2011/07/06

27) හොඳ බබා නරක් කරන පාට කෑම - A.D.H.D


දවස් කිහිපයකින් ලියන්න බැරි උනා ...හිතට ටිකක් හරි නැහැ ..මම ආදරෙන් උගන්වපු , මගේ ආදර පුංචි පැටවු ටික (සිසු දරු දැරියන් ) දාල   , ඒ ආයතනයෙන් සමුගෙන යන්න කල් හරි ..හෙට අවසාන දේශනය ..අවුරුදු පහක් විතර මම , මගේ ගෙදර තරමටම ආදරය කළ ඒ ආයතනයෙන් ,ඒ දරුවන්ගෙන් සමුගන්නවා හෙට , මගේ පුංචි එවුන් එවන දුක , ගුරු ආදරය පිරුණු S.M.S වලින් මගේ දුරකථනය පිරිලා ගිහින් , කියවන්නට තරම් හිතක් නැහැ ...හිතේ කදුලක් පුරවගෙන නින්දට ගියා ...



අළුත් දවසකට එළිවුනා  ,එළියේ පොඩි ගෝසාවක් ...වෙනදට වඩා පාන්දරින්ම අපේ කුරුළු පවුල් ටික සිංදු කියනවා ...කොණ්ඩ කුරුල්ලෝ , දෙමලිච්චෝ ...පණු ගිරව් ...ඒ විතරක්ද අර  කම්මැලි මයිනෝ ජෝඩුවත් ඇවිත් ...අපේ කුරුළු තැටියට ..මගේ බිරිඳගේ දින චරියාව ආරම්භ වෙන්නේ ...උදේ පාන්දරම කුරුළු තැටියට කෑම , පළතුරු ටිකක් තියල .. ජනේලයේ තිර රෙද්ද  අතරින්  අර පුංචි , සුන්දර යුද්ධය දිහා බලාගෙන හිටිය , හිතට කියන්න බැරි තරමේ සුවයක් ඒ දසුන ....“ඊයේ වැස්සට බඩගිණි වෙලාද කොහේද  නේද තාත්තේ ? “මගේ අරමුණ බිඳ දමමින් ලොකූ කෙඳිරි ගෑව ......“හ්ම් ඒ වගේ තමයි “ .....




ඇතුවත් බැරි නැතිවත් බැරි යන්තරේ
“ට්‍රීං ..ට්‍රීං......“ අදත් මගේ දුරකථනය දවසේ රාජාකාරිය ආරම්භ කරල වගේ ....“ලොකූ මට ෆෝන් එක ගෙනත් දෙන්න “ ...ඇහැ කුරුළු යුද්දෙම තියාගෙන කිව්ව ...

“ නිශාන්ත මල්ලි ...අද ඔයා උදේ ඩියුටි නේද ...අනේ මල්ලි මට ඩියුටි මාරුවක් දාල දෙන්න කෝ ..පොඩි කරදරයක් වෙලා ..ඔයාට පුළුවන්ද උදේ මගේ ඩියුටිය කරන්න ...මම එක හතකට  එන්නම් ....“ ..අපේ ඒකකයේ හෙදියකගේ හඬ ...නොනවත්වාම ගලා ගියා ...දැන් මොකද කරන්නේ අද උදේ තමයි මේ ඔක්කොම බිල් ටික ගෙවන්න ගාලු යන්න හිතාගෙන හිටියේ ....වැඩේ කොට උඩ අදත් ...“ හරි ..මම කරන්නම්කෝ උදේ ...මොකක්ද මිස් කරදරයක් වෙලා කිව්වේ .....?“ 
“ අනේ නෑ මල්ලි .දන්නැත්ද අපේ පුතා ....පොඩි කරදරයක් කරගෙන ...ප්‍රින්සිපල් මට එන්න කියලා ...ඒකත් මේ දැන් තමයි මට කිව්වේ ...හරි තරහෙන් ඉන්නේ ...අනේ මන්දන්නෑ මල්ලි ..මට දැන් එපා වෙලා තියෙන්නේ . .මේ ළමය කරන දේවල් ...පෙරේදා ළමයෙක්ගේ නාහයක් කඩල ...ඊයේ ටීචර්ගේ Record book එක ඉරළ .....හැම දාම නඩු ..“

ඇයි මොකෝ බලන්නේ ......
කමක් නැහැ එහෙනම් ඉතින් දැන් ලැහැස්ති වෙන්න එපායැ ....මම දවසේ කටයුතු පටන් ගත්ත ..මට මතක් වුනා අර කොළුගැටයා .. වැඩි කතා බහක් නැති ..තරහ ගියාම යකෙක් වගේ වෙන මේ කොළු පැටියටත් Attention deficit hyper active disorder තත්ත්වය වගේද ? කියල මට හිතුන ...ඒක හොඳයි අද කතා බහට ගන්න ... මොකද මේ තත්ත්වය ගැන අපේ දෙමාපියන්ට නිසි අවබෝධයක් නැහැ වගේ මට දැනෙනවා ...

ගැට ගැහෙන හැටි 
අම්මයි තාත්තයි මට ආදරෙයි (ද)
මොකක්ද මේ A.D.H.D හෙවත් Attention Deficit Hyperactive Disorder කියන්නේ ...මේක එක්තරා චර්යාත්මක රෝග තත්ත්වයක් තවත් විස්තර කරනවා නම් Neuro-behavioral  disorder එකක් ..හැබැයි එක්තරා විදියකින් මානසිකමය රෝගී තත්ත්වයක් විදියටත් මෙය හඳුනාගන්නවා.... 2002 දි කළ පර්යේෂයකින් හඳුනාගත්තා මෙම රෝග තත්ත්වය සහ මොළයේ තිබෙන එක්තරා රසායනිකයක් Norepinephrine සෘජුවම මෙම රෝග තත්ත්වයට බලපාන බව , ඒ එක්කම ජානමය වශයෙන් ගමන් කිරීමේ හැකියාවකුත් පවතින මෙම A.D.H.D තත්ත්වය සඳහා අඩු බර සහිතව හෝ අඩු මාසයෙන් ඉපදිමත් එක් හේතුවක් වන්නට පුළුවන් ..ඒ වගේම අපි හැමදාමත් කියන අක්‍රිය දුම් බිම Passive smoking නිසාත් මෙම අවාසනාවන්ත විය හැකි තත්ත්වය මතුවෙන්න  පුළුවන්..ඒ විතරක් නොවෙයි ආහාර වර්ණ ගැන්වීම සඳහා භාවිත කරන කෘතිම වර්ණකාරක වැඩි වශයෙන් භාවිත කිරීමත් දරුවාට මෙම රෝගය ඇති කිරීමට හේතු වෙනවා ....හැබැයි සමහර විට උපතේදී මොළයට සිදුවූ අනතුරක් නිසාත් මෙය ඇති වන්නට පුළුවන්.. කෙහොම වුනත් මේ රෝගයෙන් දරුවාගේ චර්යාවන් , ඉගෙනීමේ හැකියාවන් සමාජයේ පැවතීමේ හැකියාවන් අඩු වෙලා ...අනාගතය අඳුරු වෙන්නට ඉඩ තිබෙනවා ....
නම කිව්වද ? ......ඇහුන් නෑනේ

මෙච්චර වෙලා “මේක, මෙය , මෙම තත්ත්වය “ කිව්වට තාම හරියට වැදුනේ නැහැ නේද ? ...වදින්නනම් ඉතින් එක අපිට දැනෙන්න එපායැ ....දැන් කියන්නම් වදින්නම .... මේ කියන  රෝගයේ ප්‍රධානතම ගැටළු තුනක් තියෙනවා ...ඒ තමයි ...දරුව හරිම කළබලකාරියි ....අසාමාන්‍ය විදියට ,  අනික එක විදියකට ඉන්නම බැහැ ..එක වැඩක ඉන්නම බැහැ ..ඒ විතරද වටේ පරිසරය ගැන කිසිම අවදානයක් නැහැ ...එකකෝ ටික වෙලාවක්  කොහේ හරි බලාගෙන ඉන්නව , නම කියල කතා කළත් ඇහෙන්නේ නැහැ ..එක්කෝ එක තැන හරි කැරකි කැරකි ඉන්නවා ...සමහර වෙලාවට හරිම ආවේගශීලීයි .. මේක බොහෝවිට දැන ගන්න ලැබෙන්නේ පාසලෙන් ..මොකද හැමදාම අනතුරක් කරගෙන ..එක්කෝ යාළුවට අනතුරක් කරල ...නැත්නම් (බොහෝ විට) Home work නොකර ගිහින් ...

දැන් අපිට හිතේවි “අනේ ඉතින් මේක අපි හැමෝගෙම දරුවන්ට තියෙනවානේ ...“ කියල ..මෙහෙමයි ...මේ වගේ රෝග ලක්ෂණ 6ක් 7ක් තියෙනවනම් ටිකක් හොයල බලන්න දරුව ගැන ..මේ අපි කියන රෝග තත්ත්වය නම් ඉක්මණින් දරුවාටත් මුළු පවුලටමත් ප්‍රතිකාර සහ  උපදේශනය ගන්නට වේවි ..නැත්නම් ඔබේ ආදරණීය දරුවගේ අනාගතය අඳුරේ... පාසල් දරුවන්ගෙන් 5-7%ක් විතර මෙම රෝගයෙන් පෙළෙන බව අද හොයාගෙන තිබෙනවා ..ඒත් ශ්‍රී ලංකාවේ සිදුකළ පර්යේෂණයක ප්‍රතිපල නම් අධ්‍යයනයට අවස්ථාවක් ලැබුනේ නැහැ ..ඒත් මෙම තත්ත්වය අපේ රටෙත් දැන් වැඩි වන බවක් පෙනෙනවා ...

ඇති ඇතීඊඊඊඊඊඊ
අපි අර මුලින් කී සාධක රෝගය ඇති කිරීමට හේතු වුනත් රෝගය උත්සන්න කිරීම සඳහා තවත් හේතු ගණනාවක් බලපාන්න පුළුවන් බවයි අද මේ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයින්ගේ මතය ...විශේෂයෙන් මව - පියා අතර ගැටුම් , විරසකවීම්,වෙන්වීම් ,දරුවා සමඟ ගත කරන කාළය අඩුවීම වගේම වයසට අදාල නොවන Home work පරිමාවත් මෙම තත්ත්වය උත්දීපනය කරන්නට පුළුවන් ...ඒ විතරක් නොවෙයි ..ළඟදී  කළ පර්යේෂණයකින් හඳුනාගෙන තිබෙනව පාසල සහ නිවසේ පවතින අධික ඝෝෂාකාරී බවත් ....ජංගම දුරකථන නාදයනුත් මේ සඳහා දායක වන බව .....

අපි දැන් බලමු මෙම රෝගයේ ලක්ෂණ කිහිපයක් ...හැබැයි හොඳට මතක තියා ගන්න අඩුම තරමේ මේ ලක්ෂණ හයක් වත් නැත්නම් මේ ගැන කළබල වෙන්න එපා ...වැඩිනම් ඔබට මේ ගැන සැක නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා හෝ හැකියාවක් තිබේනම් ළමා මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවන්න ....නැතිනම් පාසලේ උපදේශන සායනයක් තිබේ නම් එයින් තවදුරටත් තොරතුරු දැනගන්න ...

වැඩ ගොඩායි ....මට එපා.............වෙලා.......
 සියළු රෝග ලක්ෂණයන් , මෙම රෝගයේ ප්‍රධාන ගැටළු 3 වන Inattentiveness නොසැලකිලිවන්ත බව , Hyperactivity අසාමාන්‍ය අධි ක්‍රියාකාරීබව සහ Impulsiveness ආවේගශීලී බව යටතේ  කැටි කරලා තිබෙන්නේ , අපි එකින් එක ගැන කතා කරමු ,

මුලින්ම Inattentiveness ගැන ..මෙහිදි දරුවා “කියන කිසිත් නොඇසෙන“  ලෙසයි කටයුතු කරන්නේ ..නම කීවත් නොඇහෙන ...විධානයක් දුන්නත් ක්‍රියාත්මක නොකරන මේ තත්ත්වයත් එක්කම දරුවට බොහෝ දේ අමතක වන බවක් හඳුනගන්න පුළුවන් ..පෑන , පැන්සල , සෙල්ලම් බඩු “මොකක් උනාදැයි “ කියන්නට තරම් වත් මතකයක් නැතිව අමතක වෙනවා ....Home work කරනවා නම් එය අවසන් නොකරන මේ දරුවා ටික වෙලාවකින් ඒ වැඩේ“ එපා වෙලා අතහැර දාන “ තත්ත්නයක් හඳුනගන්න හැකි වේවි ...

දෙවැන්න Hyperactivity තත්ත්වයේදී මේ දරුවා “පණුවෙක් වගේ දඟලනවා ..කිසිම හේතුවක් නැතිව ඉබේ උඩ පැන්නේනවා ...පුටුවක ඉන්දුවොත් ටික වෙලාවයි , ආයෙත් දඟළනවා ....වැඩක් නැත්නම් එක තැන හරි කර කැවි කැවි ඉන්න මේ දරුවා කතාව පටන් ගත්තොත් “කියවනවා ඇති වෙන්න ..නොනවතින තරමට කතා කරන්න පටන් ගන්නව ...එකිනෙකට සම්බන්ධ නැති කතාවන් එක දිගටම කියවනවා  ....“  හැබැයි පොඩ්ඩක් හරි බාධා කළොත් ඉවරයි ...හොඳටම කේනති යනවා ...හරි ඉක්මණට කිපෙනවා ...

ගර්ර්ර්.....මට A.D.H.D දන්නවද ?
අන්තිම ලක්ෂණේ ...Impulsiveness ආවේගශීළී බව ...මේක තමයි අම්මලාට වැඩිම කරදරේ හැමදාම ඉස්කොලෙන් Complain දරුව ගැන ...මොකද මේ තත්ත්වයේදි දරුවා හරිම ආවේගකාරීය ...අනෙක් අයට කරදර කරන්න , තුවාල කරන්නමයි පෙළඹෙන්නේ ...කිව යුතුදේ නොකිව යුතුදේ ගැන තැකීමක් නැහැ ..හිතුන ගමන් කියල දැම්ම , ඒ විතරක් නොවෙයි.. පාසලේදී ගුරුතුමිය ප්‍රශ්නයක් අහත්දි ..ඒක අහල ඉවරවෙන්නත් ඉස්සරවෙලා මොනවා හරි උත්තරයක් කියවගෙන යනවා ..පේළියක තිබ්බොත් ඉස්සරහ ඉන්න කෙනා පෙරළගෙන යන්න හදනවා ...හැම තිස්සේම අනිත් අයට රිදවනවා ..මේ වෙලාවට අපි කියන්නේ මේ ළමය  හරි දඟයි කියලනේ ...නේද 

තාත්තගෙ පැදුරෙ පන්තිය ..මං ආසයි ..
දැන් ඔබට දැනේනවාද මේ රෝග තත්ත්වයේ ස්වභාවය ..අනෙක මෙය හඳුනාගැනීමේ අපහසුබවකුත් තිබෙනවා ..මොකද සමහර ලක්ෂණ සාමාන්‍ය දරුවන්ටත් තිබෙන නිසා ..හැබැයි  මම නැවත කියනවා මේ කියන ලක්ෂණ වලින් 6කට වැඩි තිබේ නම් අර මුලින් කී ලෙසින් ඔබ , ඔබේ දරුවා සමඟ වෛද්‍යවරයෙක් හෝ පිළිගත් මනෝ චිකිත්සකවරයෙක් Psychotherapist හමු වෙන්න ..නැතිනම් මේ “දඟ දරුවාගේ“ අනාගතය අඳුරේ...

ටීචර් මාත් වැඩක්  (ලෙඩක්ද ...) 
ඔබ කළ යුත්තේ කුමක්ද ? පළමුව මෙම රෝග තත්ත්වය පිළිබද දැනුවත් වන්න ...ඔබේ දරුවා හෝ මේ වයසේ දරුවෙක් මෙම ලක්ෂණ වලින් පෙළෙන්නේ නම් ඉක්මණින් ප්‍රතිකාර සහ උපදේශනය Family counselling සඳහා යොමු වන්න ...මේ සඳහා ඖෂධීය ප්‍රතිකාර මෙන්ම විවිධ චිකිත්සක ක්‍රම , Behavioral therapy වැදගත් වෙනවා ..අවසන් වශයෙන් දරුවාට පාරිසරික සහයෝගයක් Environmental support ලබා දෙන්න , උදාහරණයක් ලෙස දරුවාගේ පංතිභාර ගුරුතුමන් සමඟ මෙම තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර සහයෝගය ලබා ගන්න , මෙතෙක් පන්තියේ නරකම යැයි හදුනාගත් දරුවා වෙත ඔබේ කාරුණීක සහයෝගය ලබා දෙන්න ...එමෙන්ම පවුල් පරිසරය යහපත් කරගන්නට දෙමාපියන් වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා ..ඒ වගේම දරුවාට වයසට තරම් වන පොත පතේ වැඩත් , කෙළි සෙල්ලම් සඳහාත් ඉඩ ලබා දෙන්න ..ඔබ මව , පියා ලෙසින්  අඩුම තරමේ දවසකට විනාඩි දහයක් වත් දරුවා සමඟ කෙළි දෙලෙන් ගත කරන්න ...දරුවාට ඔබේ ආදරය දැනෙන්නට ලබා දෙන්න ..

කිසිම විටෙක දරුවා “පිස්සෙක් , කරදරකාරයෙක් “ යැයි පවසන්නට හෝ දැනෙන්නට දෙන්න එපා ..එය දරුවාට අතිශ්‍ය වේදනාවක් වෙනවා විතරක් නොවෙයි , ඇත්තටම මානසික අවපීඩනය Depression කියන තත්ත්වයට පත් වෙන්නත් හේතුවක් වෙන්න පුළුවන් ...

මේ තත්ත්වයන් නිසි පරිදි හදුනාගෙන නිසි  ප්‍රතිකාර ගත හොත් දරුවාගේ අනාගත ජීවිතයට විය හැකි අනතුරු , අවාසනාවන්ත තත්ත්වයන් අවම කරන්නට ඔබට හැකිවේවි...දෙමාපියන් ඔබේ දරුවා ගැන මීට වඩා සැලකිළිමත් විය යුතුයි නේද ? ටිකක් හිතන්නකො ..

මම එහෙනම් දැන් ඩියුටියට යන්නයි හදන්නේ ..ආයෙත් දවසක ..හමුවෙමු .......