරන්න. එය “ඔබේ ජීවිතයට” විය හැකි අවදානම් අඩු කරාවි.

නිමාවට පෙර,

එහෙම නම් මේ ගැන ලිව්ව ඇති , වැඩි දුර කියවන්න කැමති අය ඉන්නවා නම් අන්තර්ජාලයේ පිළිගත් සෞඛ්‍යය වෙබ් අඩවි ගණනාවක් ඒ වෙනුවෙන් තිබෙනවා. ඒ වගේම ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙනුත් උපදෙස් සහ විමසීම් කරන්නට පුළුවන් ඔබට.