2011/08/17

47) ගින්දර නැති .....සුන්දර “කඩේ යාම“

අපි යනවා කඩේ...
මීට පෙර ලිපි දෙකේ (45 , 46) ඊළඟ පියවර විදියට අද ලිපිය ලියන්නයි මේ සූදානම. බොහෝ පිරිසක් මේ ලිපි මාලාවෙන් ප්‍රයෝජනයක් ගන්නා බැව් හැඟෙන නිසා මේ මාතෘකාව ඉදිරිටත් ගෙනියන්න ඕන කියල හිතෙනවා.නමුත් තවත් ලිපි දෙක තුනකින් විතර ,  ඒ කියන්නේ “පියයුරු සහ මව්කිරි ගැනත් බබා ලැබුණට පස්සේ මුල් දින කිහිපය“ ගැන කතා කරල , ආයෙත් පරණ විදියට වෙනස් මාතෘකා වලට යන්නයි සූදානම.

එහෙම නම් අපි අද කතාව පටන් ගනිමු. නැවතත් මතක් කරන්න ඕන , මේවන විට ඔබ මෙහි මුල් ලිපි කියවා නැත්නම් කරුණාකරල 45,46 ලිපි දෙක කියවන්න . ඊට පසුව මේ ලිපියට ආවොත් වඩා වැදගත් වේවි .

අම්මයි තාත්තයි “කඩේ යනව“ වගේ ..
හොඳයි , දැන් මාස හයක් විතර ඇති ,  ඒ කිව්වේ “ඔයාගේ බංඩියේ ඉන්න පුංචි පැටියට“ මාස හයක් විතර . ඔය කාළෙ හරිම වැදගත්  , මොකද දැන් “එයා ටිකක් ලොකු ළමයෙක්“ , හදිසියක් වුනොත් “එළියට එන්න වුනත් “ ලෙහෙස්තියි , ඒ කිව්වේ තව මාසෙකදි වගේ සමහර අවස්ථා වලදි පැටිය එළියට ගන්නට සිදු වෙන අවස්ථා තියෙනවා .බය වෙන්න එපා  යම් හේතුවක් නිසා එහෙම වුනොත් , රෝහලේ N.I.C.U. එකේදි “ඔබේ චන්ඩි පැටියා“ රැක බලා ගන්නවා , දැඩි සත්කාර තත්තව යටතේ.

හරිම දැන් ඉතින් එයා වගේම ඔයාත් ලෙහෙස්ති වෙන්න , ගොඩාක් දේ සූදානම් කර ගන්න තියෙනවා , මුලින්ම හිත සතුට රඳව ගන්න , ඔයා අම්ම කෙනෙක් වෙන්න හදන්නේ ..ජීවිතේ සුන්දරම , ලස්සනම හීනයක් හැබෑවෙන්නයි යන්නේ , මං දන්නව අද කාළෙ හිතේ කරදර බෝමයි ,  ඒත් මේ පැටිය ගැන මතක් කරගෙන ඒ කරදර හිතෙන් ඈත් කරල තියා ගන්න , මොකද ඔයාගේ හිත රිදෙන කොට , ඔයාගේ පැටියට රිදෙනවා , ඒ මුදු මොලොක් හිත රිද්දන්න එපා ,


මහත්තයෝ , ඔයා තව ටික් දවසකින් තාත්ත කෙනෙක් , මෙතුවක් නොදැනුන වගකීමක් පපුවට දැනෙන දවස ළඟයි , එන්න , ආදරෙන් ඔබේ පැටිය ගාවට , චුට්ටක් කතා කරන්න , පුංචි හාදුවක් දෙන්න පැටියට ...ඔව් ඔබේ පැටියා , ඇතුලේ ඉඳගෙන ඔයාට ආදරෙන් හාදුවක් දෙනව ඔයාට දැනේවි .අත්දැකීමෙන් කියන්නේ , සමහර වෙලාවට මෙහෙම හාදුවක් දුන්නම “පැටිය නටනවා , සන්තෝසේ ....,ඔබේ බිරිඳගේ හිත හැකි තරම් සතුටින් තියන්න , සතුට පිරෙන , ආදරේ හිතෙන ලස්සන පිංතූර වලින් ඔබෙත් බිරිඳගේත් කාමරය , ගෙය සරසන්න ..

ලස්සනයි නේ ....
ඔන්න දැං ඉතිං කඩේ යන්න කාළේ , අද කාළේ එක එක විදියේ කඩේ යාම් තියෙනවනේ , ඒ නිසා දැන් අපි යන්න හදන කඩේ යාම “සුන්දර කඩේ යාම කියල“ කියමු නේද ? මේ ගමනේදි පුංචි පැටියට ඕන කරන දේවල් ටිකක් ගන්න ඕන , ඒ දේවල්  ඔබේ නැන්දම්මට කියල , එහෙම නැත්නම් අම්මට කියල ගෙන්වගන්න එපා , ඔබයි , බිරිඳයි දෙන්න එක්වෙලා ගිහින් තෝරන්න , පැටිය හිතේ මවාගෙන ඒ සුන්දර “කඩේ යාම‘ කරන්න .

ඔන්න මුලින්ම ඇඳුම් නේද ප්‍රශ්නේ ? ...නිල් පාටද  රෝස පාටද නේද ?...මගේ පුද්ගලික මතය නම් ලැබෙන්න ඉන්න දරුව “ගැහැණුද පිරිමිද “ කියල වැඩිදුර හිතාගෙන කඩේ යන්න, ඇඳුම් ගන්න එපා , (වෛද්‍යවරයගෙන් බල කර කර අහන්නත් එපා ), කව්රු උනත් එන්න ඉන්නේ ඔයාළගෙම ආදරය  , ඒ ඔබ දෙන්නාගේ “ආදරයේ ගෞරවනීය ශක්තිය“ මුසු වුනු “ඔබේම ආදර පැටියෙක්“ ... ඒ වගේම සායනික අත්දැකීම් එක්කම යමක් කිව්වොත්  , ඔය රෝස පාට , නිල් පාට , කහ පාට ඇඳුම් අඳින එක සමහර වෙලාවට ටිකක් ගැටළුකාරී වෙන්නත් පුළුවන් , මොකද උදාහරණයක් විදියට , ඔබේ දරුව ඉපදිල මුල් දින කිහිපයේ හමේ පාට ආකාර කිහිපයකින් වෙනස් වෙන්න පුළුවන් , හම කහ පාට වෙන්න , නිල් පාටට හුරු වෙන්න , නැත්නම් හමේ තියෙන රෝස පාට අඩු වෙන්න , ඔන්න ඔය වගේ පාට වෙනස් වීමක් වුනොත් , එය හඳුනගන්න හරිම ලේසියි පැටියට සුදු පාට ඇඳුමක් අන්දල තිව්වොත්  , අනෙක සුදු පාට චුටි ගවුම් පොඩිත්තක් ඇන්දම පැටිය හරියට “ලස්සන සුරංගනාවියක්“ වගේ , බලන්නකෝ , එතකොට හාදු දීල , හාදු දීල ,ඔබේ ආදරේ පැටිය ගිල්ල ගන්න හිතෙන හැටි.
ඇඳුම සුදුයි ....ඇගට සුවයි ....
ඒ ඇඳුම් තෝරත්දි රෝස පාට  , නිල් පාට ගැන ඕනවට වඩා හිතන්න ඕන නැහැ , අනික ඒ පාට විතරක් තියෙන ඇඳුම් තෝරගන්නවට වඩා  වැඩිය ලස්සන , සුන්දර සුදු පාට හරි ඊට ආසන්න පාටත් තෝර ගන්න ,සුදු පාට පසුබිමේ , පුංචි මල් වැටිච්ච ගවුම් පොඩිති වුනත් කමක් නැහැ , හොඳට මතක තියා ගන්න , ඒ ඇඳුම් පොඩිති , 100%ක් කපු රෙදි වලින් තෝර ගන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ නැත්නම්  වැඩිපුර cotton මිශ්‍ර රෙදි හෝ ඇඳුම් තෝර ගන්න .ඒ වගේම පහසුවෙන් අන්දන්න පුළුවන්  ගලවන්න පුළුවන් , සැහැල්ලු ඇඳුම් තෝර ගන්න . පොඩ්ඩක් බලන්න ඇදුමේ තද මැහුම් දාර තිබෙනවද කියලා , ඒ වගේ ඇඳුම් නොගෙන , මැහුම් දාර මෘදුවට තිබෙන ඇඳුම් විතරක් තොර ගන්න , මොකද පැටියගේ සිනිඳු හමට ඔය ඇඳුම් දාර නිසා පවා තුවාල වෙන්න පුළුවන් ,
අම්මයි ...පොඩ්ඩයි ලොකු කතාවක් ..ඇඳුම ගැන ..?

මීට අමතරව ලස්සන , බ්ලැන්ක්ට් පොඩිත්තක් දෙකක් , පොඩි Crib ෂීට් කිහිපයක් , පොඩි කොට්ටයක් (කොට්ට තෝර ගනිත්දි හුඟක් දිග කොට්ට ගන්න එපා , ඒවා පහසුවෙන් නැමෙන නිසා සමහර විට දරුවට කරදරයක් කරන්නත් පුළුවන් ) , පැටිය පිහිදාන්න මෘදු තුවායක්  , වුල් වලින් හදපු අත් මේස් , කකුල් වලට දාන මේස් කූට්ටම් කිහිපයක්  , හොඳ නැපීස් Nappies ටිකක් වැඩි පුර (දහයක් විස්සක් විතර , pampers නොගෙන ඉන්නවානම් තමා වඩාත් හොඳ , මොකද නිවැරදි පාවිච්චි නොකළොත් පැම්පර්ස් කියන්නේ විෂබීජ මල්ලක් වෙන්න පුළුවන් දෙයක්) , කැමතිනම් ලස්සන පුංචි තොප්පියක් වගේ දේවල මිළට අරන් තියා ගන්න .ඒ වගේම ආරක්ෂිත nappy pins කිහිපයක් ගන්න , (හොඳට බලන්න ඒ Nappy pins පහසුවෙන් lock කරන්න පුළුවන්ද කියලා) ,
අරකත් ගමුද ?

ඊට අමතරව Cord clamp දෙකක් විතර ගන්න (බලන්න හොඳට expire date එක ගැන , අඩුම තරමේ තව මාස පහකට වත් ඉදිරි දිනයක් තියෙන විදියට තෝර ගන්න ) , දැන් පුළුවන් නම් , සල්ලි තියෙනව නම් ලස්සන පොඩි Crib එකක් එහෙම නැත්නම් කොට් එකක් ගන්න , හැබැයි ඒකනම් තව ටිකක් පරක්කු වෙලා ගන්නත් පුළුවන් . ඔය එක්කම පැටිය නාවන්න ඕන කරන ප්ලාස්ටික බේසමක් වගේ උපකරණත් ගන්න පුළුවන් නම් පහසුවක් , අනෙක පැටියගේ උපකරණ ගබඩා කරල තියාගන්න , විශේෂයෙන්ම පැටිය එන දවසට රෝහලට අරගෙන ප්ලාස්ටික බෑග් එකකුත් ගන්න .දැන්  මේ හැමදේම හොඳට පිරිසිදු කරල (සබන් සහ වතුරෙන් හොඳට හෝදල තිබේ නම් මෘදු විෂබීජනාශක දියරයක් මිශ්‍රකරලම හොඳට හෝදල , අව්වේ වේලල සූදානම් කරගන්න) , මේ එක්කම තව වැදගත් දෙයක් ගන්න ඕන , ඒ වර්ණවත් , හඬක් නැගෙන , චලනය වන සෙල්ලම් බඩුවක් , හොඳට මතක තියා ගන්න . ගෙදර තව අයියල , අක්කල ඉන්නවනම් ඔන්න ටිකක් කල්පනාවෙන් , එන්න ඉන්න පැටියට සෙල්ලම් බඩු ගන්න ගමන් එයාලටත් වයසට ගැලපෙන සෙල්ලම් බඩුවක් ගන්න , නැත්නම් ප්‍රශ්න ගොඩයි .අනෙක මේ අළුත් පැටියට දක්වන ආදරය ගැන ඒ ලොකු පැටවුන්ට වැටහීමක් නැහැ  , ළඟට අරගෙන ආදරෙන් කියා දෙන්න , එයාල බංඩියේ ඉන්න කාළෙත් මේ වගේම කළ බව , කිසි වෙලාවක ඒ ලොකු පැටවුන්ට ආදරේ වෙනසක් කරන්න එපා , මේ “සුන්දර දරු ආදරේ “ කියන්නේ බෙදන්න බෙදන්න තවත් සුන්දර වෙන පුදුම සංවේදී හැඟිමක්.

මෙන්න feeding bra එකේ වාසිය ...
ඔය එක්කම ඔබේ ගර්භණී බිරිඳ වෙනුවෙන් , ඇයට අර වැදගත්ම දවසට අඳින්න සැහැල්ලු ඇඳුම් කිහිපයක් ගන්න , ඉදිරියෙන් විවෘත කරන්න පුළුවන් බෙඩ් ජැකට් කිහිපයක් , චීත්ත (robe) කිහිපයක් , මෘදු සෙරෙප්පු යුගලක් ඒ වගේම කිරි දෙන මවකට සුදුසු හොඳ තනපට කිහිපයක් (Feeding bra ,මේ  තනපට හරිම වැදගත් මොකද දන්නවද සමහර මවුවරු “කිරි දීම නිසා තමන්ගේ රූ සපුව කැත වෙනව කියන බයට , නිසි කාළ සීමාවක් දරුවට කිරි නොදෙන තත්ත්වයට පත් වෙනවා , ඇත්ත ,කිරි දෙන මවකගේ පියයුරු වල යම් විශාල විමක් , බර වීමක් වෙනවා , ඒත් ඒ කාළයේ නිසි ලෙස , සුදුසු Feeding bra පැළඳ ඉන්නව නම් අම්මගේ හැඩේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ )

බඩු මල්ල ....
ඔය බඩු ටික ගන්න ලොකු මුදලක් යන්න ඇති  කමක් නැහැ ,අපේ පැටියටනේ , අනෙක් මවකගේ පියෙකුගේ වටිනාම සම්පත වෙනුවෙන් කරන මේ “වියදම , ඇත්තටම නාස්තියක් නෙවි “ , දැන් බලන්න pocket එකේ තව කීයක් තියෙනනවද කියලා , තිබේ නම් ඔබේ බිරිඳට කියවන්න හොඳ පොතක් , බලන්න ලස්සන DVD එකක්, ගන්න.ඒවගේම ඔය යන ගමන් රසවත් පළතුරු මල්ලකුත් බිරිඳට අරගෙනම යන්න .

දැන් ඇවිදල , ඇවිදල මහන්සි ඇතිනේ ,

කට පුරවල හිනාව ....හිත පිරවෙන හිනාව 
“දැන් එහෙම නං ගෙදර යං , ගිහින් අපි දෙන්නා එකතු වෙලා මේ බඩු මුට්ටු ටික හොඳල , වේලල , ලස්සනට arrange කරමු , අපේ පැටිය මේ ඔක්කොම අහගෙන ඇතිනේ ....“

“හ්ම් ..ටිකක් මහන්සි නං තමයි , .....එයා මේ ඔක්කොම අහගෙන බලාගෙන සතුටින් ඇති , අපි එනෙම් යමු නේද ?“

එහෙනම් ගිහින් එන්නං , අද කළ “සුන්දර කඩේ යාමෙන් පස්සේ , පියයුරු සාත්තුව ගැන කතා කරන්න එනවා ..